අනුන්ගේ වාහන තමන්ගේ වගේ විකුණන ජාවාරම් කරුවා සැඟවී සිටියදි පොලිසිය කොටුවේ

Spread the love

කල්බදු වාරික ගෙවීමට අපහසු පුද්ගලයන්ගේ වාහන ලබාගෙන ඒවායේ චැසි අංක හා එන්ජින් අංක වෙනස්‌ කර ඒවා වෙනත් පුද්ගලයන්ට අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක නිරතවූ වැඩ තහනමට ලක්‌වූ පාසල් ගුරුවරයකු වංචා කර ලබාගත් රුපියල් ලක්‌ෂ 60 කට අධික වටිනාකමින් යුත් වෑන් රථයක්‌ හා මෝටර් රථයක්‌ සමඟ අත්අඩංගුවට ගැනීමට මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය පෙරේදා (18දා) සමත්විය.

එම ඒකකයට ලැබුණ තොරතුරකට අනුව සැකකරු නිට්‌ටඹුව ප්‍රදේශයේ නිවසක සිවිලිමක්‌ තුළ සැඟවී සිටියදී කොටුකරගෙන තිබේ.

45 හැවිරිදි සැකකරු ගම්පහ, වතුපිටිවල ප්‍රදේශයේ පදිංචි අයෙකි. මොහු විවිධ විෂමාචාර ක්‍රියා හේතුවෙන් වැඩ තහනමට ලක්‌වුණු පාසල් ගුරුවරයකු බව හෙළිවිණැයි එම ඒකකය කියයි.

සැකකරු සමඟ මෙම ජාවාරමට හවුල් වූ තවත් පාතාල සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට එම ඒකකය පුළුල් පරීක්‌ෂණයක්‌ අරඹා ඇත.

මොහු කල්බදු වාරික ගෙවීමට අපහසු අයගේ වාහන ඇති ස්‌ථාන මුලින්ම සොයා බලයි. පසුව සොයා ගත් එවැනි ස්‌ථානවලට ව්‍යාජ හැඳුනුම්පත් ඉදිරිපත් කර ව්‍යාජ නම් හා ලිපිනයන්ද තමන් ලිසිං ගෙවාගෙන යන බව පවසා වාහන රැගෙන ගොස්‌ ඒවායේ චැසි අංක හා එන්ජින් අංක වෙනස්‌ කර ව්‍යාජ අංක තහඩු සවිකර වෙනත් පුද්ගලයන්ට වැඩි මුදලකට අලෙවි කර ඇතැයි හෙළිවූ බව එම ඒකකය කියයි.

මොහු අදාළ වාහන අවිස්‌සාවේල්ල, මිරිහාන, නුගේගොඩ , බම්බලපිටිය, කොල්ලුපිටිය යන ප්‍රදේශවලට අලෙවි කර රුපියල් කෝටි ගණනක මුදලක්‌ උපයාගෙන ඇතැයි හෙළිවූ බව එම ඒකකය කියයි.

බස්‌නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්‌පති වසන්ත වික්‍රමසිංහ මහතාගේ අධීක්‌ෂණය යටතේ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක ජයන්ත පෙරේරා මහතාගේ උපදෙස්‌ මත පොලිස්‌ පරීක්‌ෂක කුමාර නලවංශ, පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන ජයසිංහ (35237), ජයසුන්දර (44713), මධුසංඛ (88901) චමින්ද (89138), වසන්ත (60181), පොලිස්‌ කොස්‌තාපල් රියෑදුරු තිලකසිරි 18818 යන නිලධාරීහු වැඩිදුර පරීක්‌ෂණ සිදු කරති

උපුටා ගැනීම : දිවයින
ප්‍රදිප් ප්‍රසන්න සමරකෝන්
චමින්ද සිල්වා
සරත් ද සිල්වා

RSL

Related Posts