‘ජපානයේ ගොවීන් බහුතරය පාවිච්චි කරන්නේ රසායනික පොහොර’

මං දැන් අවුරුදු පහළොවකට වැඩිය ජපානයේ ජීවත් වෙනවා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේම නියැලෙමින්. මගේ අත්දැකීම අනුව එහෙම එකක් නෑ. මොකද යම් පොහොරක් හරි වෙනත් කෘෂි රසායන ද්‍රව්‍යයක් හරි භාවිත කරන්න මේ රටේ වෙනම නීතියක් තියෙනවා. මෙහෙ ගොවියෝ ඒ නීතිය අකුරට පිළිපදිනවා. ඒ නිසා ඒ විදිහේ දෙයක් ඇතිවෙන්න තියා එහෙම මතයක් සමාජගත වෙන්න ඉඩකුත් නෑ

රසායනික පොහොර භාවිතය තහනම් කරමින් කාබනික වගාව වෙත රට යොමු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගත් තීන්දුව මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ අතර වී ගොවීන් ඇතුළු ගොවිජනතාව රටපුරා උද්ඝෝෂණය කරමින් තම වගාවන්ට පොහොර ඉල්ලා සිටිති. කෘෂි විද්වතුන්, පර්යේෂකයින් සහ දේශපාලනඥයින් දෙපිල බෙදී වාද විවාද කරමින් සිටී. එහෙත් මේ දෙස සියුම්ව නිරීක්ෂණය කරන විට පැහැදිලිව පෙනී යන්නේ මේ සියල්ල ඒකපාර්ශ්වීය බවය.

රසායනික පොහොර තහනම් කර කාබනික වගාවට යොමුවීමට ගත් මේ අභියෝගාත්මක තීන්දුව සම්බන්ධයෙන් වඩාත් පුළුල් හා ප්‍රා යෝගිකත්වය හා බැදී සංවාදයක් අවශ්‍ය බව අපගේ අදහසය. මෙහිදී ජාත්‍යන්තර අත්දැකීම් සේම මෙරට ගොවීන්ගේ සහ විද්වතුන්ගේ අත්දැකීම් සමාජගත කිරීම ජනමාධ්‍යවල වගකීමකි.

රසායනික පොහොර තහනම් කර කාබනික පොහොර භාවිතයට යොමු වීම සම්බන්ධ වැඩපිළිවෙළ හමුවේ ‘මධ්‍යස්ථ‘ සංවාද මණ්ඩපයක් නිර්මාණය කරමින් සිටින අප අද ඔබ වෙත ඉදිරිපත් කරන්නේ වසර 15ක් පමණ ජපානයේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට සම්බන්ධව කටයුතු කරන ජපානයේ ස්ථාපිත, ‘හරිතාගාර කළමනාකරණ ටොමිටා ටෙක්නොලොජීස් ලිමිටඩ් හි සාමාන්‍යාධිකාරී නිලන්ත දිසානායක මහතා ජපානයේ කෘෂිකර්මාන්තය සහ ලංකාවේ කෘෂිකර්මාන්තය සසදමින් ඉදිරිපත් කරන අදහස් කිහිපයකි.

කාබනික පොහොර භාවිතයට ජපානය වගේ රටක අවධානය ලැබෙන්නේ කොහොමද?

යම් කෙනෙක්ට කාබනික පොහොරද රසායනික පොහොරද කියලා වෙන්කරලා ගන්න රසායනික පොහොර භාවිත කළ ආහාර පරිභෝජනය කළොත් අපේ ශරීරයට අහිතකරයි වගේ හේතුවක් තියෙන්න ඕනෑනෙ. නමුත් ඒ වගේ මතයක් ජපානේ මිනිස්සු තුළ නෑ. පොහොර විකුණන තැන්වල යම් මට්ටමට කාබනික පොහොර විකුණන්න තියෙනවා. හැබැයි ඒ ප්‍රමාණය සියයට පහක් හයක්වත් නෑ. ගොවියෝ බහුතරය පාවිච්චි කරන්නේ රසායනික පොහොර. වෙළඳපොළේ පවා කාබනික පොහොර භාවිත කළ අස්වැන්න සහ රසායනික පොහොර භාවිත කළ අස්වැන්න ලෙස එළවළු පළතුරු ආදිය වෙනම විකුණන ප්‍රවණතාවකුත් මෙහේ නෑ.

ලංකාවේ කාලෙන් කාලෙට දකින්නට තියෙන දෙයක් තමයි, හාල්වල විස තියෙනවා, පොල්තෙල්වල විස තියෙනවා, කිරිපිටිවල විස තියෙනවා, වැව් මාළුවල විස තියෙනවා වගේ සංවාද. ජපානයේ මේ තත්ත්වය වෙනස්ද?

ජපානයේ ඒ විදිහේ අධිරසායන ද්‍රව්‍ය ගැන සංවාද ඉතාම අඩුයි. ඉඳලා හිටලා හරි එහෙම දෙයක් අහන්න ලැබුණොත් ඒ චීනය වගේ රටවලින් ආනයනය කරන ආහාර ගැන තමයි. හැබැයි ඒ සංවාද යන්නේ ලංකාව වගේ, අදාළ ආහාරය අවුරුදු ගණන් පරිභෝජනය කරමින් ඉද්දී නෙමෙයි. රටට ඒවා ගෙනෙද්දීම එම ආහාර ද්‍රව්‍යවල පිළිකාකාරක ආදි ශරීරයට අහිතකර දේවල් මොනවා හරි අඩංගු වෙලා තියෙනවාද කියලා පරීක්ෂා කරනවා. හැබැයි දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ආහාර ද්‍රව්‍ය ගැන නම් එහෙම ගැටලු මතුවෙන්නෙම නෑ.

ජපානය විතරක් නොමෙයි තවත් ගොඩක් දියුණු රටවල් කෘෂිකර්මය කර්මාන්තයක් විදිහට ගොඩනැගිලා තියෙනවා. නමුත් ලංකාව වගේ රටක තත්ත්වය ඊට වෙනස්. යම් දෙයක් ඉතා වැදගත් කර්මාන්තයක් ලෙස ගොඩනැගෙද්දී ඒකට අවශ්‍ය නීති රීති රජය මගින් ගොඩනගනවා. නැතිනම් ඒ කර්මාන්තයේ යෙදෙන අයම යම් යම් සම්ප්‍රදායන් ගොඩනගාගන්නවා.

 レタスを収穫する「トップリバー」の明官直人さん=長野県御代田町

විශාල වශයෙන් කෘෂිකර්මය ව්‍යාප්ත වුණු ප්‍රදේශවල, කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතය නිසා සැදුණු බවට විශ්වාස කරන වකුගඩු රෝග හෝ වෙනත් එවැනි රෝග ගොවියන් අතර තියනවාද?

මං දැන් අවුරුදු පහළොවකට වැඩිය ජපානයේ ජීවත් වෙනවා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේම නියැලෙමින්. මගේ අත්දැකීම අනුව එහෙම එකක් නෑ. මොකද යම් පොහොරක් හරි වෙනත් කෘෂි රසායන ද්‍රව්‍යයක් හරි භාවිත කරන්න මේ රටේ වෙනම නීතියක් තියෙනවා. මෙහෙ ගොවියෝ ඒ නීතිය අකුරට පිළිපදිනවා. ඒ නිසා ඒ විදිහේ දෙයක් ඇතිවෙන්න තියා එහෙම මතයක් සමාජගත වෙන්න ඉඩකුත් නෑ. හැම රටකම මිනිස්සු ජීවත්වෙන්න සිදුකරන කර්මාන්ත තියෙනවා. වාහන නිෂ්පාදනය, ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ නිෂ්පාදනය, රෙදිපිළි නිෂ්පාදනය ඒ වගේ කර්මාන්ත කිහිපයක්. වැදගත්ම දේ තමයි, කෘෂිකර්මය කියන්නෙත් ජපානය තුළ තවත් වැදගත් කර්මාන්තයක්. ජපානය විතරක් නොමෙයි තවත් ගොඩක් දියුණු රටවල් කෘෂිකර්මය කර්මාන්තයක් විදිහට ගොඩනැගිලා තියෙනවා. නමුත් ලංකාව වගේ රටක තත්ත්වය ඊට වෙනස්. යම් දෙයක් ඉතා වැදගත් කර්මාන්තයක් ලෙස ගොඩනැගෙද්දී ඒකට අවශ්‍ය නීති රීති රජය මගින් ගොඩනගනවා. නැතිනම් ඒ කර්මාන්තයේ යෙදෙන අයම යම් යම් සම්ප්‍රදායන් ගොඩනගාගන්නවා. ජපානයේ ඒ වගේ නීති හා සම්ප්‍රදායන් බිහිවෙලා තියෙන්නේ මිනිස් පරිභෝජනයට ගන්නා එළවළු, පලතුරු වගේ භෝග වගා කරද්දී විතරක් නෙමෙයි විසිතුරු මල් වගේ දේවල් වගා කරද්දී පවා ඒවා නිවැරදිව භාවිත වෙනවා.

ඒ වගේම ඒ ගොවියාට වෙනත් වෙළඳසැලකට ගොස් අදාළ පොහොර හෝ කෘෂි රසායනය ගන්න බෑ. යම් ගොවිතැනක් පටන්ගන්න දවසේම ගොවියා ලියාපදිංචි කරනවා. ඒ වගේම එදාම ඔහු රසායන ද්‍රව්‍ය ලබාගන්න තැන ලියාපදිංචි වෙනවා. ඒ ආයතනය ගොවියා ළඟට ඇවිත් ඔහු මොනවාද වගා කරන්නේ, කොච්චර ප්‍රමාණයක්ද වගා කරන්නේ, කොයි ප්‍රදේශයේද වගා කරන්නේ වගේ හැම දෙයක්ම ඒ අය ගන්නවා

කෘෂි රසායන ද්‍රව්‍ය නියාමනය කිරීම ජපානයේදී සිදුවන්නේ කොහොමද?

වෙළඳපොළට ගිහින් තමන්ට හිතුණු පරිදි කෘෂි රසායන හා පොහොර ගන්න ජපානයේ ගොවියාට බෑ. අපි හෙක්ටයාරයක අල වගා කරන ගොවියෙක් උදාහරණයකට ගනිමු. ඔහු අවුරුද්දක් තුළ භාවිත කරන්න ඕනෑ පොහොර හා කෘෂි රසායන ප්‍රමාණය නියතයක්. ඒ වගේම ඒ ගොවියාගේ වගාවට අවශ්‍ය පොහොර ප්‍රමාණය හා වෙනත් කෘෂි රසායන පිළිබඳ වාර්තාවක් ඒවා විකුණන වෙළඳසලේ තියෙනවා. ඉතිං ඔහුට අත්‍යවශ්‍ය ප්‍රමාණයට වඩා ඒ වෙළඳසැල්වලින් ඒවා නිකුත් කරන්නේ නෑ. අල වගාව සඳහා යම් කෘෂි රසායන වර්ගයක් භාවිත කරන්න ඕනෑ අවුරුද්දට එකපාරක් විතරක් කියලා හිතමු. මේ ගොවියා වැරදිලා හරි ගිහින් මාස හත අටකට පස්සේ ඒ කෘෂි රසායනය ඉල්ලුවොත් සිල්ලර වෙළෙන්දා කියනවා ඔබේ බිම් ප්‍රමාණයට අවශ්‍ය ප්‍රමාණයට අදාල කෘෂි රසායනය අපි දීලා තියෙනවා, ඒක පාවිච්චි කරන්න පුළුවන් අවුරුද්දට එකපාරයි කියලා. ඒ අනුව ඔහු ඒවා ගොවියාට ලබා දෙන්නේ නෑ.

ඒ වගේම ඒ ගොවියාට වෙනත් වෙළඳසැලකට ගොස් අදාළ පොහොර හෝ කෘෂි රසායනය ගන්න බෑ. යම් ගොවිතැනක් පටන්ගන්න දවසේම ගොවියා ලියාපදිංචි කරනවා. ඒ වගේම එදාම ඔහු රසායන ද්‍රව්‍ය ලබාගන්න තැන ලියාපදිංචි වෙනවා. ඒ ආයතනය ගොවියා ළඟට ඇවිත් ඔහු මොනවාද වගා කරන්නේ, කොච්චර ප්‍රමාණයක්ද වගා කරන්නේ, කොයි ප්‍රදේශයේද වගා කරන්නේ වගේ හැම දෙයක්ම ඒ අය ගන්නවා. මේ විදිහේ වෙළඳ ආයතන අතර ද යම් සම්බන්ධීකරණයක් සිදුවනවා. ඉතිං ගොවියාට ඒ ජාලය මගහරින්න බෑ වගේම ජපානයේ ගොවියන් එහෙම ගන්න උත්සාහ කරන්නෙත් නෑ. මොකද ජපානේ මිනිස්සු හිතන විදිහක් තියෙනවා. ඉතිං තමන් ලියාපදිංචි කළ ස්ථානයෙන් හැර වෙන තැනකින් රසායන ද්‍රව්‍ය ගන්න ඒ අය පෙළඹෙන්නෙත් නෑ.

කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් මේ වන විට ලංකාවේ තියෙන විශාලම සංවාදය රසායනික පොහොර තහනම් කරලා ඒ වෙනුවට කාබනික පොහොර භාවිත කිරීමට ගන්නා වෑයම. මේ කාරණය ලාංකීය කෘෂිකර්මයට සාපේක්ෂව ඔබ දකින්නේ කොහොමද?

මං මුලිනුත් කිව්වා වගේ ලංකාව මුලින්ම කරන්න ඕනෑ කෘෂිකර්මය කර්මාන්තයක් කිරීම. ඇග්රිකල්චර් කියන ඉන්ඩස්ටි්‍රය ගොඩ නොනගා මේ කිසි දෙයක් කරන්න බෑ. මෙහෙම එකක් හදලා එකල ලංකාවේ ඉන්න ගොවියෝ ඔක්කොම අනුගත කරලා, ඊට අදාළ නීති පද්ධතියක් ගොඩනැගීමයි මුලින්ම කළ යුත්තේ. කෘෂි ව්‍යාප්ති සේවය කියලා ලංකාවේ ගොඩනැඟුණු එක දැන් ඇත්තේම නැති තරම්නෙ. ඒ වගේ දේවල් හරහා තමයි හරි නම් මේ විදිහේ දෙයක් ගොඩනැගෙන්න ඕනෑ. ඒ නිලධාරීන් හා ගොවියන් අතර විශාල සම්බන්ධයක් ගොඩනගන්න ඕනෑ. හැබැයි එහෙම කරන්න ඕනෑ අර කියූ නීති රාමුවක් හදාගත්තාට පස්සේ.

කොහොම වුණත් මේ කාබනික පොහොර වැඩපිළිවෙළ තව මාස දෙක තුනක්වත් ඇදගෙන යන්න පුළුවන් එකක් වෙයි කියලා මට හිතෙන්නේ නෑ. කාබනික පොහොරවලින් විතරක් ලංකාවේ කෘෂි ආර්ථිකය ගොඩනගනවා කියන එක කරන්න අමාරු දෙයක්. මම හොඳින් දන්න ජපානය, නෙදර්ලන්තය වගේ රටවල් සියයට අනූනවයක්ම භාවිත කරන්නේ රසායනික පොහොර. එහෙම භාවිත කළා කියලා ඒ මිනිසුන්ට සෞඛ්‍ය ප්‍රශ්න ඇවිත් නෑ. ඒ මිනිසුන්ගේ ආයුෂ අඩු වෙලා නෑ. ජීවත්වන කාලය අවුරුදු අසූවට වැඩියි. මේ වගේ රටවල තියෙන්නේ වයසක ජනගහනය වැඩිවෙන ගැටලුවක්. අනික් පැත්තට මේ රටේ වයසක මිනිස්සු තමයි හරි හරියට ගොවිතැන් කරන්නේ තාමත්. මොකද ඒ අයගේ දරුමුණුබුරන් නගරයට සංක්‍රමණය වෙලා විවිධ රැකියාවන් සඳහා. අනික ලංකාවේ වුණත් තනිකරම කාබනික වගාව කළ කාලේ මිනිස්සුන් ජීවත් වුණ වයසට වඩා විශාල ආයු කාලයක් අද ජීවත් වෙනවා.

රසායනික පොහොර හා කෘෂි රසායන සම්බන්ධ ගැටලුව මතුවෙලා තියෙන්නේ ලංකාවේ ඒවා අධිමාත්‍රාවට භාවිත කිරීම නිසාද?

ඒක සැලකිය යුතු ගැටලුවක් තමයි. විශේෂයෙන් මිනිස්සු අනවශ්‍ය විදිහට පළිබෝධනාශක ආදිය භාවිත කරනවා දකින්න පුළුවන්. නමුත් ජපානේ එහෙම කරන්නේ නෑ. උදාහරණයක් විදිහට අපි හිතමු හෙක්ටයාරයක අල වගාකරන ගොවියෙකුගේ වගා බිමේ පොඩි කොටසකට කෘමි උවදුරක් ආවා කියලා. ලංකාවේ ගොවියෝ නම් එහෙම වෙලාවට කරන්නේ ඒ කුඩා තැනට විතරක් යම් කෘමිනාශකයක් යොදනවා. මොකද ඔහු හිතනවා එතනට විතරක් අදාළ රසායනික ද්‍රව්‍යය යෙදුවාම ඇති කියලා. නමුත් ජපානයේදී ගොවියෝ කරන්නේ මුළු වගා භූමියටම කෘමිනාශකය යොදන එක. අපි හිතමු ඒ කෘමිනාශකය ඔහුගේ වගාවට යෙදිය හැක්කේ වර්ෂයට දෙවරක් පමණයි කියලා නිර්දේශ වෙලා තියෙනවා කියලා.

අර කිව්වා වාගේ, කෘමීන් හිටි කුඩා තැනට විතරක් කෘමිනාශකය යෙදුවත් ඔහු ඒක ගන්නේ ඒ කෘමිනාශකය තම වගාවට යෙදිය හැකියැ’යි නිර්දේශ වෙලා තියෙන වාර දෙකෙන් එකක් ඒ මගින් ඉවර වෙනවා කියලා. බැරිවෙලාවත් එයා ඒ කෘමිනාශකය යෙදුවේ අදාළ කුඩා තැනට විතර නම් ඔහු තම වගාවටම කෘමිනාශකය යෙදිය හැකි එක වාරයක් එමගින් අයින් කරලා දානවා. නමුත් ලංකාවේ එහෙම නෑනෙ. පොඩි තැනක උවදුරක් තිබුණොත් එතෙන්ටත් කෘමිනාශක ගහනවා. ආයෙ තව තැනක තිබ්බොත් එතනටත් ගහනවා. ඒ තැන්වලින් ආයෙ මුල් තැනට ආවොත් ආයෙ ආයෙ ගහනවා. ඒ විදිහේ විනයක් ජපානේ ගොවියන්ට ඒ අයගේ ඇඟෙන්ම එන්නේ.

ගොවියන් තුළ තමන් කරන කාර්යය ගැන අවංක අදහසක් තියෙන්න ඕනෑ. මගේ පලදාව වැඩිකරගෙන, මං වගා කරන ගෙඩිය ලොකු වෙලා, කොළ ටික ලස්සන කරගෙන විතරක් හරියන්නේ නෑ තව කෙනෙක්ට කන්න පුළුවන් විදිහට දෙන්න ඕනෑ කියන ආකල්පය තියෙන්න ඕනෑ. සමහර විට ගොවියන් විශාල වශයෙන් දුප්පත් වීම වගේ කාරණා මේ සඳහා බලපාන්න පුළුවන්. ඒ නිසා තමයි අපි නීතියක් ගොඩනගලා නිලධාරීන් මගින් ඒ දේ ගොවියන්ට ගෙනියන්න ඕනෑ. හැබැයි ඒකට ගොවියා විතරක් අනුගත වෙලාත් බෑ. පොහොර විකුණන සිල්ලර වෙළෙන්දාගේ ඉඳන් පොහොර ගෙන්වන සමාගම දක්වා ඒ සඳහා අනුගත වෙන්න ඕනෑ.

මෙහෙ ඇතැම් විට අස්වැන්න ගොවියාගෙන් පාරිභෝගිකයාට යන්න පෙර අතරමැදි අවස්ථාවල සසම්භාවී ලෙස පරීක්ෂා කෙරෙනවා. ඒ අස්වැන්න ගොවියාගෙන් මිලදීගන්න පෞද්ගලික සමාගම් විසින්. ගොවියා අද එයාගේ තක්කාලි වගාවේ අස්වැන්න නෙලනවා නම් ඒ අස්වැන්න මිලදීගන්න සමාගම ගොවියාට දැනුම් දෙනවා තක්කාලි කිලෝ දෙකක් විතර පරීක්ෂණාගාරයට එවන්න කියලා. ඒ අය පරීක්ෂා කරනවා භෝගයක තිබිය හැකි උපරිම රසායන ද්‍රව්‍යයන් ඉක්මවා ඒවායේ තියෙනවාද කියලා. තිබුණොත් ගොවියාගේ අස්වැන්න ප්‍රතික්ෂේප වෙනවා. මේ රටවල විශේෂත්වය මේවා කරන්නේ රජයෙන් නෙමෙයි ගොවියාගේ අස්වැන්න මිලදී ගන්නා පෞද්ගලික සමාගම් මගින්ම වීම.

අපිටත් පුළුවන් නම් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වගේ තැනකදීවත් මෙහෙම පරීක්ෂා කරන්න. එතකොට ගොවියන් ඉබේම පුරුදු වෙනවා තමන්ගේ අස්වැන්න ප්‍රතික්ෂේප නොවන විදිහට නිසි ප්‍රමිතියට කෘෂි රසායන භාවිත කරලා වගා කටයුතු කරන්න.

කෘෂි රසායන භාවිතය සම්බන්ධ මේ සැකය දුරු කිරීමට අපිට ගත හැකි වෙන විකල්ප ලෙස ඔබ දකින්නේ මොනවාද?

නිර්පාංශු වගාව එහෙමත් නැතිනම් ග්‍රීන් හවුස්වල වගා කිරීම ලංකාව වගේ රටකට ඉතාමත් හොඳින් ගැළපෙන ක්‍රමයක්. ඒ සඳහා බොහෝවිට යොදාගන්නේ කොහුබත් වගේ මාධ්‍යයක්නේ. අපි ඒවාට යොදන්නේ දියර පොහොර. වතුරත් එක්ක කලවං කරලා අවශ්‍ය පොහොර දුන්නාට පස්සේ ඒකෙන් ගහ කොටසක් උරාගෙන තව කොටසක් ඉවත් වෙනවා. ඒ ගලා යන වතුරෙන් සාම්පල් එකක් ගත්තාම අපිට දැනගන්න පුළුවන් පොහොරවලින් ගහ උරාගත්ත ප්‍රමාණය මොකද්ද කියලා. ඒ ඒ බෝගය ඒ ඒ වයසෙදී ලබාගත යුතු ඒ ඒ පෝෂණ සංඝටක ගැන නියතයක් ගොඩනගලා තියෙන නිසා අපිට නිශ්චිතව මැනගන්න පුළුවන් ගහට තව කොච්චර පොහොර අවශ්‍යද කියලා. ඒ අනුව අපි නැවත එකතු කරන්නේ මදි ප්‍රමාණය විතරයි.

ඒ විතරක් නෙමෙයි ගහේ මුල් උරාගෙන ඉවත යන වතුර පවා පසට එකතු වෙන්නේ නෑ. ඒවා වෙනම එකතු කරලා නැවත භාවිතයට ගන්න පුළුවනි. අපි මෙහේ කරන්නේ පොහොර අඩංගු ඒ වතුර එකතු කරලා එහි බැක්ටීරියා වගේ දේවල් තියෙනවා නම් ඒවා නැතිවෙන්න පොඩි යූවී ප්‍රතිකාරයක් කරලා නැවත භාවිතයට ගන්න එක. ඒක ඉතා සරල තාක්ෂණයක්.

අනික් වැදගත් කාරණය තමයි ජපානය වගේ රටවල ශීත කාලයට අපි ග්‍රීන් හවුස් වෙනම උණුසුම් කරන්න ඕනෑ. ඒකට විශාල වියදමක් යනවා. නමුත් ලංකාවේ ගොඩක් ප්‍රදේශවල දවල් සහ රාත්‍රී තියෙන ස්වාභාවික උණුසුම ම භාවිත කරලා මේ වැඩේ කරන්න පුළුවන්.

සාමාන්‍යයෙන් හරිතාගාරයක් නිවැරදිව පවත්වාගෙන යද්දී එය බාහිර පරිසරයෙන් බොහෝ සේ වහලා තියෙන නිසා ස්වාභාවිකවම කෘමීන් ආදි සතුන් පාලනය වෙනවා. බැරිවෙලාවත් පළිබෝධකයින් ඇතුළට ආවොත් අද ගොඩක් රටවල කරන්නේ ඒ සඳහා කෘමිනාශක යෙදීම නෙමෙයි, ඒ පළිබෝධකයන්ව ආහාරයට ගන්න වෙනත් කෘමීන් ඇතිකිරීම. ඒ කෘමියා වගාවේ ව්‍යාප්ත වෙලා අපේ වගාවට හානි කරන පළිබෝධකයාව ආහාරයට ගන්නවා. නැතිනම් උගේ බිත්තර වගේ දේවල් ආහාරයට අරගෙන පලිබෝධකයා පාලනය කරනවා. මේක හරිතාගාර ඇතුළේ වගා කිරීම්වලදී විතරක් නෙමෙයි එළිමහන් වගාවේදී පවා දියුණු රටවල විශාල වශයෙන් යොදාගන්නවා. හැබැයි ඒ වගේ අවස්ථාවල වගාවට කෘෂි රසායන යොදද්දී අර කෘමියාට හානි නොවන මෘදු රසායන යොදන්න වගබලාගන්න ඕනෑ. ඒ නිසා අධිරසායන භාවිත කිරීමට ගොවියා තුළ ස්වයංවාරණයකුත් ඇති වෙනවා. නමුත් ලංකාව මේ වගේ දේවල් හඳුන්වා දෙන්න උත්සාහ කරන්නේ නැති එක ගැටලුවක්.

නමුත් කෘමි පාලනය සඳහා ජාත්‍යන්තරව ගොඩනගලා තියෙන ෂඡඵ වගේ ක්‍රමවේද ලංකාවේ නිවැරදිව භාවිත වෙන්නේ නෑ.

මේ කාබනික පොහොර ප්‍රශ්නය නිසා ලංකාවේ දැනටමත් හරිතාගාර පවත්වාගෙන යන ගොවියන්ට විශාල හානියක් වෙලා. මොකද දැන් ඊට අවශ්‍ය දියර ගෙන්නන්නේ නෑ. අනික තිබුණත් ඒවායේ මිල ඉතාම වැඩි බව ලංකාවේ නිර්පාංශු වගාව කරන අය කියනවා.■

පසුගිය ජූලි 19 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතට ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර විසින් කළ සංවාදය සම්පූර්ණයෙන් උපුටා ගන්නා ලදි. ශීර්ෂපාඨය පමණක් සංශෝධනය කර ඇත. – ප්‍රධාන සංස්කාරක

Loading...

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *