කලා විෂයයන් හෑල්ලුකිරිම සම්බන්ධව සිංහල භාෂා පෙරමුණේ විරෝධය

Spread the love

පසුගිය දින අමාත්‍යාංශ සභාපති වරුන් හා අධ්‍යක්ෂකවරුන් පත් කිරිමේ හමුවේ දි ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කළ කතාවේ දි මාධ්‍ය තුළින් අනාවරණය කළ පරිදි සිංහල, පාලි, ඉතිහාසය හා පුරා විද්‍යා විෂයයන් හැදැරිම රටේ ආර්ථිකයට, සංවර්ධනයට පලදායි නොවන බවට හැගවෙන අදහසට බලවත් සේ සිංහල භාෂා පෙරමුණ විරෝධය පළකර සිටී.

කලා විෂය ධාරාවන්ගෙන් රටකට වන පලදායිත්වය කිසිදා කිරා මැනබැලිය නොහැකිය. “ඇසට නොපෙ‍නෙන සිතට වැටහෙන පුදුම බලයක් ඇත කලාවට“යන කියමන කදිම සාක්ෂියකි. මානව දයාව, සාරධර්ම, සිරිත් විරිත් සියල්ල රදා පැවැත්ම තිරණය වන්නේත් රටක උරුම අනන්‍යතාව ඔප්පු වන්නේත් කලා විෂය ධාරාවෙන් යැයි එම පෙරමුණේ සභාපති ශාස්ත්‍රපති බෝසෙත් කළහේපතිරණ මහතා පැවැසිය.

නව රජය හැට නව ලක්ෂයක් ජනතාව බලයට පත් කලේ දේශියත්වය, ජාතික උරුමය, අපේකම,සුරක්ෂිත කිරිමේ අධිටනිනි.එහෙත් රටේ නායකත්වය තුළින් සිංහල භාෂාව හැදෑරිම, පාලි භාෂාව හැදැරිම, පුරා විද්‍යව හැදෑරීම එකී විෂයයන්හි උපාධිධාරින් බිහිවීම පලක් නැති බව ප්‍රකාශ කිරීම කණගාටුවට කරුණකි. වෘත්තිය පුහුණුවක අවශ්‍යතාව කර්මාන්ත කරණයට බද්ධ විමේ අවශ්‍යතාය පිළිබදව කතා කරයි. මෙයින් හැගෙන්නේ ශ්‍රමිකයන්, සෝල්දාදුවන් වැනි පිරිසක් පමණක් රටට අවශ්‍ය බවයි.

කලා විෂය ධාරාවේ නිසිපල ලබන්නනම් එකී විෂයීය පුහුණුව ලැබූවන් නිසිතැන ස්ථාන ගත කළ යුතුය. ගොවියන් ගොවිබිම් වලට සේම වෛද්‍යවරුන් රෝහල් වලටද යොමු කළ යුතුය. කලාකරුවන්ට, නිර්මාණශීලි කලා විෂය ක්ෂේතුය ලබාදිය යුතුය. එහෙත් සිදු වී ඇත්තේ වෛද්‍යවරුන්ට ආණ්ඩුකාරධූර, රූපවාහිනී සංස්ථා සභාපතිකම් ලබාදීමය. මේ තුළින් කලාවට දොස් කීම හා සමාජයේ කඩා වැටීමට බැණ වැදීමෙන් පලක් නැත.

අධ්‍යාපනයේ මුලික අරමුණ වන්නේ රැකියා වෙළෙදපොළට ශ්‍රමිකයක් බිහි කිරිම නොවන බව අවබෝධ කරගත යුතුය. නැණවතුන්, බුද්ධිමතුන්, පර්යේෂකයන් ගවේෂකයන් බිහි කිරිම අධ්‍යපනය තුළින් අඛණ්ඩව සිදුවන්නකි. ගුණ ගරුක පුරවැසි පරම්පාරවක් බිහි කිරිමට දායක වෙයි. එහෙත් මේ සම්බන්ධව විශ්ව විද්‍යාල මට්ටමින්  කිසිදු හඩක් නොනැගීම කණගාටුවට කරුණකි. පාලි භාෂාව පලක් නැහැ කියන විට ත්‍රිපිටකයට අත් වන්නේ කුමන ඉරනමක් ද? පිරිත් දේශනාව පත්වන්නේ කුමකට ද? යන්න ප්‍රශ්න කෙරෙයි. මේ පිළිබදව මහනායක හිමිවරුනගේ අදහස් දැක්විමක් රටේ ජනතාව බලාපොරොත්තු වෙයි. බළධාරින් මේ තුළින් බලාපොරොත්තු වන්නේ කිසිවක් නොව පෞද්ගලක විශ්ව විද්‍යාලවල අවශ්‍යතාව ඉටු කිරිමකි. ඔහුන්ගේ වාණිජ පාඨමාලාවලට දරුවන්ව උසස් පෙළින් පසුව පෙළඹවීමකි. රාජ්‍ය විශ්ව විද්‍යාලවලින් කලා විෂය පාඨමාලා කප්පාදු කිරිමේ අවශ්‍යතාව සදහා දියත් කළ පළමු වෙඩිමුරය බව අවබෝධ කරගත යුතුය.

ලෝකයේ අභිමානවත් ජාතියක් වුයේ ශ්‍රි ලංකාව සතු වු ඓතිහාසික උරුමය හේතුවෙන් මිස වාණිජ වෘත්තිය තනතුරු හා ව්‍යාපාර නොවන බැව් සිහි තබා ගත යුතුය. සිංහලයා සතු ඔප්පු වන්නේ සිංහල භාෂාව අරිසෙන් අහුබුදු ලොවට කියා සිටියේ එහෙයිනි. වසර දහස් ගණනක අපේ උරුමය මහචාර්ය රාජ් සෝමදේවයන් අද ලොවටම පෙන්වා දෙමින් සිටියි. අපේ දේශප්‍රේමීයත්වය, අපේ දේශාභිමානය හදවත් තුළ ලියලන්නේ මෙවන් විෂයෙහි කාර්ය භාරයෙන් මිස වාණිජ ව්‍යාපෘති වලින් නොවන බැව් ද අවබෝධ කරගත යුතුය. එදා තිස් වසරක යුද්ධය සොල්දාදුවා අත ආයුධය රැදුනත් ජයග්‍රහණය කරන්නට රණවිරුවා තුළ සහ ස්වදේශිකයා තුළ වීරත්වය ඇති කළේ සාහිත්‍යයීක වීර රසයෙන් හා ධාර්මික ආධ්‍යාත්මික ශක්තියෙන් මිස වාණිජ ව්‍යාපෘති වල පදනමින්  නොවන බවද වැඩිදුරටත් බෝසෙත් කළහේපතිරණ මහතා පැවසීය.

 අප රජයට බල කර සිටිනවා ආනගත දරු පරම්පාරවට මෙවැනි හරවත් මිල කළ නොහැකි කලා විෂය ධාරාවන් කප්පාදු නොකට නිසි පිළිගැනිමට හා ගෞරවයකටපත් කර දෙන ලෙස.

මෙම අවස්ථාවට ලසන්ත බණ්ඩාර ශ්‍රිමාල් දැඩිගම යනප්‍රවීණ පුරාවිද්‍යාව හා ඉතිහාසය  දේශකවරුද සහභාගී වූහ.

RSL

Related Posts