දේශගුණික විපර්යාස හමුවේ ‘වී වගාවේ අනාගතය’ සුරක්ෂිත කළ හැක්කේ කෙසේද ?

ඉන්දියාව සහ පාකිස්තානය වෙන් කරන ගුජරාටයේ අර්ධ ශුෂ්ක භූමිය, සශ්‍රීක ගොවිපලවල් සඳහා නිවහන විය. අක්‍රමවත් මෝසම් හා දැවෙන ගිම්හාන නොතකා ගොවීන් දශක ගණනාවක් තිස්සේ මෙහි සාර්ථකව වගා කළහ. ඔවුන් මෙනේරි, ඉරිඟු සහ දුරු සහ අනෙකුත් වැදගත් භෝග වගා කළහ. නමුත් ඔවුන්ගේ ශතවර්ෂ ගණනාවක් පැරණි භාවිතයේ පදනම් අඩුවෙමින් පවතින බව ඔවුන් දැන සිටියේ නැත.

ගොවීන් කිසිදු අපසුවකින් තොරව සියවස් ගණනක් භූගත ජලයේ පිහිටෙන් කෙත්වතු සාරවත් ලෙස පවත්වා ගෙන ගිය අතර ඒවා සෙමෙන් ක්ෂය විය. භූගතව මීටර් 25ක් පමණ යටින් පිහිටි ජලධාරා 2000 දශකයේ මුල් භාගය වන විට මීටර් 300 (අඩි 984) ට වඩා ගැඹුරට ගිලී තිබුණි. 

නයිරීටා සර්විසස් Naireeta Services නම් සමාජ ව්‍යවසායයේ නිර්මාතෘ ට්‍රුප්ටි ජේන් Trupti Jain පවසන්නේ “ජලය සොයා ගැඹුරට පොළව හෑරීම විකල්පයක් නොවන්නේ එය වඩාත් මිල අධික දෙයක් වන නිසයි. අයහපත් ජල කළමනාකරණය සහ දේශගුණික විපර්යාස නිසා ඇති වූ නියඟය නිසා වසර පුරාම ඉඩම් නිසරුභාවයට පත්වුණා. එබැවින් ගොවීන් වෙනත් කෙනෙකුගේ ඉඩමක කම්කරුවන් ලෙස හෝ නගරවල ඉදිකිරීම් කම්කරුවන් ලෙස වෙනත් වැඩ සොයා ගැනීමට සංක්‍රමණය වීමට පටන් ගත්තා‘‘

ලෝකය පුරා භූගත ජල මූලාශ්‍ර අඛණ්ඩව පිරිහෙමින් පවතී. වෙන කවරදාකටත් වඩා අද වන විට මිරිදිය සංචිත වැඩි පිරිසක් අතර බෙදාගෙන ඇති අතර, ඒ සෑම කෙනෙකුම එදිනෙදා ජීවිතයේදී වැඩි ජල ප්‍රමාණයක් පරිභෝජනය කරයි.  දේශගුණික විපර්යාස නිසා ග්ලැසියර දියවීම සහ දැඩි / තීව්‍රර ගොවිතැන (intensive farming) යනු ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රදේශවල භූගත සම්පත් ක්ෂය කිරීමයි.

(දැඩි / තීව්‍රර ගොවිතැන (intensive farming) යනු, භූමි ප්‍රමාණයට සාපේක්ෂව පොහොර විශාල ප්‍රමාණයක්, පළිබෝධනාශක, ශ්‍රමය සහ ප්‍රාග්ධනය භාවිතා කරන කෘෂිකාර්මික නිෂ්පාදන ක්‍රමයක් ලෙස සරල ලෙස අර්ථ කථනය කෙරේ. බ්‍රිටනිකා විශ්වකෝෂයට අනුව දැඩි කෘෂිකර්මාන්තය යනු , භූමි ප්‍රමාණයට සාපේක්ෂව විශාල ශ්‍රමයක් හා ප්‍රාග්ධනයක් භාවිතා කරන වගා ක්‍රමයකි. වැඩෙන භෝග සඳහා පොහොර, කෘමිනාශක, දිලීර නාශක සහ වල් නාශක යෙදීම සදහා විශාල ශ්‍රමයක් හා ප්‍රාග්ධනයක් අවශ්‍ය වන අතර වගාව, වගා කිරීම හා අස්වනු නෙලීම සඳහා මෙන්ම ජල සම්පාදනය සදහා ඉහළ කාර්යක්ෂමතාවයෙන් යුත් යන්ත්‍රෝපකරණ අත්පත් කර ගැනීම සහ නඩත්තු කිරීම සඳහා ප්‍රාග්ධනය විශේෂයෙන් වැදගත් වේ – පරිවර්තක)

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (Agriculture Organization of the United Nations (FAO) කෘෂිකාර්මික සංවර්ධන ආර්ථික විද්‍යා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මාකෝ සැන්චෙස් පවසන්නේ තෙල් හෝ රත්‍රන් මෙන් ජලය ප්‍රධාන වෙළඳ භාණ්ඩයක් ලෙස නොසැලකෙන බවයි. 

“ජනගහන වර්ධනය, ආදායම් වර්ධනය සහ නාගරීකරණය යන සියල්ලම අපගේ ජල පරිභෝජනය වැඩි කරයි” යනුවෙන් ඔහු පවසයි. “ආහාරමය වෙනසක් ද තිබේ. නිදසුනක් වශයෙන්, මිනිසුන්ට වැඩි ආදායමක් තිබේ නම්, ඔවුන්ට වැඩියෙන් මස් අනුභවයට යොමුවන අතර එය (මස් පරිභෝජනය) වඩාත් වැඩි ජල පරිභෝජනයක් සහතික කරයි‘‘

පසුගිය දශක දෙක තුළ ඒකපුද්ගල ජල ප්‍රවේශ water accessible ප්‍රතිශතය 20%කින් පහත වැටී ඇත.

ජල ප්‍රවේශය water accessible සමාජීය ගැටලු රැසකටම හේතු වන බව සැන්චෙස් පවසයි. ‘‘ආහාර සුරක්ෂිතතාව, මහජන සෞඛ්‍යය සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පවත්වා ගැනීමට ජල ප්‍රවේශය අත්‍යවශ්‍යයි. මන්දයත් බොහෝ නිවෙස්වල කාන්තාවන් ජලය ලබා ගැනීම සඳහා වගකිව යුතු පාර්ශ්වය ලෙස සලකන නිසයි‘‘

අවසාන වශයෙන්, ජලය ලබා ගැනීම සමානාත්මතාව පිළිබඳ කාරණයකි. දුප්පත් ජාතීන් දැනටමත් ජල හිඟය සඳහා, විශේෂයෙන් කෘෂිකර්මාන්තයේ විශාල මිලක් ගෙවමින් සිටියද, ගැටලුව දැන් ධනවත් රටවල් කෙරෙහි ද පැමිණෙමින් තිබේ. 

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් නිකුත් කළ ‘ආහාර හා කෘෂිකර්ම රාජ්‍ය වාර්තාවේ  (State of Food and Agriculture report) 2020 සංස්කරණයට අනුව, පසුගිය දශක දෙක තුළ එක් එක් පුද්ගලයාට ප්‍රවේශ විය හැකි ජල ප්‍රමාණය සාමාන්‍යයෙන් 20% කට වඩා අඩුවී ඇත. පෘථිවියේ පුද්ගලයන් හය දෙනෙකුගෙන් එක් අයෙකු හෝ බිලියන 1.2 ක් පමණ ජීවත් වන්නේ ගොවිජන කලාපවල ය. විටින් විට ජලය හිඟය හෝ කාලානුරූපව හිඟයක් ඇති අතර එය ඔවුන්ගේ පවුල් පෝෂණය කිරීමට සහ නිෂ්පාදන විකිණීමට ඇති හැකියාව කෙරෙහි බලපායි. 

සමහර කලාප අනෙක් ඒවාට වඩා අවදානමට ලක් වේ. ජල අනාරක්‍ෂිතභාවයට නිරාවරණය වූ මුළු ජනගහනයෙන් බිලියනයකට වඩා ආසියාවේ වෙසෙන බව FAO සිය වාර්තාවේ සඳහන් කරයි. ඉන්දියාව ආසියාවේ සහ ලෝකයේ වඩාත්ම ජල පීඩනයට ලක් වූ රටක් වන අතර ලෝක බැංකුවේ 2012 දත්ත වලට අනුව ලොව විශාලතම භූගත ජලය භාවිතා කරන්නා ද ඉන්දියාව වේ.

ජේන් සහ ඇගේ සහකරු බිප්ලබ් කෙතන් පෝල් විසින් දශකයක් පුරා මුළු ඉන්දියාවේ සහ ඉන් ඔබ්බෙහි ගොවීන්ට භූගත ජල හිඟය පියවා ගැනීමට සහ දේශගුණික විපර්යාස හේතුවෙන් ඇති වන නියඟය අවම කිරීමට නවෝත්පාදනයක් ඉදිරිපත් කරන ලදී. ඔවුන්ගේ නවෝත්පාදනය වන “විශාල පිදුරු -“big straw ” යන්නෙහි අර්ථය වන ‘‘භන්ග්‍රූ -Bhungroo‘‘ කුඩා පයිප්ප දෙකකට සම්බන්ධ කර භූගතව ගමන් කරන එක් විශාල පයිප්පයකින් සමන්විත වේ. මෝසම් වැසි මගින් කෙත්වතු වැසෙන විට කුඩා පයිප්ප තුළින් ජලය බැස යන බැවින් එය ඉක්මනින් මතුපිටින් සේදීම වෙනුවට භූගතව ගබඩා වේ. 

ගුජරාටයේ, කණ්ඩායම මීටර් 20-25 ක් පමණ ගැඹුරට ළිං හෑරීමට පුරුදුව සිටි දේශීය කාන්තාවන් සමඟ කතා කරමින් පයිප්ප තැන්පත් කිරීම සඳහා ප්‍රශස්ත ගැඹුර සකස් කර, පස සිදුරු සහිත හා පහසුවෙන් ජලය රඳවා තබා ගත හැකි තට්ටුවකට ළඟා විය. ග්‍රීෂ්ම ඍතුවේදී, දෙවන නළය මෙම පෘථිවි ස්ථරය පීඩනයට ලක්කර යාන්ත්‍රිකව ජලය නැවත මතුපිටට තල්ලු කරයි. මෙම ක්‍රමය මගින් පසෙහි වඩා හොඳ ජල සමතුලිතතාවයක් ඇති කරන බව ජයින් පවසයි. මුහුදු ජලය කුඹුරුවලට ඇතුළු වන ප්‍රදේශවල එහි ලවණතාව රඳවා තබා ගැනීම මෙමගින් අවහිර කෙරේ. 

බංග්ලාදේශය ලවණතාව පිළිබද ගැටලුව උග්‍ර රටක් ලෙස සැලකේ. එරට ජනගහනයෙන් 3/1ක් වෙරළ තීරයේ ජීවත් වෙති. දේශගුණික විපර්යාස හේතුවෙන් මුහුදු මට්ටම ඉහළ යන අතර ස්වාභාවික ජලාශවලින් මිරිදිය ජලය පොම්ප කරන විට ලවණ ජලය ඉහළට ගමන් කර පස දූෂණය කරයි. ලවණතාව පානීය ජල සංචිතය අඩු කරන අතර බෝග සඳහා විෂ සහිත වේ. 

කෘෂිකර්මාන්තය බංග්ලාදේශයේ ආර්ථිකයෙන් පහෙන් එකකට වැඩි ප්‍රමාණයක් දායක වන අතර 2014 දී කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ පසුගිය වසර 35 තුළ කරදිය කාන්දුවීම 26%කින් ඉහළ ගොස් ඇති බවයි. ලවණතාව පිළිබද ගැටලුව බංග්ලාදේශයේ වේගයෙන් වර්ධනය වන ඉස්සන් වගාවට ද බලපායි. 

ගොවීන් තම ගොවිපලවල තිරසාර බව වැඩි දියුණු කරන අතරම අයහපත් ජල තත්ත්වයන් සමඟ කටයුතු කිරීමට ගොවීන්ට උපකාර කළ යුතුවේ. එමඟින් ඔවුන් විශ්වාසය තබන ස්වාභාවික ජල පද්ධති මත බර තැබිය හැකිය.

බංග්ලාදේශ අගනුවර වන ඩකා හි East West Universityහි පරිගණක විද්‍යා හා ඉංජිනේරු අංශයේ සහකාර මහාචාර්ය මොහොමඩ් සලා උඩ්ඩින් පවසන්නේ පළමු පියවර විය යුත්තේ ඕනෑම වේලාවක ජලයේ ඇති දේ පිළිබඳව ගොවීන්ට සොයා බැලීමට උපකාර කිරීම බවයි. “අපි ආරම්භ කළේ පරිසර පද්ධතිය අධීක්ෂණය කිරීමෙන් සහ මිරිදිය ඉස්සන් සඳහා සුදුසු ජලයේ ගුණාත්මකභාවය හඳුනා ගැනීමෙන්” යැයි ඔහු පවසයි. “අවධානයට යොමු කළ යුතු ප්‍රධාන ගුණාංග දෙක වන්නේ ජල උෂ්ණත්වය සහ ලවණතා මට්ටම බව අපි තේරුම් ගත්තා. ඒ නිසා අපි ඒවා නිරීක්ෂණය කිරීමට මෙවලමක් සහ වෙනත් පරාමිතීන් සකස් කළා.” 

සලා උඩ්ඩින් සිය කණ්ඩායම සමඟ සංයුක්ත උපකරණයක් ගොඩනඟා ජලයේ ගුණාත්මකභාවය ස්වයංක්‍රීයව දත්ත ගොනනුවට උඩුගත කළේය. සෙන්ටිමීටර 4 සිට 7.5cm (අඟල් 1.6 සිට අඟල් 3) දක්වා වූ මෙම කොටුව ජල මට්ටම, පැහැදිලිකම, pH අගය, ද්‍රාවිත ඔක්සිජන් සහ ලවණතාව වැනි සාධක මැනීම සඳහා සංවේදක ගණනාවක් ඇසුරුම් කරයි. 

පර්යේෂකයන් විසින් පරිගණක වැඩසටහනක් ලියා ඇති අතර එමඟින් එක් එක් ජලයේ ගුණාත්මකභාවය තක්සේරු කිරීමට සංවේදක භාවිතා කරන අතර ඒවායින් එකක් අදාළ දර්ශකයෙන් ඉවතට ගියහොත් එය පරිශීලකයාගේ ජංගම දුරකථනයට අනතුරු ඇඟවීමක් කරයි. සලා උඩ්ඩින් පවසන්නේ මූලාකෘතිය වාණිජකරණය සඳහා නිර්මාණය කර නොතිබුණද, කණ්ඩායම දැන් බලාපොරොත්තු වන්නේ උපාංගය ප්‍රධාන ධාරාව බවට පත්වනු ඇති බවයි. එය ගොවීන්ට බෙදා හැරීමට සහ ඩොලර් 90ක පෙරගෙවුම් පිරිවැයක් සහ loud service පිරිවැය මසකට ඩොලර් 10ක් සඳහා සංවර්ධකයින් රජය සමඟ සම්බන්ධ වී සිටී. 

කරදිය බංග්ලාදේශයේ ගංගා සහ ඉස්සන් වගා කරන පොකුණු දූෂණය කිරීම පමණක් නොව සහල් වැනි ප්‍රධාන භෝගවලට ද තර්ජනය කරයි.  21 වන සියවසේ මැද භාගය වන විට දේශගුණික විපර්යාස, වෙරළ තීරයේ කාර්මික සංවර්ධනය සමඟ ඒකාබද්ධව වියළි කාලයේදී පාංශු හා ගංගා ලවණතාව දැඩි ලෙස වෙනස් කිරීමට ඉඩ ඇති බව විද්‍යාඥයෝ තක්සේරු කරති. ලෝක බැංකුවේ 2017 අධ්‍යයනයකින් හෙළි වූයේ වෙරළබඩ ප්‍රදේශ නවයක් පුරා 2050 ට පෙර බෝරෝ සහල් වැනි දේශීය ඉහළ අස්වැන්නක් සහිත ප්‍රභේද 15.6% දක්වා අඩු විය හැකි බවයි. 

“කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් ගත් කල කරදිය සුළු වශයෙන් හෝ අභ්‍යන්තර භූමියට ගලා යාම අභියෝගාත්මකයි” යැයි ජලය හා බලශක්ති ගැටළු පිළිබඳ විශේෂඥයෙකු වන පැසිෆික් වයඹදිග ජාතික රසායනාගාරයේ Pacific Northwest National Laboratory ද්‍රව්‍ය විද්‍යාඥ චින්මායි සුබ්බාන් Chinmayee Subban පවසයි. පාංශු ඛාදනය හා පොහොර මගින් දේශීය ජල සැපයුමේ ලවණතාව වැඩි කරයි. ඇය සේවය කරන එක්සත් ජනපදයේ පමණක් නොව දකුණු ආසියාවේද මෙය සිදුවෙමින් පවතින බව ඇය පවසයි.

එක්සත් රාජධානියේ ගොවීන්ට ද ලවණතාව ගැටලුවකි. ලින්කන්ෂයර් හි පහත් බිම් ගොවිබිම් උතුරු මුහුදෙන් ලුණු ජලය දූෂණය වීමෙන් පීඩා විඳිති.

භූගත ජල ලවණතාවයට එක් විසඳුමක් වන්නේ එයට ප්‍රතිකාර කර පොහොර කිහිපයක් නැවත ලබා ගැනීමයි. ජල පිරිපහදු කිරීමේ පිරිවැය පියවා ගනිමින් මෙය නැවත කෙත්වලට දැමිය හැකිය. 

“නමුත් දේශගුණික විචල්‍යතාවයන් නිසා ගොවීන් තාක්‍ෂණය සඳහා ආයෝජනය කිරීමට පසුබට වෙනවා. ඔවුන් මේ වසරේ විශාල ආදායමක් ලබාගත හැකියි, නව තාක්‍ෂණයක් මිලදී ගැනීම සඳහා ණයක් ලබා ගත හැකියි. ලබන වසරේ එය වර්ෂාවෙන් විනාශ වේවි” මෙයින් අදහස් කරන්නේ ගොවීන් මිල අධික ජල ප්‍රතිචක්‍රීකරණ පද්ධතිය භාවිතයට නොගන්නා බවයි. “ඔවුන්ට එය සාධාරණීකරණය කළ නොහැකියි,” සුබ්බාන් පවසයි.

පානීය ජලය සම්බන්ධයෙන් ජල පිරිපහදු කිරීම දැනටමත් ඉතා මිල අධික බැවින් කෘෂිකාර්මික වාරිමාර්ග සඳහා විකල්පයක් බවට පත් කිරීම ඇත්තෙන්ම දුෂ්කර ය. එය “වඩාත්ම සහනාධාර ජලය ” වන සුබ්බාන් පවසයි.

දැනටමත් ජල හිඟයක් පවතින ඉන්දියාව වැනි රටවල වඩාත් කාර්යක්ෂම වාරිමාර්ග පද්ධතියක් මඟින් ආහාර සුරක්‍ෂිතතාව සහ හිඟය අතර වෙනස ඇති කළ හැකිය. ‘‘මිරිදිය භාවිතා කරන එකම විශාලතම කර්මාන්තය කෘෂිකර්මාන්තය‘‘ බව දිල්ලියේ ඔබ්සර්වර් පර්යේෂණ පදනමේ දේශගුණික විපර්යාස සහ සංවර්ධන පදනමේ සාමාජිකයෙකු වන මලන්චා චක්‍රවර්ති පවසයි. 

ඉන්දියාව ලෝකයේ දෙවන විශාලතම සහල් නිෂ්පාදකයා වන අතර ඒවා වැඩි වශයෙන් ගංවතුරට ගොදුරු වූ බිම්වල වගා කරයි. වී වගාවට අසීමිත ජල ප්‍රමාණයක් අවශ්‍ය වන අතර ශාකයේ වර්ධනයට මෙන්ම වල් මර්දනයට ද මෙම ජලය අවශ්‍ය වේ. නමුත් වී වගාවට භාවිතා කරන අධික ජලය (පස මඩ කිරීම මගින් පසෙහි බැක්ටීරියා වර්ධනය වේ) මගින් හරිතාගාර වායුවක් වන මීතේන් නිපදවයි. එය ඍජුව ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට හේතුවක් වන අතර දේශගුණික විපර්යාසවලට ඍජුව සම්බන්ධ වේ.

මෙම තත්වයට පිළියම් යෙදීම සඳහා චක්‍රවර්ති පවසන්නේ “අපගේ භෝග නිෂ්පාදනය කරන ආකාරය සහ අප තෝරා ගන්නා වාරිමාර්ග ක්‍රමවේදයන්හි විශාල වෙනසක් කිරීමට අපට සිදුවනු ඇති අතර අප වගා කරන භෝග වර්ගය ගැන නැවත සිතා බලන්න සිදුවිය හැකියි. උදාහරණයක් ලෙස වයඹදිග ඉන්දියාවේ විශාල කොටස් සහල් සඳහා සුදුසු නොවන අතර අඩු ජලය අවශ්‍ය වෙනත් භෝග වලට මාරු කළ හැකියි‘‘

“බොහෝ විට අපි හෙක්ටයාරයකට කොපමණ අස්වැන්නක් ලබා ගත හැකිද? යන්න ගැන වැඩි අවධානයක් යොමු කරනවා” චක්‍රවර්ති පවසයි. “නමුත් සමහර විට අපි ජල ඒකක කීයක් මගින් කොපමණ අස්වැන්නක් ලබා ගත හැකිදැයි සොයා බැලීමක් කරන්නේ නැහැ. දැන් ඒ ගැනත් දැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍යයි. අප ඵලදායිතාව මනින ආකාරය ගැන නැවත සිතා බැලීම ජල භාවිතය අවම කිරීමට උපකාරී වන බව මගේ විශ්වාසයයි‘‘

වී වගාව සාම්ප්‍රදායිකව අධික ජල ප්‍රමාණයක් අවශ්‍ය බෝගයක් වන අතර ලොව පුරා කෘෂි විද්‍යාඥයින වී වගාව ජල හිඟ ලෝකයකට අනුගත කිරීම සඳහා නව ක්‍රමවේදයන් සකස් කරමින් සිටී. 

“අපේ වී වගාව සඳහා බිංදු වාරිමාර්ග ක්‍රියාත්මක කිරීමේ සැලසුම ගැන මා මුලින් ඇසූ විට එය පිස්සු අදහසක් යැයි මම සිතුවා” යැයි කෘෂි විද්‍යාඥ මිෂෙල් කොන්ටේ පවසයි. 

“නමුත් නව ක්‍රමවේදය ආරම්භ කිරීමෙන් පසු අපි එකම සහල් ප්‍රමාණයක් නිෂ්පාදනය කළේ ගුණාත්මක භාවය නොසලකා හරිමිනි.” 

බිංදු වාරිමාර්ග මගින් ජලය කෙලින්ම බෝග වල මූලයට ගෙන යන අතර, කාන්දුවීම් සහ වාෂ්පීකරණය අවම කරයි. සාම්ප්‍රදායික වාරි තාක්ෂණයේදී ශාක වෙත ළඟා වීමට පෙර ජලය විශාල ප්‍රමාණයක් නාස්ති කරයි. 

සාම්ප්‍රදායික ක්‍රමයට වගා කරන ලද කුඹුරු හෙක්ටයාරයකට ජලය ඝන මීටර 15,000 ක් අවශ්‍ය වේ.

“අපට වී නිෂ්පාදනය වැඩි කිරීමට අවශ්‍ය නම් අපට මේ ආකාරයෙන් ඉදිරියට යා නොහැකියි” යනුවෙන් කොන්ටේ පවසයි. සමහර අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ බිංදු වාරිමාර්ග මගින් ඉතාලියේ සහල් වල ඍතුමය ජල අවශ්‍යතාවය 50%කින් අඩුවිය හැකි අතර අනෙක් භෝග සදහා ජල භාවිතය 90% දක්වා අඩුකළ හැකි බවයි.

ඉතාලියේ ලා ෆැගියානා හි කෙත්වතු මුහුදු මට්ටමට වඩා පහළින් පිහිටා ඇති බැවින් ජල සැපයුම මීට පෙර කිසි දිනෙක ගැටළුවක් නොවීය. නමුත් පසුකාලීනව සීත ඍතුව මගින් ප්‍රමාණවත් හිම ආවරණයක් නොලැබීම හා හිම දියවීම සමග සාමාන්‍ය පරිදි සිදුවන ගංගා පිරීයාම දුර්වල වීම හේතුවෙන් මුහුදු ජලය ගංගා හා පස තුළට ගමන් කිරීමට පටන් ගත්තේය. 

ලා ෆැගියානා ලොව ප්‍රමුඛ ක්ෂුද්‍ර වාරිමාර්ග සමාගමක් වන නෙටාෆිම් සමඟ අත්වැල් බැඳගනිමින් එහි පළමු හෙක්ටයාර හතර බිංදු-වාරිමාර්ග තාක්ෂණය යටතේ වී වගා කළේය. මෙම ක්‍රම තරමක් මිල අධික වන අතර සත්ව ආහාර හා අනෙකුත් අඩු වියදම් බෝග නිෂ්පාදනය කිරීම සඳහා ලාභදායී නොවේ.

නෙටාෆිම් හි ජ්‍යෙෂ්ඨ විධායක සරවනකුමාර් පවසන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල බිංදු වාරිමාර්ග ක්‍රියාත්මක කළ හැකි බවත් එය අවබෝධ කරගත් පළාත් පාලන ආයතනවල සහාය ඇතිව විභව සහ පෙර වියදම් දැරීමට හැකියාව ඇති බවත්ය.

මෙම නව තාක්ෂණය මගින් ගොවීන් ජලය ඉතිරි කිරීම පමණක් නොව ශ්‍රම පිරිවැය ද ඉතිරි කරයි.  විදුලි පරිභෝජනය ද විශාල ලෙස අඩු කර ගත හැකිය.

හෙට කෘෂිකර්මාන්තය බිංදු වාරිමාර්ග වැනි අධි තාක්‍ෂණික විසඳුම් හරහා හෝ භුන්ග්‍රූ වැනි සරල නවෝත්පාදනයන් හරහා වේවා වර්ධනය විය යුතුය. කෘෂිකර්මාන්තය සදහා භාවිතා කරන ජල ප්‍රමාණය සැබවින්ම වර්තමානයට ඔරොත්තු නොදෙන අතර අනාගතයට කිසිසේත් ඔරොත්තු නොදෙනු ඇත. එනිසා අවම ජල පරිභෝජනයක් සිදුවන කෘෂිකර්මාන්තයක් ගෝලීය අවශ්‍යතාවක් හා අභියෝගයක් වන අතර එය සැමට වඩා තිරසාර ආර්ථිකයක් ගොඩනැගීමට උපකාරී වේ. 

ගුජරාටයේ පටාන් දිස්ත්‍රික්කයේ සංචාරයක යෙදී සිටියදී කාන්තාවන් පිරිසක් ජේන් හමුවට පැමිණයහ. පිරිස අතර සිටි එක් කාන්තාවක් ජේන්ට කෘතඥපූර්වකව මෙසේ පැවසුවාය. (ඇගේ දෑස් වල කඳුළු පිරී තිබූ බව ජේන් සිහිපත් කරයි) “ඔබ මගේ පුතාව මා වෙත නැවත භාර දුන්නා. ඔහු රැකියාවක් සොයා නගයරයට පිටත්ව යාමට සිදු වුණා. නමුත් දැන් ඔහු ආපසු පැමිණ සිටිනවා. ඔබ සොයා දුන් දේ නිසා දැන් අපට වසරකට දෙවරක් නව භෝග වගා කළ හැකියි”

පරිවර්තක සටහන – ලංකාව රසායනික පොහොර තහනම වැනි ජනප්‍රිය සටන්පාඨ වෙත වඩ වඩාත් ආකර්ෂණය වෙමින් සිටින නමුත් මෙම ලිපියේ සාකච්ඡා කළ අනාගත අභියෝග කිසිවක් නැත එක වචනයක් ගැන කතා නොකරන බව සහතිකය. දැන් අවශ්‍ය වන්නේ හුදු ලාභ දේශපාලන සටන්පාඨ නොව තිරසර දැක්මක් ඇති විද්‍යාත්මක ප්‍රවේශයක් බව කෘෂිකර්මාන්තය භාර බලධාරීන් මෙන්ම ප්‍රතිපත්ති සම්පාදනයට උපදෙස් දෙන පර්යේෂකයින් විසින් ද වටහා ගත යුතුය.

බී.බී.සී වාර්තාවක් ඇසුරින් සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

Loading...

Related Posts