‘රසායනික පොහොර තහනම ගැන‘ කාටත් සතුටු විය හැකි වුවත් ආර්ථිකයට නම් දෙවියන්ගේ පිහිටය !

කොරෝනා වසංගතයෙන් මුළු රටම බැටකන අවධියක ශ්‍රී ලංකාවේ සියලු මාධ්‍ය ඒ ගැන අවධානය යොමු කිරීම ස්වාභාවිකය. ඒ අතරේ රජය පිටරටින් පොහොර ආනයනය කිරීම සම්පූර්ණයෙන් නැවැත්වීමට ගත් තීරණය ගැන එතරම් සංවාදයක් නැත. මෙම තීරණය හුදෙක් දේශපාලන තීරණයක් මිස මේ ගැන ඍජුවම වගකිය යුතු කෘෂි විද්‍යෘඥයන්ගේ තීරණයක් නොවන බව නම් පැහැදිලිය. මෙවැනි තීරණ ගැනීමට පෙර බොහෝ කටයුතු කළ යුතුව තිබුණි.

ආනයනය කළ පොහොර කොම්පෝස්ට් වලින් ආදේශ කිරීම ක්ෂේත්‍ර පරීක්ෂණවලින් තහවුරු කළ යුතුව තිබුණා මෙන්ම මෙරට කෘෂිකර්මය සඳහා අවශ්‍ය කොම්පෝස්ට් ප්‍රමාණය රට තුළ නිපදවා ගැනීමේ ක්‍රම කිසිවක් ස්ථාපිත කිරීම කළ යුතුය. මේ කිසිවක් නොමැතිව ඇතැම් ඊනියා උපදේශකවරුන්ගේ උපදෙස් නිසා ගත් මෙම තීරණය නිසා කෘෂිකර්මයට සිදුවන අහිතකර ප්‍රතිඵල නිසා කෘෂිකර්මයට සිදුවන අහිතකර ප්‍රතිඵල ගැන පළපුරුදු විද්‍යාඥයෝ දැනටමත් අනතුරු අඟවා ඇත්තාහ. මෙම තහනමෙන් ශ්‍රී ලංකාවට ඇතිවිය හැකි දරුණු ආර්ථක පසුබෑම ගැන විමසා බැලීම මෙම ලිපියෙහි පරමාර්ථය වේ.

කෘෂි බෝග දෙවර්ගයකි. ඒවා නම් වී, එළවළු වැනි කෙටි කාලීන බෝග සහ තේ රබර් වැනි දීර්ඝ කාලීන බෝග වේ. කෙටි කාලීන බෝග වර්ධනය සඳහා ද්‍රව්‍ය නයිට්‍රජන් සහ පොස්පරස් වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වේ.  එහෙත් කොම්පෝස්ට් යනු මන්දගාමීව පෝෂක මුදාහරින පොහොරකි. කොම්පොස්ට්වල ඇති නයිට්‍රජන් ප්‍රතිශතය සියයට 1 ක් පමණ වන අතර ශාඛයක් පැළ කරන අවස්ථාවේ ලැබෙන්නේ සියයට 0.03 ක් වැනි අල්ප මාත්‍රයකි. ඉතිරි නයිට්‍රජන් ප්‍රමාණය සම්පූර්ණයෙන් දියවීමට වසර 3-5 දක්වා කාලයක් යන බව පර්යේෂණවලින් සනාථ  කර ඇත.

එමෙන්ම කොම්පෝස්ට්වල ඇති පොස්පරස් ප්‍රතිශතය සියයට 1.0-1.5 ක් පමණ වන අතර ඒවාද සෙමෙන් ජීර්ණය වන නිසා පැළෑටියක් වර්ධනය වීමට මෙම ප්‍රමාණයන් නොසෑහේ. ගොම පොහොර සැලකුවහොත් එහි ඇති නයිට්‍රජන් ප්‍රමාණය සියයට 2 ක් පමණය. යූරියා කිලෝ ග්‍රෑම් 100 කින් ලබාදෙන නයිට්‍රජන් ප්‍රමාණය ලබා ගැනීමට කොම්පෝස්ට් ටොන් දෙකක් පමණ අවශ්‍ය වේ. මෙතරම් කොම්පෝස්ට් ප්‍රමාණයක් ලබා ගැනීමට කර්මාන්තශාලා ඉදිකිරීම අසීරු ඉලක්කයකි.

මා කුඩා අවධියේ අපේ සීයා වී වගාව සඳහා පොහොර වශයෙන් භාවිත කළේ ගෙරි කටු සහ කොළ පොහොර පමණි. එවකට භාවිත කරන ලද පාරම්පරික වී ප්‍රභේදවලින් ලැබුණේ එකට දහය වැනි අඩු අස්වැන්නකි. එහෙත් එම සහල් අස්වැන්න ගෘහස්ථ පරිබෝජනයට සෑහෙන තරමට පැවතුනි. 1960 දී ශ්‍රී ලංකාවේ ජනගහණය මිලියන 9.8 ක් වූ අතර ජනතාවට අවශ්‍ය සහල් ආනයනය කිරීමට සිදුවිය. ශ්‍රී ලංකාවේ ජනගහණය වර්තමානයේ මිලියන 22 ක් පමණ වන අතර කෘෂි තාක්ෂණයට පින්සිදු වන්නට අපි සහල්වලින් ස්වයංපෝෂිතව සිටින්නෙමු. මෙයට ප්‍රධානතම හේතුව ලෙස රසායනික පොහොර භාවිතය සැලකිය හැකිය. එවැනි පොහොර සියල්ල දැනට ආනයනය කිරීම නැවැත්වීමෙන් අනිවාර්යයෙන්ම පිටරටින් සහල් ආනයනය කිරීමට සිදුවේ.

ලොව පුරා රසායනික පොහොර භාවිතය ශීඝ්‍රයෙන් වැඩි වන්නේ අධික ජනගහණ වර්ධනය හේතුවෙනි. 1960 දී ලොව ජනගහණය බිලියන තුනක් පමණ වූ අතර වර්තමානයේ එය බිලියන 7.8 ක් දක්වා ඉහළ ගොස් ඇත. ජනගහණයේ ශීඝ්‍ර වර්ධනය උදෙසා බලපෑ ප්‍රධාන සාධක නම් හේබර් ක්‍රමයෙන් නයිට්‍රජන් තිර කිරීම, ඩී.ඩී.ටී. වැනි පළිබෝධ නාශක සොයා ගැනීම සහ පෙනිසිලින් වැනි ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ සොයා ගැනීම යන මේවාය. ලොව මුහුණ දෙන උග්‍ර ප්‍රශ්නය නම් අධි ජනගහණයයි. කාලගුණික වෙනස්කම්, ගෝලීය උණුසුම්කරණය, ජලය වාතය සහ පස දූෂිත වීම, නොදිරන කසළ එකතු වීම වැනි සියලු පාරිසරික ප්‍රශ්න ඇතිවන්නේ අධි ජනගහණය නිසා බව නම් පැහැදිලිය.

1960 දශකයේ දියත් කෙරුණු හරිත විප්ලවයේ අරමුණ වූයේ වැඩි වෙමින් පවතින ලොව ජනගහණයට අවශ්‍ය ආහාර සැපයීමයි. ඒ සඳහා වැඩි දියුණු කරන ලද ශාඛ ප්‍රභේද ඉදිරිපත් කරන ලදී. මේවාට රසායනික පොහොර වැඩි වශයෙන් අවශ්‍ය වූ අතර ඒවාට ලෙඩ රෝග වැළඳීමේ ප්‍රවණතාව ද ඉහළ නිසා කෘෂි රසායන ද්‍රව්‍ය යෙදීමටද අවශ්‍ය විය. මේවා පරිසරයට හානිකර ප්‍රතිඵල ගෙන දෙන බව අවිවාදයෙන් පිළිගත යුතුය.

එහෙත් ජනතාවට අවශ්‍ය ආහාර නොලැබුණහොත් සාගින්නෙන් මිය යන ජනතාව සුළුපටු නොවේ. එබැවින් කෘෂි රසායන භාවිතය සහ ආහාර සුරක්ෂිතතාව මනාව සමතුලනය කිරීම ලොව සියලු රටවල වගකීම වේ.

කොම්පෝස්ට් භාවිත කරමින් බොහෝ දියුණු රටවල වස විසෙන් තොර කෘෂි කර්මාන්තය සිදු කෙරෙන්නේ සියයට 1.5 ක් වැනි සුළු ප්‍රමාණයකය. මෙයින් සියයට 60 ක් පමණ තණකොළ වගාව සඳහාය. ඒ මගින් ධන කුවේරයන්ට වස විසෙන් තොර හරක් මස් ලබාදීම සිදු වේ. කොම්පෝස්ට් එකතු කිරීමෙන් ඇතිවන ධනාත්මක කරුණු අතර පසෙහි වයනය දියුණු කිරීම සහ රසායනික පොහොර මගින් නොලැබෙන සමහර ක්ෂුද්‍ර පෝෂක ලබා දීමත් වේ. එනමුත් ශ්‍රී ලංකාවේ දැනට භාවිත කෙරෙන ඉහළ ඵලදාවක් ලබා දෙන වී සඳහා අවශ්‍ය පෝෂක මුළු ප්‍රමාණයම ලබා නොදේ.

මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ ගොවියාගේ ආදායම පහළ වැටීමත් ශ්‍රී ලංකාවට අවශ්‍ය සහල් පිටරටවලින් ආනයනය කිරීමට සිදුවීමය. බංග්ලාදේශයෙන් වරෙක ශ්‍රී ලංකාවට සහල් අපනයනය කළේය. මෙම සහල්වල ඇති ආසනික් ප්‍රමාණය අහිතකර මට්ටමක පවතින බව ජාත්‍යන්තරව පිළිගෙන ඇති කරුණකි.

පොහොර ආනයනය අත්හිටුවීමට තීරණය කිරීමට ප්‍රධාන හේතුවක් ලෙස දක්වා ඇත්තේ රජරට ප්‍රචලිතව පවතින වකුගඩු රෝගය ඇතිවන්නේ ආනයනික පොහොර නිසා බවය. මෙය සම්පූර්ණ අසත්‍යයකි. මෙම වකුගඩු රෝගය රජරට ඇතැම් ප්‍රදේශවල පමණක් දක්නට ඇති රෝගයක් විනා කෘෂිකර්මය බහුලව සිදුවන සියලු පෙදෙස්වල ව්‍යාප්ත වී නොමැත. යාපනය හා පුත්තලම වැනි පෙදෙස්වල කෘෂිකර්මය සඳහා මෙම පොහොර විශාල ලෙස යොදා ගන්නා මුත් මෙම රෝගය එම පෙදෙස්වලින් වාර්තා වන්නේ නැත. එමෙන්ම අධික ලෙස කෘත්‍රීම පොහොර භාවිත කෙරෙන නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ද මෙම රෝගය වාර්තා නොවේ.

මෙම ලියුම්කරු 2003 සිට මෙම රෝගය ගැන කරන ලද පර් යේෂණවලින් තහවරු වූයේ බොන ජලයේ ඇති අධික ෆ්ලුවෝරයිඩ් සාන්ද්‍රණය මෙම රෝගය ඇති කරන බවයි. වෙනත් පර් යේෂණ කණ්‍ඩායම් මෙම කරුණ සනාථ කොට ඇත.

කෘෂි රසායනවලින් මෙම රෝගය ඇතිවන බව ඉදිරිපත් කළේ නාථ දෙවි අනුහසින් හේතුව සොයාගත් බව පැවසූ කැලණිය විශ්වවිද්‍යාලයේ කණ්‍ඩායමකි. ජලයේ ඇති ආසනික් කැඩ්මියම් සහ ග්ලයිපොසේට් නිසා මෙම රෝගය ඇතිවන බව කලින් කලට ඔවුහු ප්‍රකාශ කර ඇත්තාහ. එහෙත් මේ කිසිවක් විද්‍යාත්මකව නිදහස් පර් යේෂණවලින් සනාථ කොට නොමැත. එසේ වුවත් විවිධ දේශපාලන බලපෑම් නිසා මාධ්‍ය ඔස්සේ මෙවැනි මිත්‍යා මත ස්ථාපිත කිරීමට මෙම කණ්ඩායම සමත් විය.

ආනයනය කෙරෙන පොහොර ලෙස යූරියා, ට්‍රිපල් සුපර්පොස්පේට් සහ පොටෑෂ් සැලකිය හැකිය. මේවායින් සුපර් පොස්පේට් පොහොර එප්පාවල ඇපටයිට් නිධියෙන් නිෂ්‍පාදනය කළ හැකි වන අතර එමගින් රටට විදේශ විනිමය අතින් සෑහෙන වාසියක් ලබා ගත හැකිය. එමෙන්ම ආනයනික පොස්පේට් පොහොරෙහි ආසනික් කැඩ්මියම් සහ ඊයම් වැනි බැරලෝහ ඇති මුත් එප්පාවල පොස්පේට්වල මේවා ඇත්තේ ඉතා අල්ප වශයෙනි. මෙම නිධියෙන් පොස්පේට් පොහොර සාදාගත හැකි බව ශ්‍රී ලංකා විද්‍යාඥයන් පර් යේෂණ කොට වාර්තා කොට ඇති මුත් 1990 සිටම දේශපාලනඥයන් උත්සාහ කළේ එම නිධිය බහු ජාතික සමාගමකට විකුණා එමගින් සිය මඩිය තරකර ගැනීමටය. මැක්මොරන් සමාගමට මෙය විකුණා දැමීමට 1996 දී පැවැති රජය ගත් උත්සාහය වැළකුනේ ශ්‍රේෂ්‍ඨාධිකරණය දුන් ඓතිහාසික තීන්දුවක් නිසාය.

කෙසේ හෝ 2018 දී මාද සහභාගි වූ කමිටු වාර්තාවක් කෘෂිකර්ම අමාත්‍යවරයාට පිළිගන්වන ලදී. එවැනිම වාර්තාවක් වර්තමාන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට 2020 දී බාර දෙන ලදී. ශ්‍රේෂ්‍ඨාධිකරණ තීන්දුව අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ යුත්තේ රජයේ ආයතනයක් වන ලංකා පොස්පේට් සමාගමට පමනි. මෙම ව්‍යාපෘතියට බාලගිරි දෝෂය ඇති වී තිබෙන බව පෙනේ. කලකට පෙර ලංකා පොස්පේට් සමාගමේ සභාපතිව සිටි එප්පාවල පොස්පේට් ගැන ආචාර්ය උපාධියක් ඇති විද්‍යාඥයෙක් තනි සුපර් පොස්පේට් නිපදවීම සඳහා ව්‍යාපෘතියක් සැළසුම් කර තිබුණි. මේ සඳහා රාජ්‍ය බැංකුවක් එම කර්මාන්තශාලාව සඳහා වැයවෙන මුළු පිරිවැය ලබාදීමට ද එකඟ විය. එහෙත් මෙම සභාපතිවරයා එම තනතුරෙන් වහාම ඉවත් කරන ලදී.

එම යෝජනාව ක්‍රියාත්මක වූවා නම් රටට අවශ්‍ය සියලු පොස්පේට් පොහොර ප්‍රමාණය මෙරටම නිපදවා ගැනීමට හැකියාව තිබිණි. වර්තමානයේ පොස්පේට් පොහොර සඳහා වසරකට රුපියල් බිලියන 10 ක් පමණ වැය කරයි. මෙවැනි කර්මාන්තශාලාවක් ඉදිකිරීම සඳහා වැයවන මුදල රුපියල් බිලියන පහක් පමණ වේ.

1980 ගණන්වල ශ්‍රී ලංකාවේ යූරියා කම්හලක් තිබුණු බව බොහෝ දෙනා නොදනිති. එවකට සිටි කර්මාන්ත ඇමැතිවරයා ඔහුගේ තනි කැමැත්තට යල් පැන ගිය ක්‍රමයක් යොදා ගැනීමෙන් ඉදි කළ මෙම කර්මාන්තශාලාව ක්‍රියාත්මක වූයේ මාස කිහිපයක් පමණි. එහි නිෂ්‍පාදන වියදමට වඩා අඩු මිලකට යූරියා ආනයනය කිරීමට හැකියාව ඇති නිසා සපුගස්කන්දේ ගොඩ නැංවූ එම කර්මාන්තශාලාව වසා දමා එහි තිබුණි. වටිනා සුදු යකඩ, අබලි ද්‍රව්‍ය ලෙස පකිස්ථානයට යවනු ලැබීය. මෙවැනි අමනෝඥ ක්‍රියාවලින් දේශපාලනඥයන් සිය මඩිය තර කර ගැනීම විනා රටට වූ යහපතක් නැත.

එප්පාවල ඇති පොස්පේට් පාෂාණය කුඩු කර පොල්, රබර් වැනි දිගු කාලීන බෝග සඳහා යොදන මුත් එය වී හා එළවළු වැනි කෙටි කාලීන බෝග සඳහා යෝග්‍ය නොවේ. මෙවැනි බෝගවල වර්ධනය සඳහා මුල් අවස්ථාවේදී නයිට්‍රජන් හා පොස්පේට් සෑහෙන සාන්ද්‍රණයක් පසෙහි ද්‍රාවණයේ තිබිය යුතුය.

රසායනික පොහොර භාවිතය එකවරම සම්පූර්ණයෙන්ම නවත්වන්නේ නැතිව එය වැඩිපුර භාවිත කිරීම ගැනද රජය අවධානය යොමු කළ යුතුය. පොහොර සහනාධාරය නිසා අඩු මිලකට ඒවා ලබා ගැනීමෙන් අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් ගොවීහු ඒවා වගාවලට එකතු කරති. නුවරඑළියේ එළවළු ගොවීහු අවශ්‍ය ප්‍රමාණ මෙන් තුන් හතර ගුණයක් වැඩිපුර රසායනික පොහොර යොදති. එමෙන්ම කෘමි නාශක අධි මාත්‍රා වගාවට යෙදීමෙන් වැඩි අස්වනු අපේක්ෂා කරති. කෘමි නාශක භාවිතය ගැන ගොවීන් උපදෙස් ගන්නේ ඒවා විකුණන වෙළෙන්දන් ගෙනි. කලකට පෙර කෘෂිකර්ම දෙපාර්තමේන්තු අනුයුක්ත කෘෂි උපදේශවරු වගාව ගැන උපදෙස් දුන්හ. එහෙත් ප්‍රේමදාස යුගයේ මෙම සේවය විසුරුවා හැර ඔවුන් වගා නිලධාරී නමින් නව සේවාවකට අනුයුක්ත කොට එම සේවය විනාශ කර දැමීය. ඔවුන්ගෙන් වර්තමානයේ කිසිදු සේවාවක් ඉටු නොවේ. මාගේ ගෙවතු වගාව ගැන උපදෙස් ලබාගැනීමට කොතරම් වෙර දැරුවද අදාළ වගා නිලධාරියා සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.

රසායනික පොහොර සහ අනෙකුත් කෘෂි රසායනික ආනයනය  කිරීම සීමා කොට කාබනික පොහොර සමග සංයෝජිත නියමු ව්‍යාපෘති ආරම්භ කිරීම වඩා කාලෝචිතය. පනවා ඇති තහනම විවේචනය කරන සියල්ලන් පොහොර සමාගම්වලින් යැපෙන්නන් බවට හංවඩු ගැසීම ජනප්‍රිය මාධ්‍ය කලාවක් වී ඇත. වකුගඩු රෝගය සෑදීමට හේතු වශයෙන් ආසනික් සහ ග්ලයිපොසේට් සැලකිය නොහැකි බව පැවසීම නිසා නාථ දෙවි කණ්ඩායමේ උදහසට මෙම ලියුම්කරු පත් විය. බහු ජාතික සමාගම්වලින් යැපෙන්නකු බවට චෝදනා එල්ල වූවද සත්‍යය මෙන්ම ප්‍රායෝගිකව කළ හැකි දේ ප්‍රකාශ කිරීමට මැලි නොවෙමි.

1960 ගණන්වල ශ්‍රී ලංකාවේ ගොවීන් නිපදවූ සහල් ඔවුන්ගේ ගෘහ පරිභෝජනයෙන් පසු අලෙවි කළ හැකි වූයේ සීමිත ප්‍රමාණයකි. එබැවින් එකල සහල් ආනයනය කිරීමට සිදුවිය. කාබනික වගාව ගැන කතා කරන බොහෝ දෙනා අතීත අත්දැකීම්වලින් පමණක් කතා කරති. මෑතදී රූපවාහිනී මාධ්‍යයක වැඩ සටහනදී එක් මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කළේ රජරට ප්‍රදේශයේ ජල මූලාශ්‍රවල ආසනික් සාන්ද්‍රණය බිලියනයකට කොටස් 100 වැනි ඉහළ අගයක් ඇති බවයි. මෙය සම්පූර්ණ අසත්‍යයකි. ජාත්‍යන්තර ප්‍රකාශනවලින් පිළිගත් ශ්‍රී ලාංකික විද්‍යාඥයන් පෙන්වා දී ඇත්තේ එය බොහෝ විට බිලියනයකට කොටස් එකටත් වඩා අඩු බවයි.

ජපානයේ සිදු කරන ලද අධ්‍යයනයකට අනුව ජලයේ ආසනික් මට්ටම අනුරාධපුරයේ සාමාන්‍ය අගය බිලියනයකට කොටස් 0.3 ක් බවත්, පුත්තලමේ එම අගය 3.7 සහ යාපනයේ 1.7 ක් ද වන බවය. යාපනයේ සහ පුත්තලමේ මෙම වකුගඩු රෝගය නොමැති වීමෙන් පෙන්වන්නේ අධික ලෙස ආනයනික පොහොර භාවිත කෙරෙන මෙවැනි පළාත්වල රසායනික පොහොර මගින් හෝ ආසනික්වලින් වකුගඩු රෝගය ඇති නොවන බවය.

ශ්‍රී ලංකාවේ දැනට භාවිත කෙරෙන යූරියා ප්‍රමාණය ආදේශ කිරීම සඳහා කොම්පෝස්ට් ටොන් මිලියන 120ක් පමණ අවශ්‍යවේ.  මෙය ප්‍රායෝගිකව කළ නොහැකි අතර ඇතැමුන් කියන පරිදි මෙය පිටරටින් ගෙන ඒම දේශපාලන විජ්ජාවක් විනා ප්‍රායෝගික නොවන බව මෙරට ජනතාව දැන ගත යුතුය.

කෘෂිරසායනික නොමැතිව ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය පවත්වා ගතහොත් එය ඉතා අගනේය. එහෙත් ශ්‍රී ලංකාවේ නම් මේ ගැන සිදු කළ ඇති පර් යේෂණවල ප්‍රතිඵල බොහෝ දෙනා නොදනී.

වසර 20 ක් පමණ පුරා බතලගොඩ වී පර්යේෂණ මධ්‍යස්ථානයෙහි සිදු කෙරෙන පර් යේෂණවලට අනුව කොම්පෝස්ට් පමණක් භාවිත කළ විට ලැබෙන අස්වැන්න රසායනික පොහොර භාවිතයෙන් ලැබෙන අස්වැන්නට වඩා සියයට 33 කින් අඩුවේ. මෙහි යොදාගත් ගොම පොහොර වෙනුවට කොල රොඩුවලින් ලබාගන්නා කොම්පෝස්ට් භාවිත කළ හොත් එම අස්වැන්න තවදුරටත් අඩු වේ.

එළවළු හා බඩ ඉරිඟු සඳහා ද මෙම පරීක්ෂණය කර ඇති අතර එහිදීද දක්නට ලැබෙන්නේ කාබනික පොහොරවලින් ලැබෙන අඩු ඵලදාවයි. මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ දැනට සහලින් ස්වයංපෝෂිතව ඇති රටේ කාබනික කෘෂිකර්මයෙන් ලැබෙන සහල් ප්‍රමාණය මාස 9 කට පමණක් ප්‍රමාණවත් වීමයි.

කාබනික කෘෂිකර්මයෙන් මෙරට සියලු බෝග නිපදවා ගැනීමට හැකි නම් අප කාහටත් සතුටු විය හැකිය. එහෙත් වැවිලි භෝග නිෂ්‍පාදන ධාරිතාව අඩුවන්නේ නම් ශ්‍රී ලංකාවට මෙය උග්‍ර ප්‍රශ්නයක් වන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. එබැවින් පොහොර ආනයනය අත්හිටුවීම ගැන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමග නිසි සංවාදයක් ඇති කොට මෙවන් තීරණ ගැනීම වඩා යෝග්‍ය වේ.

ලංකාදී පුවත්පතේ ‘සදුදා හමුව‘ ඇසුරින් සම්පූර්ණයෙන් උපුටා ගත් ලිපියකි. ශීර්ෂ පාඨය සංශෝධනය කර ඇත.

Loading...

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *