දිනය – 2017-10-23
ස්ථානය –
හෝකන්දර දකුණ, විමල් වීරවංශ මහතාගේ නිවෙස
හෙළිදරව්ව – විමල් වීරවංශ මහතාගේ බිරිය ශෂී වීරවංශ
“ගිය අවුරුද්දේ ඔක්තෝබර් 25 වැනිදා රෑ හෝ 26 වැනිදාට එළිවෙන්නට තමයි ඔය සිදුවීම වෙලා තියෙන්නේ. මේ දරුවා මගේ පුතාගේ හොඳ යාළුවෙක් කියලා තමයි හැම මාධ්‍යයකින්ම ප්‍රචාරය වුණේ. හැබැයි මේ දේ කීමට අවශ්‍යමයි. ඔය දරුවා මේ ගෙදර යන්න එන්න පටන් ගත්තේ අපේ පුතාගේ දැනහැඳුනුම්කම් මත නොවෙයි. අපි කොළඹ ගෙදර ඉඳන් මේ ගෙදරට ආවේ මීට වසර 1 1/2කට පමණ කලින්. ඇඳුම් නිර්මාණ ශිල්පිනියක් ලෙස කටයුතු කරපු මගේ මහන කෙනා හිටියේ කොළඹ.
ඒ නිසා මං මේ ගෙදරට ඇවිත් හොඳට මහන්න පුළුවන් කෙනෙක්ව වටපිටින් හෙව්වා. ඒ අනුව තමයි රූපිකාව මුණගැහෙන්නේ. ඒ කියන්නේ ළහිරු පුතාගේ අම්මා. එයා මාව හමුවෙන්න ආවා. ඇවිත් මට එයාගේ විස්තර කිව්වා. එයාගේ මහත්තයා අවුරුදු 1 1/2කට කලින් මියගිය හැටිත් දැන් ජීවත්වන හැටිත් විස්තර කීවා.
ඔය විදියට අඳුනගත්ත රූපිකා ඇඳුම් මැසීමේ අවශ්‍යතා වෙනුවෙන් නිවෙසට ආවා ගියා. ඔය අතරේ රූපිකාගේ පුතා කින්ග්ස්බරි හෝටලයේ රස්සාවකට ඉල්ලුම්පත් දමා තිබෙන බව මාත් එක්ක කිවුවා. උදවුවක් කරන්න පුළුවන්ද කියලා මගෙන් ඇහුවා. මමත් එහි දන්න හඳුනන කෙනෙක්ට ළහිරු ගැන කිව්වා. පස්සේ එයාට රස්සාව හරි ගියා.
රූපිකාත් එක්ක ඔය දරුවා අපේ ගෙදර යන එන විට තමයි අපේ පුතාලත් එක්ක එකතු වුණේ. ඒ දවස්වල අපේ පුතා උසස් පෙළ කරලා ගෙදර හිටියේ. අපේ ගෙදර යන එන පුතාගේ පාසලේ යාළුවෝ කිහිපදෙනෙක් ඉන්නවා. ඒ දරුවන්ගේ මවුපියන් අපි සමඟ හොඳ සම්බන්ධතාවක් තියෙනවා. ඒ දරුවො උගත්, වැදගත් මවුපියන්ගේ දරුවෝ. ඒ මවුපියන් සාක්ෂි දරයි දරුවකුට අපේ ගෙදර තියෙන ආරක්ෂාව ගැන. ඒ දරුවො ඇවිත් රාත්‍රියේ අපේ ගෙදර නැවතුණත් මං ඔවුන් ගැන හොඳ අවධානයෙන් ඉන්නේ. මොකද කරන්නේ..? කනවද..? බොනවද..? නිදාගන්නේ කීයටද..? ඇහැරෙන්නේ කීයටද..? කියලා.
මේ නැතිවුණු ළහිරු පුතා පමණයි මේ දරුවන්ට වඩා වසර කිහිපයක් වැඩිමහලු දරුවකුට හිටියේ. මේ දරුවෝ ටික ගෙයි දෙවැනි මහලේ ඉඳන් සින්දු කියනවා. මගේ පුතා මියුසික්වලට දක්ෂයි. මෙතැනදී තමයි ළහිරු පුතා අපේ දරුවොත් එක්ක එකතු වෙන්නේ. හැබැයි ළහිරු කියන්නේ මේ ගෙදරට බොහොම අඩුවෙන් ආව ගිය දරුවෙක්. මොකද ළහිරු මෙහෙට යන්න එන්න අරන් මාස 8ක් වැනි කෙටි කාලයක් ඇතුළත තමයි ළහිරු මරණයට පත්වුණේ. ඒ අතරේ ළහිරු රස්සාවක් කරපු දරුවෙකුත් වුණු නිසා ඔහු හරිම අඩුවෙන් මෙහෙට ආවේ”
එදා ඔය සිදුවීම වුණු දවසේ හවස මම දුවත් එක්ක වැඩකට එළියට ගියා. පුතාගෙ යාළුවො හතර දෙනෙක් ඒ වෙද්දි ගෙදර හිටියා. ඒ අතරේ මගේ ඥාති පුතෙකුත් හිටියා ඉසුරු කියලා. ඒ දරුවා මේ දරුවන්ට වඩා වයසින් වැඩියි. මට ඒ නිසා කිසිම බයක් සැකයක් තිබුණෙ නෑ දරුවො ටික දාලා යන්න.
වැඩට කවුරු හිටියත් දරුවන්ගේ කෑම හැමදාම උයන්නේ මම. එදා මං හවස ගෙදර නොහිටිය නිසා කෑම උයන්න බැරි වුණා. මම පුතාට කෝල් කරලා ඇහුවා කී දෙනෙක් දරුවො ඉන්නවද කෑම ගේන්න කියලා. පුතා කිව්වා හය දෙනෙක් කියලා. මං එතකොට ඇහුවා කවුද තව ආවෙ කියලා. එතකොට කිවුවා ළහිරු අයියයි, දීලකයි ආවා කියලා.
ගෙදර එනකොට ළහිරුව දැකලා ආ හුඟ දවසකින් නේද පුතා මොකද වුණේ කියලා අහගෙන ගේ ඇතුළට යන්න යද්දි ළහිරු පුතාගේ ඇස්දෙක ඉදිමිලා රතුවෙලා වගේ දැකලා ඇයි ළහිරු ඇස් රතුවෙලා කියලා ඇහුවා. එතකොට ළහිරු කිවුවා මේ ටිකේ හරියට වැඩ නිදි මැරුවා ඒකයි කියලා.
ඊට පස්සේ රෑ කෑම මේසෙට ඇරලා කන්න ලෑස්ති වෙද්දි ළහිරු යන්න හැදුවා. මං කිවුවා පුතේ කෑම ටිකක් කාලා යන්න කියලා. බැහැ ආන්ටි මං ගිහින් එන්නම් කියලා ළහිරු යන්න ගියා.
ඔය දරුවා මේ ගෙදරට ආපු මුල මට මැඩම්, මැඩම් කියද්දි මමමයි ඔය දරුවට කිවුවේ මට මැඩම් කියන්න එපා ඔයත් මගේ දරුවෙක් වගේ මට ආන්ටි කියන්න කියලා. ඔය ළහිරුගෙ අම්මගෙ කනට මේවා හොඳට ඇහිලා තියෙනවා.
පස්සෙ ගේට්ටුව වහන වෙලාවේ තමයි ළහිරු පුතා ආයෙත් අපේ ගෙදරට ආවේ. දරුවො හයදෙනා උඩට ගිහින් ටී.වී. එක බල බලා හිටියා. හැබැයි ඔය දේශපාලනඥයෙක් කියලා කියන කෙනෙක් කිවුවා තුන්වැනි තට්ටුවේ ළහිරු හිටියෙ කියලා. මේ ළහිරු පුතා නැතිවුණු ගෙදර තට්ටු තුනක් නැහැ.
විමල් රෑට කාලා වැඩකට කොළඹ ගියා. අපි හැමෝම නිදාගන්න ගියා.
උදේ නැඟිටලා බුදු පහන තියලා පිරිත් කියන එක මගේ පුරුද්ද. පහුවදා ඒ කියන්නේ ඔක්තෝබර් 26 වැනිදා උදේ වැඩකරන කෙනෙක්ට කිවුවා පුතාලා නැඟිටලා නැද්ද බලන්න කියලා.
ඔය ළමයි විභාගෙ ඉවර වුණාට පස්සේ පුරුද්දක් විදියට උදේ 9.00 පහුවෙනකම් හැමදාම නැඟිටින්නේ නැහැ.
මං පිරිත් කියලා ඉවර වුණා විතරයි උඩ ඉඳන් දීලක පුතා දුවගෙන ඇවිත් කිව්වා ආන්ටි ළහිරු අයියා නැඟිටින්නේ නෑ කියලා. මං කිවුවා මොන කෝලමක්ද..? මට දැන් ඕගොල්ලො මදිවට අලි බබ්බුත් නැඟිට්ටවන්න වෙලානේ. විහිළු කරන්නේ නැතිව නැඟිට්ටන් එන්න කියලා මං කිවුවා. ඒ වෙද්දි පුතත් උඩ ඉඳන් දුවගෙන ඇවිත් කිව්වා අම්මේ විහිළු නෙවෙයි ළහිරු අයියා නැඟිටින්නේ නෑ කියලා.
හැබැයි කියන්න ඕන දෙයක් තියෙනවා. ළහිරු නැඟිටින්නේ නැහැ කියලා උඩ ඉඳන් දුවගෙන ඇවිත් මට කිවුවේ අපේ දුව කියලා තමයි සමාජය ප්‍රචාරය ඇරියේ. ඒක තනිකර බොරුවක්. එදා දුව පාසල් ගියේ නෑ. ඒ සිදුවීම දැනගන්නකොටත් දුව පහළ කාමරේ නිදාගෙනයි හිටියේ. කලබලේ සද්දෙටයි දුව ඇහැරුණේ.
මෙහෙම පුතා කියද්දි මගේ හිතට ලොකු චකිතයක් දැනුණා. ඒ වෙලාවේ රූපිකා වගේම ළහිරු පුතත් කියපු දෙයක් මතක් වුණා. ඒ ළහිරු පුතාගේ තාත්තා, තාත්තගේ අයියා, මල්ලි මේ තුන්දෙනාම අවුරුදු හතළිහ, පනහ වගේ අඩු වයසින් මැරුණේ නිදි ඇඳේදිමයි හෘදයාබාධවලින් කියන දේ.
මාව තිගැස්සුණා. මං ෆෝන් එක අතට අරන් මුලින් කළේ රූපිකාට කතා කරන එක. රූපිකා ඉන්නේ එහා පැත්තේ. කියන පමාවට රූපිකත් දුවගෙන ආවා. අපි හැමෝම ළහිරු ළඟට යද්දි ළහිරු නිදි වගේ හිටියේ.
හැබැයි සමාජය අපිට පද හැදුවේ කාමරේ ඇතුළේ මැරිලා හිටියා කියලා. ඇත්ත කතාව ළහිරු නිදාගෙන හිටියේ ටී.වී. එක තියලා තියෙන ර්ණීනඥද චපඥච එකක බිම මෙට්ටයක් දාලා.
ඒ වෙලාවේ රූපිකා ළහිරුව බදාගෙන ඇඬුවේ “අනේ මැඩම් මගේ පුතාට මොකක් හරි වෙලා. තාත්තා නැතිවුණෙත් මෙහෙමමයි, කියලා.
ඒ වෙද්දි අසල්වැසි පිරිමින් කියන දෙතුන් දෙනෙක් තමන්ගේ බිරියන් හා එක්ක එතැනට ආවත් දරුවව රෝහලට අරන් යන්න මට උදව්වට එන්න කියද්දි ඒ කවුරුත් එන්න අකමැති වුණා. සමහර වෙලාවට සාක්ෂි දෙන්න වෙයි කියලා බය වෙන්න ඇති.
මං ඔය අතරේ වාහනේ ගෙනියන්න ඩ්‍රයිවර් කෙනෙක් හොයනකොට රූපිකා කෑගැහුවා අනේ මැඩම් ඩ්‍රයිවර් කෙනෙක් හොයනකන් මැඩම් ගන්නකො වාහනේ කියලා.
ඇත්ත තමයි රූපිකා කියන්නේ කියලා මං වාහනේට නැග්ගා. එතැන හිටිය මගේ පුතයි පුතාගේ යාළුවො දෙතුන් දෙනකුයි රූපිකයි ළහිරුව වාහනේට පටවගෙන ජයවර්ධනපුර රෝහලට අරගෙන ගියා.
කවදාවත් නොදැනුණු අමුතු හයියක් එදා මගේ හිතට ආවේ වාහනේ අරගෙන යන්න. ඩබල් සින්ගල් දාගෙන එක පිම්මෙ ජයවර්ධනපුර රෝහලට ගියා. මේ දරුවා ජීවතුන් අතර නැහැ කියන එක පිළිගන්න රූපිකා වගේම මමත් අකැමැති වුණා. හැකි ඉක්මනින්ම රෝහලට ගෙන ගියා. ඒ වනවිටත් ළහිරු නැතිවෙලා. රූපිකා එතැනදි මාව බදාගෙන ඇඬුවා.
ඇත්තටම ඒ දරුවගේ ජීවිතේ ගැන ඇතිවුණු දුක කියාගන්න බැහැ. මොකද මේ දරුවට මගේ ගේ ඇතුළෙදි මෙහෙම වෙන්න පෙර ආත්මෙක හෝ මේ දරුවා අපේ කෙනෙක් වෙන්න ඇති.
පසුව කළුබෝවිල රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා විවෘත තීන්දුවක් දුන්නා.
එතැන ඉඳන් අපි ලෝකෙන් අනන්ත අප්‍රමාණ නින්දා අපහාස අත්වින්දා. මට වගේම මගේ දුවට නොයෙකුත් අවලාද අහන්න සිදුවුණා.
මට ඒ හැම වෙලාවකම හිතුණේ අපට මොන අපහාස ආවත් අපට වඩා ලොකු දුකක් ඒ දරුවාගේ අම්මා විඳිනවා නේද..? අම්මෙක්ට දරුවෙක් අහිමි වීම තරම් දුකක් මේ ලෝකෙ තවත් තියෙනවද කියන එක. ඉතින් මේ නින්දා අපහාස මොනවද..? අපට නොකළ වරදකට හිරගෙදර යන්න වුණානම් ඒකටත් වඩා ලොකු වේදනාවක් මේ අම්මා විඳිනවනේ කියලා මම හිතුවා.
අපි වැඩිහිටියෝ විදියට එහෙම හිතුවට පුංචි හිත් හරි ඉක්මනට තැළෙනවා, පොඩිවෙනවා. මගේ දුවට රට්ටු හදපු කතා නිසා ඒ දරුවා අවසානයේ පාසල් යන්න බැහැ කියලා අඬන්න ගත්තා. පුතා ගත්තොතින් එකට හිටපු දරුවෙක් මේ විදියට ජීවිතයෙන් සමුගන්නවා ඔහු දැක්ක ප්‍රථම අවස්ථාව. එයාට ඒක හරි කම්පනයක් වුණා. එයා ලෙඩ වුණා.
ඒ දවස්වල දරුවො රෝහල් ගාණෙ අරන් යන එකයි කටඋත්තර දෙන්න අරන් යන එකයි ඇරෙන්න වෙන රාජකාරියක් නොතිබුණු තරම්. මේ විදියෙ දාහක් හැල හැප්පීම් මැද්දේ අපි මේ නින්දා අපහාස දරා ගනිමින් කොහොම ජීවත් වුණාද කියලා මටවත් තේරෙන්නේ නෑ.
එක වෙලාවක පුතා මාත් එක්ක කිව්ව වචන ටිකක් මගේ මතකයට එනවා. ඒ තමයි “අම්මේ ළහිරු අයියා වෙනුවෙන් අපට දුක් වෙන්න මේ රටේ මිනිස්සු වෙලාවක් දුන්නේ නෑ. අපට දුන්නු වධවලට අපිට ඒ තරම් මහන්සියි පොලිසි ගාණෙයි රෝහල් ගාණෙයි ගිහිල්ලා නේද අම්මේ..?” කියලා.
කොහොම වුණත් අපි බලාපොරොත්තු වුණා අපි දිහා කවුරු සැකයෙන් බැලුවත් මියගිය තමන්ගේ දරුවගේ ගෞරවය වෙනුවෙන් හෝ මගේ දරුව එහෙම නෑ කියලා ඒ අම්මා කියයි කියලා. නමුත් ඒ මවට තමන්ගේ දරුවා ගැන එවැනි විශ්වාසයක් හෝ තිබිලා නැහැ කියලයි මට නම් හිතෙන්නේ.
කවදා හෝ සත්‍ය ජයගන්න නිසා අපි තුළ කිසිදු බියක් තිබුණේ නෑ. පරීක්ෂණවලට හැකි උපරිමයෙන් දායක වුණා. ඇත්තටම කියනවා නම් මේ කාලෙදි වීරවංශ ගෙදර බලු පැටියගෙන් විතරයි කටඋත්තරයක් නොගත්තේ කියන්න පුළුවන්.
අපවාද, අවලාද, මඩ ප්‍රහාර ඉවසමින් අපි මේ වනතුරුත් නිහඬවයි හිටියේ. අපි මේ ඇත්ත හෙළිවන තුරු තැළුණා පොඩි වුණා. අපේ දුක අහන්න අපේ දුක කියන්න මාධ්‍යයක් අපිට තිබුණේ නෑ. මාධ්‍ය ඇත්ත කියන්න පස්ස ගැහුවා කියලා තමයි මට හිතෙන්නේ.
“මව්බිම”ට එක අතකින් ස්තූතියි. මේක ඝාතනයක් කියලා සමාජයට දෙන්න දඟලපු එකම මාධ්‍යයක්වත් මේක නිවැරැදි වුණහම මේක ස්වාභාවික මරණයක්, මෙහෙම දෙයක් වෙලා නෑ කියලා කියන්න හෝ මේ ජීවතුන් අතර ඉන්න අහිංසක දරුවො වෙනුවෙන් හෝ පෙනී සිටියෙ නෑ. එදා මේ මරණය හොඳහැටි වාර්තා කරන්න දඟලපු රාජ්‍ය මාධ්‍ය අද නිහඬයි.
ස්ථානය – නො. 50
දිනය – 2017-10-24
හෙළිදරව්ව – නීතිඥ ප්‍රේමනාත් ෙදාළවත්ත
තලංගම පොලිසිය හා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි පැවැත්වූ පරීක්ෂණවලට අනුව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ තමයි මේ නඩුව විභාග කළේ.
මේ ළහිරු ජනිත් තරුණයාගේ මරණය ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පෙරළෙද්දී මෙය මනුෂ්‍ය ඝාතනයක් යැයි කටකතා පැතිරී ගියා. විමල් වීරවංශගේ බිරිය ශෂී වීරවංශ, අවුරුදු 15ක් වයසැති දියණිය හා අවුරුදු 19ක් වයසැති පුතුද මේ නඩුවේ වින්දිතයන් බවට පත්වුණා.
කාන්තාවන්ගේ අයිතිවාසිකම් ගැන කතාකරන ආණ්ඩුවේම මැති ඇමැතිවරුන්ගේ නිර්දය විවේචනයට මුලින්ම ඉලක්ක වූයේ එම දියණියයි. දෙවැනුව තමයි ශෂී වීරවංශ ඉලක්ක වුණේ.
අන්තිමට ඒ දැරියට පාසල් පවා යෑමට නොහැකි තත්ත්වයක් උදා වුණේ. සුමාන දෙකක් ඒ දියණිය පාසල් ගියේ නෑ. පසුව 2016-11-04 වැනිදා අපි ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ගිහින් පැමිණිල්ලක් කළා දේශපාලන මඩගොහොරුවට මල් වගේ දරුවන් උපයෝගි කරගන්න එපා. කනගාටුවට කරුණ ඒ පැමිණිල්ලට අද වන තුරුත් කිසිදු පිළිතුරක් නැහැ.
නඩු තීන්දුව දෙන තුරු මෙය මනුෂ්‍ය ඝාතනයක්ද යන සැකය බොහෝ දෙනා තුළ තිබුණා. සිදුකළ විමර්ශන හා වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ අනුව නඩු තීන්දුව ලැබුණා.
2016 ඕ 45 48 නඩු වාර්තාව නීතිය ඉදිරියේ විභාග වෙමින් පැවැතියා.
මෙහිදී මූලික අවස්ථාවේ මරණ පරීක්ෂණයේදී මෘත ශරීරය පිළිබඳ පරීක්ෂණ, දුරකතන වාර්තා සමීක්ෂණය, වෛද්‍ය වාර්තා (ලුහුඬු) ආදිය මත විවෘත තීන්දුවක් දී තවත් කරුණු පිළිබඳ දීර්ඝ වශයෙන් පරීක්ෂණ කළා.
නඩු වාර 08කට වඩා මේ නඩු විභාග වුණා. නඩුව අවසන් වෙන්නේ 2017-09-19 වැනිදා.
අපරාධයක් වූ බවට කිසිදු සාක්ෂියක් එහිදී ඉදිරිපත් වුණේ නෑ. සියලු කරුණු සලකා බලා මේ මරණය හෘදයේ පේශිවල ආසාදනයක් හේතුවෙන් හටගත් කාඩියෝමයෝපති රෝගයට ගොදුරුව සිටීම නිසා හටගත් රෝගාබාධ නිසා සිදුවූ මරණයකැයි තීන්දු වුණා.
මේ රෝගය නිසා හෘදයේ මාංසපේශී ක්‍රියාත්මක වෙන්නේ නැතිව යනවා. රෝග ලක්ෂණ පෙන්නුම් නොකළත් පෙණහැල්ලේ වතුර පිරෙන්න ගන්නවා. හෘදයේ සංකෝචනය නැවතී හදිසියේ මැරී වැටෙන්නට පවා හැකි රෝගයක් ලෙස මේ රෝග තත්ත්වය පිළිබඳ නිගමනයකට එළැඹිය හැකියි.
මේ පුද්ගලයාගේ පෙණහැල්ලේ දීර්ඝ කාලයක් තිස්සේ වතුර පිරී ඇතිවන පල්මනරි ඉඩීම, රෝගයට ඔහු බඳුන් වී තිබෙනවා. එහිදී සිදුවුණු හෘදයේ ආසාදනයක් හේතුවෙනුයි මේ පුද්ගලයා මියගොස් ඇත්තේ කියා වෛද්‍ය වාර්තාවලින් තහවුරු වුණා.
සමහරු කිව්වා ඒ තරුණයට පහරදීලා කියලා. පටක වෛද්‍ය විද්‍යාවට අනුව කරන්න අවශ්‍ය සියලු පරීක්ෂණ ඒ සඳහා සිදුවුණා. පහර දීමක් නම් පටක තරල තුළ අභ්‍යන්තර ලේ වහනයක් විය යුතුය. නැතිනම් අභ්‍යන්තර රුධිර වහනයක් විය යුතුය. එහෙම කිසිවක් වෙලා නැහැ යැයි නිගමනය වුණා.
තවත් සමහරු කිව්වා මද්‍යසාර පාවිච්චි කරලා කියා. තවත් සමහරු කිව්වා ලිංගික උත්තේජන පෙති අධිමාත්‍රාවලින් අරන් කියලා. එහෙම කිසිවක් වෙලා නැහැ කියලා වෛද්‍ය වාර්තාවලින් සනාථ වුණා. එක් දේශපාලනඥයකු ප්‍රසිද්ධියේ මේ කතා කිව්වා.
ඒ පුද්ගලයාගේ රුධිරය, ඇස්වල ද්‍රාවණ, ආමාශයේ ඇතුළත තිබූ ආහාර ද්‍රව්‍ය පවා රස පරීක්ෂණයකට යොමු වුණා. ඒ වාර්තා හරහා ඔප්පු වුණා. මේ පරීක්ෂණ කටයුතු අධිකරණ වෛද්‍ය පී.පී. දිසානායකයි මෙහෙයුවේ.
මේ හේතුවෙන් ළහිරු ජනිත්ගේ සැකකටයුතු මරණය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බලා 2017-09-19 වැනිදා මෙය ස්වාභාවික මරණයක් සේ සලකා නඩු ගොනුව අවසන් කළා.
තමාටත් තම දරුවන්ටත් සිදුකළ අපහාසාත්මක ප්‍රකාශ පිළිබඳ වීරවංශ මහත්මිය ඉදිරියේදී ඇමැති රන්ජන් රාමනායක ඇතුළු පිරිසට විරුද්ධව නඩු මඟට බැසීමට සූදානම් බවත් නීතිඥ ෙදාළවත්ත මහතා අප හා පවසා සිටියේය.
හර්ෂනී අර්සකුලරත්න – මව්බිම