මියන්මාරය, ජිනීවා සහ වීරවංශවාදී ප්‍රා-චීන-වාදය

දැන් සිංහල අධිපතිවාදයට නැගී එන පෙරදිග මකරාගේ සෙවණැල්ල යට වෙසෙමින් මානව අයිතීන් පිළිබඳ කතිකාවේ යුරෝ-ඇමරි කේන්ද්‍රීයත්වය ගැනත් ආසියාතික වටිනාකම්වල සුවිශේෂකත්වය ගැනත් බරසාර අදහස් ඉදිරිපත් කළ හැකිය.

පසුගියදා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශය මියන්මාරයේ කුමන්ත්‍රණකාරීව බලය අත්පත් කර ගත් මිලිටරි ආණ්ඩුවට රාජ්‍ය තාන්ත්‍රික පිළි ගැනීමක් ලබා දෙන ආකාරයේ ක්‍රියාවක් සිදු කළේය. ඒ, බහු-ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වන බෙංගාල සමාරම්භකත්වයේ (BIMSTEC) 2021 වසරේ සම්මේලනයට මිලිටරි ආණ්ඩුව විසින් විදේශ අමාත්‍යවරයා ලෙස නම් කරන ලද පුද්ගලයාට නිල වශයෙන් ආරාධනා කිරීමයි.

ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික අද්මිරාල් ජයන්ත කොළඹගේ හින්දු පුවත්පතට පවසා ඇත්තේ මියන්මාරය BIMSTEC එකතුවෙන් ඉවත් කොට නොමැති බැවින් ඔවුනට ආරාධනා නොකර සිටීමේ හැකියාවක් තමන්ට නොමැති බවයි.

ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික අද්මිරාල් ජයන්ත කොළඹගේ

නමුත්, ලංකාවේ විදේශ අමාත්‍යවරයා විසින් යවා ඇති ලිපිය යොමු කොට ඇත්තේ සෘජුවම මියන්මාරයේ මිලිටරි පාලනය විසින් විදේශ අමාත්‍යවරයා ලෙස පත් කොට තිබෙන වුන්නා මවුන් ල්වින්ගේ නමටය. මෙහිදී අඩු තරමින් රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් කළ හැකිව තිබූ දෙයක් නම් එම ලිපිය අදාළ පුද්ගලයා වෙත නොව අදාළ නිල තනතුර වෙත යොමු කිරීමයි. (මේ කාරණය මාධ්‍යවේදී නාලක ගුණවර්ධන විසින්ද පෙන්වා දෙනු ලැබ තිබිණ.) 

දැන් මියන්මාරයේ ප්‍රජාතාන්ත්‍රික නිදහස වෙනුවෙන් අරගලයේ නිරත ක්‍රියාකාරීන්ගේ විරෝධය ලංකාණ්ඩුව වෙතද ඉලක්ක වෙමින් තිබේ. ඉදිරියේදී විරෝධතාකරුවන් මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට රැස්වීම පවා දැන් අපේක්ෂා කළ හැකිය.

ශ්‍රී ලංකාව පැත්තෙන් මියන්මාරය සමග වන සබඳතා කළමනාකරණය කිරීමේ වගකීම පැවරී තිබෙන්නේ සිංහල-බෞද්ධ ජාතිකවාදයේ ප්‍රමුඛ දෘෂ්ටිවාදී වාහකයින් දෙදෙනෙකු වන දිනේෂ් ගුණවර්ධන සහ නලින් ද සිල්වා හටත් මිලිටරි පසුබිමක් සහිත ජයන්ත කොළඹගේ හටත් ය.

පෙරදිග රාජ්‍ය තාන්ත්‍රික පෙරමුණේ මෙවන් දේ සිදුවෙමින් පවතින්නේ ජිනීවාහි මානව අයිතීන් කවුන්සිලයේ ශ්‍රී ලංකාවට අදාළව නැවත ඉදිරිපත් වන යෝජනාව සාකච්ජාවට ලක් වෙමින් පැවතියදීය. 

මෙරට සුළුතර ජනවාර්ගික සහ ආගමික නායකත්වයන් ජිනීවා දෙස අපේක්ෂා සහගතව බලන විට විමල් වීරවංශ ප්‍රමුඛ බහුතරවාදී ජාතිකවාදීන් විවෘතවම චීනය දෙසට හැරේ. බටහිර අධිරාජ්‍ය විරෝධය නමැති දෘෂ්ටිවාදී පළිහේ ආවරණය ලබමින් සුළුතර ප්‍රජාවන් පීඩනයට පත් කිරීමේ සිංහල අධිපතිවාදී සූත්‍රය විමල් වීරවංශ ඔහුගේ ජවිපෙ අතීතය තුළ හොඳින් ඉගෙන ඇති බව පෙනේ.

දැන් සිංහල අධිපතිවාදයට නැගී එන පෙරදිග මකරාගේ සෙවණැල්ල යට වෙසෙමින් මානව අයිතීන් පිළිබඳ කතිකාවේ යුරෝ-ඇමරි කේන්ද්‍රීයත්වය ගැනත් ආසියාතික වටිනාකම්වල සුවිශේෂකත්වය ගැනත් බරසාර අදහස් ඉදිරිපත් කළ හැකිය. මේ වන විට සිංහල සමාජයේ අධිපති දෘෂ්ටිවාදී ධාරාවක් ලෙස මතුවෙමින් තිබෙන්නේ ‘විමල් වීරවංශලාගේ මෙම නව ප්‍රා-චීන-වාදය‘යි. දේශීය පෙරමුණේ දේවල් පෙළ ගැසෙමින් තිබෙන්නේ ඒ ආකාරයෙනි. 

මියන්මාර් තානාපති මහාචාර්ය නලීන් ද සිල්වා

වීරවංශලාගේ ප්‍රා-චීන-වාදය 

වීරවංශගේ දෘෂ්ටිවාදී කඳවුර විසින් චීනය දකිනුයේ එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාදී බලවතුන්ගේ වටලෑමට ලක්ව තිබෙන සාපේක්ෂව ප්‍රගතිශීලී රාජ්‍යයක් ලෙසිනි; මානව අයිතීන් පිළිබඳ කතිකාව දකිනුයේ බටහිර අධිරාජ්‍යවාදීන්ගේ භූ-දේශපාලනික අරමුණු වෙනුවෙන් භාවිත කෙරෙන උපකරණයක් ලෙසිනි;

සුළුතර ජනවාර්ගික සහ ආගමික ප්‍රජාවන්ගේ ප්‍රජාතාන්ත්‍රික ඉල්ලීම් දකිනුයේ බටහිර ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධාන හරහා ක්‍රියාත්මක වන එක්සත් ජනපද-ඉන්දීය-යුරෝපීය අක්ෂයේ කුමන්ත්‍රණකාරී මැදිහත්වීමක් ලෙසිනි.

වීරවංශ කඳවුර තම ප්‍රතිවාදීන්ගෙන් අසන ජනප්‍රිය ප්‍රශ්නය වන්නේ ”එක්සත් ජනපදයේ හෝ යුරෝපයේ පාලන තන්ත්‍ර විසින් සිදු කෙරෙන බරපතල මානව අයිතීන් කඩ කිරීම් ගැන නුඹලා කියන්නේ කුමක්දැයි” යන්නයි. එය තම ප්‍රතිවාදීන් හට ඇරයුම් කරන්නේ වඩා ප්‍රගතිශීලී එක්සත් ජනපදයද නැතහොත් චීනයද යන විවාදයට සහභාගී වන ලෙසයි. 

නමුත්, ජන අරගල වාමාංශය කළ යුත්තේ වීරවංශලාගේ දෘෂ්ටිවාදී කඳවුර විසින් යෝජනා කෙරෙන “එක්සත් ජනපදය එරෙහිව චීනය” යන විවාදයට සහභාගී වීම නොවේ; ඒ වෙනුවට එම විවාදය පදනම් වන ඥාන මීමාංසාත්මක රාමුව ප්‍රශ්න කිරීමයි. කෙටියෙන් කිව හොත්, වීරවංශ ප්‍රවාදය ගොඩ නැගෙන්නේ ජාතික රාජ්‍යය නමැති පැරඩයිමය (ඥානමය රාමුව) තුළය. ඒ විසින් කිසියම් ජාතික රාජ්‍යයක් (නිදසුනක් ලෙස චීනය) වඩා ප්‍රගතිශීලී යැයි දකිනු ලබන විට සැබවින්ම පසසනු ලබන්නේ එම ජාතික රාජ්‍යයේ සංස්ථාපිත පාලනාධිකාරයයි. 

මියන්මාරයේ මිලිටරි පාලනයට එරෙහි ජනතා උද්ඝෝෂණ

නව-ජාත්‍යන්තරවාදයක්  

මේ වෙනුවට මාක්ස්වාදී බුද්ධිමය සහ දේශපාලන සම්ප්‍රදාය තුළ ගොඩ නැගුණු ජාත්‍යන්තරවාදය පදනම් වන්නේ ලොව විවිධ ප්‍රදේශවල කම්කරු, ගොවි, ශිෂ්‍ය, බහුජන ව්‍යාපාරවල එක්සත්කම මතය. එම ජාත්‍යන්තරවාදය ජාතික රාජ්‍යයේ සීමා මායිම් අතික්‍රමණය කිරීම අරමුණු කර ගත්තකි.

මාක්ස්වාදී ජාත්‍යන්තරවාදයේ විශාලතම බිඳ වැටීම සිදු වූයේ පළමු ලෝක යුද්ධයේ ආරම්භයත් සමග දෙවන ජාත්‍යන්තරයේ සාමාජික පක්ෂ රැසක් තම තමන්ගේ රටවල යුද ව්‍යාපෘතීන්ට සහාය දැක්වීම හමුවේ ය. එය ජාතික රාජ්‍යය නමැති පැරඩයිමයේ වලංගුතාව තවමත් එතරම් අභියෝගයට ලක්ව නොතිබූ යුගයකි.

නමුත්, සෝවියට් දේශය තුළ ජෝසෆ් ස්ටාලින්ගේ සහ නිකොලායි බුඛාරින්ගේ “තනි රටේ සමාජවාදය” ස්ථාපිත වන තෙක්ම මාක්ස්වාදී ජාත්‍යන්තරවාදයේ පදනම ලෙස පැවතියේ ජාතික රාජ්‍යයන් අතර සබඳතා නොවේ; ලොව පුරා විමුක්ති ව්‍යාපාර අතර සබඳතා ය. කොමියුනිස්ට් ජාත්‍යන්තරවාදය සෝවියට් විදේශ ප්‍රතිපත්තියේ අවශ්‍යතා අනුව හැඩ ගැසෙන්නට පටන් ගත්තේ ඊනියා “තනි රටේ සමාජවාදය” දේශපාලනිකව තහවුරු වීමෙන් පසුවය. 

නමුත්, ජාතික රාජ්‍යයේ රාමුව ඉක්මවා ගොස් ගෝලීය ප්‍රජාතාන්ත්‍රික සහ වාමාංශික ව්‍යාපාර අතර එක්සත්කමක් ගොඩ නැගීමේ නිෂ්ටාව ලොව පුරා වාමාංශික ව්‍යාපාර විසින් තවමත් අත් හැර දමා නොමැත. සයිමන් බොලිවාර්ගේ සහ යොසේ මාර්ටිගේ යුගයේ පටන්ම මහාද්වීපික විමුක්ති අරගල සම්ප්‍රදායක් ගොඩ නැගුණු ලතින් ඇමෙරිකානු කලාපයේ එය විශේෂයෙන් දකිත හැකි විය.

1999 දී සියැටල්හි මුළු දුන් ලෝක වෙළඳ සංවිධානයේ රැස්වීමට එරෙහි විරෝධතාවයේ සිට සමස්ත ගෝලීයකරණ-විරෝධී ව්‍යාපාරයම අපට පවසන්නේ ගෝලීය සමාජ ව්‍යාපාරවල යුගයකට අප දැන් පිවිස සිටින බවය.

ලොව පුරා යෞවන යෞවනියන් මිලියන ගණනින් එක්සත් කරන්නට සමත් වූ කාලගුණ විපර්යාසයට එරෙහි ව්‍යාපාර මේ සඳහා තවත් නිදසුනකි. කොරෝනා වයිරස් වසංගතයේ අවදානම නොතකා පසුගිය වසරේදී එක්සත් ජනපදයෙන් ඇරඹී ලොව පුරා ව්‍යාප්ත වූ වර්ගවාදයට එරෙහි සමාජ ව්‍යාපාර මගින් සංකේතවත් වූයේ සමකාලීන නව-ජාත්‍යන්තරවාදයේ නොහොත් ගෝලීය සමාජ ව්‍යාපාරවල බලපෑම් සහගතභාවය කෙබඳුද යන්නයි. 

ආසියාවේ ප්‍රජාතාන්ත්‍රික ජන අරගල රැල්ල

වසංගතය හමුවේ ජන අරගල දේශපාලනයේ බැසීමක් ඇති වේය යන උපකල්පනය මුළුමනින්ම බොරු කරමින් දැන් ප්‍රජාතාන්ත්‍රික විරෝධතාවන්හි නව රැල්ලක් ආසියාතික කලාපය තුළ හිස ඔසවමින් තිබේ. මේ ඇතැම් ව්‍යාපාරවල මූලයන් පැහැදිලිවම වසංගතයේ යුගයෙන් බොහෝ ඈතට ගමන් කරයි. නමුත්, ඒවායෙහි වේගවත් ඉහළ නැග්ම දැන් කැපී පෙනෙන ලෙස නිරීක්ෂණය කළ හැකිය.

තායිලන්තයේ රාජාණ්ඩුවට සහ මිලිටරියට එරෙහි ප්‍රජාතාන්ත්‍රික ව්‍යාපාරය තවමත් අඛණ්ඩව ක්‍රියාත්මක වේ. 2014 දී කුමන්ත්‍රණකාරීව බලය අත්පත් කර ගත් තායි රාජාණ්ඩු මිලිටරිය ඉන් දෙවසරකට පසුව තමන් විසින්ම සැකසූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා ජන මත විචාරණයක් පැවැත්වීය. එය නිදහස් හා සාධාරණ මත විමසුමක් නොවේය යන්න ප්‍රජාතාන්ත්‍රික විපක්ෂයේ මතයයි.

පසුගිය වසරේදී “අනාගතය වෙත පෙරටම” යන පක්ෂය තහනම් කිරීමෙන් පසුව උත්සන්න වූ රාජ්‍ය මර්දනකාරීත්වය මගින් සිදු වූයේ ජනතා අරගලය තව දුරටත් තීව්‍ර වීමය. තායිලන්ත ජන අරගලයේ විශේෂත්වයක් වන්නේ පවතින ව්‍යවස්ථාව වෙනස් කිරීම, මිලිටරි පාලනය අවසන් කිරීම සහ අත්තනෝමතික රාජාණ්ඩුවේ බලය අහෝසි කිරීම යන මූලික ප්‍රජාතාන්ත්‍රික නිෂ්ටාවන් කරා එය ඉලක්කගතව තිබීමයි. 

අසල්වැසි මියන්මාරයේ දැන් මසකටත් වැඩි කාලයක් තිස්සේ වර්ධනය වෙමින් තිබෙන ජනතා අරගලය පැහැදිලිවම තායිලන්ත ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාකාරීන් වෙත ස්වකීය සහයෝගීතාව පළ කරයි.

තායිලන්ත තරුණ ක්‍රියාකාරීන්ගේ සුප්‍රසිද්ධ ඇඟිලි තුනේ මුද්‍රාව දැන් මියන්මාරය තුළද ජනප්‍රියත්වයට පත් වෙමින් තිබේ. මියන්මාර අරගලයේ රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදී ධාරාව අවුන් සාන් සූචීව නැවත බලයට ගෙන ඒමේ සීමිත අරමුණෙන් ඔබ්බට පොදු ජන ව්‍යාපාරය ඉදිරියට තල්ලු කරන්නට ප්‍රයත්න දරමින් තිබේ.

මියන්මාරය චීන සමාගම්වල ආර්ථික ග්‍රහණයට යටත් කිරීම සම්බන්ධයෙන් සේම රෝහින්ග්‍යා මුස්ලිම් වැසියන්ට එරෙහි අති මහත් හිංසනය සම්බන්ධයෙන්ද සූචීගේ පාලනය වග කිව යුතුව ඇත. එබැවින්, ආපසු 2021 පෙබරවාරි පළමු වෙනිදාට පෙර පැවති ඊනියා සාමාන්‍ය තත්ත්වය කරා යාම වෙනුවට ගැඹුරු ප්‍රජාතාන්ත්‍රික පරිවර්තනයක් අවශ්‍ය වේය යන අදහස දැන් විරෝධතාකරුවන් අතර පැතිර යමින් තිබෙන බව වාර්තා වේ. 

මියන්මාර මිලිටරි පාලනය මින් පෙර චීනය මත අධික ලෙස පරායත්ත වීම වෙනස් කරන්නට ප්‍රයත්න දරා තිබුණද, දැන් එයට තම පැවැත්ම වෙනුවෙන් වඩ වඩාත් චීනය මත රඳා පවතින්නට සිදු වේ.

ශ්‍රී ලංකාවේ පාලක බල හවුලේ චීන-හිතවාදී කොටස් මියන්මාරයේ මිලිටරි පාලනය සම්බන්ධයෙන් දක්වන මෘදු ප්‍රතිචාරය ජාත්‍යන්තර අවධානයට ලක් වන්නේ එම පසුබිම තුළය.
බෙයිජිං පාලනය හොං කොංහි ප්‍රශ්නය පෙන්නුම් කරන්නට කැමති වන්නේ තම අභ්‍යන්තර ප්‍රශ්නයක් ලෙසටය. ලොව බොහෝ තැන්වල අධිකාරීවාදී පාලකයින් තම මර්දනකාරී ක්‍රියාකාරීත්වයන් සාධාරණීකරණය කරන්නට භාවිත කරන්නේ ජාතික ස්වාධිපත්‍ය නමැති උදෘතයයි.

නමුත්, ගෝලීය ප්‍රජාතාන්ත්‍රික සමාජ ව්‍යාපාර විසින් ගොඩ නගමින් තිබෙන නව-ජාත්‍යන්තරවාදී පරිකල්පනය තුළ දේවල් නිරූපනය වන්නේ ඊට වෙනස්වය. බෙයිජිං පාලනය විසින් සම්මත කරන ලද ජාතික ආරක්ෂක නීතිය මගින් හොං කොං වැසියන් එතෙක් කලක් භුක්ති විඳි සීමිත සමාජ නිදහස පවා ඔවුනගෙන් උදුරා ගනු ලැබේය යන්න අරගලයේ නිරත වූවන්ගේ චෝදනාවයි.

“චීන ගති ලක්ෂණ සහිත ධනවාදයේ” (capitalism with Chinese character)  සැබෑ ස්වභාවය ශින්ජියෑන් පෙදෙසේ උයිගර් මුස්ලිම්වරුන්ගේ අත්දැකීම් ඇසුරින් වටහා ගත හැකි තතු යටතේ ස්වකීය සාපේක්ෂ ප්‍රජාතාන්ත්‍රික නිදහස හෝ ආරක්ෂා කර ගැනීම හොං කොංහි විරෝධතාකරුවන්ගේ අරමුණයි. 

අපගේ අසල්වැසි ඉන්දියාවේ ප්‍රජාතාන්ත්‍රික ජනතා අරගල ප්‍රවණතා දෙකක් අඩු තරමින් පසුගිය කාලයේදී නිරීක්ෂණය කළ හැකි විය. පළමුවැන්න සංශෝධිත පුරවැසි පණතට එරෙහි සිසු-ජන ව්‍යාපාරය වූ අතර දෙවැන්න සමකාලීන ගොවිජන අරගලයයි. පළමුවැන්න මගින් අධිකාරීවාදී හින්දූත්වවාදී පාලනයට එරෙහිව ඉන්දීය බහු-විධ ප්‍රජාතාන්ත්‍රික සම්ප්‍රදාය යළි මතු කරන ලද අතර, දෙවැන්න මගින් ඉහළට ඔසවමින් තිබෙන්නේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඉල්ලීම් ය. 

මේ අනුව ආසියාතික ලෝකයේ රාජාණ්ඩුවාදයට එරෙහිව, මිලිටරි පාලනයන්ට එරෙහිව, රාජ්‍යයේ අධිකාරීවාදී ක්‍රියා මාර්ගයන්ට එරෙහිව, අන්ත-දක්ෂිණාංශික ජාතිකවාදයට එරෙහිව සහ ප්‍රාග්ධනයට එරෙහිව විවිධ ප්‍රජාතාන්ත්‍රික ජන අරගල දැන් ඉස්මතු වෙමින් පවතී. ඒවා අතර එක්සත්කමක් ගොඩ නැංවී නොතිබුණද, අඩු තරමින් ඒවා එකිනෙකා වෙත සහයෝගීතාව දැක්වීමේ සලකුණු අපට නිරීක්ෂණය කළ හැකිය. මියන්මාරයේ මිලිටරි පාලනයට එරෙහි උද්ඝෝෂණයක් පසුගියදා කොළඹ මියන්මාර තානාපති කාර්යාලය ඉදිරිපිට දී පැවැත්විණ. 

රැඩිකල් ප්‍රජාතාන්ත්‍රික පරිකල්පනය

මෙම ප්‍රජාතාන්ත්‍රික ජන අරගලයන් කෙරෙහි දක්වනු ලබන රැඩිකල්-ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිචාරය පදනම් විය යුත්තේ විමුක්ති දේශපාලනයේ ගෝලීය සහයෝගීතාව සහ එක්සත්කම පිළිබඳ ස්ථාවරය මත බැව් අමුතුවෙන් කිව යුතු නැත. එය ජාතික-රාජ්‍යය නමැති පැරඩයිමය තුළ සිර වූවක් විය නොහැකිය.

එක් ගෝලීය ධනවාදී බලවතෙකු වෙනුවට සාපේක්ෂව ප්‍රගතිශීලී යැයි කියනු ලබන වෙනත් ගෝලීය ධනවාදී බලවතෙකු වැළඳ ගැනීමේ වීරවංශවාදී ප්‍රවේශයට සපුරාම වෙනස්ව යමින්, ගෝලීය රැඩිකල් ප්‍රජාතාන්ත්‍රික පරිකල්පනයක් වෙනුවෙන් ඉටු කළ යුතු බුද්ධිමය කාර්යභාරයක් වත්මන් වාමාංශයට තිබේ.

ලංකාණ්ඩුවට එරෙහිව එල්ල වන මානව අයිතීන් කඩ කිරීම් පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් නව-වමේ ස්ථාවරය ගොඩ නැගිය යුත්තේද සුළුතර ප්‍රජාවන්ගේ ඉල්ලීම් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ලෙස දකිනු ලබන අතිසරල ජාතික-රාජ්‍යවාදී පරිකල්පනයක් තුළ නොව විමුක්ති දේශපාලනයේ ගෝලීය සහයෝගීතාව පිළිබඳ පරිකල්පනයක් තුළය.                        

සුමිත් චාමින්ද 

Loading...

Related Posts