ටෙස්ට් ජයග්‍රහණයක් පිළිබද ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සුන්වෙයි !

Spread the love

පල්ලකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ඉනිමක පරාජයෙන් බේරීම සඳහා දෙවැනි ඉනිමේදී ලකුණු 107 ක ඉලක්කයක් හඹා යමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම පස්වැනි දිනය වූ අද (25 දා) අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරගය නිමා කර දමන විට කඩුලු 2 කට ලකුණු 100 ක් ලබා සිටියේය. ලකුණු 541 ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් පලමු ඉනිමේදී පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත්වූ බැවින් වැඩි ගෞරව ශ්‍රී ලංකාවට අත්කර දෙමින් තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය.

තේ පානය සඳහා තරගය නතර කිරීමත් සමඟ තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවූ බැවින් තරගය යළිත් ආරම්භ කිරීමට තරම් කාලගුණය කාරුණික නොවිණ. එහෙයින් ප.ව. 4.15 වන විට පස්වැනි දිනට තරගය අතහැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ.

ජයග්‍රහණය කිරීමේ අදහසින් යළිත් පන්දු රැකීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා දුන් සුරංග ලක්මාල් සයිෆ්  හසන් ලකුණකට සහ පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුණු නජ්මුල් හොසේන් ලකුණු ලබා ගැනීමට පෙර දවා ගත්තේය.

සාර්ථක ප්‍රවේෂයක් ලබාගත්තද ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු ව්‍යර්ථ කරන ලද ප්‍රධානම පිතිකරුවා වූයේ ලකුණු 74 ක් ලබා ගත් ටමීම් ඉක්බාල්ය. කඩුලු 2 ක් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යන විටත් තම ඉනිම හතරේ පහර 3 කින් සහ හයේ පහර 2 කින් සරසාගෙන සිටි වමත් කසකරුවා සිය ප්‍රහාරාත්මක පිතිහරඹය එලෙසින්ම පවත්වාගෙන ගියේය. ඔහුට අනගි සහායක් ලබා දුන් නායක මොමිනුල් හක් පන්දු 86 කට මුහුණ දෙමින් ලකුණු 23 ක් ලබා ගත්තේය.

17 වැනි පන්දුවාරය යැවූ විශ්ව ප්‍රනාන්දුට හතරේ පහර 3 ක් එල්ල කර බංග්ලාදේශ ආරම්භක පිතිකරුවා සිය 30 වැනි අර්ධ ශතකය සම්පූර්ණ කරගත්තේය. ටමීම් ලකුණු 29 ක් ලබා සිටියදී එල්ල කරන ලද වේගවත් පහර සිලි පොයින්ට් හි පන්දු රැකි ඕෂදගේ සපත්තුවේ වැදී කඩුලු රැකි දික්වැල්ල උඩ පන්දුවක් ලෙස රැක ගත්තේ යැයි ඉල්ලීමක් කරන ලදී. ප්‍රධාන විනිසුරුගේ මතය වූයේද එය දැවී යෑමක් වූ නමුත් තෙවැනි විනිසුරුට යොමු කිරීමේදී සපත්තුවේ වැදීමට පෙර එය බිම පතිත වී ගිය බැවින් තවදුරටත් පිටියේ රැඳී සිටීමට ටමීම් වාසනාවන්ත වූවේය. කෙසේ වෙතත් තේ පානය සඳහා තරගය නතර කරන විට පන්දු 98 කට මුහුණ දී සිටි ටමීම් ලකුණු 74 ක් ලබා සිටියේ ඉන් 3 ක් හතරේ සීමාවට ඉහළින්ද 10ක් හතරේ සීමාව පසුකරමින්ද පන්දුව යැවීමට සලස්වමිනි.

පස්වැනි දිනටත් ලකුණු රැස් කිරීමේ කාර්යයෙහි නියැළුණු ශ්‍රී ලංකා පිතිකරුවෝ දිවා භෝජනය දක්වා වූ කාලය තෙක් පන්දුවට පහර දෙමින් ලකුණු පුවරුව කඩුලු 8 කට ලකුණු 648 ක් දක්වා ඉහළ දමා ගත්හ. උදෑසන කාලයේ යවන ලද පන්දුවාර 30 දී තවත් ලකුණු 136 ක් රැස් කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම දිවා භෝජනය අතරතුරදී ඉනිම අත්හිටුවා දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීම සඳහා බංග්ලාදේශ පිලට ආරාධනර කළේය.

සිව්වැනි දින අවසානයේ පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පැවැසූ පරිදි ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙන්  පෙර දිනයේ ශතක ලාභීන් වූ දිමුත් සහ ධනංජය ලකුණු ලබා ගැනීවේ වේගය ඉක්මන් කරමින් පන්දුවට පහර එල්ල කිරීමට දැඩි උනන්දුවක් දැක්වූහ. එහෙත් එහි වාසිය ප්‍රයෝජනයට ගත් ටස්කින් අහමඩ් ලකුණු 09 ක් ඇතුළත ධනංජය ද සිල්වා සහ දිමුත් කරුණාරත්නගේ කඩුලු දවා ගනිමින් බංග්ලාදේශ පිලට කිසියම් අස්වැසිල්ලක් ලබා දුන්නේය.

එම දැවී යෑම් දෙකත් සමඟ යළිත් තරගයට අවතීර්ණ වුණු බංග්ලාදේශ පන්දු යවන්නෝ පන්දුවාර 13 කුත් පන්දුවකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් සිව් දෙනෙකුම දවා ගැනීමට සමත්වූවේය. කෙසේ වෙතත් 8 වැනි කඩුල්ලට එක් වුණු වනිඳු හසරංග සහ සුරංග ලක්මාල් එකව රැස් කරන ලද ලකුණු 62 ක සම්බන්ධතාවය පෙරමුණු කොට ප්‍රතිවාදීන්ට වඩා පළමු ඉනිමේදී ලකුණු 107 කින් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා පිලට හැකියාව ලැබිණ. පන්දු 55 කට මුහුණ දුන් හසරංග හතරේ පහර 3 ක් ද සමඟ ලකුණු 43 ක්ද සුරංග ලක්මාල් පන්දු 31 කදී නොදැවී ලකුණු 22 ක්ද ලබාගත්හ.

පිත්තේ ඇතුල් දාරයේ වැදී කඩුල්ල බිඳී යෑම නිසා ධනංජය ද සිල්වා පස්වැනි දිනයේ දැවී ගිය පළමු පිතිකරුවා බවට පත්විය. ධනංජයගේ දැවීයෑමත් සමග එතෙක් වේලා දිමුත් කරුණාරත්න සමඟ පැවැති සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාවයද ලකුණු 345 දී බිඳ වැටිණ. බංග්ලාදේශ පිලට එරෙහිව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වුණු වැඩිම ලකුණු සම්බන්ධතාවය ලෙසින් සටහන් වුණු එම සම්බන්ධතාවයේදී පන්දු 291 කට මුහුණ දුන් ධනංජය ලබාගත් ලකුණු 166 ක් රැස් කර ගත්තේ හතරේ පහර 22 කින් තම ඉනිම අලංකාර කර ගනිමිනි.

මිනිත්තු 698 ක් පුරා කඩුල්ලේ රැදී සිටි දිමුත් කරුණාරත්න මුහුණ දුන් 437 වැනි පන්දුවේදී දැවී ගියේය. හතරේ පහර 26 ක්ද සමඟ ලකුණු 244 ක් ලබා සිටි දිමුත් මෙතෙක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිමක වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ 10 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව සිටියේය.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ලබන 29 වැනිදා පල්ලකැලේ ජාත්‍යන්තර පිටියේදී ආරම්භ වේ.

text by sl cricket

Related Posts