ආණ්ඩුවට ඇඟිල්ල දික්කරන්න තරම් චෝදනාවක් විපක්ෂයට නෑ – ඇමැති ඉන්දික

Spread the love

රට තුළ අද ශක්තිමත් විපක්ෂයක් නොමැති බවත්, විපක්ෂය රනිල් පිල හා සජිත් පිල ලෙස පිල් දෙකකට බෙදී ඇති බවත් නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.   ආණ්ඩුවට ඇගිලි දිගුකර පෙන්වීමට තරම් චෝදනාවක් අද විපක්ෂයට සොයාගත නොහැකි බවද අමාත්‍යවරයා පැවසීය.  

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ දේශීය උළු කර්මාන්ත හිමියන් සමග පැවති විශේෂ හමුවකට  සහභාගී වෙමිණි. මෙම හමුව පුත්තලම දිස්ත්‍රික්කයේ වයික්කාල, රිවෝරිච් හෝටලයේදී පැවැත්විණි.      

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

 “අපේ ඉලක්කය මෙරට නිවාස නොමැති ජනතාව වෙනුවෙන් නිවාස අමාත්‍යංශය හරහා නිවසක් ලබා දීමයි. විෂය භාර ඇමතිවරයා ලෙස අගමැතිතුමාටත්, රාජ්‍ය ඇමතිවරයා ලෙස මටත් පැවරුනු වගකීම වූයේ අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නිවාස ඉදිකිරීම සදහා අමාත්‍යංශය මෙහෙය වීමයි. ඒ සදහා කෙටිකාලීන හා දිගුකාලීන සැලසුම් සකස් කරන විට අපේ පළමු සැලැස්ම වූයේ නිවාස නොමැති අසරණ දුගී දුප්පත් ජනතාව සදහා ‘ගමට ගෙයක්’ ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමයි.

මේ හරහා ග්‍රාමසේවා වසමකට එක් නිවසක් වශයෙන් මුළු රටේම නිවාස 14,022 ක් ඉදිකරනවා. මේ සදහා අගමැතිතුමා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව අනුමත වීමෙන් පසුව මෙම වැඩසටහන පිළිබදව උපදෙස් ලබා ගැනීමට මා එතුමාව හමු වුණා. ‘අගමැතිතුමනි, උතුරු නැගෙනහිර නිවාසවලට නම් උළු සෙවිලි කරන්න වෙනවා. නමුත් ගාණ ටිකක් සැරයි’ කියා මා එහිදී අගමැතිතුමාට පැවසුවා. එවිට අගමැතිතුමා ප්‍රකාශ කළේ ‘කොච්චර මුදල් ගියත් කමක් නැහැ. නිවාස සියල්ලටම උළු සෙවිලි කිරීමට කටයුතු කරන්න’ කියායි. අගමැතිතුමාට කර්මාන්ත පිළිබදව මනා දැනුමක් තිබෙනවා. එම නිසා දේශීය උළු කර්මාන්තයට අතහිත දීමක් ලෙස අප ඉදිකරන නිවාසවලට උළු සෙවිලි කිරීමට අවස්ථාව උදා වුණා.  

අද තියෙන්නේ මනා දැක්මක් සහ දර්ශනයක් සහතිව වැඩ කරන ආණ්ඩුවක්. පසුගිය ආණ්ඩුවේ අපි එය දුටුවේ නැහැ. අපි එදා උළු කර්මාන්ත හිමියන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් හිටපු නිවාස ඇමතිවරයාගේ අවධානයට යොමු කළා. රජයේ නිවාස වැඩසටහනට දේශීය උළු හිමියන්ගෙන් උළු ලබා ගන්නා වැඩපිළිවෙලක් සකස් කරන්න කියා එදා අපි එතුමාගෙන් ඉල්ලා සිටියා. එහිදී එතුමා පැවසුවේ, නිවාසවලට උළු සෙවිලි කරනවාට වඩා සීට් සෙවිලි කළාම පරිසරය ආරක්ෂා වනවා කියායි. වත්මන් විපක්ෂ නායකයාට තියෙන්නේ මෙවැනි දැක්මක්.

අපි ආණ්ඩුව ලබා ගත්තට වඩා එතුමාගෙන් රට ගලවා ගැනීම ගැන සතුටු වෙන්නට ඕන. කිසිම කළමනාකාරීත්වයක් නැති නායකයෙක්. ආණ්ඩුවක් පත් වුණාම තිබෙන ලොකුම තර්ජනය විපක්ෂයයි. පසුගිය ආණ්ඩුව බලයට පත්වූ දින සිටම අපි විපක්ෂය ලෙස රටේ ප්‍රශ්නවලට අරගල කළා. එදා අරගල කරන්න අපට හේතු තිබුණා. මහ බැංකු කොල්ලයේ සිට රාජ්‍ය සම්පත් විකිණීම දක්වා පෙන්වීමට විවිධ චෝදනා ඇති තරම් තිබුණා. එම නිසා එදා විපක්ෂය බලවත් වුණා. අද විපක්ෂය බලවත් වී ඇත්තේ පිල් දෙකකට පමණයි. ඒ රනිල් පිල සහ සජිත් පිල ලෙසයි. අද සිරිකොතට වෙලා ගහගන්නවා ඇරෙන්න රටේ වැඩපිළිවෙලට යෝජනාවක් දෙන්න විපක්ෂය අසමත් වෙලා. මේ ආණ්ඩුවට ඇගිල්ල දිගු කර පෙන්වන්නට තරම් චෝදනාවක් අද නැහැ.  

ජනාධිපතිතුමා අද නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කර තිබෙනවා. තාප්පයක් ගානේ පෝස්ටර් ගහනවා වෙනුවට තරුණයින් චිත්‍ර අදිමින් රට ලස්සන කරනවා. අද තරුණයෝ තම උත්සහයෙන් පුරන් වුනු කුඹුරු අස්වද්දන්න පටන් ගෙන තිබෙනවා. ජනාධිපතිතුමාගේ පරිවාර රථ සහ කාර්ය මණ්ඩලය අඩු කරමින් රටට ආදර්ශයක් ලබා දී තිබෙනවා. මුදල් විශාල වශයෙන් ඉතිරි කර තිබෙනවා. මෙවර නිදහස් උත්සවයත් පැවැත්වුණේ චාම් ආකාරයටයි.

පසුගිය ආණ්ඩුව එදා නිදහස් උත්සවයේදී තරුණ ළමයි ගෙන්වා ලැප්ටොප් දර්ශනයක් දැම්මා. ඒ සදහා ලැප්ටොප් වෙනමම මිලදී ගත්තා. පසුගිය ආණ්ඩුවේ තිබුණු නාස්තිය එයයි.  ප්‍රතිරූපය නංවනවා කියා 2015 ට පෙර පැවති රජය ගෙදර යවපු අය ඊට දෙගුණයකට, තෙගුණයකට එහා ගොස් තමන්ගේ ප්‍රතිරූපය නංවා ගන්න කටයුතු කළා. මහින්ද මහත්තයට අප්පච්චි කියා කිව්වා. නමුත් 2005 ට කලින් අසූ ගණන්වල ජනාධිපති උත්මාණන් හිටියේ. එදා ඵලකයක් විවෘත කරන විට එහි සදහන් කළේ රණසිංහ ප්‍රේමදාස උතුමාණන් කියායි.

අද රටට අවශ්‍ය දේශපාලන සංස්කෘතියක් නිර්මාණය වී තිබෙනවා. අද ජනාධිපතිතුමාව බොහෝ අය අගය කරනවා. සජිත් මහත්තයා කියනවා ජනාධිපතිතුමා යටතේ එයාට අගමැතිකම කරන්න පුළුවන් කියා. සජිත් මහත්තයා මැතිවරණ සමයේ වේදිකාවලදී මොනවා කිව්වුත්, ජනාධිපතිතුමාගේ වැඩපිලිවෙල හොදයි කියා අද එතුමත් ප්‍රකාශ කරනවා. රජයේ නිවාස වැඩසටහනට උසස් ප්‍රමිතියෙන් යුතු උළු ලබා දෙමින් උළු හිමියන්වන ඔබගේ සහය අපට ලබා දෙන්න කියා මා ඉල්ලා සිටිනවා. එක නිවසකට උළු කැට 1,200 ක පමණ ප්‍රමාණයක් අව්‍යශ වනවා. නිවාස 14,022 ටම එම ප්‍රමාණය අවශ්‍යයි. ඉදිරි අයවැය තුළින් දේශීය උළුමෝල් හිමියන් සදහා සහනදායි පොලී ණය මුදලක් ලබා දෙන්න කටයුතු කරන්නට කියා මා ජනාධිපතිතුමාට යෝජනා කරනවා” යනුවෙන්ද පැවසීය.

දේශීය උළු කර්මාන්ත හිමියන් මුහුණ දෙන ගැටළු පිළිබදව මෙහිදී අමාත්‍යවරයා දැනුවත් කළ අතර ඒ පිළිබදව ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සමග සාකච්ඡා කර ඉදිරියේදී ඊට කඩිනමින් විසදුම් ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.  

මෙම අවස්ථාවට සමස්ත ලංකා මැටි සෙවිලි උළු නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති බැප්ටිස් ප්‍රනාන්දු මහතා හා එහි නිළධාරීන් සහ ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් පිරිසක්ද සහභාගී වූහ.

RSL

Related Posts