හෙක්ටයාර් ලක්ෂ 5කට ආසන්න අගයක පොල් ගෙඩි මිලියන 3000කට අධික ප්‍රමාණයක් වාර්ෂිකව නිෂ්පාදනය වන රටේ (මේහි විචල්‍යතා තිබිය හැකිය) ඇත්තටම රටේ ජනතාවට අවශ්‍ය පොල් ගෙඩි මිලියින 1600කට ආසන්න ප්‍රමාණය නිෂ්පාදනය නොවූ වසරක් නැත.
‘එලොව පොල් පේනවා‘ කියන කතාව මීට කලකට පෙර භාවිතා වුණේ හදිසි විපතකදී ඇති වන අසීරු හැගීම ප්‍රකාශ කිරීම සදහාය. ඒත් පසුගිය කාලය පුරා මෙරට ගෘහණියන්ට එලොව පොල් පෙනුණේ වේගයෙන් ඉහළ යන පොල් මිල නිසාය.
පොල් මිල ඉහළ යාම හමුවේ පොල් සදහා පාලන මිලක් පැනවීම ආණ්ඩුව ක්‍රියා කළ අතර පොල් ගෙඩියේ ප්‍රමාණය මැන නඩු පවරන ප්‍රතිපත්තියක් ද පාරිභෝගික සේවා අධිකාරිය විසින් ක්‍රියාත්මක කළේය.
එහෙත් මේ මොහොත දක්වා සාමාන්‍ය වෙළෙදපොළේ පොල් මිල පවතින්නේ ආණ්ඩුවේ බොහෝ ගැසට්වලට ඉහළ අගයකිනි. ප්‍රමාණය ගැන කෙසේ වෙතත් ඇති හිගය නිසා ‘කීය ගියත්‘ පොල් මිලදී ගන්න ප්‍රතිපත්තියකට පාරිභෝගකයින් යොමුව සිටින්නේ හැමෝටම පොල් වතු හෝ පොල්ගස් නැති නිසාය.
පොල් මිල මේ ආකාරයෙන් ඉහළ යන විට හා හිගයක් පවතින විට එය ද සහල් මෙන් ‘මාෆියාවක්‘ ලෙස අර්ථකථනය කිරීමට දේශපාලනඥයින් සහ නිලධාරීන් පියවර නොගන්නේ කුමක් නිසාද යන්න බරපතළ ප්‍රශ්නයකි. ඊට හේතුව වන්නේ සහල් මෙන්ම පොල් ද එදිනෙදා ආහාර අවශ්‍යතා සදහා ‘අත්‍යවශ්‍ය භාණ්ඩයක්‘ වන නිසාය.
උදාහරණයක් ලෙස කලකට පෙර ‘මොක නැතත් බතුයි – සම්බෝලයි කාලා හරි ඉන්න පුළුවන්‘ යැයි කීවේ සහල් සහ පොල් අතර පවතින දැඩි අන්තර් සම්බන්ධතාව නිසාය.
මේ තත්ත්වය තව දුරටත් සනාථ කරන්නේ නම්, ජන ලේඛන හා සංඛ්‍ය ලේඛන දෙපාර්තමේන්තුවට අනුව සලන්නේ නම් 2016 වසරේදී ලංකාවේ පවුලකට මාසයකට සාමාන්‍යයෙන් පොල් ගෙඩි 27ක් (STATISTICAL POCKET BOOK 2018 , page 34) අවශ්‍ය වූ අතර අවශ්‍ය සහල් ප්‍රමාණය කිලෝ 33.1කි.
මෙය ආසන්න වශයෙන් සරල කොට වටහා ගන්නේ නම් ‘ලංකාවේ පවුලකට දවසකට හාල් කිලෝවක් සහ පොල් ගෙඩියක් ‘ පමණ අවශ්‍ය විය.
මේ සංඛ්‍යා දත්තවල වැඩි වෙනසක් 2020 අවසාන භාගය වන විට ඇති විය නොහැකි යැයි උපකල්පනය කළහොත් සහල් තරමට පොල් ද පවුලක ‘ජීවන වියදමට‘ දැඩිව බලපාන කරුණක් ලෙස වටහා ගත හැකි අතර ඒ දෙකම පවුලක අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ අතර මුල්පෙළ සිටී.
ඊට හේතුව වන්නේ සාමාන්‍ය පොල් ගෙඩියක මිල රුපියල් 80.00ක් වශයෙන් සැලකුවත් පවුලකට සාමාන්‍යයෙන් රුපියල් 2400ක් පමණ පොල් වෙනුවෙන් වැය කිරීමට සිදුවන නිසාය. (සහල් සදහා ද ආසන්න වශයෙන් වැඩ වන්නේ වත්මන් මිල ගණන අනුව රුපියල් 3000කට ආසන්න මුදලකි)
මේ තත්ත්වය තුළ සහල් හිගයක් ඇති වී එහි මිල ඉහළ යන විට ඒවා පාලනයට ගන්නා තරම් උනන්දුවක් පොල් හිගයට විසදුම් සෙවීමට හා මිල පාලනය කිරීමට ආණ්ඩුවට හා අදාළ නිලධාරීන්ට තිබිය යුතුය. මන්ද වත්මන් මිල ගණන අනුව සැලකුව ද සහල්වලට සමාන හෝ ඊට ආසන්න මිලක් පොල් මිලදී ගැනීමට ද ජනතාවට දැරීමට සිදුවන නිසාය.
එහෙත් පොල් මිල සම්බන්ධයෙන් ‘ඊනියා ගැසට් නිකුත් කිරීම හෝ පොල් සංවර්ධන මණ්ඩලය හරහා පොල් බෙදා හරින බව කියමින් ‘බෝල පාස් කිරීම‘ හැර පොල් මිල හෝ පොල් හිගය පාලනය ආණ්ඩුව ගන්නා වූ තිරසර පියවරක් නැත.
මේ අතර ශ්‍රී ලංකාවේ පොල් වගාව සහ පොල් අපනයනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ම දත්ත පරීක්ෂා කරන විට සිතෙන්නේ ‘පොල් මාෆියාවක්‘ ද රට තුළ ක්‍රියාත්මක වන බවය. ඒ බව ශ්‍රී ලංකා මහ බැංකුව කියන සංඛ්‍යා ලේඛන ඇසුරින්ම වටහා ගත හැකිය.
2019 වර්ෂයේ ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තවෙන් උපුටා ගන්නා ලද ඉහත වගු සටහන දෙස බලන විට 2019 වර්ෂයේදී ලංකාවේ පොල් ගෙඩි මිලියන 3086ක් නිෂ්පාදනය කර ඇති අතර හෙක්ටයාර් 500300ක පොල් වගාව සිදුව තිබේ.
මේ අගය ගැන ශ්‍රී ලංකා මහ බැංකුවේ අනෙකුත් දත්ත මෙන්ම විශ්වාස තබන්නේ නම් මිලියන 21කට ආසන්න ලංකාවේ ජනතාවට වාර්ෂිකව පොල් ගෙඩි මිලියන 3086ක නිෂ්පාදනයක් සිදුවේ. පවුලක සාමාන්‍ය මාසික පොල් අවශ්‍යතාව ගෙඩි 27 ලංකාවේ පවුල් ගණනින් වැඩි කර සාමාන්‍ය අගය ලබා ගන්නේ නම් (පවුල් ලක්ෂ 50ක් ලෙස ආසන්නව සලකා) ලංකාවේ පවුල් ඒකක 50 ලක්ෂය සදහා මාසිකව වන්නේ පොල් ගෙඩි 135,000,000ක්. එය මිලියන ගණනින් සලකා බැලුවහොත් මිලියන 135ක් වන අතර වාර්ෂිකව අවශ්‍ය වන්නේ පොල් ගෙඩි මිලියන 1620කි. මේ දත්ත සත්‍ය නම් ලංකාවේ 2019 වසරේ ගෘහ පාරිභෝජනයට ලබාගත් පොල් ගෙඩි මිලියන 1620 ඉක්මවා ගිය පොල් ගෙඩි මිලියන 1466ක අතිරිත්තයක් රට තුළ තිබිය යුතුය.
එහෙත් ප්‍රශ්නය ඇත්තේ ලංකාව පසුගිය වසර කිහිපය පුරාම පොල් හිගයක් ගැන දිගින් දිගටම මැසිවිලි කීමය. එහෙත් හෙක්ටයාර් ලක්ෂ 5කට ආසන්න අගයක පොල් ගෙඩි මිලියන 3000කට අධික ප්‍රමාණයක් වාර්ෂිකව නිෂ්පාදනය වන රටේ (මේහි විචල්‍යතා තිබිය හැකිය) ඇත්තටම රටේ ජනතාවට අවශ්‍ය පොල් ගෙඩි මිලියින 1600කට ආසන්න ප්‍රමාණය නිෂ්පාදනය නොවූ වසරක් නැත.
පොල් පමණක් නොව පොල් තෙල් ද ඕනෑ
මෙහිදී පොල් මිල ගැන මැසිවිලි කියන ජනතාව අමතක කරන කාරණය වන්නේ ඔවුන්ට පොල් ගෙඩි වගේම පොල් තෙල් ද අවශ්‍ය බව අමතක කිරීමටය. පන්සල් පල්ලිවල දිනපතා දැල්වෙන ලක්ෂ සංඛ්‍යාත පොල්තෙල් පහන්වලට පමණක් නොව විවිධ සෞඛ්‍යය හේතු මත ආහාරමය අවශ්‍යතා සදහා ද අති විශාල පොල් තෙල් ප්‍රමාණයක් රටට වාර්ෂිකව අවශ්‍ය වේ. මේ තත්ත්වය තුළ වාර්ෂිකව නිෂ්පාදනය වන පොල් ගෙඩි ප්‍රමාණයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් පොල් තෙල් ආදිය නිෂ්පාදනයට යෙදවීමට සිදුවේ. උදාහරණයක් ලෙස 2019 දී පොල්තෙල් මෙට්‍රික් ටොන් 44,648ක් නිෂ්පාදනය කර ඇති අතර එය 2018ට වඩා 309.2%ක වර්ධනයකි.
පුදුමයකට මෙන් පොල් ගෙඩියේ වට ප්‍රමාණය මනිමින් පොල් හිගයට කැකිල්ලේ කතා කියන බලධාරීන් ජනතාවට පොල්වල අතුරු කතා ගැන වැටහීමක් ලබා දෙන්නේ නැත.
‘ඔබ පොල් ගෙඩි පමණක් නොව පොල් තෙල් ද මිලදී ගන්නා බව‘ කියා දෙන්නේ නැත. ඒ වෙනුවට ගැසට් ගසමින්, ටේප්පටි අල්ලමින් නාඩගම් නැටීම පමණක් කරමින් ජනතාවට විහිළු සපයමින් ගමේ ගොඩේ පොල් ගස් 7-8ක් හිමි මිනිහාටත් ‘පොල් මාෆියාවක් ‘නිර්මාණය කර අධික ලාභ ලැබීමට අවස්ථාව ලබාදී තිබේ.
අප මෙසේ කියන්නේ බැලූ බැල්මට සාමාන්‍ය වෙළෙධ පොළට එන්නේ මහ වතුවල පොල් නොව කුඩා ඉඩම් හිමියන්ගේ සහ පොල්ගස් 7-8ක් ඇති ගෙවල්වල පොල් බව අප පැහැදිලිව දන්නා කියන නිසාය.
පොල් අපනයනය කරන ප්‍රමාණය
ලංකාව ගෙඩි මිලියන 3000ක් ගණනක් පොල් නිෂ්පාදනය කරන්නේ ‘හොදි කන්න – සම්බෝල කන්න නොවේ. පොල් වලින් ඊටත් වඩා සුවිශාල වටිනාකමක් ලබාගත හැකිය. විදේශ වෙළෙදපොළේ පොල් සදහා වන ඉල්ලුම අඛණ්ඩව ඉහළ යන අතර ඒවා විවිධාංගීකරණය ද වෙමින් තිබේ. උදාහරණයක් ලෙස මේ වන විට බටහිර රූපලාවන්‍ය කර්මාන්තය තුළ පොල් තෙල් සහ තවත් නිෂ්පාදන රැසකට දැඩි ඉල්ලුමක් නිර්මාණය වෙමින් ඇති අතර පොල් තෙල් පානය කිරීම දක්වා ඔවුන් ගමන් කර තිබේ.
මේ තත්ත්වය තුළ ලංකාවේ කාන්තාවන්ට එලොව පොල් පෙනුණ ද 2020 වසරේ ජනවාරි – අගෝස්තු කාලය තුළ පමණක් ලංකාව පොල් අපනයනය මගින් එක්සත් ජනපද ඩොලර් මිලියන 222ක් උපයාගෙන සමස්ත අපනය සංයුතිය තුළ 3.4%කට හිමිකම් කීමට ද සමත්ව තිබේ.
මෙම අපනයන වාර්තා දකිද්දී ‘අපි පොල් ගෙඩියක් ගන්න මෙච්චර කට්ටක් කද්දී, පොල් හිගයි කිය කිය අඩා වැළපෙද්දී අපේ පොල් ටික පිටරට පටෝලා‘ යැයි කිසියම් කුහක සිතිවිල්ලක් පහළ වුණ ද අප මෙය සලකන්නේ ධනාත්මක තත්ත්වයක් ලෙසය. මන්ද අපගේ ස්ථාවරය වන්නේ ‘සාපේක්ෂ වාසි න්‍යාය‘ අනුව කටයුතු කළ යුතුය යන්න වීම නිසාය. එනම් ‘අපිට වැඩියෙන් ලාභ ලැබිය හැකි දේ නිෂ්පාදනය කර අපනයනය කරමින් ඒ විදේශ විනිමය වලින් අපට ලාබෙට ආනයනය කළ හැකි දේ‘ ලබා ගැනීම වඩාත් සුදුසු යැයි අප සිතන නිසාය.
එහෙත් මේ ආර්ථික යථාර්ථය අදාළ බලධාරීන් විසින් ජනතාවට පහදා දිය යුතුය. එසේ නැතිව රටේ දේශීය පාරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා දෙගුණයක් පොල් නිෂ්පාදනය වේද්දී, ජනතාවට ඒ බව පැහැදිලි පෙනී යද්දී ටේප්පටි ඇල්ලීම විකාරයක් වන නිසාය. මේ සමග ගමේ ගොඩේ පොල් වතු හිමියෝ ද පොල් මාෆියාවක් නිර්මාණය කර ගන්නා නිසාය.
‘ලංකාවේ හැමෝටම පොල්වතු හෝ පොල් ගස් නැත. ඒ නිසා රටේ නිෂ්පාදනය වන පොල් ගෙඩි ප්‍රමාණය අයුතු ලාභයට ලක් නොවී රට පුරා බෙදා හරින තිරසර වැඩපිළිවේ දියත් විය යුතුය. එය කිසිසේත් ටෙප්පටියට කළ හැකි දෙයක් නොවේ.
සටහන – අසේල වීරසේකර