‘නිරෝධාන නීති අවභාවිතය’:- GMOA – පොලිස් ඇමැති සහ ගුරු සංගම් නායකයින් කියන කතා

Spread the love

ජනතාව බියවද්දමින් නිරෝධායන පනත අවභාවිත නොකරන්න – GMOA

ජනතාව බියවද්දමින් නිරෝධායන පනත අවභාවිත නොකරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී.

අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ නිරෝධායන පනත යොදා ගනිමින් විරෝධතාකරුවන් පාලනයට ක්‍රියාමාර්ග ගැනිම සම්බන්ධයෙන් සිය සංගමය දැඩි අප්‍රසාදය පළ කරන බවයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිරෝධායන පනතේ බලතල පොලීසිය ඇතුළු ආයතනයන්ට ලබාදී ඇත්තේ එය ඒකාකාරීව ක්‍රියාත්මක කිරීමට බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

‘එක් එක් පුද්ගලයාට හෝ එක් එක් දේශපාලන කණ්ඩායම මත පදනම් ව නිරෝධායන පනත ක්‍රියාත්මක කළ නොහැකියි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබාදී ඇති නිරෝධායන පනතේ බලපත පොලීසිය ඇතුළු පුද්ගලයින් අවභාවිත කරන්නේ නම් රට තුළ කිසිවිටෙකත් එක් රටක් යන සංකල්පය ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ නිසා අද අපි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටිනවා නිරෝධායන පනත අවභාවිතය කිරීම, එක් එක් පුද්ගලයාට නීතිය විවිධාකාරයෙන් භාවිතා වීම එසේත් නැතිනම් ජනතාව බියවැද්දීම සඳහා නිරෝධායන නීතිය භාවිත කිරීම වැළැක්වීමට නිරෝධායන පනතේ බලධාරියා ලෙස කටයුතු කරන්න කියලා. එසේ නැතිනම් නිරෝධායන පනතට ජනතාවගේ මේ පිළිබඳ තිබෙන විශ්වාසය නැතිවෙනවා.“

පොලීසිය කවදාවත් නීතිය නවලා නෑ -අමාත්‍ය සරත් වීරසේකර

රජයේ වෛද්‍ය නිලධරීන්ගේ සංගමය නිරෝධාන නීති අවභාවිත නොකරන ලෙස පොලිසියෙන් ඉල්ලා සිටියද මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසන්නේ නීතිවිරෝධී උද්ඝෝෂණවල නිරතවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් නිරෝධායනය ට යොමුකිරීම සෞඛ්‍ය අංශවල උපදෙස් මත සිදුවූවක් බවත් පොලිසිය පොලීසිය කවදාවත් නීතිය නවා නැති බවත්ය.

මේ හේතුවෙන් අදාළ ක්‍රියාවලියේ දී පොලිස් නිලධාරින්ගේ වරදක් නොමැති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

කඩුවෙල නව පොලිස් ස්ථානය විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් සරත් වීරසේකර අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

සියලු උද්ඝෝෂණ ඇතුළු ජන රාශිවීම රෝග ව්‍යාප්තියට බලපාන බව සඳහන් කරමින් පොලිස්පතිවරයාට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලිපියක් යවලා තිබ්බා.. අපි දන්නවා ඉන්දියාවේ ජනරාශි වීම් වලින් තමයි විශාල ව්‍යසනයකට මුහුණ දෙන්න වුණේ. අපි උදේ ඉඳන්ම ඒ අයට විවිධ ආකාරයෙන් සන්නිවේදනය කළා, මෙවන් උද්ඝෝෂණ කළොත් රටේ නීතිය අනුව අත්අඩංගුවට ගන්නවා කියලා. ඒක අහන්නේ නැතිව නිරෝධායන නීති කඩකරමින් උද්ඝෝෂණ සිදුකළ නිසා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නියෝගය මත ඔවුන්ව පොලීසිය අත්අඩංගුවට ගත්තේ.

ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කළාම ඇප මත නිදහස් වුණා. ඉන්පස්සෙ ඔවුන්ව නිරෝධායනයට යොමුකලේ පොලිසියට ඕන නිසා නෙමෙයි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ගේ ලිඛිත ඉල්ලීමක් නිසා තමයි පොලිසිය ඔවුන්ව නිරෝධානය ට යොමු කළේ. පොලිසියට කාටවත් දොස් කියන්න බෑ. පොලිසිය කළේ අදාළ බලධාරීන්ගේ උපදෙස් මත මිසක් පොලිසියේ උවමනාවට නෙමේ යනුවෙන් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේ කඩුවෙල කොට්ඨාශයේ නව පොලිස් ස්ථානය අද දින විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් සඳහන් කලේ යහපාලන ආණ්ඩු කාලයේ මේ උද්ඝෝෂණ වලට සැලකුවේ කඳුළු, ගෑස්, ජල ප්‍රහාර, බැටන් පොලුවලින්. අපි උස්සගෙන ගියා මිසක් කවදාවත් ඒ ආකාරයෙන් සැලකුවේ නෑ. ඒ වගේම මේ පොලිස් නිලධාරීන් සමහර වෙලාවට අවම පහසුකම් යටතේ වැස්සේ තෙමෙමින්, අව්වේ වේලෙමින් පැය 12ක් රාජකාරි කරන කොට්ඨාශයක් බොහෝ වෙලාවට ඔවුන්ගේ නිවාඩු අවලංගු වෙනවා. ඔවුන් කළේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දීපු නියෝග ක්‍රියාත්මක කරන එකයි. ඔවුන්ට දෝෂාරෝපණය කිරීම වැරදියි. අපේ අඩුපාඩු තියෙනව නම් අපි හදා ගන්නවා‘‘

මේ අරගලය දිගටම කරගෙන යනවා – ලංකා ගුරු සංගමයේ ලේකම්, ජෝසප් ස්ටාලින්

මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ගුරු වෘත්තිය සමිති නායකයෙකු වන ජෝෂප් ස්ටාලින් මහතා අද (12) වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ අදහස් පළ කළේය.

“මුදලට උපාධිය විකිණීමට තමයි මේ සුදානම් වෙන්නේ. සයිටම් දක්වා සියලු දේවල් පරාජය කළා වගේ මේකත් අනිවාර්යයෙන්ම අපිව නිරෝධායන මධ්‍යස්ථාන නෙමෙයි, හිරගෙවල් නෙමෙයි මොකේ දැම්මත් අපි අනිවාර්යයෙන්ම මේක පරාජය කරනවා කරනවාමයි කියන කාරණාව කියන්න කැමතියි. අපි කාටවත් කොරෝනා නෑ. අපිව ගෙනල්ලා මෙහේ දාලා පොලීසියට මොකද්ද තියෙන බලය මිනිස්සුන්ව කුදලගෙන ඇවිල්ලා හමුදා කඳවුරුවල රඳවන්න. මේ තියෙන තොරතුරුවලට අනුව ලංකාවේ ම ඔන්ලයින් නැහැ. මේක දිගටම යන ක්‍රියාවලියක්.”

Related Posts