විදුලි අර්බුදය ගැන විදුලි විශේෂඥයින් කළ බිහිසුණු හෙළිදරව්ව

Spread the love

රට තුළ ගොඩනැගෙන බොහෝ අර්බුද මෙන්ම විදුලි අර්බුදය ද ආණ්ඩුවේ අදූරදර්ශී තීන්දු නිසා ඇතිවූ අර්බුදයන් බව 43 සේනාංකය ඉංජිනේරු සංසදය පවසයි.

අද (ජනවාරි 25) පැවැති මාධ්‍ය හමුවකට එක් වූ 43 සේනාංක ඉංජිනේරු සංසදයේ කැඳවුම්කරු ඉංජිනේරු සුරත් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ පාලකයන් මේ වන විට එක් අර්බුදයක් වසාගැනීම සඳහා තවත් අර්බුදයක් ගොඩ ගසන මට්ටමට පැමිණ ඇති බවය.

“මේ අර්බුදය විසඳගන්න ක්‍රම හොයනවා වෙනුවට මොවුන් තවමත් කරන්නේ අර්බුදය තව දුරටත් පහතට දමමින්, නැත්නම් අර්බුද තුළට රට ගිල්ලවමින් යන එකයි. මුලින්ම තමන්ගේ මිතුරු ව්‍යාපාරික ප්‍රජාවට උදව් කිරීම සඳහා සීනි බදු වංචාවට අනුමැතිය දුන්නා. ඒ වගේම පොල්තෙල් වංචාව ආවා. ඒ සියල්ලගෙන්ම ජන ජීවිතය අඩාල වුණා. ඊට පස්සේ පොහොර අර්බුදය ආවා, කිරිපිටි අර්බුදය ආවා. ගෑස් අර්බුදය ආවා, තෙල් අර්බුදය ආවා. ඒ සියල්ලගෙන්ම සිදුවුණේ, ජන ජීවිතය අඩාල වුණා. ඩොලර් නැතිකම නිසා මේ සියල්ල අප රට තුළට ගෙනෙන්නට බැරි වුණා. නමුත්, අපි සොයලා බැලුවොත් සිද්ධ වෙලා තියෙන්නේ අසාර්ථක මූල්‍ය කළමනාකරණය නිසා රට තුළට ගලාගෙන එන්න තිබුණු ඩොලර් ප්‍රමාණයවත් ලබාගන්නට මොවුන්ට හැකියාවක් නැති වුණා. ඒ විතරක් නෙමෙයි ඔවුන්ගේ කොමිස් ගැහිලි, වංචනික ක්‍රියාවන් නිසා රටේ තිබුණු ඩොලර් එළියට යන්නට ගත්තා.

ලංකාවේ විදුලි නිෂ්පාදනයෙන් 40% ක ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්නේ ජල විදුලියෙන්. අනිත් ප්‍රමාණය සම්පූර්ණයෙන්ම වගේ නිෂ්පාදනය කරන්නේ ගල් අඟුරු ආශ්‍රිතව. එහෙමත් නැත්නම් ඩීසල් හෝ දැවිතෙල් ආශ්‍රිතව. යම් ප්‍රමාණයක් සූර්ය ශක්තිය සහ සුළං ශක්තිය යොදාගෙන සිදු කරත් බහුතරයක් නිෂ්පාදනය වෙන්නේ ගල් අඟුරු භාවිතයෙන්. එහෙම නැත්නම් දැවිතෙල්, ඩීසල් භාවිතයෙන් සහ ජල ජල විදුලි බලය ලෙස. මේ වන විට ජාත්‍යන්තරයේ කොපමණ පිළිගැනීමක් තියෙනවද කියනවා නම්, අපේ රටට ගල් අඟුරු ටෙන්ඩරයට ටෙන්ඩර් දමන්නවත් කිසිදු සමාගමක් මේ වෙනකොට සම්බන්ධ වෙලා නැහැ. ඒ නිසා වෙන්නේ අපේ ගල් අඟුරු තොග මේ වෙනකොට සීඝ්‍රයෙන් පහත වැටෙමින් තිබෙනවා. ඒ වගේම තමයි මේ ඩොලර් හිඟතාවය නිසා අපේ තෙල් සංචිත නැතිවෙලා තියෙනවා.

දැන් තෙල් නැහැ අපිට. ඒක නිසා තෙල් වලින් දුවන බලාගාර නවත්තන්නට සිද්ධ වෙලා තියෙනවා. ජල විදුලි බලය නිෂ්පාදනය 40%කට යන්න බැහැ මේ වසරේ. ඒ විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට වර්ෂාව නැහැ. ඒ නිසා සිද්ධ වෙන්නේ විදුලි කප්පාදුවකට අපි යා යුතුයි. දැන් ඒක තමයි මේ සිද්ධ වෙමින් තිබෙන්නේ. ඇමතිවරයා කියනවා හවසට විදුලි කප්පාදුවක් නැහැ කියලා. හැබැයි විදුලි කප්පාදුවක් සිද්ධ වෙනවා. එක් එක් ප්‍රදේශවල පැය 2, 1 1/21, 2 ආදී වශයෙන් විදුලි කප්පාදුවක් සිද්ධ වෙනවා.

මේ විදුලි කප්පාදුව පෙබරවාරි මාසේ මුල් සතිය පමණ වන විට පැය 4 ක් දක්වා යෑමට නියමිතයි. මාර්තු විතර වෙනකොට මේ විදිහටම ගියොත් පැය 8 ක විදුලි කප්පාදුවකට යන්න පුළුවන්. මොකක්ද රටට සිද්ධ වෙන්නේ? රටේ කර්මාන්ත සියල්ල බිඳ වැටෙනවා. දැන් අපිට තෙල් අර්බුදයකුත් තියෙනවා. විදුලි කප්පාදුවකුත් එනවා. අපිට කොයි වෙලාවකවත් හැකිවෙන්නේ නැහැ කර්මාන්තශාලා මෙහෙයුම් ක්‍රියාත්මක කරන්න.”

මේ අවස්ථාවට එක්වූ ලංකා විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපති, මහාචාර්ය අනුර විජේපාල මහතා සඳහන් කළේ විදුලි අර්බුදයත් සමග අවුරුදු 70 කට රට තුළ් නොතිබුනු අවාසනාවන්ත අර්බුදකාරී තත්ත්වයකට රට පත්ව තිබෙන බවය.

“මේ අදූරදර්ශී තීරණ නිසා අපි අද 30% ක විතර ප්‍රමාණයක් ඉතා අධික මිලට තෙල් භාවිතයෙන් විදුලිය නිෂ්පාදනය කරන රටක් බවට පත්වෙලා තියෙනවා. ඒක ඉතාම වැරදි තීරණයක්. ඒ වගේම අපි නොයෙක් අවස්ථාවල ක්‍රියාත්මක කරගෙන ආපු විදුලි බලාගාර අතරමගදී එක පෑන් පාරකින් නවත්තලා දැම්මා. ඉතින් අද අපි මේ ගෙවන මේ මිල, විදුලිය කැපීම, මේ සියල්ලටම මුල තමයි මේ අදූරදර්ශී තීරණ. දැන් අපිට පේනවා තවත් අදූරදර්ශී තීරණ මේ රජයනුත් ගනිමින් ඉන්නවා. දැන් උදාහරණයක් විදිහට, අපි තීරණය කරලා තියෙනවා, 70%-80% ක් පුනර්ජනනීය විදුලි බලාගාර විදුලිය වෙත යන්න 2030 වෙනකොට. ඒකේ වරදක් නැහැ.

ඒ ගාන අපිට සරිලන ගණන නම් අපේ ආර්ථිකයට ඔරොත්තු දෙන ගානක් නම්. ඒක නිසා මම අහන්න කැමතියි රජයෙන් සහ අනෙකුත් නිලධාරීන්ගෙන් මේ ගණන අපි තීරණය කළේ මොන පදනමෙන්ද? විද්වත් කතිකාවකින්ද? එහෙම නැත්නම් සුදුසු අධ්‍යයනයකින්ද? එහෙම නැත්නම් ව්‍යාපාර කටයුතු කරන අයගේ වුවමනාවන් සඳහාද? ඉතින් මේක තමයි තියෙන ප්‍රශ්නෙ.

තව අවුරුදු දහයකින් වෙනකොට අපිට හිතාගන්න බැරි විදිහට මේ ක්ෂේත්‍ර අවුලෙන් අවුලට යන්න පුළුවන්. දැන් මේ තියෙන කෙටි කාලීන ප්‍රශ්න, විදුලිය කැපීම සහ තෙල් ලබාගැනීමට තියෙන අසීරුතාවය. “සමහර පුද්ගලයන් මොන ක්‍රමයෙන් හෝ විදුලිය ලබාදීමක් ගැන කතා කරයි. මොන ක්‍රමයෙන් හෝ විදුලිය ලබා දීමේ වියදම දරන්නේ කවුද යන්න මහාචාර්‍යවරයා විසින් ප්‍රශ්න කළේය.

“විදුලිබල මණ්ඩලය පෙට්‍රෝලියම් කෝපරේෂන් එකට ණය තියෙන්නේ බිලියන 93 ක් ණය මුදල අපේ සමස්ත විදුලිය පාරිභෝගිකයන් සංඛ්‍යාව වන මිලියන හතෙන් බෙදුවාම එක පාරිභෝගිකයෙකුට වැටෙනවා රු. 13,000 ක්. ඒ කියන්නේ අපි වෙනුවෙන් රජය රුපියල් 13,000 ගානේ දැන් ගෙවනවා. අපි ගෙවන විදුලි බිලට අමතරව අපෙන්ම අයකරන වලින් අපි වෙන ක්‍රම වලින් ගෙවන වලින් රුපියල් දහතුන්දාහ ගානේ ආයි විදුලිබල මණ්ඩලයට ගෙවනවා.”

43 සේනාංක ඉංජිනේරු සංසදයේ සාමාජික සිවිල් ඉංජිනේරු සුමේධ රත්නායක
“මේ ජනාධිපතිවරයා පත් වෙලා වසර දෙකක් වෙලා තියෙනවා. තවමත් විදුලිබල ක්ෂේත්‍රය සඳහා කිසිම විදුලි බලාගාරයක් ආරම්භ කරලා නැහැ. වර්තමානයේ මේ ඇතිවෙලා තියෙන මේ අර්බුදය, ඒ කියන්නේ ක්ෂණිකව මේකට තෙල් හොයාගෙන ගැටගහ ගත්තත් අපි අනාගතයේදී අපේ ආර්ථිකය වර්ධනය වෙනකොට මේ අර්බුධයෙන් අපි ගොඩ ගිහිල්ලා යම් මොහොතක හෝ අපේ මේ ආර්ථිකය වර්ධනය වෙන්න පටන් ගන්න කොට අපිට අවශ්‍ය විදුලිය නැතුව යනවා මේ විදිහට අලුතෙන් බලාගාර හදන්නෙ නැතුව හිටියාම. බලශක්ති විශේෂඥයන් එකතු වෙලා ජාතික බලශක්ති ප්‍රතිපත්තියක් හදලා තියෙනවා. සිද්ධ විය යුත්තේ මේ පාලනයට පත්වෙන දේශපාලන නායකයින් විසින් ජාතික ප්‍රතිපත්තීන් වලට අනුකූලව තීන්දු ගැනීම. නමුත් මේ තීන්දු ගන්නේ ජාතික ප්‍රතිපත්තීන්වලට අනුව නෙමෙයි. ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, ඇමතිවරයා පත් වෙනකොට ඔවුනොවුන්ට හිතෙන ආකාරයට තමයි ඔවුන් මේ තීන්දු තීරණ ගන්නෙ. ඒකේ ප්‍රතිඵලයක් විදියට දැන් පුනර්ජනනීය බලශක්තිය 70% යි. අනෙකුත් බලශක්තිය 30% යි කියලා ප්‍රතිපත්තියකට ඇවිල්ලා තියෙනවා. විදුලිබල ප්‍රතිපත්තියෙයි, ජාතික බලශක්ති ප්‍රතිපත්තියෙයි තියෙන්නේ එහෙම නෙමෙයි.

රජයට වගකීමක් තියෙනවා, මේ විදුලිය නොකඩවා ලබාදීම සඳහා. මේ දේ අද අපි ඉන්න තත්වෙට ඇවිල්ලා තියෙන්නේ ඔවුන්ගේ වැරදි, ආර්ථික කළමනාකරණ තීන්දු නිසා. ඒ නිසා ජනතාවට ආණ්ඩුව ගන්න, ඒ වැරදි ආර්ථික කළමනාකරණ තීන්දු වලට වගකීමේ හැකියාවන් නැහැ.

ගෑස් ප්‍රශ්නයත් එක්ක රටේ මිනිස්සු ගිහිල්ලා අර විදුලි ලිප් සල්ලි වලට ගත්තා නේ? ඊළඟට මේ විදුලිය කපනකොට දැන් ඒ ගත්ත වී ඒ ඉන්ඩක්ශන් කුකර්ස් වලින් වැඩක් නැතුව ගිහිල්ලා තියෙනවා. මිනිස්සු මුදල් වැය කරනවා විතරයි ඒ අමතර ද්‍රව්‍යවලට. ඒ වගේමයි දැන් ජනතාව ගිහිල්ලා චාර්ජින් ලෑම්ප් වලට සල්ලි වියදම් කරනවා. රුපියල් දෙදාහක් විතර බල්බ්. මේ එදිනෙදා ඉතා අමාරුවෙන් ජීවත්වෙන ජනතාවට තවදුරටත් එදිනෙදා තමන්ගේ ජීවිතයට අවශ්‍ය මුදල් වලටත් වඩා වැඩියෙන් අමතර දරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ ගන්න එක එක වැරදි තීන්දු නිසා හරියට හරි දේ ජනතාවට කියන්නේ නැති නිසා. විදුලිබල ඇමති කියනවා නෑ අපි ලයිට් කපන්නේ නැහැ කියලා. නමුත් හැන්දෑවට ලයිට් කපනවා. ඒ වගේම අර තෙල් ඇමති කියනවා, දවස් අටකටයි තෙල් තියෙන්නේ. අපිට තෙල් දෙන්න පුළුවන්, දවස් හැටක කියලා. මේ එකිනෙකා වෙනස් ප්‍රකාශ කරන නිසා, මිනිස්සුන්ට කිසිම විශ්වාසයක් නැති වෙලා තියෙනවා මේ දේශපාලන නායකයෝ, ආණ්ඩුවේ ඇමතිවරු කියන දේවල් ගැන.

විදුලිබල මණ්ඩලයේ හිටපු අර ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා අර යුග දනවී බලාගාරයට කැමති උනේ නැති නිසා ඔහුව අයින් කරනවා. ඊට පස්සේ විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපතිවරයාත් එතනින් අයින් කළා. ඊට පස්සේ මෙතන්ට විදුලිබල ඇමතිවරයෙක් ආවා. පහුගිය පුවත්පත් සාකච්ඡාවක කොහෙන්ද විදුලිය දෙන්න තෙල් කියලා ඇහුවාම ඔහු ඔළුව කහ කහ කියනවා. අයිඕසී එකෙන් හරි තෙල් ටිකක් හොයාගන්න උත්සාහ කරනවා කියලා. අපේ විදුලිබල ඇමතිද මේ කියලා දුක හිතෙනවා. අන්න වගේ තත්වයක විදුලිබල ඇමති කෙනෙක් දාගන්නවා. ඊළඟට ඊට යටින් දාගන්නවා සභාපති කෙනෙක්. අපි හොඳට දන්නවා ඒ සභාපතිවරයා ගැනත් අපිට අහන්න ලැබෙනවා ඒ විදුලිබල මණ්ඩලයේ ඉන්න ඉංජිනේරුවරුන්ගෙන් එහෙම, ඒ සභාපතිවරයා කවුද කියලා. ඒත් එක්කම දැන් සාමාන්‍යාධිකාරී කෙනෙක් පත්කරගෙන ඉන්නවා. මේ සභාපතිවරයා සහ සාමාන්‍යාධිකාරීවරයා තමයි යුග දනවි ගිවිසුමට සාක්කියට අත්සන් කළා කියලා විදුලිබල මණ්ඩලයෙන් ඇසෙන්න ලැබෙන්නේ.

මේ පොහොර ප්‍රශ්නය වෙනස් කරගන්න පුළුවන් වුණා ජනතාව උද්ඝෝෂණය කරලා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා මේ වෘත්තිකයින්ගෙන් ඉස්සරහට එන්න. ඇවිල්ලා තමන්ගේ මතය කියන්න. මේ ආණ්ඩුවට බලපෑම් කරන්න. මේ යන මාර්ගයෙන් ආණ්ඩුව වෙනස් කරගත්තේ නැත්නම් අපි දවසින් දවස තවත් ඉස්සරහට යන්නේ රට අගාධයට පත් වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා සියලුම දෙනාට ඉදිරියට ඇවිල්ලා මේක වෙනස් කරගන්න කැපවෙන්න කියලා අපි ඉල්ලීම් කරනවා.” 43 සේනාංක ඉංජිනේරු සංසදය වෙනුවෙන් ඉංජිනේරු සුමේධ රත්නායක වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

Loading...

Related Posts