‘ලංකාවේ ඩොලර් ණය අර්බුදය‘ සරලව වටහා ගනිමුද ?

2012 – 2015 ‘ග්‍රීසියේ සිදු වූ ආර්ථිකය බිඳ වැටීම, මේ සතියේ ලංකාවේ සිදු වන්නේ නැත.  නමුත් තව මාස තුන හතරක්  ගැන විශ්වාසයක් ද නැත. ලංකාව ජූලි 30 දිනට ඩොලර් මිලියන 106.5 ක ණයක් ගෙවිය යුතුය.  එයින් කොටසක් ගිය සතියේ ගෙවා ඇත. ජූලි 28 මහ බැංකුව බැඳුම්කර නිකුතුවකින් රු. මිලියන 47,500 ක් සොයා ගැනීමට උත්සහ කරයි. එය සාර්ථක වන්නේ නම් ලංකා ආර්ථිකය ජූලි මාසයට සුරක්ෂිතය.

ආණ්ඩුව විදේශයන්ට ඩොලර් බිලියන 35.1 ක් ණය බව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව කියයි.  ඊට අමතරව ලංකා සමාගම්, ද විදේශ බැංකුවලට ණය ය.  2018 දී ඩොලර් බිලියන 88 ක් වූ ලංකාවේ දළ දේශීය නිෂ්පාදනය 2020 දී බිලියන 81 ට අඩු විය. රටේ ණය වැඩි වන අතර නිෂ්පාදනය/ආදායම අඩු වේ. එදා ශ්‍රිසිය යුරෝ බිලියන 1.6 ක ණයක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගෙවන්නට තිබුණි. නියමිත දිනට ණය ගෙවීමට නොහැකි විය. දින 20 කින් ග්‍රීසිය ණය ගෙවා අවසන් කරන විට ඔවුන්ට බංකොළොත් ලේබලය ඇලවී තිබුණි. රටවල් දෙකේම කතාව එකය.

විදේශ බැංකුවලින් වාණිජ්‍යමය පදනමින් ණය ලබා ගෙන අපි  ආර්ථික වාසියක් නැති මත්තල ගුවන්තොටුපල, හම්බන්තොට වරාය, ශ්‍රවනාගාර, ක්‍රිකට් පිට්ටනි, නෙළුම් කුළුණුවල වැනි තැන් වල ආයෝජනය කළේය. අපේ ණය බරෙන් 47% ක් විවෘත වෙළෙඳපොළෙන් ගත්ත ණය යි.

‘ග්‍රීසිය ණය වෙලා කිරි හරකෙක් අරං, බාබාකිව් දැම්මා‘ ආර්ථික විශේෂඥයින් කියති. ලංකාව ‘ණය අරං බල බලා ඉන්නට නෙළුම් කුළුණක් හයි කර ගත්තේය‘.  

රටේ මුළු ණය බරෙන් 13%ක් ආසියානු සංවර්ධන බැංකුවට ය. චීනයට 10%ක්, ජපානයට 10% ක්, ලෝක බැංකුවට 9% ක් ගෙවිය යුතුය. ඉන්දියාවට 2% කි. දැන් අපිට වැඩිපුරම ණය දෙන්නේ චීනය යි. ලබන වසරේ දී අපි  ආසියානු සංවර්ධන බැංකුවට වඩා චීනයට ණය වනු ඇත.  

අද ලංකාවේ අද මුල්‍ය සංචිත ඩොලර් බිලියන 3.5 කි. ආනයන සඳහා යන්තම් මාස දෙක හමාරකට ප්‍රමාණවත් ය. එයිනුත් මිලියන 500 ක් රත්‍රං සංචිත ය. ජූලි 30 දිනට ණය ලෙස ඩොලර් මිලියන 106.56 ක් ගෙවිය යුතුය. බල නහරය කැපූ මිනිසෙකුගේ සිරුරෙන් රුධිරය ගලා යන්නා සේ ඩොලර් සංචිතය වියැකී යමින් ඇත.

ශ්‍රී ලංක මහ බැංකුව රට ඇතුලෙන් රු. බිලියන 922 ක් ණය ලබා ගෙන ඇත. 2020 දී අච්චු ගැසූ රු. බිලියන 266 ක් බැංකු පද්ධතියේ තිබිය දී, 2021 ජනවාරි – මැයි තවත් රු. බිලියන 131 ක් අච්චු ගසා ඇත.

සල්ලි අච්චු ගැසුවාට පොල් ගෙඩි, හාල්, පාන්  අච්චු ගසන්නට බැරිය. සල්ලි කොළ – කාසි ඇතත්, ඉල්ලුමට බඩු නැත. රටේ බඩු මිල බලා සිටිය දී ඉහළ යමින් තිබේ.   කඩවල ටයර්, බාත්රූම් කට්ටල, ක්‍රීම්, පවුඩර්, චොකලට්, වාහන, විදුලි උපකරණ නැත. ආනයන සීමා කර ඇත. නමුත් 2020 මැයි මාසයට වඩා පසුගිය මාසයේ ඩොලර් මිලියන 1053 ක් බඩු ගේන්නට වැයවී ඇත. ඒ පොහොර තහනම් කොට, ඖෂධ වැනි අත්‍යවශ්‍ය දෑ සීමා කර තිබිය දී ය. ගෑස් ආනයනයට ණයවර ලිපි විවෘත කළ නොහැකි පසුබිමකය. ලබන මාසයට ඉන්ධන සඳහා ඩොලර් සොයා ගැනීම ප්‍රශ්ණයකි.

2020 පොහොර ආනයනයට අවශ්‍ය වූවේ ඩොලර් මිලියන 250 ක් පමණී. කිරි (පිටි හා ආශ්‍රිත දෑ) සඳහා ඩොලර් මිලියන 333 ක් වැය කර ඇත.  කාබනික ආහාර ප්‍රෝඩාව රටට ආහාර නැති කළේය. දැන් කිරි ආනයනය නැවැත්වීමට කාලය පැමිණ ඇත. ගෑස් මිල ඉහළ දැම්මේ ගෑස් නැති වූ විටය.

රටේ ආනයන වියදමෙන් 15% ක් හෙවත් ඩොලර් මිලියන 2750 ක් ඉන්ධන ආයනයන සඳහා අවශ්‍ය වේ.  ඩීසල්, පෙට්‍රල් ගේන්න මුදල් නැති නම් ඉන්ධන සීමා කිරීමට සිදු වේ. සලාක ක්‍රමය පෝලිම් ක්‍රමය ඇතිවන්නේය. එවැනි තත්වයක් මතු වන්නේ නම් රටේ විදුලි අර්බුදයක් නොවැලැක්විය හැකි වනු ඇත. කර්මාන්ත ශාලා නිෂ්පාදන අඩපණ වන්නේය.

මෙවැනි අර්බුදවලට 2012 හා 2015 ග්‍රීසය, 1998 රුසියාව, 2000 කෙන්යාව හා සිම්බාබ්වේ, 2020 ආජන්ටිනාව, 2017 වෙනිසියුලාව මුහුණ දුන්නේය.

මේ සතිය සුරක්ෂිතය. නමුත් කළු සල්ලි හෝ සුදු සල්ලි ලෙස ඩොලර් කන්දරාවක් රටට නොලැබේ නම් අප සිටින්නේ එවැනි බිඳ වැටීමක පාමුල ය.

රජිත් කීර්ති තෙන්නකෝන් 

Loading...

Related Posts