‘විද්‍යාත්මක පදනමක් නොමැතිව ආණ්ඩුව ගන්නා තීරණවලට වගකියන්න වෙනවා’ – ජාතික විද්වත් සංවිධානය

ජනතාව කෝවිඩ් වසංගතය සම්බන්ධයෙන් බියෙන් පසුවන අවස්ථාවක ආණ්ඩුව එය මර්දනය කිරීම සඳහා ඵලදායී ක්‍රියාමාර්ග අනුගමනය කරනවා වෙනුවට පෝට් සිටි කොමිෂන් සභා පනත සම්මත කර ගැනීම, අපරාධකරුවන් යැයි හඳුන්වන අය පොලිස් අත්අඩංගුවේ සිටියදී වෙඩි තබා ඝාතනය කිරීම, නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන කොතලාව ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම වැනි ජනතා විරෝධී ක්‍රියාමාර්ගවල නිරත වීම සම්බන්ධයෙන් සිය සංවිධානය බලවත් විරෝධය පළ කරන බව ජාතික විද්වත් සංවිධානය කියයි.

ජාතික විද්වත් සංවිධානය අද (17) බත්තරමුල්ලේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මේ බව අවධාරණය කරනු ලැබීය.

ජාතික විද්වත් සංවිධානය වෙනුවෙන් මහාචාර්ය චන්දන අබේරත්න, වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ සහ නීතිඥ හර්ෂණ නානායක්කාර මෙම මාධ්‍ය හමුවට එක්වී සිටියහ. එහිදී ඔවුන් දැක්වූ අදහස් පහත දැක්වේ.

අලූත් අවුරුදු රැල්ල කියන හැඳින්වීම අපට ප්‍රශ්නයක් – මහාචාර්ය චන්දන අබේරත්න

ඔබ අප කවුරුත් දන්නා පරිදි ශ්‍රී ලංකාව අද ඉතාමත් බරපතළ ව්‍යසනයකට මුහුණ දී සිටිනවා. මේ ව්‍යසනයෙන් රටක් හැටියට, සමාජයක් හැටියට, ජනතාව ගලවා ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ගැන අපේ අදහස ඉදිරිපත් කරන්න මේ මාධ්‍ය හමුව පවත්වනවා. කොවිඩ් 19 ලෝක වසංගත උවදුර අපේ රට තුළ පළමුවැනි, දෙවැනි රැලිවලින් පසුව තුන්වැනි රැල්ලක් ඇතිවී තිඛෙන බව සඳහන් කරනවා. මේ තුන්වැනි රැල්ල ගැන අලූත් අවුරුදු රැල්ල කියලා සඳහන් කළත් ‘අලූත් අවුරුදු රැල්ල’ කියන හැඳින්වීම සුදුසු නැහැ. මොකද අලූත් අවුරුදු රැල්ල කියන හැඳින්වීම හේතු කිහිපයක් නිසා අපිට ප්‍රශ්නයක්. අලූත් අවුරුද්ද වෙනුවෙන් ජනතාව ගැවසීමට වඩා බරපතළ හේතු සාධක මත අද තිඛෙන ව්‍යසනකාරී තත්වය ඇතිවුණා. ජනතාව කොරෝනා නීති නොතකා කටයුතු කිරීම කියන එක නිවැරදි වුණත් ඒ සඳහා ඔවුන්ට අවකාශ ලබාදීම මූලික බරපතළම ගැටලූවයි.

අද වෙනනොට දිනකට 2500කට ආසන්න රෝගීන් වාර්තා වෙනවා. දිනකට ආසන්න වශයෙන් මරණ 20කට වඩා වාර්තා වෙනවා. මේ වාර්තා වන සංඛ්‍යාලේඛන පිළිබඳව වගකිව යුතු පාර්ශ්වවලින් මාධ්‍යවලට ඉදිරිපත් කරන තොරතුරු නිවැරදි සංඛ්‍යාලේඛන නොවන බව අපට පෙනී යනවා. මේ ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන පිළිබඳව සලකා බැලුවත් බරපතළ තත්වයක් පෙන්නුම් කරනවා. මේ ව්‍යසනය පිටුදැකීම සඳහා ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග තුළ රටවැසියා ඒ සඳහා සූදානම් කිරීමේ ක්‍රියාමාර්ග සෑහීමකට පත්වෙන්න බැරි ඒවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ පාසැල් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපන ආයතන වහලා දාලා ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනය අහිමිවීම ප්‍රතිපූර්ණය කිරීමට ගන්නා ක්‍රියාමාර්ග ගැටලූසහගතයි. මාර්ගගත ක්‍රමය ඔස්සේ පවත්වාගෙන යන අධ්‍යාපන ක්‍රමය සම්බන්ධයෙන් ගැටලූ ගණනාවක් මතුවී තිඛෙනවා. ඒ කිසිවකට උත්තර ලබාදී දරුවන්ට විධිමත් අධ්‍යාපනය ලැබීමට අවස්ථා සලසා නැහැ. ගොවීන්ගේ නිෂ්පාදන, ධීවර නිෂ්පාදන නිසි පරිදි විකුණා ගැනීමට අවස්ථා සලසා නැහැ. පාරිභෝගික ජනතාවට මේ නිෂ්පාදන සාධාරණ මිලකට ලබාගැනීමේ අවස්ථාත් සලසා නැහැ. තොග වෙළෙන්දාගේ සිට සිල්ලර වෙළෙන්දා දක්වා පුළුල් පරාසයක විහිදුනු සියලූම පිරිස් දුෂ්කරතාවලට මුහුණ දී සිටිනවා.

මේ තත්වයන්ට රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත්ව යෙදවීමක් දකින්න නැහැ. ආණ්ඩුව මේ වෙනුවෙන් මැදිහත්වීමක් නොකරන තත්වයක් දකින්න ලැබෙන්නේ. කෙටියෙන් කියනවා නම් අරාජික තත්වයක් රටපුරා නිර්මාණය වී ඇති බව ඒ ඒ ක්ෂේත්‍රවලින් පැහැදිලි වෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බරපතළ ප්‍රශ්න ඇතිවී තිඛෙනවා. ඇඳන් පමණක් නොවෙයි, වෛද්‍යවරු, පුහුණු හෙද කාර්යමණ්ඩලය, අනෙකුත් සේවා සපයන අංශ, අත්‍යාවශ්‍ය උපකරණ යන සියල්ලම මේ මොහොතේ තීරණාත්මකයි. මේ ගැටලූ විසඳීම සඳහා ආණ්ඩුවේ මැදහත්වීම කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. මේ තත්වය යටතේ කිසිසේත්ම නොකළ යුතු යැයි අපි විශ්වාස කරන ක්‍රියාමාර්ග ආණ්ඩුව ඉතා කඩිනම් ආකාරයෙන් දියත් කරමින් තිඛෙනවා. වරාය නගර කොමිෂන් සභා පනත සම්මත කර ගැනීමට දරන ප්‍රයත්නය වසංගතය මර්දනය කිරීමට යෙදවූවා නම් තුන්වැනි රැල්ලක් ඇතිවන්නේ නැහැ. කොතලාවල ආරක‍ෂක විශ්වවිද්‍යාලය සම්බන්ධ පනත, තවත් එවැනිම එකක්. මේකට සමාන්තරව පහුගිය කාලයේ සයිටම් ප්‍රශ්නය පැවති ආකාරය අපි දැක්කා. එයට විරුද්ධව විශාල පිරිසක් විවිධ ක්ෂේත්‍රවලදී හඬනැගුවා. නමුත් මේ ව්‍යසනය හමුවේ අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ කි්‍රයාමාර්ග ආණ්ඩුව ගෙන එමින් තිබෙනවා. ඒ ගැන අප තුළ පවතින්නේ දැඩි පිළිකුළක්.

කොවිඩ් මර්දනය කිරීමට මුල් තැන දෙනවා වෙනුවට ආණ්ඩුව විසින් මේ වනවිට දියත් කර තිඛෙන අහිතකර ප්‍රයත්නයන් පරාජය කිරීමට දැනුවත් වන ලෙස අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කොවිඩ් පාලනය සඳහා වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ජනතාවගෙන් ඉල්ලීම් කළ හැටි අපි දැක්කා. එය පමණක් ප්‍රමාණවත් නැහැ. රජයක් විදිහට මේ වෙනුවෙන් මැදිහත් වන ලෙසට බලකරන මෙන් අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඉන්දීය ව්‍යසනය දැක දැක අවශ්‍ය තීන්දු නොගැනීමෙන් රට විශාල අනතුරකට දැම්මා – ජාතික විද්වත් සංවිධානයේ ප්‍රධාන ලේකම්, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ

කොවිඩ් 19 වසංගත තත්වය පිළිබඳවත් මේ වනවිට සමාජයට විශේෂයෙන් බලපාන කරුණු කිහිපයක් පිළිබඳවත් ජාතික විද්වත් සංවිධානය හැටියට අපි දරන අදහස් මා මෙහිදී පැහැදිලි කරන්නම්. ගෝලීය වසංගතය පසුගිය මාස 16ක විතර කාලයකදී පැතිරී යනවා. අපේ රටත් මාස 14ක විතර පැතිරී යමින් තිඛෙනවා. විශේෂයෙන්ම මේ කලාපයේ මාස 2ක පමණ සිට වේගවත් වෙමින් තිඛෙනවා. ඉන්දියාව මේ ව්‍යසනයෙන් ඉතාම බරපතළ තත්වයකට පත්වෙනවා දැක දැකත් අපේ රටෙ කළ යුතුව තිබූ සූදානම් කිරීම් සිදු නොකර මේ වනවිට රට බරපතළ අනතුරකට ඇද දාලා තියෙන්නේ. වසංගතය කළමනාකරණය කිරීම පැත්තෙන් මූලිකව බැලූවාම අදාල තීන්දු-තීරණ ගැනීම ඉතාමත් බරපතළ ලෙස ප්‍රමාදයි. අනික් පැත්තෙන් වසංගතය පාලනය කිරීමේ මූලික වගකීම කා සතුද? මේ වගකීම ගන්නේ කවුද? කියන එක ගැන කිසිම පැහැදිලිකමක් නැහැ. විවිධ අමාත්‍යවරු, විවිධ නිලධාරීන් විවිධ ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශවල ඒකමතියක් පෙන්නේ නැහැ.

මෙය බරපතළ සෞඛ්‍ය ප්‍රශ්නයක්. ඒ නිසා සම්පූර්ණ වගකීම රට තුළ තිඛෙන්නේ සෞඛය අමාත්‍යාංශයට. නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ වගකිව යුතු නිසි බලධාරියා සෞඛ්‍ය සේවා අධ්‍යක‍ෂ ජනරාල්වරයායි. කවුරු තීරණ ගත්තත් අවසන් බලධාරියා වෙන්නේ ඔහු බව සෞඛ්‍ය සේවා අධ්‍යක‍ෂ ජනරාල්වරයා බව අපි මතක් කළ යුතුයි. ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වසංගතයට මුහුණ දීමේදී ගත් තීරණ ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා මැතිවරණයෙන් පරාජය වුණා. බ්‍රසීලයේ ජනාධිපතිටත් සාපරාධී ඝාතන චෝදනා මේ වසංගතය සම්බන්ධයෙන් එල්ල වී තිඛෙනවා. ඉන්දියාවේ මෝදි අගමැතිවරයාට, බ්‍රිතාන්‍යයේ ලන්සට් සඟරාවෙන් කෙලින්ම චෝදනා කර තිබෙනවා. ඒ නිසා මේ පිළිබඳ තීන්දු-තීරණ ගැනීම තීරණාත්මකයි. අපේ රටේ මහජන සෞඛ්‍ය සහ රෝග වැළැක්වීම පිළිබඳව වසංගතවේදය පිළිබඳව ඉතිහාසයේ කීර්තිනාමයක් තිබුණු රටක්. අවම වියදමකින් මහජන සේවාවක් හැටියට සෞඛ්‍යය පවත්වාගෙන ගිය රටක්. මේ වසංගතය පාලනය කිරීමේ විශේෂ වගකීමක් අපි සියලූම දෙනාට මේ වෙලාවේ තියෙනවා.

අපේ රටේ ඉතිහාසයේදී මේ වගේ වසංගතයන් පාලනය කළේ “වසංගත රෝග පාලනය පිළිබඳ උපදේශක කමිටුවකින්”. ඒ උපදේශක කමිටුවේ මෙහෙයවීම මත සෞඛ්‍ය සේවා අධ්‍යක‍ෂ ජනරාල්වරයා කටයුතු කළා. මේ වෙලාවේ ඒ කමිටුව අකර්මණ්‍ය කරලා හෝ අකර්මණ්‍ය වෙලා. ඒ නිසා තව දුරටත් ඒ කමිටුව කෙරෙහි විශ්වාසය තියන්න බැරිවෙනවා. මේ ගොලීය අභියෝගයේ බැරෑරුම්කම ආණ්ඩුව තවමත් තේරුම් අරගෙන නැහැ. ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් පැනවූවා, විශේෂඥ අවබෝධයක් සහිත කණ්ඩායමක් මගින් වසංගතය පාලනය කරන්න ක්‍රියාමාර්ග ගත යුතු බවට. ඒ අනුව නවදිල්ලිය ඒ වෙනකොට ලොක්ඩවුන් කරලා. සිංගප්පූරුව මාසයක් රට ලොක්ඩවුන් කරලා. මේ වෙලාවේ අපේ කලාපය තුළ බී.11 ප්‍රභේදය සහ බී.167 කියන ප්‍රභේදය ව්‍යාප්ත වෙමින් තිබෙනවා. ඒ නිසා අපේ රටට ඉතාමත් තීරණාත්මකයි. මේ වෙනකොට දෛනිකව 2,000කට වැඩි ආසාධිතයින් සහ මරණ 20කට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙනවා. දිනකට පී.සී.ආර්. පරීක‍ෂණ 25,000කට සීමා වෙලා නිසා ආසාධිතයින් වැඩිවීම සංඛ්‍යාත්මකව පේන්නේ නැහැ. පී.සී.ආර්. කරන ප්‍රමාණයට සාපේක‍ෂව ආසාධිතයින් හඳුනාගන්නා ප්‍රමාණයේ ප්‍රතිශතය විතරයි ඉදිරියේදී දකින්න ලැබෙන්නේ.

දවසකට එක ආසාධිතයෙක් හඳුනාගන්නකොට ඔහුගේ පවුලේ සහ සමීපතමයන් අනිවාර්යයෙන්ම අඩුම තරමෙන් දෙදෙනෙකුවත් ඉන්න ඕනෑ කියලා හිතන්න පුළුවන්. ඒ අනුව 6,000ක් ඉන්න තැනක හඳුනාගන්නේ 2,000ක් වගේ සංඛ්‍යාවක් පමණයි. මේ අයගෙනුත් 80%ක් රෝග ලක‍ෂණ නොපෙන්වන ආසාධිතයෝ. 15%කට වෛද්‍ය උපදෙස් අවශ්‍ය වෙනවා. ඒ වගේම 5%කට රෝහල්ගත වෙන්න සිදුවෙනවා. ඒ වගේම 1%ක්වත් අඩුම තරමෙන් දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කරන්න වෙනවා. මේ දැඩිසත්කාර ඒකක අවශ්‍යතාවය සැලකූවත් දිනකට 60ක් විතර වෙනවා. මේ එක් අයෙක් අඩුම තරමින් දින 10ක්වත් රෝහල් තුළ රැකබලාගන්න වෙනවා. ඒ නිසා ඇතිවෙමින් තිබෙන්නෙ බරපතළ තත්වයක්. රෝහල්වලට ඇතුළත් කර ගන්නා ප්‍රමාණය සීමා වෙලා. ඒ නිසා අපි හැමෝටම බලපාන තීරණාත්මක තත්වයකට රෝහල් පද්ධතියට දරාගන්න බැරි තත්වයක් තියෙන්නේ. මේ වෙලාවේ නිවැරදි පියවර නොගත්තොත් බරපතළ ඛේදවාචකයකට පත්වෙනවා.

අපිට තියෙන එක බලාපොරොත්තුවක් වන්නේ එන්නත්කරණය මගින් රෝගය පාලනය කර ගැනීමයි. වසංගත රෝග විද්‍යාඥවරයෙක් හැටියට අවුරුදු 30කට අධික කාලයක් රාජකාරී කර, අවුරුදු 38ක් මහජන සෞඛ්‍ය සේවයේ යෙදී සිට ලබාගත් අත්දැකීම් අනුව අපි එන්නත් කරන්නේ ඇයි කියන ප්‍රශ්නය අද ඇතිවෙලා තිඛෙනවා. එන්නත් කරන්නේ වසංගතය අවම කර ගන්නද, රෝගීන් අවම කර ගන්නද? එහෙම නැත්නම් වෛරසය තුරන් කරන්නද කියලා කිසි දෙයක් පැහැදිලි නැහැ. රජයේ තීන්දු-තීරණ ගන්නා අය විශේෂඥ කරුණු දැක්වීමක් කරන්නේ නැහැ. ඒ නිසා අපිටත් මේක තේරුම් ගන්න බැහැ. මේ වෙනකොට තියෙන එන්නත් 100%ක් සාර්ථකභාවය ඔප්පු කළ ඒවා නෙවෙයි. එන්නත් වාර දෙක ලබාගත්ත රටවල නැවත ආසාධනය වී මියගිය තත්වයන් වාර්තා වෙනවා. සියලූ ප්‍රශ්න විසඳන එන්නත් අපිට නැහැ. අලූත් එන්නත් සඳහා පර්යේෂණ යුරෝපයේ සිදුකරනවා. මේ අවුරුද්ද අන්තිම වෙනකොටත් අපිට ප්‍රමාණවත් එන්නත් ලබාගන්න වෙන්නේ නැහැ. ධනවත් රටවල් එක්ක තරඟකරලා එන්නත් ලබාගන්න හැකියාවක් අපේ රටට නැහැ. එන්නත්වලින් අප කළ යුත්තේ මරණ සංඛ්‍යාව අවම කිරීම සහ සංකූලතා ඇතිවීම අවම කිරීමයි. අපිට ඒ වැනි ඉලක්කයක් පේන්නේ නැහැ.

රෝගයට වැඩි වශයෙන් නිරාවරණය වන අය එන්නත්වල ප්‍රමුඛතාවය ගත යුතුයි. ඒ වගේම අපනයන ආදායම උපයා දෙන ක්ෂේත්‍රවල අයටත් ප්‍රමුඛතාවය දිය යුතුයි. රට ආර්ථීක වශයෙනුත් සමාජයීය වශයෙනුත් රැකගන්න හැකි වෙන්නේ එහෙම කළොත් විතරයි. ලැබී තිබෙන සුළු එන්නත් ප්‍රමාණය නිසි පරිදි කලමණනාකරණය කරගත යුතුයි. රට තුළ සංචරණ සීමා පනවා ඉක්මනින් පාලනය කරගත යුතුයි. වෛරසයට නිරාවරණය වුණු පුද්ගලයින් සංචරණයේදීම වළක්වන්න ක්‍රියාමාර්ග ගත යුතුයි. අත්‍යාවශ්‍ය සේවාවලට ඉඩ තියාගෙන සංචරණ සීමා සිදුකළ යුතුයි. වෛද්‍ය වෘත්තිකයින් සහ සෞඛ්‍ය අංශයේ සියලූම දෙනා රජයට යෝජනා කරන්නේ සංචරණ සීමාව තුළින් ක්‍රමිකව වසංගතය පාලනය කරන්නයි. නමුත් මෙතෙක් වගේම පමා වෙලා තීන්දු ගත්තොත් රට බරපතළ ඛේදවාචකයට ගොදුරු වෙනවා. අපි සියලූ දෙනාම මේ තීරණාත්මක මොහොතේදී සාමූහිකව කටයුතු කරමින් පෙළගැසෙන්න ඕනෑ. ජාතික විද්වත් සංවිධානය ඒ බව අවධාරණය කරනවා. ශ්‍රී ලංකාව විශාලා නුවරක් බවට පත්වීමට ඉඩ නොදී බේරාගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. හැකි සියලූ දෙනාම නිවෙස්වල රැඳී සිටිමින් තමන්ගෙත් අන් අයගේත් ආරක‍ෂා තහුවරු කරගන්න ඕනෑ.

විද්‍යාත්මක පදනමක් නොමැතිව ආණ්ඩුව ගන්නා තීරණවලට වගකියන්න වෙනවා – ජාතික විද්වත් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ හර්ෂණ නානායක්කාර

ආණ්ඩුවේ තිබුණා වූ බරපතළ නොසැලකිල්ල කොරෝනා වසංගතය පුරාම පෙනුණා. වෛද්‍ය වෘත්තිකයන්, මහජන සෞඛ්‍ය පරීක‍ෂකවරුන් මුලදීම ලබාදුන් දැනුවත්කිරීම් මේ ආණ්ඩුව හිතාමතාම ක්‍රියාත්ක කළේ නැහැ. අන්න ඒ නිසයි අපි කියන්නේ, කොරෝනාව ස්වභාවික වසංගතයක් වුණාට අපි මුහුණ දෙන ඛේදවාචකය ආණ්ඩුවේ නොසැලකිල්ල නිසා ඇතිවුණා කියලා. ඉන්දියාව දේශ සීමා වහද්දී අපේ රටේ පියවර ගන්නේ පස්සේ. ඉදිරි සුමාන තුන තීරණාත්මක බව හමුදාපතිතුමා මාධ්‍යයට කියා තිබුණා. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියත් දැඩි සත්කාර ඇඳන් ගන්න ධානපතියන්ගේ උදව් ඉල්ලනවා. එහෙම නම් මිලියන එක්දහස් අටසිය ගාණක් ලැබුනු කොවිඩ් අරමුදලට මොකද වුණේ කියන ප්‍රශ්නය මතුවෙනවා. විගණකාධිපතිවරයා සිදුකරන විගණනයන් ගැන අපි බලාගෙන ඉඳිමු. හැබැයි අපේ රට යුද්ධය වෙලාවේ මිග් යානාවලින් හොරකං කළ පාලකයන් සිටි රටක්. සුනාමි අරමුදලින් හොරාකාපු පාලකයන් ඉන්න රටක්. එවැනි රටකට කොවිඩ් අරමුදල කියන්නෙ වසංගතයකට වඩා ඒ ගොල්ලන්ගේ පෞද්ගලික වසන්තයක් බවට පත්වෙලා. ඇන්ටිජන් කිට් ගෙන්වීම, නිරෝධායන හෝටල් වෙන් කිරීම, තමන්ගේ හිතවත් ව්‍යාපාරික වළල්ලට මුදල් උපයා ගන්න අවස්ථාව දුන්නා. විෂ පොල්තෙල්වලින් සීනිවලින් රටේ බදු මුදල් විනාශ කළ දැන් දානපතියන්ගෙන් උදව් ඉල්ලනවා.

ගෝඨාභය රාජක‍ෂ මහත්මයා හොඳටම කළා කීවාට බ්‍රසීල ප්‍රභේදය ඇරෙන්න අනෙක් සියලූම ප්‍රභේද මේ රටට ගෙන්වාගෙන තියෙන්නේ. මේ සියල්ල වෙන්නේ නොසැලකිලිමත්කම නිසා. කායවර්ධන මධ්‍යස්ථාන හදන්න මහජන මුදල් අනුමත කර ගත්තා. ඊට කලින් ව්‍යාපාරිකයෙකු ඊට අදාල උපකරණ ගෙනාවා. දැන් ඇඳන් 10,000ක් හදන බව කියනවා. නමුත් අවශ්‍ය වෙලා තියෙන්නේ දැඩි සත්කාර ඒකකයේ ඇඳන්. ඒ වගේම අනෙකුත් උපකරණ. නමුත් මේවා ගැන අවධානය නොකර හැම දෙයකින්ම සංදර්ශන පවත්වනවා. අවශ්‍ය දේශපාලන නායකත්වය කොරෝනා මර්දනයට ලබාදෙන්නේ නැහැ. මේ වගේ තත්වයන් යටතේ අපේ දණ්ඩ නීති සංග්‍රහය අරන් බැලූවත් සාපරාධී වරදක් සිදුකරන බව පේනවා. පාස්කු ප්‍රහාරයේ තොරතුරු ලබාදී තිබියදීත් එය වළක්වන්න පියවර ගත්තෙ නැහැ කියලා හිටපු ජනාධිපතිවරයා වගඋත්තරකරුවෙකු කරන බව කියනවා. මෙතන තියෙන්නෙත් ඒ වගේ දෙයක්. බරපතළ ප්‍රභේදයක් ඇවිත් තියෙන බව අප්‍රේල් 08වැනිදා හෙළිකළා. වෛද්‍යවරුන් සහ අනෙකුත් විශේෂඥයන් ඒ බවට අනතුරු ඇඟවූවා. මේ නිසා අද මේ රටේ කොරෝනා නිසා මිනිස්සු මැරෙන්නේ ආණ්ඩුවේ වරද නිසා මිස කොරෝනා බරපතළකම නිසා නෙවෙයි.

දණ්ඩනීති සංග්‍රහය යටතේ ආණ්ඩුවේ මේ ක්‍රියාකාරිත්වය වරදක් කළ හැකි තත්වයක් තියෙන්නේ. රජයේ නිලධාරී මහත්ම මහත්මින් ආණ්ඩුවේ තීන්දු-තීරණවලට බලහත්කාරය නිසා අවනත වුවහොත් ඉදිරියේදී වගඋත්තරකරුවන් වෙන්න පුළුවන්. මේ වෙනකොට ජනතාව කොරෝනාවලට බයෙන් ඉන්නේ. ඒ අතර ජනතාවගේ වැඩි අවධානයක් යොමු නොවන කරුණු ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් යනවා. අනීතික මිනිස් ඝාතන එයින් බරපතලම දෙයක්. පසුගියදා ළඟ ළඟ දින දෙකකදී අත්අඩංගුවේ සිටි පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තියලා මැරුවා. ඕනෑම පුද්ගලයෙකුට දඩුවම් කරන්න ඕනෑ අධිකරණ ක්‍රියාවලියක් තුළින් බව අපි අවධාරණය කරනවා. ඒක පාර්ශ්වවිකව කරුණු දැක්වීම තුළින් මහජනතාවත් “අපරාධකාරයෙක් මැරුවාට කමක් නැහැ” යන මතයට ගේනවා. තාරක කියන පුද්ගලයා ඝාතනය කිරීමට නියමිත බව පැය 24කට කලින් පොලිස්පතිවරයාට දැනුම්දී තිබුණා. එහෙම තියෙද්දිත් ඝාතනය කරනවා නම් බරපතළ තත්වයක්. මේ ඝාතන තුළින් ඒවා පිටුපස ඉන්න දේශපාලකයන් ආරක‍ෂා වෙනවා.

ආර්ථීක වශයෙන් අහේනියට පත්වූ තරුණයන් ඉන්න සමාජයකින් අපරාධකරුවන් බිහිකරන්න ලෙහෙසියි. ඔවුන් පිටුපස ඉන්න හස්තයන් ගැලවී යන්න හැම විටම සාක‍ෂි නැති කරනවා. ශිෂ්ට සම්පන්න පුරවැසියෝ වශයෙන් මේ ඝාතන හෙළාදකින්න ඕනෑ. පාතාලයේ ලේබල් එක අලවලා හෙට ඔබ හෝ මම මෙසේ ඝාතනයට ලක්විය හැකියි. ඒ නිසා මෙය බරපතළ තත්වයක්. මේ අතර පෝට් සිටි පනත තුළින් ලංකාවේ භූමිභාගයකට වෙනම රාජ්‍යයක තත්වයක් ලබාදෙන්න යනවා. ඒ වෙනුවෙන් නීති 21ක් අදාළ නොවන තත්වයක් හඳුන්වා දෙන්න යනවා. මේ තැන චීන ජාතිකයෝ සම්පූර්ණයෙන්ම නතුකර ගන්නවා. එක රටක්, එක නීතියක් කියාගෙන ආවාට පෝට් සිටිය තුළින් රටවල් දෙකක් නීති දෙකක් කියන තත්වය ඇතිවෙනවා. මේ තුළින් ආර්ථීක සමෘද්ධියක් ඇතිවෙන බව ආණ්ඩුව කියනවා. වර්ග කිලෝමීටර් 65,000ක සම්පත් තියෙන රටක අක්කර 1,000කින් සමෘද්ධිය ඇති වෙනවා කියන එක පිළිගන්නේ නැහැ. ඉදිරියේදී සුළු චෞර ව්‍යාපාරික වළල්ලක් මෙතැනින් ලාභ ලබාවි. නමුත් රටට කිසිම සෙතක් නැහැ. කොරෝනා භීතියෙන් ජනතාව වෙළිලා ඉන්න වෙලාවේ ආණ්ඩුව ඉතාම අශෝභන විදිහට රටේ ස්වෛරීත්වයට විශාල හානියක් සිදුකරනවා.

මේ පනතෙන් රටේ ස්වෛරීත්වයට සිදුවන හානිය සළකා බලලා තමන්ගේ මහජන නියෝජිතයාට මේ පනතට විරුද්ධව ඡන්දය දෙන්න කියලා මහජනතාව බල කළ යුතුයි කියලා අපි අවධාරණය කරනවා. ජනතාව මේ වෙනුවෙන් සක්‍රීයව මැදිහත් වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. කොරෝනා භීතිය මැද්දේ ආණ්ඩුව ගෙනයන මේ ක්‍රියාමාර්ග ගැනත් ජනතාව අවදියෙන් සිටිය යුතුයි.

Loading...

Related Posts