මෙරට ගොවිබිම් ඇසුරෙන් නෙළාගන්නා ආහාර බෝග අස්වනු ප්‍රමාණයෙන් අති විශාල ප්‍රතිශතයක් පරිභෝජනයට පෙරාතුව අපතේයාම සිදුවන බව විවිධ මාධ්‍ය ඔස්සේ වසර පුරාම අපට අසන්නට හා දකින්නට ලැබේ.
ක්ෂේත්‍රයේදී වන සතුන්ගෙන් සිදුවන හානියට පරිබාහිරව මෙලෙස ආහාර බෝග නාස්තිය සිදුවන්නේ අස්වනු නෙළා ගැනීම, එක්රැස් කිරීම, ගබඩාකිරීම, හැසිරවීම, බෙදා හැරීම, අලෙවියට තැබීමේ ස්වරූපය හා පරිභෝජන කිරීමට සැකසීම යන අවස්ථාවන්හිදීය.
මෙලෙසින් සිදුවන අපතේයාම අවම කර ගැනීම උදෙසා සෘජුවම අලෙවි කළ නොහැකි හා අතිරික්ත ආහාර බෝග අස්වනු අගය එකතු කරන ලද ද්විතීයික නිෂ්පාදන ලෙසින් හෝ ක්ෂණික පරිභෝජනයට උචිත ආකාරයෙන් සකසා වෙළදපොොළ වෙත ප්‍රවේශ කරවීම එක් සාර්ථක පිළියමක් ලෙස පෙන්වා දිය හැකිය. එමෙන්ම අපතේයාම හා නාස්තිය අවම කරගැනීම සදහා නිෂ්පාදනය කරගත් අස්වනු හා සකසාගත් ආහාර යෝග්‍ය ලෙස ඇසුරුම් කර අලෙවි කිරීම ද ඊට තිරසාර විසඳුම් ක්‍රමවේදයක් බව පැවසිය හැකිය. ඒ ඔස්සේ ආහාර නිෂ්පාදනයන්හි සුරක්ෂිතතාව මෙන්ම ඒවායෙහි නිමි අගය ඉහළ නංගවා ගැනීමටද හැකියාව පවතී.
දේශීය වශයෙන් සකස්කල ආහාර ද්‍රව්‍යයන්හි ඉල්ලුමේ අඛණ්ඩව සිදුවන වර්ධනය මත මෑත කාලීනව මෙරට ආහාර ඇසුරුම් කර්මාන්ත අංශය පුළුළ් වෙමින් පවතින බව දැකගත හැකිය. එසේ වුවද අතිබහුතරයක් වූ එවැනි ඇසුරුම් ක්‍රම කෙතරම් දුරට යෝග්‍ය දැයි හඳුනාගත හැක්කේ එවැනි ද්‍රව්‍යයක් ආහාරයට ගන්නා අවස්ථාවේදී පමණි. එහෙයින් ඒ උදෙසා සෞඛ්‍යාරක්ෂිතව ක්‍රමවත් ඇසුරුම්කරණ ක්‍රමවේද අනුගමනය කිරීමේ ප්‍රමිතිගත අවශ්‍යතාව වඩාත් ඉස්මතුව ඇත.
එබැවින් සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ඇසුරුම්කරණ ක්ෂේත්‍රයට බලපාන සීමාවන් හා ඇසුරුම්කරණ ක්‍රියාවලියේ යෙදවුම් භාවිතය පිළිබඳව කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නිරතවූවන් මෙන්ම ආහාර පාන සැකසුම් කර්මාන්තයට යොමුවන නව ව්‍යවසායකත්ව නිසි පරිදි දැණුවත් කිරීමට හා ඒ කෙරෙහි යොමු කිරීමට අප වඩාත් උත්සුක විය යුත්තෙමු.
වර්මාන ව්‍යවසායකයින් දැනට මුහුණ දී ඇති බාධක
මෙහිදී දේශීය වශයෙන් ආහාර බෝග නිෂ්පාදන ඇසුරුම් කර්මාන්ත අංශයේ අවශ්‍යතා සපුරාලීමේදී වර්මාන ව්‍යවසායකයින් දැනට මුහුණ දී ඇති බාධක විසඳීම සඳහා රටක් වශයෙන් පොදු ක්‍රියාදාමක් සක්‍රීය වශයෙන් බලාත්මක කිරීමද වැදගත්වේ.
නැගෙනහිර ආසියාතික හා යුරෝපා රටවල ආහාර බෝග නිෂ්පාදන සැකසුම් කර්මාන්තයේ ක්‍රමිකව සංවර්ධනයට හා ව්‍යාප්තවීමක් දැකිය හැකිනම් ඒ අන් කිසිවක් නොව එයට අදාල ඇසුරුම් කර්මාන්තයයි. පෙරට වඩා හොඳ නව තාක්‍ෂණයන්ගෙන් එය සෑම දිනකම පාහේ නව්‍යකරණය වෙමින් පවතී. එවැනි දෘෂ්‍යමාන තොරතුරු හමුවේ අප කටයුතු කළ යුත්තේ නිවැරදි දැක්මක් පෙරදැරි කරගෙන බව පැවසිය හැකිය. විශේෂයෙන්ම දැනටමත් මෙරට කෘෂි නිෂ්පාදන ඇසුරෙන් ආහාර පාන නිෂ්පාදනයේ නිරත ව්‍යවසායකත්වයන් හා ඒ උදෙසා ඇසුරුම් ද්‍රව්‍ය නිෂ්පාදනය කරන සැපයුම් පාර්ශ්චව දෙකෙහි ආයෝජන හැකියාවන් සහ යෙදවුම් භාවිතය පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත්වේ.
බොහොමයක් ආයතනයන්හි නිමි ආහාර නිෂ්පාදනය සම්බන්ධයෙන් ගත් කල ඇසුරුම්කරණය හා ඇසුරුම් යන්ත්‍රෝපකරණ ඊට ප්‍රමූඛව දායකවන බව පැවසිය හැකිය.
ඇසුරුම් යන්ත්‍රෝපකරණ භාවිතයන් යටතේ බහාලුම් පිරිසිදු කිරීම, පිරවීම සහ සැකසීම, බෑග් කිරීම, ඇසුරුම් කිරීම, ඉවත් කිරීම, බෝතල් කිරීම, බර පරීක්ෂා, මුද්‍රා කිරීම, ලේබල් කිරීම සහ කේතනය කිරීම, තට්ටුවල ඇසිරීම සහ ඒ ආශ්‍රිත භාවිතයන් හඳුනාගත හැකිවේ. එසේ වුවද ඇසුරුම් ද්‍රව්‍ය නිෂ්පාදන අංශය එතරම් විවිධාංගීකරණයවීමක් දැකිය නොහැකිය. විචල්‍ය පිරිවැය අඩු කිරීම සඳහා අවසාන වෙළඳපොළට ආසන්නව එකී මෙහෙයුම් කටයුතු කිරීමේ ප්‍රවණතාවය මෙයට හේතුව ලෙස දැකිය හැකිය.
ඇසුරුම්කරණ සේවා අංශය සමන්විත වන්නේ සාමාන්‍යයෙන් කොන්ත්‍රාත් හෝ බාහිර පදනමක් මත සේවයේ යෙදෙන පිරිස් වෙතිනි. සේවාදායකයින්ගේ අභිමතය පරිදි ආහාර ද්‍රව්‍ය ඇසුරුම් කිරීමේ හා ලේබල් කිරීමේ කටයුතු වල ඔවූහු මූලික වශයෙන් නියැලී සිටිති. එමෙන්ම බොහෝ දුරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් යටතේ මෙම තත්ත්වය වඩාත් දැකිය හැක.
වර්තමාන ප්‍රවණතා මොනවාද ?
වර්තමානය වනවිට ලෝකයේ ඇසුරුම් යන්ත්‍රෝපකරණ අංශය අතිශයින් නව්‍යකරණය වෙමින් පවතින අතර පාරිභෝගික හැසිරීම, නිෂ්පාදන ඉල්ලුම සහ ගෝලීය ආනයන හා අපනයන රෙගුලාසි සියල්ල ඒ කෙරෙහි සෘජුව බල පැවැත්වෙන බව පැවසිය හැකිය. අනෙක් අතට සංවර්ධිත රටවල වෙළදපොල වෙත යොමු කරන බොහෝ ආහාර නිෂ්පාදන උදෙසා ආරම්භයේ සිටම ඇසුරුම් ප්‍රමිති ගොඩනඟා ඇති අතර වර්තමානය වනවිටදී එම ප්‍රතිපත්ති පරිසර හිතකාමී ඇසුරුම් කෙරෙහි යොමුවෙමින් පවතින බවත් විද්‍යාමානවේ.
මෙවැනි තත්ත්වයන් හමුවේ එකී ක්‍රමවේද මෙරටට උචිත පරිදි ගලපාගෙන අපිදු මුල සිටම ඊට නැඹුරුවීම ඉතා කාලෝචිත බව පැවසිය හැකිය. විශේෂයෙන්ම කඩදාසි, කඩදාසි පුවරු, දැව, ඉවතලන ප්ලාස්ටික් බදුන්, උණ බට, වේවැල්, දහය්යා, ඉදි කොළ ආදිය සහ ජලජ හා තන්තුමය ශාඛ භාවිතාකර ඇසුරුම් ද්‍රව්‍ය නිපදවා ගැනීමේ හැකියාව අප රට තුළ ව්‍යාප්තව පවතී. කෙසේ වුවද බොහොමයක් දේශීය නිෂ්පාදන කර්මාන්ත ආනයනික ද්‍රව්‍ය හා භාවිතා කරන ලද යන්ත්‍ර මත යැපීම කණගාටුදායක කරුණකි.
මෙයට හේතුව අළුත් යන්ත්‍ර සූත්‍ර සඳහා ආයෝජන පිරිවැය වැඩිවීම හා නිෂ්පාදන කටයුතු උදෙසා ආනයනික අමුද්‍රව්‍ය යෙදාගැනීම පහසුවීමයි. මෙම තත්ත්වය මගහැර ඇසුරුම්කරණ සේවා අංශය සංවර්ධනය කිරීමට අප වහ වහා පියවරගත යුතුවේ. ඒ උදෙසා විශේෂයෙන් ආහාර නිෂ්පාදන පෙර ඇසුරුම් කිරීමේ කර්මාන්තයට බෙහෙවින් දායකවන කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්වයන්හට අවශ්‍ය නවෝත්පාදන මෙවළම් සපයා ගැනීමට කිසියම් කාල පරිච්ඡේදයක් තෙක් ආනයනය බදුවලින් ඒවා ඉවත් කිරීම වැදගත් පියවරක් වනු ඇත. ඒ අනුව දේශීය අවශ්‍යතාවයන්ට ගැලපෙන ලෙස විදේශයන්ගෙන් ආනයනයකර ගත හැකි යන්ත්‍ර සමඟින් දේශීය නිර්මාණශීලීත්වය ගලපා ගැනීමෙන් මෙරට ඇසුරුම්කරණ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට යොමුවිය හැකි වේ.
කෙසේ වෙතත් තෝරාගත් ක්‍රමෝපායන් වල යෝග්‍යතාවය හා උපයෝගීතාවය වඩාත් සාර්ථක කරගත හැක්කේ දේශපාලනික වශයෙන් රටක සක්‍රීය ආර්ථික පරිසරයක් අඛණ්ඩව පවත්වාගත හොත් පමණි. එමෙන්ම ඇසුරුම්කරණ ද්‍රව්‍ය සඳහා වන දේශීය ඉල්ලුමේ ප්‍රමාණය ඇසුරුම්කරණ කර්මාන්තය උදෙසා ආයෝජනය අඩුවීමට හේතුකාරකවන බව තහවුරුවේ. මෙම තත්ත්වය තුළ පාරිබෝගිකයින් වෙත යොමුවන දේශීය ආහාර බෝග නිෂ්පාදනයන්හි ගුණාත්මකභාවය ඉහළ නැංවීම කෙරෙහි ඇති හැකියාවන් සීමා කිරීමටද හේතු සාධකවේ. එමෙන්ම මෙරටතුල ස්වාභාවික නොවන ඇසුරුම් ද්‍රව්‍ය හිඟවීම හා එකී ද්‍රව්‍ය ආනයනය සදහා දැරිය යුතු පිරිවැය දිනෙන් දින ඉහළයාම මෙරට ආහාර නිෂ්පාදන ඇසුරුම් කර්මාන්තයේ ප්‍රගමනයට බාධාවකි. එහෙයින් ප්‍රතිචක්‍රීකරණය කලහැකි ඇසුරුම් ද්‍රව්‍ය වැඩිවැඩියෙන් භාවිතා කිරීම ප්‍රවර්ධනය කිරීම මෙරට ඇසුරුම්කරණ කර්මාන්ත අංශයේ දිශානතිය වෙනස් කිරීමට මෙන්ම කර්මාන්තයේ ගෝලීය ප්‍රවේශයන් අතික්‍රමණය සඳහා හේතුකාරකවන බව පැවසිය හැක. එහෙයින් ඇසුරුම්කරණ විසඳුම් උදෙසා තිරසාර අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් මෙම අංශයේ අවශ්‍යතා සපුරාලීම සඳහා රජය මෙන්ම අදාල පාර්ශ්වයන් නිරතුරුව කටයුතු කළ යුතුවේ.
සාමාන්‍යයෙන් ඇසුරුම්කරණය සම්පත් ලබා ගැනීමේ හැකියාව සහ නවෝත්පාදන උදෙසා අවශ්‍ය වන භාණ්ඩ සඳහා ඇති ඉල්ලුමේ සාධක මත ගොවිපල සැකසුම් හා බෙදා හැරීමේ අංශවල ඇසුරුම්කරණයට අදාලව ඉහළ පිරිවැයක් දැරීමට සිදුවිය හැක. කෙසේ වුවද අලාභ අවම කරගැනීම සඳහා ඇසුරුම්කරණය දිගු කාලීන සංවර්ධන ක්‍රියාවලියක් වන අතර එහිදී තාක්ෂණයන් හා ක්‍රියාවලීන් සම්මිශ්‍රණය කිරීම ඔස්සේ එකී බාධක ජයගැනීමට ක්‍රියාකලහැක. එමෙන්ම පරිසර හිතකාමී වඩාත් උචිත ඇසුරුම් භාවිතයෙන් පාඩු අවම කර ගැනීමට අප උත්සුක විය යුතුවේ. එමගින් දේශීය වෙළඳපොල තුල සෞඛ්‍යාරක්ෂිත ගුණාත්මක ආහාර අලෙවි වපසරිය සංවර්ධනය උදෙසා විශාල දායකත්වයක් ද උදාකරගත හැකිවේ.
ඇසුරුම්කරණ පිරිවැය
සුරුම්කරණයේ සත්‍ය වටිනාකම සහ පවතින විකල්පයන් පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් ඔස්සේ ඇසුරුම්කරණ පිරිවැය නිවැරදි දෘෂ්ටිකෝණයකින් තැබිය හැකිය. ඇත්ත වශයෙන්ම දිගු කාලීනව වඩා හොඳ ඇසුරුම්කරණය පාඩු පිළිබඳ ගැටළුව විසඳීමට උපකාරී වනු ඇතැයි යන්න පිළිගත් මතයකි. ඇසුරුම්කරණයෙන් ලැබෙන ආරක්ෂිත බව හා අලෙවිකරණ කාර්යයන් වඩාත් පහසුවීම ඔස්සේ පාඩු අවම කිරීම සඳහා ආහාර ඇසුරුම් භාවිතය ඉවහල්වේ.
ආහාරවල ගුණාත්මකභාවය ද ඒ හා සමානව ඉහල නැංගවෙනු ඇත. ඒ ඔස්සේ තිරසාර වටිනාකම් දාමයන් සමඟ ඒකාබද්ධ වීම තුළින් කුඩා නිෂ්පාදකයින්ගේ පැවැත්ම ස්ථාවර කිරීමට හා හැකියාවන් වැඩි දියුණු කිරීමට ද හැකිවනු ඇත. නුදුරු අනාගතයේදී මෙරට ආහාර හා පාන වෙළඳපල ඇසුරුම් වෙළඳපොළෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් ග්‍රහණය කරගනු ඇත. එබැවින් අප රටේ ඇසුරුම්කරණ කර්මාන්තයේ සමස්ත වර්ධනය උත්තේජනය කිරීම සඳහා අපි උත්සුකවිය යුත්තෙමු.
වර්තමානය වනවිටදී සංවර්ධිත වෙළඳපල ආර්ථිකයන්හි ඇසුරුම්කරණ ක්‍රියාදාමයන් සමඟ අප රටේ සමහර නිෂ්පාදන ඇසුරුම් ද්‍රව්‍යවල වටිනාකම සමාන මට්ටමක සිටින බව පැවසිය හැකිය. පූර්ව සඳහන් කළ පරිදි බොහෝ කෘෂිකාර්මික නිෂ්පාදන වලට අදාලව ක්ෂණිකව කෑමට හා බීමට සූදානම් ද්‍රව්‍ය ඇතුලත් ඇසුරුම් එවැනි මට්ටමක නොපවතී. මෙයින් අදහස් වන්නේ පාරිභෝගිකයින්ගේ සෞඛ්‍යාරක්ෂාව මෙන්ම ආහාර නිෂ්පාදනයන්හි කල්පැවැත්ම කෙරෙහි කුඩා හා මධ්‍ය පරිමාණ ආහාර සැකසුම් කර්මාන්තකරුවන් මෙන්ම ස්වයං රැකියාවක් ලෙස මෙම ක්ෂේත්‍රයේ නිරතවන්නන්ගේ වැඩි අවධානයක් ඒ කෙරෙහි යොමු කළ යුතු බවයි.
ලංකාවේ නව ප්‍රවණතා
දෛනික ජීවිතයේ ආහාර පිළියෙල කිරීම සඳහා ගතවන කාලය කුටුම්භ සාමාජිකයින් අතර බෙදාහදා ගැනීම මත කාන්තාවන් නිවසින් පිටත ක්‍රියාකාරකම්වලට යොමුවීමේදී පිරිමින් ආහාර පිළියෙල කිරීමේ කටයුතුවල නිරතවීම දැන් දැන් මෙරට තුල බහුලව නැඹුරුවෙමින් සිටී. පහසුවෙන් භාවිතා කළහැකි හා නැවත ඇසුරුම් කළ හැකි ආහාර අතිශයින් රට තුල ජනප්‍රියවීමට එයද එක් හේතුවකි. ඒ අනුව භාවිතයට පහසු ආහාර නිෂ්පාදන වලින් ලබාගත් ඉල්ලුමක් ලෙස එය තවදුරටත් වර්ධනය වනු ඇත.
එහෙත් මේ උදෙසා සෑම ගොවියෙකුගේම නිෂ්පාදන දිවයිනේ සෑම ව්‍යාපාරිකයෙක් වෙතටම සැපයීමට හැකියාවක් නොමැති වුවද ඔවුන්ගේ ව්‍යායාමය විය යුත්තේ ප්‍රාදේශීය හෝ කළාපීය සිල්ලර වෙළෙන්දන්ගේ වාන් දමන ඉල්ලුම උදෙසා සාම්ප්‍රදායකත්වයෙන් ඔබ්බට ගිය ක්‍රමවේද යටතේ නිෂ්පාදන සකසා ඇසුරුම්කර සැපයීමයි. ඒ උදෙසා ගොවියන් මෙන්ම අලෙවිය සදහා ආහාර නිෂ්පාදන සකස් කිරීමේ නිරතවන්නන්ද සාම්ප්‍රදායික වෙළඳපල සැපයුම් සංකල්පයෙන් ඔබ්බට ගිය සෞඛ්‍යාරක්ෂිත ඇසුරුම්කරණ මට්ටම හඹා යාමයි. ඒ අනුව මෙරට ඇසුරුම්කරණ කර්මාන්තයේ වර්ධනයට සාධක ගණනාවක්ම සලකා බැලීමට අවශ්‍යවන බව පැහැදිලිවේ. නිදසුනක් වශයෙන් චීනයේ සහ ඉන්දියාවේ වේගයෙන් වර්ධනය වන ආර්ථිකයන් සමඟින් සැකසූ ආහාර කර්මාන්තයේ ඉහළ යාමක් අත්විඳින්නේ එම රටවල ජීවන රටාව සහ එහි වැසියන්ගේ ආහාර අවශ්‍යතා ඉල්ලුම් අඛණ්ඩව ඉහළ යාම හේතුවෙනි. එපමණක් නොව ඒ ඔස්සේ යුරෝපීය වෙළඳපල වෙත ඔවුනට ප්‍රවේශවීමට ද හැකියාව උදාවී තිබේ. එය එකී රටවල ඇසුරුම්කරණ කර්මාන්තයේ වර්ධනයට හේතු කාරකව පවතී.
දෙවන උදාහරණය ලෙස සංවර්ධිත රටවලට නිෂ්පාදන අපනයනය කිරීමට අනුග්‍රහය දක්වන ජාත්‍යන්තර වෙළඳ ප්‍රතිපත්ති මැදපෙරදිග රටවල් සහායකර ගැනීම පෙන්වා දිය හැකිය. එසේම නිෂ්පාදකයින් විසින් නිකුත් කරනු ලබන ඇසුරුම් හා ඇසුරුම් අපද්‍රව්‍ය පිළිබඳ 94 / 62 / EC නව විධානයන්ට අනුකූල නොවන්නේ නම් යුරෝපීය සංගම් වෙළඳපොළට කිසිදු ඇසුරුම් ද්‍රව්‍යක් හඳුන්වා දිය නොහැකිය. එමඟින් ගුණාත්මක ඇසුරුම් නිෂ්පාදන සහ තාක්ෂණයන් සඳහා වැඩි නැඹුරුවක් එම රටවල ව්‍යවසායකත්වයන් තුල ඇති කර තිබේ.
තෙවන උදාහරණය ලෙස ලතින් ඇමරිකානු රාජ්‍යයන් දෙස බැලීමේදී ඒවායෙහි අභ්‍යන්තර ප්‍රතිපත්ති මත වෙළඳපල නියාමනය කිරීම සහ නිදහස් වෙළඳ ගිවිසුම් පදනම් කරගෙන එම රටවල ඇසුරුම්කරණ කර්මාන්තයේ වර්ධනය හැඩගස්වා ගෙන ඇති බව දැකිය හැකිය. උක්ත රටවල ආහාර නිෂ්පාදන ඇසුරුම්කරණ කර්මාන්තයේ තත්ත්වය සහ සංවර්ධනයෙන් ලබාගත් ශක්තීන්, දුර්වලතා, වෙළඳපොල අවස්ථාවන් සහ තර්ජන පිළිබඳ විශ්ලේෂණයන් පෙන්නුම් කරන්නේ සාපේක්ෂව ශක්තිමත් ඇසුරුම්කරණ අංශයක් පවත්වාගෙන යාමට අප රට තුලද විභවයක් පවතින බවයි. එබැවින් ආහාර බෝග අස්වනු හා ආහාර නිෂ්පාදන සංරක්ෂණය උදෙසා තිරසාර ක්‍රියා මාර්ගයක් ලෙස කෘෂිකාර්මික අංශයේ යටිතල පහසුකම් සඳහා ඇසුරුම්කරණයේ ශක්තිමත් සහයෝගයක් අවශ්‍ය බව පැවසිය හැක. ඒ අනුව ඇසුරුම්කරණ කර්මාන්තයේ ප්‍රසාරණය සහ නව්‍යකරණය ඔස්සේ දේශීය ආහාර නිෂ්පාදන වෙළඳපල විභවතාවයන් ඉස්මතු කරගත හැකි බව අපට නිගමනය කළහැකි වේ.
ඇසුරුම්කරණ ද්‍රව්‍ය ආනයනය
මෙරට වෙළඳපොළ තුළ ඇසුරුම් අවශ්‍යතා සඳහා ආයෝජනය කළ හැකි ප්‍රමාණය හා අවස්ථාවන් පිළිබඳ ප්‍රක්ෂේපණ පදනම් වනු ඇත්තේ ඇසුරුම් ද්‍රව්‍ය ආනයනය කිරීමේ ඉඩප්‍රස්ථා සහ ගුණාත්මක ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනයේ වර්ධනය මතය. එබැවින් කෘෂිකාර්මික අංශයේ විශාල බෝග නිෂ්පාදන ප්‍රමාණයක් අන්තර් ජාතික ඇසුරුම්කරණ කර්මාන්තය සමගින් සංවර්ධනය සඳහා ආයෝජනය කිරීම ඔස්සේ විශාල අපනයන වෙළඳපලක් වරාය නගරය තුලින් මෙරටට ළගාකරගත හැකි හෙයින් කෘෂිකාර්මික ආහාර නිෂ්පාදනවල සම්පූර්ණ වටිනාකම් දාමයේ ඇසුරුම්කරණය ඉතා වැදගත් අංගයක් බව පැවසිය හැකිය. නිෂ්පාදනයේ විශාල පරිමාව හැරුණු විට ඇසුරුම්කරණයේ ආයෝජනය තවදුරටත් ආකර්ෂණය කර ගත හැකි තවත් සාධකයක් වන්නේ මෙම ද්‍රව්‍යයන්ගේ ගුණාත්මක නිෂ්පාදනයයි.
එමෙන්ම අපනයනය සම්බන්ධයෙන් ගත් කල ආහාර ඇසුරුම් ද්‍රව්‍ය සඳහා වෙළඳපලෙහි ඇති විය හැකි විභවයන් දැන ගත යුතුවේ. ඒවා වැඩිපුරම නරක් වන්නේ කුමන අවස්ථාවේදීද, අලාභය ගෙන එන්නේ කුමන මට්ටමකදීද සහ අවසාන වශයෙන් පාඩු වළක්වා ගත හැකිද නැද්ද යන්න දැන ගැනීම ඔස්සේ ඇසුරුම්කරණය විවිධාංගීකරණය කරගත හැකිවේ.
නාස්තිය අවම කිරීමට මග
මෑතකාලීන අධ්‍යයන වලින් හෙළිවී ඇත්තේ නැවුම් ලෙස පලතුරු හා එළවළු වෙළදපොළට ප්‍රවේශ කිරීමේදී වඩාත්ම නාස්තිවන ද්‍රව්‍ය අතර ප්‍රමූඛස්ථානය ගන්නා බවයි. එයට පසුව බේකරි සහ කිරි නිෂ්පාදනයන් ද අනතුරුව මස් සහ මාළු වැනි ද්‍රව්‍ය පෙලගැසී ඇත. ගොවිබිමේ සිට කෑම මේසයට අපේක්ෂිත නැවුම්බව ගෙනයාම ඇසුරුම්කරණ අංශයට ඇති ලොකුම අභියෝගය බව කලින් කළ සදහන් තොරතුරු සමගින් ඉතා හොඳින් ගලපාගත හැකිවේ. එහෙයින් වෙළඳ දාමයේ අලාභ සිදුවන්නේ කවදාද සහ කොතැනද යන්න දැන ගැනීම පමණක් නොව ඒවායේ ඇති විය හැකි හේතු ද හඳුනා ගැනීමට අප උත්සුකවිය යුතුයි. එමඟින් ඒවා වළක්වා ගත හැකි හෝ නොකළ යුතු ප්‍රමාණය තීරණය කිරීමේදී තීරණාත්මක සාධක වනු ඇත. ඒ ඔස්සේ ඇසුරුම්කරණය ඒවාට හොඳම විසඳුම් ලබා දෙනු ඇත.
ආහාර නිෂ්පාදන වටිනාකම් උදාකර ගැනීමේ සන්දර්භයක් තුළ බාහිර බාධකවලට එක් අතකින් යටිතල පහසුකම්, රෙගුලාසි, තරඟකාරී පීඩන, පාරිභෝගික හැසිරීම, පාර්ශ්වකරුවන්ගේ සබඳතා සහ තාක්ෂණය වැනි කරුණු ඇතුළත් වේ. අභ්‍යන්තර බාධක ලෙසින් කළමනාකරණ සහාය, ව්‍යාපාර ආකෘති සහ මූල්‍ය සම්පත් අවශ්‍යතා සමඟ යටිතල පහසුකම් සහ තාක්ෂණය පිළිබඳ කරුණු අදාල වේ. මෙම බාධක අතුරින් ඇසුරුම්කරණය උදෙසා සෘජු හෝ වක්‍ර බලපෑමක් ඇති ඒවා තිබේ.
මෙම ගැටළු හඳුනා ගැනීම ආහාර අලාභ අවම කිරීම පිළිබඳ ඵලදායී වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නිෂ්පාදන ආයතනවලට මහෝපකාරී වනු ඇත. එසේම ප්‍රශස්ත ඇසුරුම් ක්‍රියාවලියක් සඳහා වන වක්‍ර විභවයන් ලෙස පාරිභෝගික හැසිරීම හා පාර්ශ්වකරුවන්ගේ සබඳතා බාහිර බාධක වශයෙන් ඉස්මතුවනු ඇත. තාක්ෂණ තොරතුරු, කළමනාකරණ සහාය මෙන්ම ව්‍යාපාර ආකෘතිද ඇසුරුම්කරණ සංවර්ධනයට අභ්‍යන්තර බාධක යටතේ වන විභව වේ.
ආහාර සැකසුම් නිෂ්පාදන අංශයේ සහ අනෙකුත් අංශවල අවශ්‍යතා මත ඇසුරුම්කරණ අවස්ථා බහුලව තිබුණද නිෂ්පාදනයේ නිශ්චිත ඇසුරුම් අවශ්‍යතා සපුරාලීම සඳහා අඛණ්ඩව සිදුවන සැබෑ ඉල්ලුම ඇසුරුම්කරණය කෙරෙහි බලාත්මකවේ. ඒ අනුව වටිනාකම් දාමය ඔස්සේ සෑම අදියරකදීම ආහාර නිෂ්පාදන අපතේයාම හා අලාභ අවම කිරීම සඳහා වන ඇසුරුම්කරණ විසඳුම් යොමුකරගත හැකිබව වඩාත් පැහැදිලි වේ.
ඇසුරුම්කරණයට එල්ල වන පීඩනය
දේශසීමා රහිත වෙළඳාම ඇසුරුම්කරණ කර්මාන්තවලට පීඩනයක් උදාකරන අතර වේගයෙන් වෙනස් වන ඇසුරුම්කරණ තාක්ෂණයන් හා භාවිතයන් සම්බන්ධයෙන් වන නියාමන ආයතන වේගයෙන් ඉදිරියට නොයන බැවින් එමඟින් අප රටට විදෙස් වෙළඳපොල කෙරෙහි වූ ප්‍රවේශවීම් සීමාකරනු ඇත. ඒ අනුව ආහාර ද්‍රව්‍ය මත පදනම්ව ඇසුරුම්කරණ තොරතුරු ව්‍යාප්ත නොවීම හා අනුකූලතාව පිළිබඳ ගැටළු දේශීය නිෂ්පාදන විදෙස් වෙළදපොල තුල ප්‍රතික්ෂේප කිරීමට පවා හේතු වේ.
දේශීය ඇසුරුම් කර්මාන්තයේ වෙළඳපොල කාර්ය සාධනය සමඟ අන්තර්ජාතික වෙළෙඳපොල අවශ්‍යතා සපුරාලීම සඳහා ඇති සීමාවන් සැලකිල්ලට ගෙන සාම්ප්‍රදායික අපනයන වෙළඳ භාණ්ඩ මෙන්ම ආහාර නිෂ්පාදන දේශීය වෙළඳ නාම භාවිතා කරමින් තරඟකාරී ලෙස ඉදිරිපත්කිරීමට ඇසුරුම්කරණ සැලසුම් සංවර්ධනය කර ගැනීමට අප ක්‍රියා කල යුතු වන්නේ එහෙයිනි. කෙසේ වුවද සාම්ප්‍රදායික තාක්‍ෂණයන් සංවර්ධනය කිරීම ඔස්සේ වත්මන් පාරිබෝගික රටාවන් සපුරාලීම සඳහා ප්‍රමාණවත් දායකත්වයක් ලඟාකරගත නොහැක. බොහෝ සැකසුම් ක්‍රම සියවස් ගණනාවක් තිස්සේ නොවෙනස්ව පවතින අතර නවීන අවශ්‍යතා සමඟ කටයුතු කිරීමට ප්‍රමාණවත් නොවේ.
ආහාර තාක්‍ෂණයන් සම්බන්ධයෙන්ද මෙය සත්‍යයකි. ඇසුරුම්කරණ මූලධර්ම විද්‍යාත්මකව යොදා ගනිමින් මෙම සාම්ප්‍රදායික තාක්‍ෂණයන් වැඩිදියුණු කළ යුතු අතර අලෙවිකරණය සහ වෙළඳ ප්‍රචාරණය වැනි වෙනත් කාර්යයන් සමඟ ඒකාබද්ධ වී රට සංවර්ධන වැඩසටහන් සඳහා කාලය එළඹ ඇති බව වැඩි වැඩියෙන් පිළිගැනේ. දෙවනුව, ආනයනික තාක්ෂණයන්හි වඩා මිල අධික නිෂ්පාදන දේශීය තාක්‍ෂණයන්හි වර්ධනය තවදුරටත් මන්දගාමී කර ඇත.
නව තාක්‍ෂණයන් පැරණි ක්‍රමවේදයන්හි සංවර්ධනය මන්දගාමී නොවී අනුපූරක වීමට වගබලා ගත යුතුය. විශේෂයෙන්ම මෙම සාධක ගණනාවක් නැඹුරු වන්නේ නවීකරණය කරන ලද තාක්‍ෂණයන් සත්‍ය වශයෙන්ම භාවිතා කිරීම සීමා කිරීමටය. වැඩිදියුණු කිරීම සඳහා දිරිගැන්වීම් නොමැතිකම විශාල බාධාවක් වන අතර නවීකරණය කරන ලද තාක්ෂණය භාවිතා කිරීම සඳහා ආධාරක පහසුකම් ප්‍රමාණවත් නොවීම ආහාර ද්‍රව්‍ය සැකසීමේ ව්‍යවසායකයින්ට තාක්‍ෂණය වැඩිදියුණු කිරීමට ඇති උනන්දුව හීනවීමට හේතුකාරක වේ.
ඇසුරුම්කරණ වැඩි දියුණු කිරීම
ඇසුරුම්කරණ තාක්ෂණය වැඩිදියුණු කිරීම ඔස්සේ යෝජනා කරනුයේ අතිරික්ත ආහාර බෝග නිෂ්පාදනයේ අපතේයාම වලකාගැනීමට ඇති ගැටළු නිරාකරණය සහ එහි වෙළඳපල විභවයන් වැඩි දියුණු කිරීමය. කෙසේ වෙතත් ආහාර බෝග නිෂ්පාදන මෙන්ම වැඩි දියුණුකල ආහාර සැකසුම් වෙළදපොලට ප්‍රවේශ කිරීමේදී සමාජ, ආර්ථික හා සංස්කෘතික සංවේදීතාවන් ක්‍රියාත්මක වන බැවින් අප ඒ ගැන ප්‍රවේශම් විය යුතුය.
උදාහරණයක් ලෙස නවීකරණය කරන ලද තාක්‍ෂණය භාවිතයෙන් මහා පරිමාණයෙන් නිපදවන විට නිෂ්පාදනවල වර්ණය, රසය සහ ස්වරූපය පවත්වා ගැනීමට නොහැකි විය හැකිය. ඒ හා සමානව තාක්‍ෂණය වැඩිදියුණු කිරීමත් සමඟ ආරම්භයේ දී කුඩා ව්‍යාපාරයක් අනපේක්ෂිත අභියෝග විශාල ප්‍රමාණයකට මුහුණ දිය හැකිය. එහෙයින් කුඩා ව්‍යාපාර ව්‍යවසායකයින් විසින් ආරම්භයේදීම නිසි ලෙස මෙම ගැටළු වලට ආමන්ත්‍රණය නොකළ හොත් ඒවා ස්වකීය ව්‍යවසායයේ ආර්ථික ශක්‍යතාවයට හානි පැමිණවීමටද හේතුකාරකවන බව අවබෝධකරගත යුතුවේ.
ගෝලීයකරණය හමුවේ විදේශීය තරඟකරුවන් සමඟ ගැටීම වැඩිවීමත් සමඟම දේශීය වෙළඳපල තුල කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වන ඇසුරුම්කරණ අභියෝගයන් ද වැඩිවේ. මෙම ගැටළුව ඇසුරුම්කරණ අංශයට සපුරාලිය නොහැකි විභවයකි. එහෙයින් ප්‍රධාන වශයෙන් වෙළඳපල අවශ්‍යතා මොනවාද සහ ඒවා වඩාත් හොඳින් සපුරාලන්නේ කුමන ඇසුරුම් ක්‍රමෝපායන්ද යන්න පළමුව හඳුනාගත යුතුවේ.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ අලෙවිකරණ පිරිවැය පාලනය සාමාන්‍ය මූලික කාරණා වන්නේ ඒවා ව්‍යාපාර ප්‍රවර්ධන උපාය මාර්ගයන්හි කොටසක් වන හෙයින් මෙම අවස්ථාව නිසි ලෙස තක්සේරු කර නොගන්නේ නම් එය නිෂ්පාදන නාස්තිවීමට හේතුකාරණා වනු ඇත. පරිමාව අනුව පමණක් නොව ස්වරූපයෙන්ද ඇසුරුම්කරණ අංශයට විභවයන් ඇති හෙයින් මෙම තත්ත්වය ව්‍යවසායකයින් විසින් හඳුනාගත යුතුයි. මේ උදෙසා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අවශ්‍ය තාක්‍ෂණික පහසුකම් සැපයීමට රජය හෝ රජය අනුබද්ධිත ආයතන සහාය විය යුතුවේ.
ඇතැම් නිෂ්පාදන අපනයනය කිරීමේදී ඇසුරුම් පහසුකම් කොන්ත්‍රාත් පදනම යටතේ සළසා දිය හැකිය. ඒ අනුව භාණ්ඩ ඇසුරුම් නොකොට සපයන අතර අපනයනකරුවන් කිහිප දෙනෙකු ඇසුරුම් මෙහෙයුම් මධ්‍යගතව සිදුකරයි. එවැනි කොන්ත්‍රාත් ඇසුරුම් මධ්‍යස්ථානවලට ඒකාබද්ධ මිලදී ගැනීමේ පදනමක් මත ඇසුරුම් ද්‍රව්‍ය ලබා ගත හැකි අතර දේශීයව නිෂ්පාදනය කළ නොහැකි අත්‍යවශ්‍ය උසස් තත්ත්වයේ ඇසුරුම් තීරුබදු රහිත ආනයනය සඳහා අවසර ලබා දිය හැකිවේ. සමහර අවස්ථා වලදී කුඩා ගෙවතු හිමියන් හෙවත් නිෂ්පාදකයින්ගේ හෝ ඇසුරුම්කරුවන්ගේ කණ්ඩායම් හෝ සමුපකාර හරහා තොග මිලදී ගැනීමේ දී ප්‍රවාහන වියදම් ඉතිරි කර ගැනීමට සාමූහිකව ඇසුරුම් ද්‍රව්‍ය මිලදී ගැනීමේ පහසුකම් සැලසිය හැක. මේ උදෙසා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් ඇසුරුම්කරණ ආයතන තොග වශයෙන් එකී ද්‍රව්‍ය මිලදී ගෙන ඇසුරුම් කර අලෙවි කිරීමට යොමු කරවීමද කාලෝචිතවේ.
ප්‍රතිචක්‍රීකරණය
ප්‍රතිචක්‍රීකරණය කලහැකි ඇසුරුම් සම්බන්ධයෙන් පාරිසරික හිතකාමී පියවරයන් ඇඟවීම විශේෂ අවධානයට ලක්විය යුතු කරුණකි. ආහාර ඇසුරුම් සඳහා ඒවා කෙතරම් අදාළ වේද, ඒවා ආහාර සමඟ සෘජුව සම්බන්ධ වන විට ඇතිවන ප්‍රතිඵල කවරේද යන්න අවධානය යොමුකළ යුතුවේ. එවැනි තත්ත්වයන් යටතේ උචිත නිර්ණායක ඒවා සදහා භාවිතා කළ හැකිය. අවදානම්-ප්‍රතිලාභ විශ්ලේෂණයට එම ද්‍රව්‍යවල ආරක්‍ෂිත මට්ටම සහ අහිතකර බලපෑම් යන දෙකම සැලකිල්ලට ගත යුතුය. ඒ අනුව අවශ්‍යතාවය හා හැකියාවන් මත ඒවායේ යෝග්‍යතාවය නිගමනය කළ හැකිය.
එමෙන්ම දේශීයව ඇසුරුම්කරණ යන්ත්‍රෝපකරණ සම්බන්ධයෙන් මිලදී ගැනීම ව්‍යවසායකයින්හට ගැටළු ඉස්මතුකරන කරුණක් බව නොරහසකි. විශේෂයෙන්ම පසුකාලීනව සේවා සහ නඩත්තු කිරීම සීමාකාරී සාධකයක් විය හැකිය. අළුත්වැඩියා සහ නඩත්තු පහසුකම් නොමැතිකම හේතුවෙන් නවීන යන්ත්‍රෝපකරණ මිල දී ගැනීම ආරම්භයේ දී අවම වශයෙන් භාවිතා කිරීම සඳහා පමණක් නොව පසුව ඒවායේ ඵලදායී ආයුකාලය පුරාම අක්‍රියව පැවතීම ව්‍යාපාරයකට උචිත නොවේ.
අලෙවියෙන් පසු සේවා සැපයීම සහ අමතර කොටස් නැත්නම් මෙම නවීන නමුත් නුසුදුසු තාක්ෂණයන් සමගින් අපට සමෘධිමත් විය නොහැක. කෙසේවෙතත් සැපයුම්කරුවන්ගේ උනන්දුව පවත්වා ගැනීම සඳහා ව්‍යාපාරයේ පරිමාව ප්‍රමාණවත් නොවන්නේ නම් සහ රටේ රෙගුලාසි ආකර්ශනීය වන පරිදි පරිසරය සක්‍රීය කර ගන්නේනම් මිස ආහාර නිෂ්පාදන ව්‍යවසායකයින් හට ඇසුරුම් කිරීමේ කර්තව්‍යයන් පවත්වා ගෙන යාමටත් නොහැකි වනු ඇත. අවාසනාවකට මෙන් මෙම ගැටළුව සලකා බැලීමේදී අශුභවාදයට හේතු රාශියක් ඇති අතර ගැටළු ගණනාවක් හඳුනාගෙන ගත හැක.
ස්වයංක්‍රීයභාවයට
බොහෝ ඇසුරුම් යන්ත්‍රෝපකරණ නිෂ්පාදකයින් අද වන විට වේගවත් වඩා ස්වයංක්‍රීය හා අඩු ශ්‍රමයෙන් යුත් යන්ත්‍ර නිපදවීමේ යෙදී සිටිති. මේවා සාමාන්‍යයෙන් මෙරට ව්‍යවසායෙකයෙකු හට දැරීමට අපහසු ආයෝජන වෙති. එවැනි ආයෝජන මිල අධික “තත්ත්ව සංකේත” බවට පත්විය හැකි අතර ඒවා සපයා ගනු ලැබූවද ධාරිතාවයට ක්‍රියාත්මක කළ නොහැකි වීමෙන් බොහෝ විට මූල්‍ය අර්බුදකරා ව්‍යවසායකත්ව යොමු කෙරෙනු ඇත. එසේ වුවද මෙරට ව්‍යවසායකයන්ගේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි කුඩා හෝ මධ්‍යම ප්‍රමාණයේ යන්ත්‍ර නිපදවන විශ්වාසදායක නිෂ්පාදකයින් බොහෝ දෙනෙක් ආසන්නතම විදෙස් රටවල සිටින බවට සැකයක් නැත. කෙසේ වෙතත් එම යන්ත්‍රෝපකරණ ආනයනය කිරීම හා අලෙවියෙන් පසු නඩත්තු සේවා සපයා ගැනීම පිළිබඳ ගැටළු උද්ගතවිය හැකිබව අප තේරුම් ගත යුතුවේ.
ඇසුරුම්කරණ යන්ත්‍රෝපකරණ හා ද්‍රව්‍ය නිෂ්පාදකයින් බොහෝ විට සාමාන්‍යයෙන් විදේශීය රටවල් ආන්තික වෙළඳපොලවල් ලෙස සලකති. ඔවුන්ගේ මෙම සාම්ප්‍රදායික වෙළඳපොලවල අලෙවිකරණ ප්‍රතිපත්තියේ නොගැලපීම ආර්ථික වශයෙන් යුක්ති සහගත විය හැකි නමුත් මෙරට ගනුදෙනුකරුවන්ට තේරුම් ගැනීමට සහ පිළිගැනීමට ඉතා අපහසු වේ. මේ අනුව ඉහත සඳහන් අවස්ථා සැලකිල්ලට ගෙන අළුත්වැඩියා කරන ලද යන්ත්‍රෝපකරණ භාවිතා කිරීමේ විකල්පය බරපතල ලෙස විමර්ශනය කළ යුතුය.
බොහෝ වැදගැම්මකට නැති යන්ත්‍රෝපකරණ අඩු මිලකට වගකීම් විරහිත අලෙවිකරුවන්ගේ මාර්ගයෙන් සපයා ගැනීම හා ආනයනයට ඉඩකඩ සැලසීමේ ප්‍රතිඵලයක් ලෙස දේශීය ආහාර නිෂ්පාදන කර්මාන්තය අනාගතයේ දී දැඩි මූල්‍ය අර්බුද කෙරෙහි යොමුකරනු ඇත. එහෙයින් ඕනෑම ආකාරයක අළුත්වැඩියාකරන ලද යන්ත්‍රයක් ආනයනය කිරීම පැහැදිලිවම තහනම් කළ යුතුවේ. නැතිනම් පාවිච්චි කරන ලද යන්ත්‍රෝපකරණවල ප්‍රතිරූපය අධ්‍යයනය කිරීම සඳහා යම් ආකාරයක මධ්‍යගත ක්‍රියාමාර්ගයක් අවශ්‍ය වේ. ඉතා මැනවින් අපක්ෂපාතී ඇගයීමක් හා සහතික කිරීමක් යටතේ මෙම යන්ත්‍ර සූත්‍ර කර්මාන්ත උදෙසා භාවිතයට යොමුකළ යුතුවේ. එසේ වුවද ගුණාත්මකභාවය පිළිබඳ වගකීම මුල් යන්ත්‍ර නිෂ්පාදකයා විසින් භාර නොගන්නේනම් හෝ විකුණුම්කරු යන්ත්‍ර සවිකර නිශ්චිත කාලයක් තුළ ක්‍රියාත්මක වීමේ වගකීම භාර නොගන්නේනම් ඒවා ආනයනය කිරිම තහනම් කල යුතුවේ.
අවසාන වශයෙන්, මෙරට ගැනුම්කරුවන් සඳහා මාර්ගෝපදේශයක් ලෙස සුදුසු ආකාරයේ ඇසුරුම් යන්ත්‍ර සහ විශ්වාසදායක සැපයුම්කරුවන්ගේ නාම ලේඛණයක් ප්‍රසිද්ධියට පත්කිරීම කාලෝචිත වනු ඇත. එයට අමතරව යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම සඳහා වන මාර්ගෝපදේශ සංග්‍රහයක් දේශීය කර්මාන්තකරුවන් අතර පුළුල් ලෙස බෙදා හැරිය යුතුය. ක්‍රියාකරු පුහුණුව, ස්ථාපනය සහ ක්‍රියාකරවීම, නඩත්තු කිරීම සහ අමතර කොටස් සැපයීම සඳහා ප්‍රතිපාදන ඇතුළත් කරන්නේ කෙසේද යන්න පිළිබඳ නිශ්චිත උපදෙස් ඒ ඔස්සේ ලබා දීමට ක්‍රියාකල හැකිය.
සංවර්ධිත අවස්ථා
කෙසේ වුවද ඇසුරුම්කරණ කර්මාන්තය මෙරට විශාලතම කර්මාන්ත අංශයවීමට එතරම් කාලයක් නොගනු ඇත. එහෙයින් ඇසුරුම්කරණ තාක්ෂණ සංවර්ධනය කිරීම ආහාර නිෂ්පාදන අපතේයාම අවම කිරීමේ එක් යතුරක් බව පැවසිය හැක. වර්තමාන නවෝත්පාදනයන් සහ වෙනස්වන පාරිභෝගික මනාපයන් සහ ඉල්ලීම් වලට ප්‍රතිචාර දැක්වීමට ඇති හැකියාව මත ඇසුරුම්කරණයේ කාර්යයන් පුළුල්වී ඇත. ඒ අනුව ඇසුරුම්කරණය අලෙවිකරණ සඳහා අතිරේක මෙවළමක් බවට පත්වී ඇතැයි පැවසිය හැක. විශේෂයෙන් වෙළඳ නාමය, නිෂ්පාදන අනන්‍යතාවය හා මිලදී ගැනීමේදී පාරිබෝගිකයින් හට වඩාත්ම පහසුවෙන් තොරතුරු සන්නිවේදනය කළ හැකිවීම ඊට හේතුවයි. කුඩා හා මධ්‍යම පරිමාණ ආහාර නිෂ්පාදකයාට මෙන්ම පාරිබෝගිකයාට ද මෙම කරුණු අදාළ වන හෙයින් ඇසුරුම්කරණ විසඳුම් සංවර්ධනය කිරීම හා ව්‍යාප්ත කිරීම සහ බලාත්මක කිරීම මෙන්ම නියාමනය කිරීම මෙරට වගකිව යුතු ආයතනයන්හි ජාතික කර්තව්‍යයක් බවට පත්කරගත යුතුවේ.
එමෙන්ම ආහාරයක සමස්ත වටිනාකම් දාමය ඇසුරුම්කරණය දක්වාම විහිදෙන බැවින් එය අලෙවි කටයුතුවල නිරතවන සියලුම හවුල්කරුවන් අතර ගොඩනැගෙන සාමුහික වගකීමකි. එහෙයින් දේශීය වශයෙන් අස්වනු සැකසීමේ පූර්ව හා පසු අවධියේදී අවශ්‍ය වන යටිතල පහසුකම් සඳහා ඇසුරුම්කරණ විසඳුම් අනුකූල ගොවිපල නිෂ්පාදන කෙරෙහි යෝග්‍යතාව පිළිබඳව අවධාරනය කරයි. මේ අනුව ඇසුරුම්කරණය හේතුවෙන් සිදුවන නිෂ්පාදන අලාභ ඇසුරුම් අඩු කිරීමෙන් ලැබෙන ලාභයට වඩා අහිතකර බලපෑම් ඇති කළ හැකිය. මෙහිදී සිදුවන පාඩු මොනවාදැයි දැන ගැනීම මෙන්ම ඒවා සිදුවන්නේ කවදාද, කොතැනද සහ කෙසේද යන්න දැනගැනීම වර්තමානයේදී සහ අනාගතයේදී ආහාර නිෂ්පාදන නාස්තිය හා අලාභය අවම කිරීමට තීරණාත්මක විසඳුම් බව පැවසිය හැක.
අභියෝග මොනවාද ?
ආහාර නිපදවන, බෙදා හරින, ගබඩා කරන, සැකසූ හා සිල්ලර වෙළඳාමෙන් ගෝලීය ආහාර නිෂ්පාදන සැකසුම් පද්ධතියේ බොහෝ වෙනස්කම් සිදුවෙමින් පවතී. මෙම වැඩිවන ගතිකත්වය එක් අතකින් ඇසුරුම්කරණ කර්මාන්තවලට අභියෝග රාශියක් එල්ල කරයි. නමුත් අනෙක් පැත්තෙන් ඇසුරුම්කරණ කර්මාන්තය සංවර්ධනය කිරීමට හා නිසි ලෙස ප්‍රතිචාර දැක්වීමට ඇති අවස්ථාවන් සහ විභවයන් විවෘත කරයි. එමෙන්ම ඉලක්කගත වෙළඳපල තුළ පාරිබෝගිකයින්හට සෘජුවම අලෙවි කිරීම, තමන්ගේම වෙළඳ නාම භාවිතා කිරීම, තරඟකාරී ඇසුරුම්කරණ සැලසුම් කර උසස් මට්ටමෙන් පවත්වා ගැනීම කෙරෙහි ඇසුරුම්කරණ කර්මාන්තයට බලපැවැත්වෙන අභියෝග හඳුනාගැනීමට ද මෙමඟින් හැකියාව උදාවේ.
එමෙන්ම සකස් කල ආහාර නිෂ්පාදනවල මෙන්ම පලතුරු සහ එළවළු විශේෂයන් සම්බන්ධයෙන් පරිසර හිතකාමී ඇසුරුම් ද්‍රව්‍ය උත්පාදනයකර ගැනීම උදෙසා පර්යේෂණ හා තාක්‍ෂණික ආධාර ඇසුරුම් නිෂ්පාදන සමාගම් වෙත සමීපකරවීම කෙරෙහි ක්‍රමවත් යාන්ත්‍රණයක අවශ්‍යතාවයද පිළිඹිඹු කෙරේ. මක්නිසාදයත් භාවිතයේ පවතින බොහොමයක් ඇසුරුම් ද්‍රව්‍ය අභිබවා පරිසර හිතකාමී ප්‍රතිචක්‍රීකරණය කළ හැකි හා වරක් භාවිතයෙන් පසුව ඉක්මනින් දිරාපත්වන ඇසුරුම් ඉදිරි පස් වසර තුළ ලොව පුරා ව්‍යාප්තවනු ඇතැයි අපේක්ෂා කෙරෙන හෙයිනි.
ඒ අනුව දේශීය වශයෙන් එකී නිෂ්පාදනයන්ගේ ඇසුරුම් හා බහාලුම් කාලීනව ප්‍රමිතිකරණයට නතු කළ යුතු අතර තොග වෙළෙඳුන්, පාරිබෝගිකයින්, ගැනුම්කරුවන් සහ සැකසුම් මෙහෙයුම්වල විවිධ අවශ්‍යතා සපුරාලීම සඳහා කටයුතු කරන ස්ථාන වැනි පුළුල් පරාසයක භාවිතා කලහැකි ආකාරයට ඒවා ගලපාගත යුතුද වේ. කෙසේ වෙතත් දේශීය කුඩා හා මධ්‍ය පරිමාණ ආහාර ඇසුරුම්කරණ ව්‍යාපාර අවශ්‍යතාවන්ට හා ආහාර සුරක්‍ෂිතතාවයට ඉවහල්වන ආකාරයෙන් ඇසුරුම්කරණ රෙගුලාසි ගලපා ගතහොත් නිසැකවම මෙම කර්මාන්තය දියුණු අදියරකට පත්කිරීමට මෙරට ව්‍යවසායකයිනට හැකිවනු ඇත.
එම්.එම්. පාලිත මහින්ද මුණසිංහ
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ වූ අඹේපුස්ස, වල්පිට හා හෝමාගම දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය ත්‍රිත්වයෙහි වසර 30 ක් ගොවිපල් යාන්ත්‍රික උපදේශකවරයෙකු ලෙස සේවය කර ඇත. 2018 වසරේදී රජයේ සේවයෙන් ඉල්ලා විශ්‍රාම යන ලදී. අනතුරුව පෞද්ගලික අංශයේ ආහාර නිෂ්පාදන ආයතනයක් වන ‘ පිකල් හවුස් ප්‍රඩක්ට්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්හි තත්ත්ව පාලන නිලධාරියෙකු ලෙස වසර එකහමාරක් මම සේවය කළෙමි. වසර 2000 සිට මේ දක්වාම ජාතික අධ්‍යාපන ආයතනයේ කාර්මික තාක්ෂණ දෙපාර්තමේන්තුවේ, ඇක්වයිනාස් විශ්ව විද්‍යාල ආයතනයේ වැවිලි කළමණාකරන පීඨයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ කෘෂිකර්ම හා පරිසර දෙපාර්තමේන්තුවේ සම්පත්දායකයෙකු ලෙස සේවය ඉටුකරමි.