JVP නායකයාගෙන් ආණ්ඩුවට රතු එළියක්

Spread the love

“ආණ්ඩුව මේ දියත් කර තිබෙන මර්දනය වහාම නතර කළ යුතුයි. දැන් මේ විරෝධතාවන්ට නායකත්වය දුන් පිරිසට කටඋත්තර ලබා දීම සඳහා 07වැනිදා උදේ 9.00ට පොලීසියට පැමිණෙන ලෙසට නියෝග ලබා දී තිබෙනවා. මේ කරන්න හදන්නේ බියවැද්දීමයි. විරෝධතාවයන් මර්දනය කිරීමයි. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ විරෝධතාවයන් මර්දනය කිරීමෙන්, එයට මැදිහත් වන අය බිය ගැන්වීමෙන් මේ විරෝධයන් යටපත් කිරීමට උත්සාහ ගන්නේනම් එය අසාර්ථකම උත්සාහයක් බව අපි අවධාරණය කරනවා. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා දරන ප්‍රයත්නය වහා නතර කළ යුතුයි. එම ජනතාවගේ සාධාරණ ඉල්ලීම්වලට වහා විසඳුම් ලබා දිය යුතු බව අවධාරණය කරනවා. එම මර්දනීය ක්‍රියාමාර්ගවලට කවුරුන් බිය වුවත් මේ ජනතාවගේ සෑම අරගලයකටම නායකත්වය දීමටත් ඒවා දිනා දීමටත් අප සූදානම්.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක සඳහන් කරයි.

ඔහු මේ බව පැවසූවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද (05) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

එහිදී වැඩිදුරටත් ඔහු දැක්වූ අදහස්,

“පොහොර ලබා දෙන ඉල්ලා උද්ඝෝෂණය කළ ගොවීන් ගණනාවක් මේ වන විට ආණ්ඩු විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා. දැන් ඊට අමතරව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාත්න, ජවිපෙ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සහෝදරවරුන්, ගල්ඒදණ්ඩ විජිතාරාමයේ විහාරාධිපති වීරකැටියේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිසක් පොලීසියෙන් අත්අඩංගුවට ගැනීමට සූදානමක් තිබෙනවා. මෙම මර්දනීය ක්‍රියාමාර්ගය පිළිබඳව සමාජයට පැහැදිලි කිරීමක් කළ යුතුයි.

මේ වනවිට රට පුරා සියලු ජන කණ්ඩයම්වල විරෝධයක් මේ ආණ්ඩුවට එරෙහිව නැගෙමින් තිබෙනවා. ගොවි ජනතාව, ධීවර ජනතාව, විශ්වවිද්‍යාල දුවා දරුවන් තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරමින් සිටිනවා. ජීවත්වීමට නොහැකි වීම නිසා පොදු ජනතාව තමන්ගේ විරෝධය පළ කරමින් සිටිනවා. මේ උද්ඝෝෂණ පැන නගින්නේ හුදෙකලාව නෙමෙයි. ආණ්ඩුව ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු කිරීමට අසමත් වීම නිසයි. මේ වන විට මෙම උද්ඝෝෂණයන්හි මධ්‍යස්ථානයන් වී තිබෙන්නේ ගොවි ජනපදයි. පහුගිය කාලය පුරාවටම එප්පාවල, අනුරාධපුරය, වැලිමඩ, ඇඹිලිපිටිය ආදී ගොවි ජනපද ගණනාවක ආණ්ඩුවට විරෝධය එල්ල වෙමින් තිබෙනවා.

ඔවුන්ගේ ප්‍රධානම ගැටලුව වී තිබෙන්නේ තමන්ගේ කෘෂිකර්මාන්තය කරගැනීමට අවශ්‍ය යෙදවුම් නිසි කලට ලබා දීමට ආණඩුව අසමත් වීම නිසයි. මෙය ගොවි ජනතාවගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක්. වැලිමඩ ප්‍රදේශයේ ගොවීන්ගේ ප්‍රධානම ආදායම් මාර්ගය වී තිබෙන්නේ අර්තාපල් වගාවයි. බිම් සකස් කර, බීජ අල ගෙනැවිත් තිබෙන නමුත් ඒවා සිටුවීමට අවශ්‍ය යෙදවුම් ලබා දීමට ආණ්ඩුව අසමත් වී තිබෙනවා. දඹුල්ල ප්‍රදේශයේ එළවළු ගොවීන් තමන්ගේ බටු අස්වනු විනාශ කරමින් සිටිනවා. ඒ අවශ්‍ය වන කෘමිනාශක ලබා දෙන්න ආණ්ඩුව කටයුතු නොකළ නිසයි. ගොවි ජනතාවගේ ඇස් ඉදිරිපිට ඔවුන්ගේ වගාවන් විනාශ වෙමින් යනවා. අස්වැන්න ප්‍රමාණවත් තරමින් ඔවුන්ට ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා. එළවළු අස්වනු පණුවන් විසින් විනාශ කරමින් තිබෙනවා. ගොවි ජනතාවගේ ජීවිතය සමග ගැටගැසුණු ප්‍රධානතම ආර්ථිකය තුළ ඔවුන් ව්‍යසනයකට මුහුණපා තිබෙනවා.

ආණ්ඩුව රසායනික යෙදවුම් නතර කර කාබනික යෙදවුම්වලට මාරු වීමට තීරණයක් ගනු ලැබුවා. ඒ පිළිබඳව කිසිවෙකුගේ විරෝධයක් නැහැ. එසේ නම් ආණ්ඩුව කාබනික යෙදවුම් නිසි කලට නිසි ප්‍රමාණයට ලබා දිය යුතුව තිබෙනවා. නමුත් ආණ්ඩුව එසේ කිරීමට අසමත් වුණා. ගොවීන්ට තමන්ගේ වගාවන් ඇස් ඉදිරිපිට විනාශ වෙමින් තිබෙනු දකින්නට සිදුවුණා. ඔවුන්ගේ එකම ආදායම් මාර්ගය එයයි. තමන්ගේ ජීවිතයේ දහසකුත් එකක් වියදම් පියවා ගැනීම සඳහා ඔවුනට තිබෙන්නේ කෘෂිකර්මාන්තයෙන් ලැබෙන ආදායම පමණයි. කෘෂිකර්මාන්තයේ නියැලෙන සියලු දෙනා පීඩාවට ලක්ව තිබෙනවා. තමන්ගේ ජීවනෝපාය තමන්ගේ ඇස් ඉදිරිපිට විනාශ වෙමින් තිබියෙදී ඔවුන් කළ යුත්තේ කුමක්ද?

ඔවුන් පාරට බැස පළ කරන්නේ ඔවුන්ගේ කැකෑරෙන වේදනාවයි. එහෙම නැතුව ගෙදර ඇඳේ වකුටු වෙලා සිදු වන විනාශය නෑසූ කන් ඇතිව සිටීමට ඔවුනට නොහැකියි. ඔවුන් ඊට සූදානම් නැහැ. ඔවුනට හඬ නැගීමට යුක්ති සහගත අයිතියක් තිබෙනවා. ඒ පීඩාවට පත්වන ජනතාවගේ දුක් ගැනවිල්ලට අප විසින් ඇහුම්කන් දිය යුතුයි. ඒවාට විසඳුම් ලබා දිය යුතුයි. අප දේශපාලනය කරන්නේ ඒ වෙනුවෙන්. එය අපේ අත්හළ නොහැකි වගකීමක්. බදුල්ල දිස්ත්‍රික්කයේ අපේ පක්ෂයේ සංවිධායක සමන්ත විද්‍යාරත්න සහෝදරයා නායත්වය දුන්නේ ඒ වගකීම වෙනුවෙන්. ඔහු ඊට මැදිහත්වීම වැරදිද? ඒ වගේම ගොවි ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන්ම පිහිටුවා තිබෙන සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයට නායකත්වය දෙන නාමල් කරුණාරත්න සහෝදරයා සිටිනවා. ඔහු එම උද්ඝෝෂණයන්ට මැදිහත්වීම වැරදි වෙන්නේ කොහොමද? පන්සලේ නායක ස්වාමීන් වහන්සේ තමන්ගේ ගමේ ජනතාවට සිදුවී තිබෙන මේ අසාධාරණය දකිනවා. උන් වහන්සේ පෙරට එන්නේ ඒ නිසයි. දැන් ආණ්ඩුව ඔවුන් අත්අඩංගුවට ගෙන මර්දනය කිරීම සඳහා උත්සාහ දරනවා. ජනාධිපතිවරයාටත් මේ ආණ්ඩුවටත් අපි කියන්නේ ඔවුන් හිතනවානම් තමන්ට සුපුරුදු මර්දනීය ක්‍රියාමාර්ග මගින් ජනතාවගේ සාධාරණ විරෝධතා යටපත් කරන්න, ඒක ජනාධිපතිවරයා දකින දවල් හීනයක් විතරයි. මේ උද්ඝෝෂණ නතර කළ හැක්කේ මේ පීඩාවන්ට විසඳුම් ලබා දීමෙන් පමණයි.

ආණ්ඩුව මේ දියත් කර තිබෙන මර්දනය වහාම නතර කළ යුතුයි. දැන් මේ විරෝධතාවන්ට නායකත්වය දුන් පිරිසට කටඋත්තර ලබා දීම සඳහා 07වැනිදා උදේ 9.00ට පොලීසියට පැමිණෙන ලෙසට නියෝග ලබා දී තිබෙනවා. මේ කරන්න හදන්නේ බියවැද්දීමයි. විරෝධතාවයන් මර්දනය කිරීමයි. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ විරෝධතාවයන් මර්දනය කිරීමෙන්, එයට මැදිහත් වන අය බිය ගැන්වීමෙන් මේ විරෝධයන් යටපත් කිරීමට උත්සාහ ගන්නේනම් එය අසාර්ථකම උත්සාහයක් බව අපි අවධාරණය කරනවා. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා දරන ප්‍රයත්නය වහා නතර කළ යුතුයි. එම ජනතාවගේ සාධාරණ ඉල්ලීම්වලට වහා විසඳුම් ලබා දිය යුතු බව අවධාරණය කරනවා. එම මර්දනීය ක්‍රියාමාර්ගවලට කවුරුන් බිය වුවත් මේ ජනතාවගේ සෑම අරගලයකටම නායකත්වය දීමටත් ඒවා දිනා දීමටත් අප සූදානම්.

මේ උද්ඝෝෂණවලට මැදිහත් වූ කිසිවෙක් තමන්ගේ පෞද්ගලික වුවමනාවක් වෙනුවෙන් මැදිහත් වූවන් නෙමෙයි. ඔවුන් මැදිහත් වුණේ පොදු ජනතාවගේ සාධාරණ වුවමනාකම් දිනාගන්නයි. 2005-2015 කාලයේ විරෝධතාකරුවන්ට වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා. රතුපස්වලදී, වැලිසරදී, හලාවතදී එය අපි දැක්කා. ගෝඨාභය ආරක්ෂක ලේකම්වරයා ලෙස සිටියෙදී තමන්ගේ බැටෑලින් යොදවා සාමකාමී උද්ඝෝෂණකරුවන් ඝාතනය කළා. ආණ්ඩුවේ කරුණු එළිදරව් කළ මාධ්‍ය ආයතන ගිනි තිබ්බා. බෝම්බ ගැහුවා. මාධ්‍යවේදීන් පැහැරගෙන ගියා, අතපය කැඩුවා. සමහරුන් ඝාතනය කළා. එවැනි කළු ඉතිහාසයක් මේ පාලකයින්ට තිබෙනවා. මේ උත්සාහ දරමින් සිටින්නේ ඒ කළු ඉතිහාසයට පණපොවන්නනම් ගෝඨාභය ජනාධිපතිවරයාට අපි කියන්නේ ඔබ එම සූදානම වහා හකුළා ගත යුතුයි. ඒ වගේම අපි මේ රටේ පොදු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සාමකාමී උද්ඝෝෂණ මර්දනය කිරීම සඳහා ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ගවලට එරෙහිව ඔබේ හඬ අවදි කරන ලෙසයි. ඊට එරෙහිව පෙරට එන ලෙසයි.”

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්…

“මා ජනාධිපතිවරයාට කියනවා දැන් පුළුවන්නම් ඔබ ගම සමඟ පිළිසඳර කරන්න කියලා. බොරලන්දට, එප්පාවලට, ඇඹිලිපිටියට, ගොවිජනපදවලට ගිහින් ගම සමඟ පිළිසඳර කරන්න. තමන් තෝරාගන්නා ලද පිරිසක් සමඟ කරන නාඩගම වෙනුවට ඇත්ත ගොවියන් සමඟ ඒක කරන්න. එතකොට ජනාධිපතිවරයාට තේරුම් ගන්න පුළුවන්වෙවි ඇත්ත ප්‍රශ්නය මොකක්ද කියලා. ඔව් අපි පක්ෂයක් හැටියට ගොවිජනතාව පත්වී තිබෙන අසීරුතාවයන්ට එරෙහිව නැගෙන විරෝධයට නායකත්වය දෙනවා. ඒ ප්‍රශ්න විසඳීම සඳහා බලකරනවා. ඇයි ඒ? දේශපාලන ව්‍යාපාරයක් ලෙස අපිට වගකීමක් තිබෙනවා එම ජනතාවගේ පීඩාවට එරෙහිව මැදිහත් වෙන්න. ගොවිජනතාව පෝස්ටරයක් ඇඳල දෙන්න කිව්වොත් අපි ඇඳල දෙනවා. පෝස්ටර් ගහල දෙන්න කිව්වොත් ඒක කරනවා. අපි ඔවුන් සමඟ උද්ඝෝෂණ කරනවා. මොකක්ද ඒකේ තියෙන වරද? පීඩාවට ලක්වෙන ජනතාව සමඟ වැඩ කරන එක තමයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය. නමුත් මෙය අපේ පක්ෂයේ සාමාජිකයින් පමණක් මුහුණ දී තිබෙන පීඩාවක් පමණක් නෙවෙයි. ආණ්ඩුව මේක පක්ෂයකට ලඝු කරන්න උත්සහ කරාට මේක තමයි ඇත්ත පොදු ජනතාවගේ පීඩාව.

ආණ්ඩුවේ තර්කයට අනුව පොහොර සමාගම්වලින් ලොකුම කප්පම අරන් තියෙන්නේ ගෝටාභය රාජපක්ෂ. මොකද ඔහු තමයි පසුගිය ජනාධිපතිවරණයේදී පොහොර නොමිලයේ දෙනවා කිව්වා. ඒ නිසා ජවිපෙ පොහොර සමාගම් වෙනුවෙන් පෙනී ඉන්නවා කියන එක ලාබම ප්‍රතිඋත්තර බැඳීමක්. විකාර කතාවක්. පසුගිය ජනාධිපතිවරණයේදීත් අපි කිව්වේ පොහොර සහනාධාරය වැඩි කරන්නේ නැහැ කියලා. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය. මේ ආණ්ඩු බීජ සම්පත විනාශ කරනකොට රසායනික යෙදවුම්වලින් අපේ පස විනාශ කරනවිට අපේ රටේ නව කෘෂිකර්ම ප්‍රතිපත්තියක් ගැන අදහස් ප්‍රකාශ කරපු දේශපාලන ව්‍යාපාරයක් තමයි ජවිපෙ. අපි පෙනී ඉන්නේ රසායනික යෙදවුම්වල ප්‍රතිශතය අඩුකරමින් කාබනික යෙදවුම් ප්‍රතිශතය වැඩිකිරීමේ ප්‍රතිපත්තියට. හැමදාමත් කොම්පැනිකාරයින්ගේ වුවමනාවට ප්‍රතිපත්ති හැදුවේ මේ ආණ්ඩු. කොම්පැනිකාරයින්ගේ අල්ලේ නැට වුනේ ඒ දේශපාලන ව්‍යාපාර. ඒ නිසා අපිට එම චෝදනා කිරීම තරම් බංකොළොත්කමක් තව නැහැ.

මේ ආණ්ඩුව බලයට ආවේම සිංහල බෞද්ධයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී ඉන්න ආණ්ඩුවක් ලෙසින්. නමුත් මෙම පාලනය දිනපතා ඔප්පු කරමින් ඉන්නවා ඔවුන් මොනතරම් වංචනික ලෙස සිංහල බෞද්ධ ජනතාවගේ අධ්‍යාත්මය හොරාකෑවද කියලා. ඒ නිසා තමයි මේ ආණ්ඩුවට පංසල දෙවැනි තැනට දාලා සම්බාහන මධ්‍යස්ථානය පළමු තැනට එන්නේ. බාර් එක මුල් තැනට එන්නේ. කොවිඩ් තුන්වැනි රැල්ල ආරම්භයේ සිට මේ ආණ්ඩුව ගනු ලැබූ ක්‍රියාමාර්ග එක පැත්තනින් දුර්වලයි; අනෙක් පැත්තෙන් පරස්පරයි; අනෙක් පැත්තෙන් අසාර්ථකයි. ඒ වගේම ගත් තීන්දු අතහැරලා තිබෙනවා. එහි ප්‍රතිඵලය ලෙස ලෝකයේ ඕනෑම තැනක කොවිඩ් අලුත් ප්‍රභේදයක් හැදුනොත් සතියක් දෙකක් ඇතුළත එය ලංකාවෙන් හමුවෙනවා. ඒ නිසා අපිට පේන දේ තමයි ආණ්ඩුව කොවිඩ් මර්දනය අත්හැරලා වෙන වෙන දේවල් ගැන හිතමින් ඉන්න බවයි. මේ ආණ්ඩුව කොවිඩ් මර්දනය සම්බන්ධයෙන් දක්වන අවධානය අතිශය දුර්වලයි වගේම අතිශය විනාශකාරී මගකට පාර කපමින් තිබෙනවා.

මහබැංකු බැඳුම්කර වංචාව සිදුවූ පසු ඊට එරෙහි අවි අමෝරාගත් ප්‍රධාන කණ්ඩායම වුනේ මේ ආණ්ඩුවේ කණ්ඩායමයි. ඒ අය කිව්වේ කේපී ගෙනාවා වගේ මහබැංකු හොරු කුදලගෙන එනවා කියලා. ඒ වෙලාවේ ආණ්ඩුවේ අජිත් පී පෙරේරා ඇතුළු කණ්ඩායම කෝප් වාර්තාවට ෆුට්නෝට් දමමින් අර්ජුන මහේන්ද්‍රන්ලා, අලෝසියස්ලා, රනිල් වික්‍රමසිංහලා ආරක්ෂා කරන්න කටයුතු කළා. එදා මහබැංකු හොරුන්ගේ සතුරා බවට පත්වෙලා හිටියේ රාජපක්ෂ කණ්ඩායම. මිතුරන් වුනේ රනිල් වික්‍රමසිංහලා. අද අර්ජුන මහේන්ද්‍රන්ලාගේ, ඇලෝසියස්ලාගේ මිතුරන් බවට රාජපක්ෂලා පත්වෙලා. ඒ නිසා තමයි අද ඔවුන්ගේ සීල් තබන ලද අරක්කු ව්‍යාපාරවලට බදු සහන ලබාදෙන්නේ. ඒ විතරක් නෙවෙයි කෝටි 150ක් බදු ආණ්ඩුවට අහිමි කරගෙන සීල් තබන ලද මෙන්ඩිස් සමාගමට නැවත බිස්නස් එකට අවසර දෙනවා. ඒ නිසා රාජපක්ෂලා හැමවෙලාවෙම දූෂිතයින්ගේ මිතුරෝ. දූෂිතයින්ගේ ආරක්ෂකයෝ.”

Related Posts