තවත් ‘අලුත් කොරෝනා ප්‍රභේදයක්’ එක්සත් රාජධානියෙන් හමුවෙයි

Spread the love

කොවිඩ් 19 ඇතිකරවන කොරෝනාවෛරසයේ තවත් අලුත් ප්‍රභේදයක් රාජධානියෙන් හමුවී තිබේ. මෙම ප්‍රභේදය ඉදිරියේ දී ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇතිකරවිය හැකි විකෘතියක් බවට විද්‍යාඥයෝ සැක පළ කරති.

B.1.525 ලෙස නම්කර තිබෙන මෙම නව ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් හමුවූ ප්‍රභේදයට සමානකම් දක්වන බව සොයාගෙන ඇත.

පසුගිය දෙසැම්බරයේ පටන් වෛද්‍ය පරීක්ෂණ සඳහා ලැබී තිබෙන නියැදිවලින් සනාථ වී ඇත්තේ පුද්ගලයින් 38 දෙනෙකුට මෙම නව ප්‍රභේදය ආසාදනය වී ඇති බවය.

කොරෝනාවෛරසයේ මෙම අලුත් ම ප්‍රභේදය ඩෙන්මාර්කය, නයිජීරියාව සහ එක්සත් ජනපදය ඇතුළු රටවල් කීපයකින්ම සොයාගෙන ඇත.

මෙම ප්‍රභේදය කෙතරම් දුරට අවදානම් සහගත දැයි සොයා බැලීම සඳහා එක්සත් රාජධානියේ විශේෂඥයෝ ඒ පිළිබඳව අධ්‍යයනය කරමින් සිටිති.

මෙය එක්සත් රාජධානිය තුළ “දැඩි සැලකිල්ලට භාජනය විය යුතු” ප්‍රභේද ලැයිස්තුවට ඇතුළත් කළ යුතු ද යන්න තවමත් තීරණය කර නොමැති අතර මේ වනවිට එය ඇතුළත් කොට ඇත්තේ “විමර්ශනය කෙරෙමින් පවතින ප්‍රභේද” ලැයිස්තුවටය.

කොරෝනාවෛරසයේ නව ප්‍රභේදයන් පිළිබඳව බ්‍රිතාන්‍ය රජයට උපදෙස් ලබාදෙන විද්‍යාඥයන් අතර මහාචාර්ය රවි ගුප්තා ද සිටී. ඔහු කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයෙකි.

ඔහු පවසන පරිදි B.1.525 ප්‍රභේදය ද අනෙකුත් ප්‍රභේද මෙන් “සැලකිය යුතු විකෘතියක්” බව පෙන්නුම් කරයි.

“මේ වගේ ප්‍රභේදවලින් ඇති විය හැකි බලපෑම අපට කල්තියා හිතා ගන්නට හැකියාවක් තිබීම එක අතකට සැනසීමක්.” මහාචාර්ය රවි ගුප්තා පැවසීය.

මෙම ප්‍රභේදය පිළිබඳව දත්ත අධ්‍යයනය කරමින් සිටින බව එංගලතයේ ජාතික සෞඛ්‍ය ආයතනයේ මහාචාර්ය ඉවෝන් ඩොයිල් පැවසුවාය.

“මෙයින් වැඩි රෝගී තත්ත්වයක් හෝ රෝග ව්‍යාප්තිය වැඩි කිරීමක් සිදුවන බවට තවමත් පැහැදිලි සාධක ලැබී නැහැ.”

“ඇස ගසාගෙන සිටීම”

B.1.525 ලෙසින් නම්කර ඇති මෙම ප්‍රභේදයේ පවතින්නේ E484K නමැති විකෘතිය යි. බ්‍රසීලයෙන් සහ දකුණු අප්‍රිකාවෙන් සොයා ගන්නා ලද නව ප්‍රභේද තුළ ද මෙම විකෘතිතාව පැවතුණි. එම නිසා මෙම ප්‍රභේදයට එරෙහිව සටන් කිරීම සඳහා ඇතැමුන්ගේ සිරුර තුළ දැනටමත් ප්‍රතිදේහ පැවතිය හැකිය.

මීට සමාන විකෘතිතාවක් සහිතව සොයා ගැනුණු ‘කෙන්ට්’ ප්‍රභේදය සතුව ශීඝ්‍රයෙන් බෝවීමේ හැකියාවක් පවතින බව විශේෂඥයෝ පැවසූහ.

මෙම තත්ත්වය විද්‍යාඥයන්ගේ කනස්සල්ලට භාජනය වී ඇත්තේ දැනට සංවර්ධනය කර ඇති එන්නත්වලින් පරාජය කළ නොහැකි නව ප්‍රභේද ඇතිවීමට ඉඩකඩ ඇති බැවිනි. එමෙන්ම, නව ප්‍රභේද ඇතිවීම මගින් රෝග ව්‍යාප්තිය ද ශීඝ්‍ර විය හැකි වීමය.

දැනට භාවිත කරනු ලබන එන්නත් නිර්මාණය කර ඇත්තේ වසංගතය ආරම්භයේ පැවති කොරෝනාවෛරසය ආශ්‍රිතව ය.

එම එන්නත් දැනට සොයාගෙන ඇති නව ප්‍රභේදවලට ද එරෙහිව ක්‍රියා කරනු ඇති බව විද්‍යාඥයෝ විශ්වාස කරති. සමහර විට මුල් වෛරසයට තරම් ම ඵලදායී නොවිය හැකිය.

නව ප්‍රභේද පිළිබඳව පර්යේෂණ පවත්වමින් සිටින මහාචාර්ය රවී ගුප්තා ඇතුළු කණ්ඩායම පවසන්නේ E484K වැනි විකෘතිතා ඇතිවීමෙන් දැනට පවතින එන්නත්වලට තර්ජනයක් පවතින බවය.

කෙසේ නමුත් නව ප්‍රභේදවලට එරෙහිව ද ඵලදායී වන නව එන්නත් සංවර්ධනය කිරීමට දැනටමත් විද්‍යාඥයෝ කටයුතු කරමින් සිටිති.

වසංගත රෝග පිළිබඳ විශේෂඥයෙකු වන, යුනිවර්සිටි කොලේජ් ලන්ඩන් හි මහාචාර්ය ඇන්ඩෘ හේවාර්ඩ් කියා සිටියේ “වාසනාවකට, මේ ප්‍රභේදය තවමත් පවතින්නේ ඉතා අඩු මට්ටමක වන අතර එයින් වැඩි ව්‍යාප්තියක් සිදුවන බවට තවමත් පෙනෙන්නට නැති” බවය.

“කොහොම වුනත් අපි මේ ප්‍රභේද ගැන හොඳට ඇස ගසාගෙන සිටිය යුතුයි. මොකද, අපි දන්නේ නැහැ ඔවුන් මොනවා කරාවිද කියල.” ඔහු පැවසීය.

RSL

Related Posts