X-PRESS PEARL ව්‍යසනය: කෝටි 10,000ක් වන්දි ගත්තත් සිදුවූ පරිසර හානිය පියවීමට නොහැකියි

Spread the love

රුපියල් කෝටි 10,000ක් වන්දි ගත්තත් X-PRESS PEARL නෞකාව ගිනි ගැනීම නිසා සිදුවූ පරිසර හානිය පියවීමට නොහැකි බවත් මෙම නැව ගිනි ගැනීමට හේතුව මෙන්ම අප රටේ මුහුදු සීමාවට ඇතුල්වීම සඳහා එම නැවට අවසර දුන් අය සම්බන්ධයෙනුත් පරීක්ෂණ පවත්වා ඔවුන්ට එරෙහිව තරාතිරම නොබලා දඩුවම්දිය යුතු බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

නැව ගිනි ගැනීමෙන් සිදුව ඇති හානිය සම්බන්ධව වන්දි මුදල් ලබා ගැනීම පිළිබඳව ඇතැමුන් කතා කළත් වඩාත් වැදගත් වන්නේ වන්දි ලබා ගැනීම නොව සිදුවිය හැකි පාරිසරික හානි වළක්වා ගැනීම බව ද ඇමැතිවරයා කීවේය

මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලි කළ පරිසර ඇමැතිවරයා මෙසේද කීවේය, X-PRESS PEARL නෞකාව ගිනි ගැනීම නිසා සිදුව ඇති පරිසර හානිය සම්බන්ධව රජය උපරිම අවධානය යොමු කර තිබෙනවා. මේ සම්බන්ධ තීරණ ගණනාවක් පසුගිය දා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේ දී එළැඹුනා. ගිනිබත් වු නෞකාවට අදාළව කෙතරම් වන්දියක් ලැබුණත් සිදුව ඇති පරිසර හානියට කිසිසේත්ම හිළව් කළ නොහැකියි. ඒ වගේම නෞකාව ගිලී ගියහොත් සිදුවිය හැකි තෙල් කාන්දුව වළක්වා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා.

තෙල් කාන්දුවක් සිදුවුවහොත් අපට දැවැන්ත පාරිසරික හානියකට මුහුණ පෑමට සිදුවෙනවා. ඒනිසා විනාශ වූ මෙම නැව සම්බන්ධ ඉදිරි පියවර ගැනීමේ දී විද්‍යාඥයින්ගේ මතයට ප්‍රමුඛත්වය දිය යුතු බවත් නැව ගැඹුරු මුහුදට ඇද ගෙනයාම ආදී පියවර ගත යුත්තේ ඒ අනුව බවයි ජනාධිපතිවරයා පැවසුවේ. ඒ වගේම ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී නැවතත් නැවක් ගිනි ගැනීමට ලක් වුවහොත් සිදුවිය හැකි විනාශය වළක්වා ගැනීම සඳහා තිබිය යුතු සියලු පහසුකම් හා උපකරණ ලබා ගැනීම සම්බන්ධව රජය අවධානය යොමු කරලා තිබෙනවා‘‘යැයි ද පරිසර ඇමතිවරයා පැවසුවේය.

මේක ලංකාවට පමණක් නොව ඉන්දියානු සාගර කලාපයටහ තර්ජනයක් – පරිසරවේදී ආචාර්ය අජන්තා පෙරේරා

මේ අතර පරිසරවේදී ආචාර්ය අජන්තා පෙරේරා පවසන්නේ නෞකාව විනාශ වීම ශ්‍රී ලංකාවට පමණක් නොව සමස්ත ඉන්දියානු සාගර කලාපයටම බලපාන කරුණක් බවට පත්වනු ඇති බවයි.

‘‘මේ නෞකාව ගිලීමත් සමග දැන් ඉතාමත් ම ප්‍රබල පරිසර ගැටලුවලට ලංකාවට මුහුණ දෙන්න වෙනවා මොකද ඒකට හේතුව අන්තරාදායි අපද්‍රව්‍ය හෝ අන්තරාදායි ද්‍රව්‍ය මෙතන තියෙනවා. ඒවගේම අපි දන්නවා නයිට්‍රික් අම්ලය තියෙන කන්ටේනර් රාශියක් තියෙනවා. ඒ වගේම ප්ලාස්ටික් පෙලට්ස් රාශියක් මුහුදේ යටට යනවා. මේක ඉතාමත්ම ගැටලු සහගත තත්ත්වයක් මොකද ඒකට හේතුව අපිට අපේ රටේ මුහුදේ විශාල වශයෙන් පරිසරයට හානිකරන්න පුළුවන් ද්‍රව්‍ය රාශියක් ම තියෙනවා. මේ ද්‍රව්‍ය කාලයත් එක්ක මේ කන්ටෙනර්ස් දිරන නිසා ඒවා ජලයට එකතු වෙනවා මේ එකතුවෙනවා කියන්නේ අපේ පරිසර පද්ධතිය විනාශ වෙනවා. අපේ පරිසර පද්ධතිය විනාශ වෙනවා කියන්නේ අපේ ධීවර කර්මාන්ත විනාශ වෙනවා විතරක් නෙමෙයි මේ අපේ ඒ ප්‍රදේශයේ මුහුද විතරක් නෙමෙයි මේ තුළින් අපේ මේ කලාපයටම හානියක් වෙනවා.”

ඇය තවදුරත් පැවසුවේ ප්ලාස්ටික් කැට (plastic pellets) මෙන්ම රසායනික ද්‍රව්‍ය කලපු ප්‍රදේශයට ගලායාමෙන් කුඩා මත්ස්‍යයින් මෙන්ම ඉස්සන් හා ඉතා සංවේදී පරිසර පද්ධතියම අනතුරට ලක්වන බවය.

“ඒ වගේම භයානකම දේ තමයි මේ අන්තරාකාරී ද්‍රව්‍ය කුමක්ද කියන එක තවම පැහැදිලි කරලා නෑ. ඒ නිසා දැන් රජය වගකීමක් ගන්න ඕන ජනතාවට කියන්න කුමන ද්‍රව්‍ය ද මේ කන්ටිනේර්ස් වල තියෙන්නේ? කවුද මේ රෙස්කිව් එකට අපේ රටට සහභාගී වෙන්නේ ? ඒ වගේම මේ නැව අයිති සමාගම කුමක්ද කරන්න යන්නේ කියලා.”

“මෙකත් ලොකු වන්දියක් කියලා හිතන්න යන්න එපා මොකද ඒකට හේතුව මේක අපේ පරිසරයටත් රටටත් කරන විශාලම හානියක්. මොකද මේකේ කවදා හෝ විපාක දකින්න වෙනවා අපේ දරුවන්ගේත් දරුවන්ට. මම දකිනවා මේක අපේ ලංකාවට කරපු, අපේ මුහුදට කරපු, අපේ ධීවර කර්මාන්තයට කරපු ලොකුම ප්‍රබලම වැරැද්ද කියන එක. ඒ නිසා බලධාරීන් දැන් හිතන්න වෙනවා තමන්ගේ තනතුරු ගැනත්.” ඇය පැවසුවාය.

ඊයේ (02) කොළඹ කොළඹ අගරදගුරු නිවසේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුවේ නැව් අනතුරින් සිදුවන හානිය ඉතාමත් බරපතල බැවින් වහාම නැව මෙම ස්ථානයෙන් ඉවතට ගෙන යාමට කටයුතු කරන්න යැයි ඉල්ලා සිටි බවයි. එසේ ඉවතට ගෙන යා නොහැකිනම් නැවේ තෙල් ඉවත් කිරිමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටි බවයි. කෙසේවෙතත්, මතුවී ඇති තත්ත්වය හමුවේ ධීවර ජනතාවට එල්ල වී ඇති බලපෑම වෙනුවෙන් ඉදිරිපත් වී මූලිකත්වය ගෙන කටයුතු කිරීමට සූදානම් බව උන්වහන්සේ පැවසුවේය.

a dead fish from ship fire

මෙම අනතුර සහ එහි පරිසර අවදානම ගැන සිය අදහස් දක්වමින් ආචාර්ය චරිත පතිආරච්චි මහතා පැවසුවේ නැවේ ප්‍රවාහනය කළ බොහෝ උපද්‍රවකාරී ද්‍රව්‍ය අතර ප්ලාස්ටික් බෑග් සෑදීම සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය වන නර්ඩල්ස් නමින් හැඳින්වෙන ප්ලාස්ටික් පෙති මෙට්‍රික් ටොන් 78 ක් තිබී ඇති බවත් අනතුරේදී සාගරයට මුසු වූ එම ප්ලාස්ටික් පෙති කොළඹට දකුණින් පිහිටි වෙරළ තීරවලට දැනටමත් ගොඩගසා ඇති බවත්ය.

“මෙම ප්ලාස්ටි පෙති කැලණිය හා මීගමුව වැනි කලපු හා ගංගා පද්ධතිවලට සහ වරාය නගරයට ද පිවිසෙන්නට ඉඩ තිබෙනවා. ඒවා ප්‍රවාහනය කරනු ලබන්නේ සුළඟින් සහ ධාරා වලින් – මුහුදු වෙරළ මතුපිට රැඳී සිටින අතර ඒවා ජෛව හායනයට ලක් නොවන බැවින් සාගර පරිසරයේ සදහටම පවතිනවා”

එක්ස්-ප්‍රෙස් පර්ල් නෞකාව වෙතින් ප්ලාස්ටික් පෙති බිලියන 3 කට ආසන්න ප්‍රමාණයක් මුහුදට එක්වී ඇති බැවින් ඒවායෙහි මාර්ගය පුරෝකථනය කළ විට ඒවා ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ සිට ඉදිරි දිනවලදී බටහිර වෙරළ තීරය හරහා උතුරු දෙසට ගමන් කරනු ඇති බව පැහැදිලියි. ඒ වගේමෙ දූෂණ කාරක කාබනික සහ රසායනික ද්‍රව්‍ය සමුද්‍රයට එක් රැස් වීම නිසා යම් මුහුදු ප්‍රදේශවල ජීව පද්ධතියේ අසමතුලිතතා ඇති වන අතර ඇල්ගී වර්ග ආදිය ඉතා වේගයෙන් වර්ධනය වෙමින් මුහුදු පත්ලේ සහ ගල්පරවල සිටින ජීවීන් මිය යෑමට ඉඩ තිබෙනවා‘‘ යැයි ආචාර්ය චරිත පතිආරච්චි මහතා පැවසුවේය..

Related Posts