31 වසරකට පසු ඉන්දීය ක‍්‍රිකට් ලෝලීන්ට ‘කළු දිනයක්’

Spread the love

ඉන්දීය ක‍්‍රිකට් වංශ කතාවේ අපකීර්තිමත් දිනයක් ඊයේ (11) සටහන් වුණා. ඒ ඉන්දියාව ද්වීපාර්ශික තරගාවලියකදී තරග 3ක් හෝ ඊට වැඩි තරග සංඛ්‍යාවකින් යුත් එක්දින තරගාවලියක් පූර්ණ ලෙස පරාජයට පත්වීම සමගයි. ඉන්දියාව මේ ආකාරයේ අමිහිරි පරාජයක් ලැබුවේ වසර 31කට පසුව වීම ද විශේෂත්වයක්.

අවසන් වරට ඉන්දියාව 1989 දී බටහිර ඉන්දිය සංචාරයේදී මෙලෙස එක්දින තරගාවලියකදී පූර්ණ පරාජයකට ලක්ව වුණා. ඒ 5-0ක් වශයෙනුයි. නවසීලන්තය සමග මවුන්ට් මුන්ගුනායි හිදී ඊයේ පැවැති තෙවැනි එක්දින තරගයෙන් සංචාරක ඉන්දීය පිලට කඩුළු 5ක පරාජයකට මුහුණ දීමට සිදු වුණා.

ඒ සමග තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට සත්කාරක නවසීලන්තයට හැකි වුණා. ඊයේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 296කට සීමා කළ නවසීලන්ත ක්‍රීඩකයෝ පන්දු 17ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසුකළේ කඩුළු 5ක් දැවී තිබියදී වීම විශේෂත්වයක්.

නවසීලන්ත ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදුන් හෙන්රි නිකෝල්ස් – මාටින් ගප්ටිල් සමග එක්ව පළමු කඩුල්ලට ලකුණු 106ක් රැස් කළා. පන්දු 46කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු 66ක් ලබාසිටි ගප්ටිල් දැවී යෑමෙන් එම සබඳතාව බිඳ වැටුණු අතර තරගයේ වීරයා වූ නිකෝල්ස් හතරේ පහර 9ක් සමගින් පන්දු 103කින් ලකුණු 80ක් රැස් කළා.

ලකුණු 220කට කඩුළු 5ක් බිඳ වැටී තිබියදී පිටියට පිවිසි කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් වේගවත් ඉනිමක් දියත් කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියා. හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 58ක් රැස්කළ ඔහු ඒ සඳහා වැය කළේ පන්දු 28ක් පමණයි. නායක ටොම් ලේතම් සමගින් පන්දු 46කින් නොදැවී ලකුණු 80ක සබඳතාවක් ගොඩනැගීමටද කොලින් සමත් වුණා.

මේ අතර ලෝකේෂ් රාහුල් සිය එක්දින තරග දිවියේ 5 වැනි ශතකය ලෙස ලකුණු 112ක් රැස්කළා. ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වුණේ ඔහුයි. රාහුල් ශ්‍රේයාස් අයියර් (62) සමග සිවුවැනි කඩුල්ලට ලකුණු 100ක් සහ මනීෂ් පාණ්ඩ්‍යා (42) සමග 5 වැනි කඩුල්ලට ලකුණු 107ක් එක් කිරීමට සමත් වුණා.

RSL

Related Posts