ශ්‍රී ලංකාවෙන් කාබනික ගොවිතැනට පෙර ගමනක්

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රසායනික පොහොර සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ගත් තීරණය ඉතා කාලෝචිත සහ දූරදර්ශීය. මෙය ලොව පුරා ඇති කෘෂි ත්‍රස්තවාදයට එරෙහිව ගත් නිර්භීත තීරණයකි.

අනුරාධා යහම්පත් – නැගෙනහිර පළාත් ආණ්ඩුකාර

පසුගිය යල කන්නයේ දී ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ කන්තලේ ගොවිමහතෙකු මා අමතා ප්‍රකාශ කර සිටියේ කුඹුරු යායක්ම කීඩෑ උවදුර නිසා විනාශ වී ඇති බැවින් ඒ වෙනුවෙන් වන්දි ලබාදීමට කටයුතු කරන ලෙසය. ඔහු පවසා සිටියේ එවකටද කොවිඩ් අර්බුදය හේතුවෙන් රට තුළ සංචරණ සීමා පනවා තිබූ බැවින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා වන්දි ලබා ගැනීම නොහැකි වූ බවයි.

මාගේ ආරාධනාව පරිදි රසායනික විද්‍යාඥ ආචාර්ය කීර්ති වික්‍රමසිංහ මැතිතුමා කන්තලේට පැමිණියේ අඛණ්‌ඩව පැවැති මේ කීඩෑ උවදුරට පිළියමක් ලබාදීමට ය. පසුගිය වසරේ යල කන්නයේ නියමු ව්‍යාපෘතියක් ලෙස පටන් ගැනුණු කාබනික වී ගොවිතැන ක්‍රම ක්‍රමයෙන් පුළුල්ව ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කය පුරාවට වර්ධනය කර ගැනීමට අවස්ථාව උදා වූයේ මේ ආකාරයෙනි.

මොන්සැන්ටෝ වැනි බහු ජාතික සමාගම් නිපදවන කෘෂි ආදේශ තවමත් ලොව පුරාම විකිණේ. කෙතරම්ද යත්, 2024 වන විට US ඩොලර් බිලියන 12 ක වටිනාකමින් යුතු ප්‍රමාණයක රවුන්ඩ්අප් නමැති වල්නාශකය පමණක් විකිණිය හැකි බව ට නිව්යෝක් ටයිම්ස් පුවත්පත අනාවැකි කියයි. මෙහි ඇති ප්‍රධාන රසායනිකය ග්ලයිෆොසේට් පිළිකාකාරක බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාත්‍යන්තර පර්යේෂණ ආයතන මඟින් තහවුරු කර ඇතත් මෙය තවම මහා පරිමාණයෙන් විකිණෙමින් පවතී. ඖෂධ සමාගමක් වන බේයර් සමාගම 2018 දී ඇ. ඩො. බි. 63කට පිළිකාකාරක ග්ලයිපොසේට් නිෂ්පාදනය කරන මොන්සැන්ටෝ ආයතනය මිලදී ගන්නේ එම ආයතනයට නඩු 125,000ක් ද තිබිය දීය.

දැන් එකම සමාගමකට පළමුව කෘෂිකාර්මික රසායනික ආදේශ විකුණා, පසුව සෞඛ්‍යය අංශයට ඖෂධ විකිණීමට හැකිය. මෙය මනුෂ්‍යත්වයට කෙරෙන ඉහළම උපහාසයි.

ශ්‍රී ලංකාව ග්ලයිෆොසේට් තහනම් කළ රටවල් කිහිපය අතරින් එකකි. ලංකාවේ විශේෂයෙන්ම වියළි කලාපයේ ගොවීන් අතර පැතිර ඇති නිදන්ගත වකුගඩු රෝගය සම්බන්ධව කළ පර්යේෂණවල ප්‍රතිඵල වලින් පසුව රජය, ග්ලයිෆොසේට් තහනම් කිරීමට තීරණය කිරීම අප රට ලද ජයග්‍රහණයකි.

අද වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රසායනික පොහොර සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ගත් තීරණය ඉතා කාලෝචිත සහ දූරදර්ශීය. මෙය ලොව පුරා ඇති කෘෂි ත්‍රස්තවාදයට එරෙහිව ගත් නිර්භීත තීරණයකි.

බොහෝ විශේෂඥයන්ගේ දැනුමට අනුව, ලොව පැවැත්ම රඳා පවතින්නේ ජෛව විවිධත්වය මතයි. ගැඩවිලාගේ සිට මී මැස්සා දක්වාද ඇති ජෛව විවිධත්වය රැක ගත හැක්කේ කාබනික යෙදවුම් වලට පමණක් සීමා වූ පසෙහි ජීවය රැක ගත හැකි පරිසර හිතකාමී ගොවිතැනින්මය.

පරිසර පද්ධතියම රැකගත හැකි වන්නේ කාබනික ගොවිතැනෙනි. කාබනික යෙදවුම් සහිත පසෙහි පෝෂ්‍යපදාර්ථ වෙනත් පසක පෝෂ්‍යපදාර්ථ වලට වඩා 60 % කින් වැඩි බව අධ්‍යයන වලින් අනාවරණය වී ඇත.

ආචාර්ය වන්දනා ශිවා පරිසර හිතකාමී කාබනික වගාව ලොව ප්‍රචලිත කිරීමට බොහෝ වෙහෙසක් ගන්නීය. භෞතික විද්‍යා ආචාර්ය උපාධිධාරිනියක් වන ඇයගේම ගොවිබිම් හරහා කරන ලද පර්යේෂණ වලට අනුව කාබනික යෙදවුම් සහිත පසෙහි නයිට්‍රජන් ප්‍රමාණය 44% සිට 147% දක්වා වැඩිවී ඇති බව ද රසායනික යෙදවුම් වලදී නයිට්‍රජන් 22%කින් අඩු වී ඇති බවද සොයාගෙන ඇත.

ඇය ප්‍රකාශ කරන්නේ රසායනික පොහොර හරහා නයිට්‍රජන් එකතු කරන විට පසෙහි හටගන්නා ස්වභාවික නයිට්‍රජන් ප්‍රමාණය අඩුවන බවය.

කාබනික ගොවිතැනේ දී පොස්පරස් 63%කින්ද පොටෑසියම් 34% කින් ද සින්ක් 14%කින් වැඩි වී ඇති බව ඇය පර්යේෂණවලින් පෙන්වා දෙයි.

FAO ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් කියූ ඩෙංග්යු මැතිතුමා පසුගිය මැයි 25 වන දින පැවැත්වු ලෝක නායකයන්ගේ සම්මේලනයේ දී ප්‍රකාශ කර සිටියේ ජෛව විවිධත්වය ආරක්ෂා කර ගැනීම, සොබාදහමත් සමඟ නොගැටී ජීවත් වීම, ස්වභාවධර්මය සහ මානවයා අතර සහජීවනය සියලු දෙනාගේම වගකීම බවත් ය. ඔවුන් මෙම ප්‍රතිපත්තීන් “අප විසඳුමේ කොටස්කරුවන්ය” යන තේමාව යටතේ ප්‍රචලිත කිරීමට කටයුතු කරයි.

ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ පසුගිය මහ කන්නයේ කරන ලද පරිසර හිතකාමී ගොවිතැන හරහා අක්කරයකට අස්වැන්න වී බුසල් 73ත් 108ත් අතර ප්‍රමාණයක් ලබාගැනීමට හැකිවූ අතර පොහොර සහ කෘෂි විකර්ශක ඇතුළුව වියදම් වූ මුළු මුදලම රු.9000කට සීමාවිය. ගොවියකුට පොහොර සහනාධාරය ද ඇතුළුව රසායනික පොහොර හා අනෙකුත් ආදේශකයන් වලට යන මුදල රු.29000ක් පමණ වන අතර එම වී කිලෝවක් රජය මිලට ගත්තේ රු.50කට ය. කාබනික වී කිලෝවකට රු.100ක් වැනි අධික මුදලකට විකිණීමට හැකිවූ බවද ගොවියෝ පවසති. මෙම ක්‍රමවේදය යටතේ පාරම්පරික වී වඩාත් හොඳ ප්‍රතිඵල ලබා දුන් බවද අපි දනිමු.

වී ගොවිතැන සම්පූර්ණ පරිසර හිතකාමී රසායනික පොහොර සහ ආදේශකවලින් තොර ගොවිතැනක් බවට පත්කිරීම අභියෝගාත්මක වුවද මෙය ජයගත හැකි අභියෝගයකි. වී පර්යේෂණ සහ සංවර්ධන ආයතනය මඟින් ඉදිරිපත් කර ඇති දත්තවලට අනුව මහ කන්නයට හෙක්ටයාර් 560,000 සහ යල කන්නයට හෙක්ටයාර් 310,000ක කුඹුරු වගා කරයි. මෙමඟින් අවුරුද්දකට කිලෝ මිලියන 2.7 ක හාල් ප්‍රමාණයක අස්වැන්න ලබා ගැනීමට හැකිවී ඇත.

ඒකපුද්ගල හාල් පරිභෝජනය අවුරුද්දකට කිලෝ 100ක ප්‍රමාණයක් වන අතර මෙය කිසිම ආකාරයකින් අඩු නොකිරීමේ වගකීමද අප මුහුණ දෙන අභියෝග වලින් එකකි. අද වෙළදපොළේ පාරම්පරික සහල් රු.250ත් රු.500ත් අතර මිලකට දැකිය හැකිය. නමුත් අපගේ අභිප්‍රාය වනුයේ කාබනික පොහොර යොදා පරිසර හිතාකාමී ලෙස පාරම්පරික සහල් රටේ සාමාන්‍ය ජනතාවටද මිලදි ගත හැකි වන පරිදි මෙහි අස්වැන්න වැඩි දියුණු කිරීමය.

නිවැරදි ජල කළමනාකරණය, මෙම අභියෝග ජය ගැනීමට ඇති ප්‍රධානම අංගයක් බව පරිසර හිතකාමී කෘෂි විශේෂඥයෝ පවසා සිටිති. කන්න දෙක අතරට රනිල බෝග වගාව හරහා පස සාරවත් වනවා පමණක් නොව වඩා පෝෂ්‍යදායී ආහාර ආදේශකයන් අපගේ ආහාර පද්ධතියට එකතු කර ගැනීමටද හැකිවේ.

ජෛව විවිධත්වය පරිසර පද්ධතිය ආරක්ෂා කරනවා සේම විවිධත්වයෙන් යුතු ආහාර ලබාගැනීමේ පෝෂ්‍ය ඵලදායිතාව, සෞඛ්‍ය සුරක්ෂිත භාවය වැඩිකරගත හැකි බවද විද්‍යාඥයෝ පවසති.

ලංකාවේ වී නිෂ්පාදනයෙන් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක වගා කරන නැගෙනහිර පළාතේ ගොවියා, රසායනික පොහොර තහනම ඔහු ලැබූ ජයග්‍රහණයක් ලෙස සිතන බව මම හොඳින් දනිමි. ඔවුන්ට අවශ්‍ය වන්නේ කාබනික පොහොර නිෂ්පාදනය සඳහා මුල්‍යමය ශක්තිය හා බිත්තර වී පහසුවෙන් ලබාගත හැකි ක්‍රමවේදයක්ය. ගව පට්ටි හිමි ගොවියාට පහසුවෙන්ම ඔවුන්ට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කරගත හැකිය. එබැවින් ගව සම්පතද ආරක්ෂා කර ගනිමින් එයද ගොවිතැනෙහි කොටසක් බවට පත් කර ගැනීමට හැකිවේ. ගෙවතු වගාවද තවතවත් දිරිමත් කිරීමට මෙය අවස්ථාවක් කර ගත යුතුය. මෙමගින් රටේ ආහාර සුරක්ෂිත භාවය ශක්තිමත් වන අතර, ගෙවතු වගාව ආර්ථිකයට සහ පරිසරයට වන දායකත්වය අවතක්සේරු නොකර මෙයද අපේ රටේ තිරසාර සංවර්ධනයෙහි අංගයක් බවට පත් කළ යුතුය.

දුප්පත්කමින් පමණක් නොව වකුගඩු රෝගයෙන් ද පීඩා විඳින ගොවිජනතාවට පරිසර හිතකාමී ගොවිතැන අස්වැසිල්ලක් වනු බව නොඅනුමානය.

රසායනික පොහොර ආනයනය නවතා ඇමෙරිකන් ඩොලර් මිලියන 400කට ආසන්න ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට රජයට හැකි වුවද කාබනික පොහොර ආනයනය කළ හොත් මෙම ඉතිරිවන මුදල රටේ නිෂ්පාදන ක්‍රියාවලියට එක් කිරීමට ලැබෙන ස්වර්ණමය අවස්ථාව මග හැරී යනු ඇත. එබැවින් හැකිතරම් කුඩා ගොවිබිම් වලට ඔවුන්ගේම කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය මූල්‍යමය දායකත්වය ලබාදීමට ප්‍රමුඛතාව දිය යුතුය.

ජාත්‍යන්තර කාබනික කෘෂිකාර්මික සම්මේලනයට (International Federation of Organic Agriculture Movements – IFOAM) අනුව ලෝකයේ හෙක්ටයාර් මිලියන 37.2ක් කාබනික කෘෂි වගාවහි යෙදේ.

මෙයින් වැඩිපුර කාබනික කෘෂි වගා භූමි ඇත්තේ ඕස්ට්‍රේලියාව, ආජන්ටිනාව සහ ඇමෙරිකාවටයි. ලෝකයේ සැම රටක්ම ආහාර සුරක්ෂිතභාවය පවත්වා ගැනීමට වසවිසෙන් තොර ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට යොමුවෙමින් පවතී.

ඔවුන් විශ්වාස කරනුයේ කුඩා ගොවිපළවල් හරහා විවිධ භෝග වර්ග වරින්වර පැළ කිරීම වඩාත් දියුණු කෘෂි තාක්ෂණයක් ලෙසයි.

අන් සියල්ලම මෙන් කෘෂිකර්මාන්තය ද පරිණාමය වෙමින් පවතී. ලෝකයේ සෑම රටක් ම පරිසර හිතකාමී කෘෂි කර්මාන්තයට ක්‍රමක්‍රමයෙන් යොමු වෙමින් සිටින අවස්ථාවක ශ්‍රී ලංකාව ම පරිසර හිතකාමී, තිරසාර ගොවිතැන හරහා ලොව වසවිසෙන් තොර පළමුවන රට වීමට ලැබී ඇති මෙම අනගි අවස්ථාව සියලු දෙනාම එක්වී යථාර්ථයක් බවට පත්කර ගැනීමට උත්සුක වෙමු.

Loading...

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *