තායිලන්තය: විසි හය දෙනෙකු ඝාතනය කළ හමුදා භටයා මරා දැමේ

Spread the love

තායිලන්තයේ නකොන් රචසිමා නගරයේදී පුද්ගලයන් විසි හය දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ හමුදා භටයා ආරක්ෂක අංශ විසින් මරා දමනු ලැබ ඇති බව එරට පොලිසිය පවසයි.

සෙනසුරාද (පෙබරවාරි 08) හමුදා කඳවුරකින් ගිනි අවි සොරා ගැනීමට ප්‍රථම ජක්‍රපාන්ත් තොම්මා නමැති හමුදා භටයා ඔහුගේ අණදෙන නිලධාරියා මරා දමා තිබිණි.

ඉන් නොනැවතුණු සැකකරු නකොන් රචසිමා හි වීදිවල සහ වෙළෙඳ සංකීර්ණයක සිටි පුද්ගලයන්ට වෙඩි තැබීය.

සමාජ ජාල වෙත වීඩියෝ මුදා හල හමුදා භටයා ගොඩනැගිල්ල තුළට කොටු කිරීමෙන් පසු වෙඩි තබා මරා දමනු ලැබිණි.

වෙඩි ප්‍රහාරයෙන් විසි දෙනෙකු මරණයට පත්ව ඇති බව මුලින් ලැබුණු වාර්තාවලින් කියවිණි. පනස් හත් දෙනෙකු තුවාල ලබා තිබේ.

“මෙය තායිලන්තයේ පෙර නොදුටුවිරූ දෙයක්. මෙය එවැනි අවදානම් තත්ත්වයක් ඇති වූ අවසන් වතාව විය යුතුයි,” යනුවෙන් නකොන් රචසිමා හි රෝහලක ප්‍රතිකාර ලබන තුවාලකරුවන්ගේ සුවදුක් විමසීමට ගිය තායිලන්තයේ අගමැති ප්‍රයූත් චන්-ඔචා පැවසීය.

දේපල වෙළෙඳාමකදී තමන් රවටා ඇතැයි සිතා ඒ හේතුවෙන් හටගත් එදිරිවාදිකමක් ප්‍රහාරයට හේතු වී ඇතැයි පෙනෙන්නට ඇති බව අගමැතිවරයා කියා සිටියේය.

ඉරිදා උදෑසන සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ අදහස් දක්වමින් මහජන සෞඛ්‍ය පිළිබඳ ඇමති අනුතින් චාර්න්විරකුල් ප්‍රහාරය සම්බන්ධයෙන් ක්‍රියාකළ ආකාරය පිළිබඳ ආරක්ෂක අංශ වෙත ස්තූතිය පළ කළේය.

වෙළෙඳ සංකීර්ණයේදී සිදු වූයේ කුමක්ද?

Thai police and security forces move into the Nakhon Ratchasima shopping centre, 9 February 2020
වෙළෙඳ සංකීර්ණය තුළදීම හමුදා භටයා කොටු කර ගැනීමට ආරක්ෂක අංශ සමත් විය

තායිලන්ත වේලාවෙන් ඉරිදා උදෑසන 03:00 පසු වී මදකට පසු, ගොඩනැගිල්ල වටලා හමුදා භටයා ආරක්ෂිත ස්ථානයකට පළවා හැරීමට හමුදා අංශ උත්සාහ ගැනීමත් සමග වෙඩි හඬ ඇසිණි.

පුද්ගලයන් ගණනාවක් වෙළෙඳ සංකීර්ණයෙන් පිටතට දුව ආ අතර තවත් පුද්ගලයන් ප්‍රාණ ඇපයේ තබා ගෙන ඇති බවට බිය පළ විය.

ඉරිදා 09:30 වන විට හමුදා භටයා වෙඩි තබා මරා දමන ලද බව පොලිසිය තහවුරු කළේය. මෙහෙයුම සිදු වූ ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් සවිස්තරාත්මකව තොරතුරු වාර්තා වී නොමැත.

තිස් දෙහැවිරිදි හමුදා භටයා ගොඩනැගිල්ලේ පිටුපසින් පැන යාමට උත්සාහ ගෙන ඇතැයි කලින් ලැබුණු වාර්තාවලින් කියවිණි.

ප්‍රහාරය නවතා ආරක්ෂක අංශ වෙත භාර වීමට නම්මවා ගැනීමේ අරමුණින් සැකකාර හමුදා භටයාගේ මව ද වෙළෙඳ සංකීර්ණය වෙත ගෙන එනු ලැබිණි.

Thai security forces evacuate people from the Terminal 21 shopping centre in Nakhon Ratchasima. Photo: 9 February 2020
‘ටර්මිනල් 21’ වෙළෙඳ සංකීර්ණයේ සිටි ජනයා පිටතට ගෙන යමින්
People fleeing the shopping centre
ප්‍රහාරයෙන් බේරී සිටීමට මේස යට සැඟව සිටි අයුරු ඇතැම් පුද්ගලයෝ විතර කළහ

නිරුපද්‍රිතව ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණි පුද්ගලයන් අතර සිටි කාන්තාවක් ඇය සහ තවත් පිරිසක් සිව් වෙනි මහලේ පිහිටි නාන කාමරයක සැඟවී සිටි ආකාරය විස්තර කළාය. පසුව දෙවන මහලට පැන ගොස් අවන්හලක මේසයක් යට පැය තුනක කාලයක් සැඟව සිට ඇති ඇය හමුදා සාමාජිකයන් පැමිණ ආරක්ෂිත ස්ථානයක් කරා රැගෙන යාමට පෙර වෙඩි හඬ හතරක්වත් ඇසුණු බව සඳහන් කළාය.

නකොන් රචසිමා හි වෙසෙන ඉංග්‍රීසි භාෂා ගුරුවරයෙකු වන චාලි ක්‍රෝසන් බීබීසී වෙත කියා සිටියේ සාමාන්‍යයෙන් සාමකාමී නගරයක් වන එහි “වීදි මත මළසිරුරු”තිබුණු බවය.

පැය ගණනාවක් පුරා පැවති ප්‍රහාරයෙන් මරණයට පත් පිරිස අතර සිය පෙම්වතියගෙන් කලක් ඉගෙනුම ලැබූ සිසුවකු ද සිටි බව ඔහු සඳහන් කළේය.

ප්‍රහාරයේ ගමන් මග

තායිලන්ත වෙඩි තැබීම

සෙනසුරාදා සවස 03:30 ට පමණ සුවාතම් පිතක් හි හමුදා කඳවුරේදී අණදෙන නිලධාරියා මරා දමමින් ප්‍රහාරය ආරම්භ විය.

‘බැංකොක් පෝස්ට්’ වාර්තා කළේ අණදෙන නිලධාරියාගේ නැන්දනිය සහ තවත් හමුදා භටයෙකු ද ඝාතනය කර ඇති බවය.

ජීප් රථයකට ගොඩ වූ සැකකාර හමුදා භටයා ඊට පෙර ගිනිඅවි සහ ජීව උණ්ඩවලින් සන්නද්ධ වී තිබේ.

සවස 06:00 ට පමණ ‘ටර්මිනල් 21’ වෙළෙඳ සංකීර්ණය වෙත ළඟා වීමට පෙර ස්ථාන ගණනාවක දී ඔහු විවෘත වෙඩි තැබීම් කර ඇත.

සැකකරු ජීප් රථයෙන් පිටතට පැමිණ වෙඩි තබන ආකාරයත් ජනතාව දුව යන අයුරුත් දැක්වෙන වීඩියෝ දර්ශන එරට මාධ්‍ය විසින් පළ කරනු ලැබීය.

වෙළෙඳ සංකීර්ණය තුළ ඔහු රයිෆලයක් ඉහළට ඔසවාගෙන සිටින අයුරු CCTV දර්ශන ඔස්සේ දැක ගන්නට ලැබිණි.

සැකකරු සමාජ මධ්‍යයේ පළ කළේ මොනවාද?

Thai police put a wanted poster on their Facebook page
සැකකරු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කර ඇති බව සඳහන් කරමින් තායිලන්ත පොලිසිය සිය ෆේස්බුක් පිටුවේ පළ කළ ඡායාරූපයක්

ප්‍රහාරය අතරතුර ඔහු සිය සමාජ ජාල ගිණුම් ඔස්සේ අදහස් පළ කළේය. තමන් යටත් විය යුතුදැයි ෆේස්බුක් ඔස්සේ අදහස් පළ කරමින් ඔහු අසා තිබිණි.

ජීව උණ්ඩ සමග පිස්තෝලයක ඡායාරූපයක් ඔහු ඊට පෙර පළ කර තිබූ අතර “මරණය වැලැක්වීමට කාටවත් බැහැ” යනුවෙන් එහි සඳහන් කර ඇත.

ෆේස්බුක් ආයතනය විසින් මේ වන විට ඔහුගේ ගිණුම ඉවත් කරනු ලැබ තිබේ.

විපතට පත් තායිලන්ත වැසියන් වෙත කණගාටුව පළ කරන ෆේස්බුක් ආයතනය “මෙවැනි කෘර ක්‍රියාවල යෙදෙන මිනිස්සුන්ට ෆේස්බුක් හි තැනක් නැහැ වගේම මේ ප්‍රහාරය අගය කරන්න හෝ ඊට සහාය දෙන්නත් අපි කාටවත් ඉඩ තබන්නේ නැහැ” යනුවෙන් සඳහන් කර ඇත.

text copied by bbc sandesaya

RSL

Related Posts