නැගෙනහිර පර්යන්තය : ආණ්ඩුවේ ව්‍යාජ හඬට රැවටෙනවාද?

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට 99 අවුරුදු බදු ක්‍රමයට ලබාදීම හෝ විකුණා දැමීමට තීරණය කිරීම ඉතිහාසයේ අදූරදර්ශීම තීරණයක් වනු ඇති බව නොඅනුමානය. එනිසාම අප දිගින් දිගටම ලිපි මගින් රාවය පාඨකයාට කියන්නට උත්සහ දරන්නේ මෙය වැළැක්විය යුතු ප්‍රයත්නයක් වන අතර ඊට පළල් ජනතා විරෝධයක්ද අවශ්‍ය බවයි.


රට ණය උගුලක පැටලී ඇති බව සත්‍යයය. එය මහජනතාව විසින් මෙතෙක් පත් කරගත් පාලකයන් විසින් ගත් දුරනොදක්නා ක්‍රියාමාර්ගයන්ගේ අවසාන ප්‍රතිඵලයකි. නමුත් සමහර දේශපාලන පක්ෂ විසින් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකුණා ණය ගෙවනවා කියන කාරණය අපට පිළිගත නොහැක. එය වත්මන් ආණ්ඩුව විසින් පර්යන්තය බදු දීමට හෝ විකුණා දැමීම සඳහා ගොතන ගජබින්නයකි.


අප ලිපිය ලියන මොහොතේදී වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ පැවසුවේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිවෙකුටත් පවරන්නේ නැති බවය. නමුත් ඊට විරුද්ධ පක්ෂය විසින් “කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය 100% ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන්නේද? ”යන්න යොමු කළ ප්‍රශ්නයට අග්‍රාමාත්‍යවරයා නිහඬ පිළිවෙතක් අනුගමනය කර ඇත. එසේ නම් පාර්ලිමේන්තු කතාවත් රාජපක්ෂ ආණ්ඩුවේ නාටකයක් පමණි. රටේ ජනතාව තව තවත් මේවාට නොරැවටිය යුතුය.

නැගෙනහිර පර්යන්තයට ගත් ණය


ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ඩොලර් මිලියන 80ක දේශීය බැංකු ණයක් හා වරාය අධිකාරිය සතු මුදලින් ද එකතුව ඩොලර් මිලියන 100ක පමණ වැයක් දරා නැගෙනහිර බහාලුම් පර්යන්තය (ECT) නිර්මාණය කර ඇත. මීටර් 600ක් දිග නැංගුරම් පළක්, මීටර් 440ක් දිග විශාල නැව් මෙහෙයවිය හැකි පරිදි මෙහෙයුම් පද්ධතියක් සහ හෙක්ටයාර් 18ක අංගණයක් 2015 වසර මැද භාගය වන විට නිමකර අවසන් කරන ලදි. එවකට මෙහි අරමුණ වූවේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් ක්‍රියාත්මක කර පාලනය කිරීමයි. නමුත් සිදුවූවේ එකල සිටම විටින් විට නැගෙනහිර පර්යන්තය බදු දීමට උත්සාහ කිරීමයි. එහි දිගුව රාජපක්ෂ ආණ්ඩුවේ මැදිහත්වීමකින් ගෙන යන අතර ශ්‍රී ලංකා වරාය විසින් නැගෙනහිර පර්යන්තය සඳහා ගත් ණය මුදල පියවීමට මෙතෙක් විසඳුමක් නැත.


ශ්‍රී ලංකා වරාය ඉන්දියාවට බදු දී ඉන් ලැබෙන මුදල මුදල් අමාත්‍යාංශයට ලැබෙන පරිදි වැඩසටහනක් සකස් කර ඇත. එසේනම් නැගෙනහිර පර්යන්තය සදහා ලබා ගත් ණය මුදල වරාය විසින් පියවිය යුතුය යන්න පැහැදිලිය. එහි යම් කුකුසක් ඇති බැවින් කොළඹ වරායේ වෘත්තිකයන් පවසන්නේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය බදු දෙනවා නම් එම මුදල් වරායටම ලැබිය යුතු බවයි. මන්ද වරාය විසින් ලබා ගන්නා ණය මුදල් වරායේ ආයෝජනයෙන්ම ගෙවා දමන නිසා, නැගෙනහිර පර්යන්තය බදු දීමට තීරණය කර ඇති නම් එම මුදල්ද වරායටම ලැබිය යුතුය යන්න ඔවුන්ගේ අදහසයි.


ණය ලබා ගැනීමේදී ඇප වන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරියයි. එබැවින් එම ණය මුදල් වරාය විසින් ගෙවා දැමිය යුතුය. ආණ්ඩු පාක්ෂිකයන් කියන්නේ රටේ ණය ගෙවා දැමීමට නැගෙනහිර පර්යන්තය බදු දෙන බවය. එසේ නම් පළමුවෙන්ම වරාය විසින් ලබාගෙන ඇති ණය මුදල් පියවා සිටිය යුතු බව වෘත්තිකයෝ පවසති.

සහයෝගීතා ගිවිසුම ප්‍රකාරව


2020 ජූනි 09 කැබිනට් පත්‍රිකාවේ 1.2 පැහැදිලිවම සදහන් වන්නේ ජපානය සහ ඉන්දියානු කොටස් හිමියන් විසින් 49% සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් 51%ක් ඒකාබද්ධව පර්යන්ත මෙහෙයුම් සමාගමක් පිහිටුවීමට මෙම සහයෝගීතා ගිවිසුම (MOC) පහසුකම සලසන වගයි. එය ජපන් රජයේ ණයක් මත පදනම්ව සංවර්ධනය කිරීමට හැකි බවද එහි සඳහන් වේ. එසේනම් සහයෝගිතා ගිවිසුම ප්‍රකාරව සියල්ල සිදුවීමට ඇති හැකියාව වැඩිය. රාජපක්ෂ ආණ්ඩුව ඒවා ප්‍රසිද්ධියේ කතා නොකරන්නේ මන්ද යන්න ගැටලුවකි.


රාජපක්ෂ ආණ්ඩුව ගජබින්න ඇද දමමින් උක්ත කරුණු වසන් කිරීමට උත්සහ දරන්නේ වරාය වෘත්තිකයන් විසින් ගන්නා වෘත්තීය ක්‍රියාමාර්ග නැවැත්වීම සඳහා විය හැකිය. මන්ද වෘත්තිකයන් පවසන පරිදි නැගෙනහිර පර්යන්තය 100% වරාය අධිකාරිය සතු කරන බව ලිඛිතව ලබා දෙන තෙක් ඔවුන් සැලසුම් කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නා බවයි. එහිදී ඔවුන් පැහැදිලිවම සඳහන් කළේ 2021/01/07 වන දින කෑම පැය වර්ජනය කර පසු සතියේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි.

ආර්ථික සභා වාර්තා


යහපාලන ආණ්ඩුව නැගෙනහිර බහාලුම් පර්යන්තය වරාය අධිකාරිය මගින් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුය යන බලාපොරොත්තුවක සිටි නමුත් ඒ සඳහා ආර්ථික සභාවක් පත් කර තමන්ට සභා වාර්තා ලබා දෙන ලෙස එවකට ජනාධිපතිව සිටි මෛත්‍රීපාල සිරිසේන පවසා තිබුණි. උක්ත ආර්ථික සභා වාර්තාවේ පැහැදිලිවම සඳහන් වූවේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක විය යුතුය යන්නය. තවද පර්යන්තය ශ්‍රී ලංකා වරාය යටතේ ක්‍රියාත්මක වීම වළකා ඇති කාරණාද ආර්ථික සභා වාර්තාවේ එකිනෙක පෙළගස්වා තිබුණි.
නැගෙනහිර පර්යන්තයේ ප්‍රථම අධියර සඳහා 2014 වසරේ ඇරඹී දොඹකර මිලදී ගැනීමේ ක්‍රියාවලිය 2015 වසරේ ජුනි මාසයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව අවලංගු කළ අතර, එම ක්‍රියාවලිය 2016 වසරේදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් නැවත ඇරඹූ නමුත් එසේ මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළද ඊට අනුමැතිය ලැබී නොමැත. කෙසේ වෙතත් 2016 පෙබරවාරි මස නැගෙනහිර බහාලු පර්යන්තය ඉදිකිරීම හා මෙහෙයවීම සදහා ආයෝජකයෙකු කැඳවීමට රජය විසින් තීරණය කර ඇත. ඊට යොමු කළ 2015/04/03 වන දින අමාත්‍ය මණ්ඩල සංදේශයේ යෝජනා මෙසේය.


“ශ්‍රී ලංකා වරාය අධිකාරියට 51%ක හිමිකමක් ඇතිව නැව් සමාගමක් සමග හෝ පුද්ගලික පර්යන්ත මෙහෙයුම් කරුවෙකු සමග හවුල් ව්‍යාපාරයක් වශයෙන් නැගෙනහිර බහාලුම් පර්යන්තය මෙහෙයවීමට, උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගේ අභිප්‍රාය හා ව්‍යාපාරික යෝජනා කැඳවීමට, සාර්ථක යෝජනාවක් තීරණය කර සලකා බැලීම සඳහා අමාත්‍ය මණ්ඩල නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන සාකච්ඡා සම්මුති කමිටුවක් (CANC) සහ ලේඛන සකස් කිරීම, ඇගයීම” යන්න ඉදිරිපත් කර ඇත.


මේ අනුව අවසානයේ 2016 ජුනි 05 දින ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් මගින් ආයෝජකයන්ට අභිලාෂය පළකිරීම සඳහා (EOI) ආරාධනා කර ඇත. ඊට ප්‍රතිචාර වශයෙන් අභිලාෂ පත්‍ර ඉදිරිපත් කිරීමට ලබාදුන් කාලසීමාව 2016 සැප්තැම්බර් 20 දින අවසන් වූ අතර ඒ වනවිට පාර්ශ්ව 07ක් සිය අභිලාෂ පත්‍ර ඉදිරිපත් කර තිබුණි. එසේ අභිලාෂ ප්‍රකාශ කිරීමෙන් පසුව ආර්ථික කටයුතු පිළිබඳව අමාත්‍ය මණ්ඩල අනුකමිටුව විසින් ආයෝජකයන් තෝරා ගැනීමේදී යොදාගත යුතු නව නිර්ණායක උපදෙස් ලෙස ලබාදීම නිසා ගැටලුකාරී තත්ත්වයක් උද්ගත විය. එහි ඇති අවදානම පැහැදිලි කරමින්, මෙම තත්ත්වය නිසා අහිතකර බලපෑමක් සිදුවන බව එවකට වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා විසින් 2016/12/05 දින අමාත්‍ය මණ්ඩල සටහනක්ද ඉදිරිපත් කර ඇත.


අවසානයේ උක්ත ක්‍රියාවලිය ඉදිරියට ක්‍රියාත්මක නොවීම හේතුවෙන් 2016 හා 2017 වසරවලදී ලංකා වරාය අධිකාරිය මගින් මෙහෙයුම් යන්ත්‍ර හා දොඹකර මිලදීගෙන ආයෝජකයකු තෝරා ගන්නා තෙක් පර්යන්තය ක්‍රියාත්මක කිරීම සඳහා එවකට වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට යෝජනා ඉදිරිපත් කර ඇත. එම යෝජනා සඳහාද අමාත්‍ය අනුමැතිය ලැබී නොමැත. එකල සිට අවශ්‍යතාව තිබුණේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට යන්න පැහැදිලිය.


උක්ත ආර්ථික සභා වාර්තා නිකුත් වන සමයේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය ලාභදායි ව්‍යාපාරයක් ලෙස පැවතුණ අතර එම මුළු ආදායමෙන් 70%ක් පමණ උපයා ඇත්තේ ජය බහාලුම් (JCT) පර්යන්තයෙනි. එහි නැංගුරම් පළවල් නොගැඹුරු හෙයින් ශීඝ්‍රයෙන් ඉහළ ගිය ඉල්ලුමට සැපයුම ලබාදීමට නොහැක. මේ නිසා නැගෙනහිර බහාලුම් පර්යන්තය ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පැවැත්මට අත්‍යවශ්‍ය හදිසි කටයුත්තක් ලෙස සඳහන්ව තිබුණි. මන්ද එකල ඊට අවශ්‍ය මූල්‍යම ශක්තිය ශ්‍රී ලංකා වරාය සතුව තිබුණේය. නමුත් තවමත් සම්පූර්ණව එය වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන්නේ නැති බව දන්නේය. ඉදිරියට එසේ සිදු වේවි යැයි බලාපොරොත්තු තබා ගැනීමේ හැකියාවක්ද නොමැති බව වත්මන් දේශපාලන ස්ථාවරයන් සම්බන්ධව ගැටෙන්නෙකුට පසක් වනවා ඇත.


මෙතෙක් බිහිවූ කිසිදු ආණ්ඩුවක් විශ්වාස කළ හැකි මට්ටමේ තීන්දු තීරණ නොගත් බව අප ප්‍රායෝගිකව දන්නේය. එනිසා මේ මොහොතේ රාජපක්ෂ ආණ්ඩුව මත විශ්වාසය තබා සිටීමෙන් සිදුවන්නේ නැගෙනහිර පර්යන්තයද අහිමි වී යාම විය හැකියි. ඔවුන්ගේ තක්සේරු මුදල ඇමරිකන් ඩොලර් මිලියන හාරසියයක් හෝ පන්සියයක් නම් එය අනූනව අවුරුද්දටම මුළු මුදල වන අතර උක්ත කාලසීමාව යටතේ නැගෙනහිර පර්යන්තයෙන් ඊට වඩා මුදලක් ඉපයීමේ හැකියාව ඇති බව වරාය වෘත්තිකයෝ සහතික වෙති. එවැනි වටපිටාවක මේ ප්‍රශ්නයේදී වරාය වෘත්තිකයන්ට ඇහුම්කන් දීම යහපත් බැව් අපට සිතේ.

-රාවය පුවත්පත-

Loading...

RSL

Related Posts