‘බදු සහන ගසා කෑ ව්‍යාපාරිකයින්ට’ එරෙහිව නීතිය අකුරට – රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

Spread the love

ජනතාවට උහුලා ගත නොහැකි තරමට බදු බර පැටවූ විපක්ෂය, වත්මන් රජය බදු බර අඩු කරන විට එය විවේචනය කිරීම හාස්‍යයට කරුණක් බව සංවර්ධන බැංකු සහ ණය යෝජනා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි.

පාලන බලය හෙබ වූ එක්සත් ජාතික පක්ෂය පමණක් නොව එවකට බදු බර වෙනුවෙන් කිසිවක් කතා නොකළ ජනතා විමුක්ති පෙරමුණ ද ආණ්ඩුවේ බදු සංශෝධන විවේචනයට ලක් කරමින් සිටින බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

වත්මන් රජය බලයට පත්ව පැවැති පළමු කැබිනට් හමුවේදීම ජනතාවට සහන සැලසීම උදෙසා අනුමත කර  ගැසට් කරන ලද වැට් බද්ද 8% දක්වා පහත හෙලීම ඇතුළු තීරණ කිහිපයක් පසුගිය දා පාර්ලිමේන්තුවේදී සම්මත විය. එහි දී විපක්ෂයේ මන්ත්‍රීවරුන් පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් සේමසිංහ අමාත්‍යවරයා සඳහන් කළේ  විපක්ෂය කිසිදු අවස්ථාවක ජනතාව සමග සිට ගැනීමට අපොහොසත් වූ බවයි.

රජය වැට් බද්ද 8% දක්වා අඩු කිරීමට තීරණය කළේ භාණ්ඩ මිල පහත හෙලීමට ය. එසේම සෙසු බදු සහනවලින් ද සිදු වන්නේ ජනතාව අත මුදල් ඉතිරිවී ඔවුන්ගේ මිල දී ගැනීමේ හැකියාව ඉහළ යාමයි.

කෙසේ වෙතත් බදු සහන ක්‍රියාත්මක වීම පිළිබඳ රජය නිරන්තරයෙන් විමසිල්ලෙන් පසුවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ වැට් ඇතුළු බදු සහන ජනතාවට ලබා නොදෙන ව්‍යාපාර සහ ව්‍යාපාරිකයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි.

රට පාලනය කරන සමයේ දී ද ජනතාවගේ සිතුම් පැතුම් හඳුනා නොගෙන පීඩාකාරී බදු ක්‍රමවේදයන් ඔස්සේ යමින් රජයේ ආදායම පමණක් වැඩි කර ගැනීමට උත්සහ දැරූ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ බලවේග අද විපක්ෂයේ සිටිය දීත් උත්සහ දරන්නේ ජනතාවට එරෙහිවීමට බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

බදු අඩු කිරීම හේතුවෙන් රටට අහිමි වන ආදායම ගැන පමණක් විමසන විපක්ෂයට දීමට ඇති පිළිතුර වන්නේ ජනතාව සතු සෑම මුදලක් ම බදු වශයෙන් අය කර ගෙන රජය ශක්තිමත් වීම වත්මන් රජයේ අරමුණ නොවන බවයි. නාස්තිය හා දූෂණය අවම කරමින් රටේ අනවශ්‍ය වියදම් කප්පාදුව හා ජනතාව අත මුදල් ඉතිරිවීමෙන් ඒවා නැවත රටේ ආර්ථික ක්‍රියාදාමයට ඇතුළත් කර ගැනීම රජයේ ඉලක්කය බව ද හෙතෙම පෙන්වා දුන්නේ ය.

පක්ෂයක් කිසියම් පසුබෑමකට ලක් වූ පසු සිදු කළ යුත්තේ සිය වැරැදි අඩුපාඩු සකස් කරගෙන නැවත ජනතාව අතරට යාම මිස පාලන බලයේ සිටිය දී කළ වැරැදි විපක්ෂයේ සිටිය දීත් කරමින් තව තවත් ජනතාවගෙන් ඈත්වීම නොව බව සේමසිංහ මහතා කියා සිටියි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එහෙත් එක්සත් ජාතික පක්ෂය කිසි දා පාඩම් ඉගෙන නොගන්නා බව ඔවුන්ගේ වත්මන් ක්‍රියාකාරකම් හමුවේ පැහැදිලි වෙමින් ඇති බවයි.

එපමණක් නොව එක්සත් ජාතික පක්ෂයේ ම මාර්ගයේ ගමන් කරමින් ජනතාවට එරෙහිවීමේ පාපයට ජනතාව ජනතා විමුක්ති පෙරමුණට පසුගිය ඡන්දයේ දී නිසි පාඩම් ඉගැනුවේ 3% ඡන්ද ප්‍රතිශතයකට ඇද දමමිනි. ඔවුන් ද තව දුරටත් එක්සත් ජාතික පක්ෂය සමග කටයුතු කිරීමට සූදානම් වන්නේ නම් සිදු වන්නේ මීළග මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව ජනතා විමුක්ති පෙරමුණෙන් තොර කලාපයක් බවට පත්වීම බව ද සේමසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන් රට තුළ ගෙන යන ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට තව දුරටත් ජනතා ප්‍රසාදය හිමි වෙමින් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා සඳහන් කරන්නේ එක්සත් ජාතික පක්ෂය සමග ජනතා විමුක්ති පෙරමුණ එක්ව ඉදිරි මහ මැතිවරණයේ දී ආණ්ඩුවේ ලක්ෂ 69 ජන්ද ප්‍රමාණය තවත් ඉහළ නැංවීමට සහය දක්වමින් සිටින බවයි.

RSL

Related Posts