Covid-19 එන්නත් ගැන ඔබට ඇති ගැටලුවලට වෛද්‍ය විද්‍යාත්මක පිළිතුරු

Spread the love

කොවිඩ්-19 එන්නත්කරණ වැඩසටහන මේ වන විට දීපව්‍යාප්තව සිදුවෙනවා. නමුත් මේ ගැන ජනතාවට ඇති ගැටලුවල නිමක් නැහැ. ඊට හේතුව සුපුරුදු පරිදි ව්‍යාජ පුවත් බහුලව සමාජමාධ්‍ය තුළ සංසරණය වීමයි. ඒ නිසා එන්නත්කරණ වැඩසටහනට බරපතළ අගතියක් වගේම ජනතාවට ද බරපතළ ගැටලු ඇතිව වෙනවා.

මෙම ලිපිය මගින් අපි එන්නත්කරණය සම්බන්ධයෙන් ඔබට ඇති බොහෝ ගැටලුවලට නිසි විද්‍යාත්මක පිළිතුරු ලබාදීමක් කරනවා.

දැනට එන්නත ලබා දෙන්නේ කාටද?

  • සෞඛ්‍ය සේවකයන් සහ ඔවුන්ගේ ළඟම ඥාතීන්
  • වයස 60ට වැඩි පුද්ගලයන්
  • වයස 30ට වැඩි පුද්ගලයන්
  • ගැබිණි මවුවරුන්ට ද එන්නත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇතැයි මාතෘ හා ළමා සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා ජූනි 2 පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළාය.

ඔබට ලබා ගත හැකි එන්නත කුමක්ද සහ එය තෝරා ගත හැකිද?

මේ වන විට ශ්‍රී ලංකාව තුළ ලබාදෙන එන්නත්:

  • ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා
  • රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී
  • චීනයේ නිෂ්පාදිත සයිනොෆාර්ම්

මේ අතරින් තමන් කැමති එන්නතක් තෝරා ගැනීමේ හැකියාවක් නොමැත.

කෙසේනමුත්, පළමු මාත්‍රාව ලබා ගත් එන්නතෙන් දෙවෙනි මාත්‍රාව ද ලබා ගැනීමට ක්‍රියා කරන ලෙස විශේෂඥයෝ පවසති.

අතුරු ආබාධ සහ රුධිරය කැටි ගැසීමේ අවදානමක් තිබේද?

දැනට වාර්තා වී ඇත්තේ සුළු අතුරු ආබාධ පමණක් වන අතර, දින කීපයකට පසු ඒවා සම්පූර්ණයෙන්ම නැති වී යයි.

ශරීරය එන්නතට ප්‍රතික්‍රියා කිරීම හේතුවෙන් ඇතිවිය හැකි අතුරු ආබාධ:

  • උගුරේ රිදීමක්
  • වෙහෙසකාරී බව
  • උණ
  • හිසරදය
  • අසනීප ගතිය

අතිශය දුර්ලභ රුධිර කැටි ගැසීමේ තත්ත්වයක් සුළු පිරිසක් අතරින් වාර්තා වීමත් සමග එක්සත් රාජධානිය ඇතුළු ලොව සමහර රටවල වයස අවුරුදු 40ට අඩු පුද්ගලයන්ට ඇස්ට්‍රාසෙනෙකා එන්නත වෙනුවට වෙනත් එන්නතක් ලබා දීමට ක්‍රියා කරයි.

මෙම තත්ත්වයට හේතුව එන්නත දැයි පැහැදිලි නැති නමුත් ලේ කැටි ගැසීම් වැඩි ගණනක් වාර්තා වූයේ තරුණ පිරිස අතරින්ය.

නමුත් අනෙක් සියල්ලන්ටම ඇස්ට්‍රාසෙනෙකා ඇතුළු අනෙකුත් එන්නත්වලින් ප්‍රතිලාභ ලැබෙමින් පවතී.

Question and answers about coronavirus vaccines

ඔබ එන්නත ලබා ගත යුතුමද?

එය අනිවාර්ය නොවේ. නමුත් තමන් මෙන්ම තම පවුල, මිතුරන් සහ පුළුල් සමාජය ආරක්ෂා කර ගැනීම සඳහා මෙම එන්නත් මාත්‍රා දෙක ලබා ගන්නා ලෙස සෑම කෙනෙකුගෙන්ම ඉල්ලා සිටියි.

එන්නත් ලබා ගැනීමෙන්;

  • වෛරසය ව්‍යාප්තිය අවම කළ හැකිය
  • වෛරසයේ නව ප්‍රභේදයන්ගෙන් ආරක්ෂා වීමේ හැකියාව ඇත

එන්නත නොමැතිව ඔබට විදෙස්ගත වීමට හෝ ඇතැම් රැකියා කිරීමට ද නොහැකි වනු ඇත.

අසාත්මිකතා ඇති පුද්ගලයින් කුමක් කළ යුතුද?

ඔබට අසාත්මිකතා ඇත්නම් එන්නත ලබා ගැනීමට පෙර ඔබේ වෛද්‍යවරයා සමග ඒ ගැන සාකච්ඡා කළ යුතුය.

ගැබිණි මවුවරුන්ට එන්නත ලබා ගත හැකිද?

ගර්භණී කාන්තාවන්ට එන්නත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කළ බව මාතෘ හා ළමා සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා ජූනි 2 පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළාය.

ගර්භණී කාන්තාවන්ට එන්නත් ලබාදීමේදී සංකූලතා සහ ගැටලු ඇති මවුවරුන්ට ප්‍රථම වටයේදී එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කරනු ඇත.

එන්නත ලබාගැනීමේ අපේක්ෂාවෙන් ගර්භණී කාන්තාවන් රෝහල් කරා නොඑන ලෙසත්, එන්නත ලබාගැනීමට අදාළ දිනය, ස්ථානය සහ වේලාව පණිවිඩයක් මාර්ගයෙන් මවුවරුන් වෙත ලබාදීමට කටයුතු කරන බවත් මෙම මාධ්‍ය හමුවේ දී අවධාරණය කළේය.

Question and answers about coronavirus vaccines

එන්නතෙන් වඳභාවය ඇති විය හැකිද?

කොවිඩ් 19 එන්නත නිසා පුරුෂයන් හෝ කාන්තාවන්ගේ සරුබව සම්බන්ධයෙන් ගැටලු ඇති වූ බවට කිසිදු සාක්ෂියක් නොමැත.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල අසත්‍ය තොරතුරු ප්‍රචාරය වී තිබිණි.

ඇත්තෙන්ම සිදුවන්නේ කොරෝනාවෛරසය වැළඳීමෙන් පුද්ගලයන්ගේ සරුබවට බලපෑම් ඇති වීමය.

එන්නත ඔසප් වීමට බලපාන්නේද?

සමහර කාන්තාවන් පවසන්නේ ඔවුන්ට අසාමාන්‍ය ලෙස අධික රුධිර වහනයක් අත්විඳීමට සිදු වූ බවය. නමුත් එන්නත එයට හේතුවදැයි තවමත් පැහැදිලි නැත.

කෙසේනමුත්, එය බිය වීමට හේතුවක් නොවේ යැයි විශේෂඥයෝ පවසති.

කොවිඩ් රෝග ලක්ෂණ දීර්ඝකාලීනව තිබේ නම් කුමක් කළ යුතුද?

මෑතකදී කළ අධ්‍යයනයකින් කියැවෙන්නේ එන්නත ලබා දීමෙන් දීර්ඝකාලීන කෝවිඩ් රෝග ලක්ෂණ අවම කළ හැකි බවය. මෙම අධ්‍යයනය තවමත් ප්‍රකාශයට පත් කර නොමැත.

මෙම එන්නත් මඟින් ශරීරය යථා තත්ත්වයට පත් කිරීමේ හැකියාව ඇති බව පර්යේෂකයෝ පවසති.

Question and answers about coronavirus vaccines

එන්නත ලබා ගැනීමෙන් පසු මත්පැන් පානය කළ හැකිද?

ඔබට මත්පැන් පානය කිරීමෙන් වැළකී සිටීමට අවශ්‍ය නැති නමුත් එන්නතේ අතුරු ආබාධ තිබේ නම් දින කීපයක් ප්‍රමාණය ඉක්මවා මත්පැන් නොගැනීම වඩාත් සුදුසුය.

ඉඳිකටු ශරීරයට විදින විට බියක් දැනෙන්නේ ද?

ඔබ ඉඳිකටුවලට අකැමති බව එන්නත විදින සෞඛ්‍ය සේවකයාට පවසන්න. ඉන්පසු එන්නත විදින තෙක් ඉවත බලා සිටින්න.

බොහෝ දෙනා පවසන්නේ එන්නත වේදනා රහිත බවත් එය විදීමට කාලයක් ගත නොවන බවත්ය.

තරුණ පිරිසට එන්නත ලැබේද?

එක්සත් රාජධානිය තුළ අවුරුදු 16ට වැඩි තරුණ පිරිසට ෆයිසර් එන්නත අනුමත කර ඇති අතර, ඇස්ට්‍රාසෙනෙකා සහ මොඩර්නා එන්නත්, අවුරුදු 18ට වැඩි අය සඳහා අනුමත කර තිබේ.

වයසින් වැඩි තරුණ අයට කොවිඩ් 19 ආසාදනය වීමේ වැඩි ඉඩක් ඇත.

ශ්‍රී ලංකාව තුළ ද වයස අවුරුදු 20ට වැඩි සියලු පුද්ගලයන්ට එන්නත් ලබා දීමට ඉදිරියේ දී ක්‍රියා කරන බව දක්වමින් රජය විටින් විට නිවේදන නිකුත් කර තිබේ.

දරුවන්ටත් එන්නත ලැබේද?

දරුවන් වෛරසයෙන් රෝගාතුර වීම අවම මට්ටමක පවතී. නමුත් වැඩිහිටියන් හා අවදානමට ලක්විය හැකි අයව ආරක්ෂා කිරීම සඳහා දරුවන්ට එන්නත ලබා දිය යුතු බවට තර්ක ඉදිරිපත් වී තිබේ.

කෙසේ නමුත්, ලොව පුරා බොහෝ වැඩිහිටියන්ට තවමත් එන්නත නොලැබී ඇති නිසා මෙම තර්කය සදාචාර විරෝධී බව සමහරු පවසති.

බොහෝ එන්නත් නිෂ්පාදකයන් මේ වන විට ද ඒවා දරුවන් මත පරීක්ෂා කරමින් සිටිති.

මේ අතර, වයස අවුරුදු 12-15 අතර ළමුන් සඳහා ෆයිසර්-බයෝන්ටෙක් එන්නත භාවිත කිරීම එක්සත් රාජධානිය අනුමත කර ඇති බව ජුනි 4 වෙනිදා වාර්තා විය.

බී.බී.සී සන්දේශය වාර්තාවකි.

Related Posts