ගොවි ගෙදරින් බිත්තරයත් – කිරි වීදුරුවත් සදහටම ඈත් කළ හැටි !

Spread the love

අහල පහළින් ඇස ගැටෙන තොරතුරු වලට කීකරුවෙන ඇතැම් මව්වරුන් මේ දිනවල උත්සාහ දරන්නේ ‘අවන්හල් රස’ ගෙදර කුස්සියෙන් ප්‍රසූත කරන්නටයි. කෘතිම රසායන ද්‍රව්‍යයන් යොදා දරුවන්ගේ රස සංවේදන පද්ධතිය උත්තේජනය වන පරිදි කෑම සෑදූකල නවත්තන්නට නොසිතෙන කෑමක් කන දරුවා දකින ඇයට ඇත්තේ ඉහිලුම් නොහැකි සතුටකි. තන පුඩුවෙන් එදා ගැලූ මව්කිරි තුළත් රසකාරක ටිකක් තිබුණානම් ලපැටියා හා පෙරදී කරන ලද මවුකිරි යුද්ධය කෙතරම් පහසුවට නිමකරන්නට තිබුණාදැයි මේ අම්මලාට දැන් දැන් සිතෙනවාද විය හැකිය.

කෙසේ වෙතත් දේශීය කෑමක අරුමය හා ගුණදායී බව මීට දශක ගණනාවකට පෙරදී පවා හඳුනා ගැනීමට සමත්වූ රාජ්‍ය නිලධාරීන් විසින් යහපත් අනාගතයක් උදෙසා එකල තැබූ මුල්ගල් මත මේ වනවිට මහා මන්දිර ඉදිවී තිබේ. ගන්නෝරුවේ ආහාර පර්යේෂණ ඒකකයේ නිලධාරීන්වත් හවුල් කරගෙන, ජුජුප්ස්, අච්චාරු, චට්නි  වැනිදේ ගෘහ කර්මාන්ත ලෙස සාදවමින් ඒවා අලෙවි කරන්නට ගෙවිලියන් හසුරවමින් ඇරඹුණු සාර්ථක වැඩසටහනක් මේ මොහොතේ මගේ මතකය තුල අවදි වන්නේය.

1989 දී දේශපාලන ආශීර්වාදයත් නොමඳව ලබමින් කුරුණෑගලදී එය ආරම්භ වුයේ “පෝෂණ සල” නමිනි. පුරෝගාමී චරිතය වූයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තුල එවකට කාන්තා කෘෂිකර්ම ව්‍යාප්ති වැඩසටහන මෙහෙයවූ රෝස් රූපසිංහ නමැති නිලධාරිනියකි.

පසු දිනෙකදී ඇයගේ ඉල්ලීමට අවනත වූ මහාචාර්ය ආරිය රාජකරුණා විසින් “පෝෂණ සල” වෙනුවට, ඊට වඩා පහසුවෙන් සිතෙහි ඇතුලාන්තය හා කුළුපග වෙන “හෙළ බොජුන්” යන පදය ඇයට සාදා දී තිබේ. මෙම ව්‍යාපෘතිය ඇරඹීමේ ඇයගේ ප්‍රාථමික අරමුණ වූයේ ගෙවිලිය ආර්ථිකව බල ගැන්වීමයි. සෞඛ්‍ය ආරක්‍ෂිත ආහාරයක් පාරිභෝගිකයා වෙත සැපයීම ඇයගේ දෙවන අරමුණ විය. නමේ වෙනසටත් ගැලපෙන පරිදි දේශීයත්වයත් කැන්දාගත යුතු නිසා සාම්ප්‍රදායික කෑම වට්ටෝරු වලට අනුගත වෙමින් පාරිභෝගිකයාව, හෙලයාට ගැලපෙන ෂෝට් ඊට්ස් සංස්කෘතියකට හුරුකර ගැනීම  තුන්වෙනි අරමුණ විය.

ප්‍රදර්ශනාත්මක සන්නිවේදන කුසලතාවයෙන් සන්නද්ධ නිලධාරීන්ගේ ජවසම්පන්න මෙහෙයුම් හරහා පන්නරය ලැබුණු හෙළ බොජුන් සංස්කෘතිය, බොහොම ඉක්මනට ජනතාවගේ හදවත තුළටම කිඳාබැස එහිම තැන්පත් විය.. තැපැල් නයින්ටියේ සිට ප්‍රාඩෝව දක්වා වූ වාහන හෙළබොජුන් අවන්හල් ඉදිරිපිට නතර කරන ලදී.

නමට කෑදරවූ ඇතැම් පෞද්ගලික ව්‍යාපාරිකයින් පවා හෙළබොජුන් යන වචනයට ඉදිරියෙන් යම් විශේෂණ පදයක් යොදා ගනිමින් බෝඩ් ලෑල්ලක් සවිකරගෙන, දහවලට චිකන් සුප් හැඳිගාන, හැන්දෑවට ටකර ටකන් සද්දෙට කොත්තු ගසන කෑමකඩ වලටත් මේ පාරිශුද්ධ වචන ද්විත්වය භාවිතා කිරීම ඇරඹුණි. මේ නිසා අද වනවිට ඔරිජිනල් හෝ ඩුප්ලිකේට් හෙළබොජුන් කෑමකඩ හැම තැනකමය.

පසුගිය දිනෙකදී එක්තරා ලාංකිකයෙක් මෙවැනි ඔරිජිනල් හෙළබොජුන් අලෙවිසැලකට (ගන්නෝරුවේ නොවේ) ගොස් සිදුවූ දෙයක් මා සමග විස්තර කරන්නට යෙදුනි. සරල ගති පැවතුමින් හෙබි හෙතෙම ගන්නෝරුවේ පශු වෛද්‍ය පර්යේෂණායතනයේ විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යක්‍ෂ සුනිල් ගමගේ නම් වේ.

කන්නට ආසා නිසාම ඔහු ඉල්ලා සිටියේ බිත්තර ආප්පයකි. පූර්ව කොවිඩ් සමයේ නිසා එකල නිෂ්පාදකයා වෙතටම ගොස් තම කෑම ඕඩරය ලබාදීමේ හැකියාව තිබිණ. ආප්ප කරකවමින් සිටි ලඳට උතුර දකුණ මාරුවෙනවා ඔහු දුටුවේ නැත. අතේ තිබුණු ආප්ප තාච්චිය පමණක් නොව ඇගේ මිනිස් කයද වට දෙකක් කරකවා අතහැරියාක් මෙන් ඇය මොහොතක් වේලා අමුත්තා දෙස බලා සිටියාය.

ඉතා කාරුණිකව අනතුරුව පවසා සිටියේ ඔවුන් බිත්තර ආප්ප විකුනන්නේ නැති බවයි. තැනේ හැටියට ඇනේ ගසමින් මගේ මිත්‍රයා ප්ලේන් ආප්පයක් ලුණුමිරිස් සමග රෝල් කරගෙන පැත්තකින් පටන්ගෙන එය ගිල දමන අතරේ ආප්ප ළමයාගෙන් විමසා සිටියේ බිත්තර ආප්ප නොවිකිනීමට හේතුවයි.

ඇය දුන් පිළිතුර නියම පිළිතුර යයි අප පිළිගන්නේ නැත. එය හෙළබොජුනයේ නිල ප්‍රකාශනයක්ද නොවේ. කලින්ම මා එසේ කියා සිටින්නේ අහක යන ආයිබොවන් බාරගෙන දඟලන්නට කැසපට ගසාගත් පිරිසක්ද අප ලඟින්ම සිටිනා බැවිනි. ඇයගේ දැනුමේ මට්ටමට පිළිතුර ලෙස පවසා ඇත්තේ බිත්තර යනු මාංශමය නිෂ්පාදනයක් බැවින් එය හෙළබොජුන් ගණයට නොවැටෙන බවත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා බිත්තර අතර සම්බන්ධයක් නොමැති බවත්ය.

කට්ට සම්බෝලය ගෑවී පුපුරු ගසන තොල්පට සනහාලන්නට ඇල්වතුර වීදුරුවක් බීගත් සුනිල් මහතා ගෙදර ඇවිත් දුරකථනය හරහා මේ අවනඩුව කීවේ මා සමගය.

“ලෝකේ පුරාම කෘෂිකර්මාන්තයයි සත්ව පාලනයයි යන්නේ රේල් පාරේ පීලි දෙක වගේ නෙවෙයි, එක ඉත්තෙ පිපුණු මල් දෙකක් වගේ. අපේ රටේ මේ දෙක වෙන්කරගත්තේ දේශපාලන හේතු මත 1978 දී. ඒකෙන් වුණේ සමස්ත ක්‍රියාදාමයටම පාඩුවක්. ඉස්සර ව්‍යාප්ති නිලධාරියා ගොවියා ලඟට යනකොට ගොවිතැනේ ගැටලු වලට විසඳුම් විතරක් නෙවෙයි සත්ව පාලනයේ තොරතුරුත් අරගෙන යනවා. බෙදීම නිසා ව්‍යාප්තියට වෙන්කරන මුදලත් දෙකට බෙදුනා. කාර්යක්ෂමතාවය මේ නිසා අඩු වුණා. හෙළබෝජුනේ නැති වුණාට හෙළයා කියන චරිතය අතීතයේ සිටම සතුන්ගෙන් ගත් නිෂ්පාදන පරිභෝජනය කෙරුවා. ව්‍යාප්ති සේවය ශක්තිමත් නොවුණ නිසා ගොවියා වෙතින් සත්ව පාලනය ක්‍රමයෙන් ඈත් වුණා”

දුරකථන වාග් ප්‍රහාරයක් නිසා මාහට ඔහුගේ මුහුණේ ඉරියව් පෙනෙන්නේ නැත. එහෙත් කටහඬ හා රිද්මය ඇසුරෙන් මා සිත් තුළ මැවෙන මුහුණේ ප්‍රතිබිම්බය නම් නෝක්කාඩු ඉරියව් තිබෙන්නක් යයි සිතේ. මගේ මතකයට ආවේ අඩ සියවසකට පමණ උඩදී මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් විසින් ලියා පලකල ලිපියකි. එහි මෙසේ සඳහන්ව තිබිණ.

“ගැමුණු කාලයෙහි සිංහලයන් වැර වෑයමෙන් ගොවිතැන් කරමින් ජීවත් වූයේ බෞද්ධ උපාසකයින් ලෙස නොව, පරිසරයට අනුරූපව ස්වාධීනව ක්‍රියාකරන්නට හික්මුණු සිත කය ඇත්තන් ලෙසිනි. ඔවුහු ගොවිතැනට හානිකරන සතුන් මැරීමෙන් ගොයම රැකගත්තෝය. මරණ ලද සතුන්ගේ මස් කෑහ. ඒ මසින් ඇතැම්විට භික්‍ෂූන් පිදූහ. දුනුවායන් වනු පිනිස ඔවුන් වල් වැදී ඌරන්, මුවන් හා ගෝනුන් ද මැරූහ. උන්ගේ මස් අභිරුචියෙන් කෑහ.”

සත්ව නිෂ්පාදන පරිභෝජනය හෙළයා සමග කෙතරම් සමීපව තිබුණාදැයි මෙවැනි රචනා වලින් ඉඟි කරයි. අප මේ වනවිට සාමාජයීය වශයෙන් ලබා ඇති චිත්ත හා භෞතික දියුණුවත් සමග එවන් පැරණි සිරිත් විරිත් කුට්ටිය පිටින්ව නැවත වැළඳගත යුතුයයි අප යෝජනා කරන්නේ නැත. එහෙත් මූණිච්චාවට, රටට පෙනෙන්නට කර තබාගෙන ඇති හිස් වලං සෙට් එක නම් බිම තැබීමට කාලය නම් මේ වනවිට එළඹී තිබේ.

බිත්තරය වනාහී අද දවසේ උපරිම තබදයකට ගොවිපළක් තුළ ඇසිරූ සතුන් වෙතින් ලබනා නිෂ්පාදනයකි. එය තුළ බොහෝ විට ජීවියෙක් නැත්තේ කුකුලෙක් හා එක්වීමක් නොමැති නිසාය. කිකිලියට උවමානාවක් තිබුණත් බිත්තරය නොදමා සිටින්නටද නොහැකිය. එය දැම්මා කියා අමුතු පාඩුවක් සතාට වන්නේද නැත.

මී මැසි පාලනයේදී නෙළා ගන්නා මී පැණිද අයත් වන්නේ මේ බිත්තර කතාවටමය. මැස්සන් මහන්සිවී රැගෙන එන මල්පැණි ගිලදමා, ජීර්ණය කර නැවත වමාරා තැන්පත් කරන්නේ පැණි ලෙසය. වාසනාවට මී මැසි පාලනය තවමත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේම පවතියි. කාගේ හෝ වුවමනාවකට පරිපාලන ව්‍යුහය එහාමෙහා වී මීපැණි දෙපාර්තමේන්තුවක් එහෙම බිහිවූවා නම්, හෙළබොජුනේ ගැසට් පත්‍රයට අනුව මී පැණි හැන්දක් ලෙවකන්නටත් හෙළයාට තහංචි පැනවෙන්නේය.

මෙම ආපනශාලා තුළ ආරම්භයේදී ප්ලේන් ටී විකුණුවේත් නැත. හැලපයක් කෑ හෙලයාට බොන්නට ලැබුණේ බෙලිමල් හෝ හතුසුප් ය. කෙසේ වෙතත් වර්තමාන පාලනාධිකාරියේ මැදිහත්වීම නිසාදෝ මේ වනවිට ප්ලේන් ටී නම් තිබේ.

බිත්තර ආප්පයට බෙදන හැන්දෙන් බෙදුව හොත්, පොල් රොටි විකුණන්නත්, පොල් තෙලෙන් වඩේ බදින්නටත් නොහැකිවේ. මන්දයත් පොල් ගස ගැන බලාගන්නේ කෘෂිකර්මයේ උදවිය නොවන බැවිනි. පැණි වළලු කන්නට හෝ කහට බොන්නට කිතුල් හකුරු කෑල්ලක් හපන්නටද නොහැකි වේ. කිතුලද අන්සතු දේපොළක් බැවිනි. නමුත් හෙළයා ඒ තරමටම අවාසනාවන්ත වී නැත. පොල් රොටි, බැදපු වඩේ, හකුරු කෑලි ආදිය තවමත් එහි තිබේ.

ලොව පුරා ලියවී ඇති කුමන අර්ථ දැක්වීම කියවා බැලුවත් කෘෂිකර්මය හඳුන්වා දී ඇත්තේ බෝග ගොවිතැන හා හීලෑ සතුන් ඇතිකිරීම යන කටයුතු දෙකම ඇතුළත් ක්‍රියාවලියක් ලෙසයි. පැරණි හෙළයා තමා සතු ගව සම්පතෙහි පිරිමි සතුන් යොදාගනිමින් ගොවිතැනේ යාන්ත්‍රික සහය ලබාගත්තාට අමතරව ප්‍රවාහනයටද ගොනුන් යොදාගැනින. එළදෙනුන්ගෙන් ලැබෙන කිරි පවුලේ පෝෂණයටත්, අතිරික්තය විකුණා මුදල් ඉපයීමටත් භාවිතා විය.

පරිපාලන ව්‍යුහය එහාමෙහා වීමෙන් කෘෂිකර්මාන්තය සත්ව පාලනයෙන් වෙන්වූවා කියා නාගරිකයාට සිදුවූ කෙන්ගෙඩියක් නම් නැත. පහර වැදුනේ ගමටයි. ගමේ එකාගේ පෝෂණයටයි. දෙතැනක නිපදවුනත් වෙළඳපොළ හරහා ප්‍රතිබද්ධ වූ කෘෂි හා සත්ව නිෂ්පාදන යන සංරචක දෙක මුදලට හුවමාරුවී කරදරයක් නැතිව නාගරික බංගලාවේ කෑම මේසය මතට සැපත්වුනි.

ජාති දෙකෙන්ම බරටම වළඳන නාගරිකයා අධිපෝෂණයේ බර හෑල්ලු කරගන්නට චැනල් සෙන්ටරයට පඬුරු බඳිත්දී, අවශ්‍යය අවමයවත් නොලැබෙන ගැමියා හා දරුවන් මන්දපෝෂණය වැළඳගනිමින් ආණ්ඩුවේ ඉස්පිරිතාල බංකුව මත වැතිරී සිටී.

වඩාත්ම සංවේදී පුවත වන්නේ බංකුව මත හිඳින්නා හට නාගරිකයාට මෙන් පර්චස් හත අටක ඉඩමක් නොව, සත්ව පාලනයත්, ගොවිතැනත් යන දෙකම කරගන්නට ඉඩ තිබෙන, අක්කර ගණනින් මනින්නට හැකි තරමේ භූමියක් සතුවීමත්, එසේ තිබියදීත් හෙතෙම දිනකට වේලක් කා ඉතිරි කාලය බඩගින්නේ හිඳිමත්ය.

මෙහි පෙනෙනා ඡායාරූපය දෙස බලන්න. කිසිදා නිම නොවනා දරිද්‍රතාවය පෙන්වන කැඩපතකි එය. සුනිල් මහතා මෙම සේයාරුව ගෙන තිබුණේ මෑතකදී අනුරාධපුරයේදීය. මෙහි දැක්වෙන පරිදි පරම්පරා තුනක ගැහැනුන් කැලයට ගොසින් ලිපගිනි මෙලවීම සඳහා දර කඩාගෙන යති. අත්තම්මා, අම්මා සහ දියණිය යනුවෙන් යාබද පරම්පරා තුනක නියෝජිතයින් මෙහි සිටින්නේය.

අප දැන්වත් කතාකල යුත්තේ මේ දම්වැල කඩනා ක්‍රමවේදය කුමක්ද යන්නයි. කුඩා දියණිය පසු කලෙක ලබනා දරුවනුත් මේ දර පෝලිමටම එකතු වන්නේ නම් ග්‍රාමීය ආර්ථිකය නැංවීමටයි කියා අප දෙසන කුමන පුරසාරමක්වත් සත පහක අගයක් නොමැත.

“වියලි කලාපීය ග්‍රාමීය ගොවියාගේ කෘෂිකාර්මික බෝග සමාන වෙන්නේ නාගරිකයාට තිබෙන ස්ථිර තැන්පතුවකට. ඒකෙනුත් පොලිය හම්බවෙන්නේ කල් පිරුනහමනේ. ගොවිතැනෙනෙනුත් ආදායමක් එන්නේ අස්වැන්න කැපුවහම. බොහෝ වෙලාවට එකපාර එන එවැනි ආදායමකින් කරන්න විවිධ දේවල් කන්නය පුරාවටම ගොවි ගෙදර තුළ එකතු වෙනවා. සිල්ලර කඩේ ණයට බඩු ගත්ත පොත පවා පියවන්න වෙන්නේ මේ මුදලින්. අනිත් එක ඔහුගේ වගාබිම තියෙන්නෙත් ගෙදර ළඟ නෙවෙයි ටිකක් ඈත. එහි වැඩ බොහොමයක් කෙරුවේ පිරිමියා විසින්. අස්වැන්න නෙළනවා වගේ ලොකු වැඩක් නැත්නම් ගැහැණිය එතනට ගියේ කෑම රැගෙනයාම දෙයකට පමණයි.”

සුනිල් මහතා පවසන අදහසට අනුව ස්ථිර තැන්පතුවක් කල්පිරීමෙන් ලැබෙන පොලී මුදලක් සේ අස්වැන්න විකුණා ලබන මුදල වසරකට දෙවරක් ලැබුණද, එදිනෙදා දිවි පැවැත්ම උදෙසා ගොවියා අත මුදල් ගැවසීමක්ද විය යුතුය. එය ලැබෙන්නේ ගෙවත්තෙනි. එහි මූලිකයා වුයේ ගොවියා නොව ගෙවිලියයි. නිවසින් ඈත වගාබිමේ පිරිමියා ගොවිතැන් කර ආර්තවික නොහොත් කලින්කල ලබන ආදායමක් උපයද්දී ගැහැණිය විසින් ගෙවත්ත හසුරවා එදිනෙදා වියදමට අවැසි ගනුදෙනුව සපයා ගත්තාය.

මෙම ගෙවත්ත වනාහී ඇසූ පමණින් අපට මතක්වෙන එළවලු පැල කීපයක් සිටුවාගත් කෘෂිකර්මයේ ගෙවත්ත නොව සත්ව පාලනයද සම සමව සංකලනය වූ ගෙවත්තකි. එය දෛනිකව නාගරිකයාගේ ගිණුමට පොලී මුදල් බැරකරන සාමාන්‍ය තැන්පත් ගිණුමක් සේය. කිරි ගවයා සිටින්නේ ගෙවත්තේය. දිනපතා දොවන කිරි වලින් කොටසක් පවුලේ පෝෂණය පිණිස යෙදවෙන අතර, ඉතිරිය මුදල් බවට පත්වන්නේය.

කිකිළියන් කීප දෙනෙක් විසින් දමනා බිත්තර පවුලේ දෛනික අවශ්‍යතාවය ඉක්මවා යන්නක් බැවින් එහි ඉරණමද මෙලෙසින්ම විසඳේ. මීට අමතරව කුකුලන් විසින් ගෙවත්තේ වවා ඇති බෝගයන්හි පළිබෝධ පාලනය වෙනුවෙන් වැදගත් මෙහෙයක් ඉටුකරන්නේ කෘමි සතුන් ආහාරයට ගනිමිනි. තැන තැන ඇවිදිමින් හෙළනා මළද්‍රව්‍ය පසෙහි සාරවත්භාවය වැඩිකරන අතර පොලොව පහුරුගාමින් පොහොර මිශ්‍රකිරීමද ඔවුන් විසින්ම කරන්නේය.

වල් මර්දනය වීම මේ පහුරුගෑමෙන් ලැබෙන අතුරු ප්‍රතිලාභයකි. අලුත්ම සංඛ්‍යාලේඛන වලින් කියවෙන්නේ මේ වනවිට මෙරට ග්‍රාමීය කාන්තා රැකියා විරහිතභාවය 35% ක් වැනි ඉහල අගයකට එසවී තිබෙන්නේත්, දෛනිකව අතමාරුවක් කරගැනීමට හැකි මුදලක් ගැමි පවුල සතුව නැත්තේත්, මන්දපෝෂණයෙන් දරුවන් පෙලෙන්නේත්, සත්ව පාලනය හා කෘෂිකර්මාන්තය එකට ගැටගැසී තිබුණු මෙම සමතුලිත සැලැස්ම පරිපාලනමය උවමනා මත විසංවිධානය කිරීමේ කරුමය නිසාය.

ලෝකයේ පිළිගත් සත්තව පාලන මූලධර්මයන්ට අනුව ගතයුතු ප්‍රතිලාභයන් සියල්ල උකහා ගත්තාට පසු සතුන් මස්කර විකිණීම වැනි අවසන් ජවනිකාවකින් තිරය වසා නාටකය නිමකළ යුතු බව සරසවි තුළ පවා අදටත් උගන්වයි. ආර්ථික විද්‍යාවට අනුව ලාභය ඇත්තේ එතැනය.

බෞද්ධ සංස්කෘතික පදනමක් මත හිඳිනා ගැමියාව එතනට කැඳවාගෙන යාමේ යෝජනාවක් නොවේ මෙය. එවැන්නක් යෝජනාකිරීමට තරම් අප භෞතිකවාදීන්ද නොවන්නෙමු. එහෙත් එළදෙනගෙන් කිරි ටිකක් දොවා දරුවන්ට දෙන්නට, වත්තේ හැදෙන කිකිළිය දමනා බිත්තරයක් කන්නට බැරි තරමේ උපාසකයෙක් බවටද ගැමියා පත්විය යුතු නැත. එවැනි ජෝකර් උපාසකලා වෙසෙන්නේ සිදාදියේය.

පසළොස්වක පෝයදාට සුපිරි වෙළඳසැල්වල පවා තිබෙන මස් ගබඩාකල අධිශීතකරණ වලට අගුලු දමන්නේය. ඒවායේ තිබෙන්නේ මාස ගණනකට පෙරදී මරා සුද්ධකර පොලිතීන් කවර තුල අසුරා සීල් කල පසු ‘ගල්වූ’ බ්‍රොයිලර් කුකුලන්ය. තම ජීවිතකාලය පුරාම නිදහසේ බිම පහුරුගා පණුවෙක් අහුලා කෑමේ නිදහස පවා අහිමිකර උස මහත් කල උන්ගේ දිවිසැරිය වූ දින 45 ට වඩා දෙතුන් ගුණයක කාලයක් ඒ වනවිට මෙම සතුන් අධිශීතකරණය තු< ගෙවා දමා තිබේ.

පෝයදාට හෝ ලෝක සත්ත්ව දිනය දා විකිණීම තහනම් කර, කෑමට පෙර දෙවරක් සිතන්නට බලධාරීන් විසින් අපට නොකියා කියන්නේ මෙවන් ආහාරයකි. නමුත් එම ශීතකරණය අසලින්ම විවෘතව තැබූ අයිස් කැට අතුරනයක් මත තබා අලෙවි කරන්නේ ලේ බේරෙන කෙලවල්ලා පෙතිය. කඳු ගැහෙන්නට ගොඩගසා ඇත්තේ සාලයන් හෝ ඉස්සන්ය. පසුගියදා සැමරූ ලෝක සත්ව දිනයදා මහනුවර පැත්තේ සුපිරි වෙළඳසැලක ‘මාළු ලෑල්ල’ භාර තරුණයාගෙන් මේ ගැන විමසූ මා හට කටකාර ගැටයා දුන් පිළිතුර වූයේ ඒවා ඊයේ පෙරේදා ගහෙන් කඩාගත් අස්වැන්න බවයි.!

ග්‍රාමීය සමාජය තු< යහතින් ක්‍රියාත්මකවූ සත්ව පාලනය, කෘෂිකර්මයෙන් විසන්ධි කිරීමත් මෙවැනිම හරසුන් ව්‍යායාමයක ප්‍රතිපලයකි. ඉඩමකුත් තියාගෙන වේලක් කන මිනිසුන් බිහිකළ විප්ලවයකි. පරිපාලනමය වශයෙන් විසන්ධි වූවාට මේ දෙපාර්ශවයට එක වහලක් යට රැස්වී සාකච්ඡා පැවැත්වීමේ බාධාවක් නැත. ගැමි ආර්ථිකයට ලොකු හුස්මක් පිඹිය හැකිවන පරිද්දෙන්, වගා කන්නය අවසානයේදී අතට දැනෙන මුදලක් ගොවියාගේ සාක්කුවටත්, එදිනෙදා වියදම එහාමෙහා කරගන්නට කාසි කීපයක් ගෙවිලියගේ හැඹිලියටත් ලැබෙන, ගොවිතැන හා සත්ත්ව පාලන ඒකාබද්ධ ජීවන රටාවක් ඉක්මනින්ම හඳුන්වා දිය යුතුව තිබේ.

“මම සත්ව පාලනය හා සම්බන්ධ නිලධාරියෙක් වුණාට මගේ ප්‍රාථමික අරමුණ තියෙන්නේ කෘෂිකර්මාන්තය සමග. අප පළමුව ‘බත’ ආරක්ෂා කරගත යුතුයි. ඒ සඳහා හොඳ ශරීර සෞඛ්‍යයෙන් යුක්ත, ආර්ථිකවත් හිඟානොකන ගොවියෙක් සිටිය යුතුයි. කුඹුරට වෙලාවට තෙල් බෙහෙත් ටික, පොහොර ටික ගහන්න එයා අතේ එදිනෙදා අවශ්‍යතාවයට සල්ලි තිබිය යුතුයි. අන්න ඒකට තමයි අතුරු මාර්ගයක් වශයෙන් සත්ව පාලනය යම් තරමකට ඔහුගේ ගොවිතැනට බද්ධ විය යුත්තේ. ඒ හරහා ආහාර සුරක්ෂිතතාවය වගේම පෝෂණ සුරක්ෂිතතාවයත් රැකෙනවා. රටට බත සපයන්නා ලෙඩෙක් නම් ඒක වැඩිදුර යන ගමනක් නෙවෙයි.” සුනිල් ගමගේ තවදුරටත් පවසයි.

වසංගත වලින් ආරක්ෂාවීමට හෙළඔසු බොනවාට දුම් අල්ලනවාට අමතරව නිරෝගී හා ශක්තිමත් සිරුරක් පවත්වාගැනීම සඳහා සත්ත්ව ප්‍රෝටීන යම් පමණකට සංකලනය වූ පෝෂ්‍යදායී ආහාරයක් අනුභව කළ යුතු බවට වෙදහෙදකම් දන්නා උදවියද මීට වඩා හඬ නැගිය යුතු බව පෙනේ. එසේ නැත්නම් කෘෂිකර්මයේ උදවියට ඉදිරියටත් සිදුවන්නේ තනි අතින් අත්පුඩි ගසන්නටය. ඉන් නැගෙනා බොල් හඬ වාර්තා සහ සංඛ්‍යාලේඛන කම්පනය කිරීමට සමත්වුවත්, ගැමි හෙළයාගේ මන්දපෝෂණ සිරුරට නම් සහනයක් ලබා නොදෙන්නේය.

සනත් එම්. බණ්ඩාර – සහකාර අධ්‍යක්ෂ, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නෝරුව, පේරාදෙණිය

RSL

Related Posts