ජංගම දුරකථනයෙන් පිළිකා අවදානමක් නෑ

පිළිකාව’ යනු වැළඳෙන රෝග අතරින් සුව කිරීමට අපහසු රෝග කොට්ඨාශක් ලෙස මෙන්ම ඒ හා සබැඳි ප්‍රතිකාර ක්‍රම හා ඒවායේ සංකූලතා ද වෙනස්ම මඟක් ගන්නා බව අපි දනිමු. ඒ නිසා පිළිකා රෝග සම්බන්ධව සමාජගත වී ඇති දුර්මත කිහිපයක් සම්බන්ධව කතා කිරීම කාලෝචිත යැයි සිතමි.

ජංගම දුරකථන භාවිතය පිළිකා වැළඳීමට හේතු වේ.

මෑත ඉතිහාසයේ ඉතා විවාදාත්මක වෛද්‍ය ප්‍රස්තූතයක් බවට පත් වූ මෙම මාතෘකාවට ප්‍රධානම පසුබිම වන්නේ “විකිරණ පිළිකා වැළඳීමට හේතු වේ” යන්නයි. අධිශක්ති විකිරණ (ගැමා කිරණ, X -කිරණ) පිළිකා වැළඳීමට හේතුවන බව ප්‍රත්‍යක්ෂව ඔප්පු වී ඇති කරුණක් වන අතර ඒවා සොයාගත් මාරි කියුරි වැනි විද්‍යාඥයින් පවා මිය ගියේ ඒ බව  නොදැන ඒවා රිසි සේ අත පත ගෑමෙන් ඇති වූ පිළිකා තත්ත්ව නිසාය. නමුත් ජංගම දුරකථන ආශ්‍රිතව භාවිතා වන්නේ (Microwave Radiation) වන අතර ඒවා ඉතා අහිංසක මට්ටමේ සුළු ශක්ති කිරණ වේ. පිළිකාවක් ඇති කිරීමට නම් සෛලය DNA අනුවල සංයුතිය වෙනස් කිරීමට අවශ්‍ය තරම් ශක්තියක් විකිරණයක් සතු විය යුතුය.  ජංගම දුරකථනයකින් නිකුත් වන ඉතා අඩු ශක්ති Microwave Radiation තුළ එවන් ශක්තියක් නැති බව රසායනාගාර පරීක්ෂණ රාශියකට පසුව දිගුකාලීන හා නිතර ජංගම දුරකථන භාවිතය පිළිකා ඇතිවීමට හේතුවන බවට ප්‍රත්‍යක්ෂ සාක්‍ෂි කිසිත් හමු වී නොමැති අතර එනයින්ම කිසිදු වගකියයුතු සෞඛ්‍ය  නියාමන අධිකාරියක් ඒ සම්බන්ධව රතු නිවේදන නිකුත් කර නැත.

මිනිස් පරිණාමයේ සුවිශාල වෙනසක් සිදුකළ ජංගම දුරකථනය සඳහා අනියත බියක් ජනිත කරගැනීමට ප්‍රත්‍යක්‍ෂ විද්‍යාත්මක සාක්‍ෂි නොමැති වීම, ඒ අනුව සඳහන් කළ හැකි අතර වරෙක විද්‍යාඥයින් ඒ ගැන සඳහන් කළේ “අධි ශක්ති විකිරණ අනතුරුදායක බවට සැකයක් නැත. ඔබේ ගෙය අසළ ඇති ගඟ පිටාර ගැලීම ගැනම ඔබ සැලකිලිමත් විය යුතුය. නමුත් ඔබේ කුස්සියේ ඇති කළය පිටාර නොගලන බව ඔබ හොඳින් දන්නවා නොවේද?”

කුඩා කාලයේ හෝ කලකට පෙර සිදුවන තැලීම්, ශල්‍යකර්ම පසුකලෙක පිළිකා වැළඳීමට තුඩු දෙයි.

මෙම මතයට කිසිදු විද්‍යාත්මක පසුබිමක් නොමැති අතර යම් ස්ථානය පිළිකාවක් මතුවන අවස්ථාවකදී ඒ ස්ථානය සම්බන්ධව තමාගේ අතීත මතකයන් පිළිකාව මතුවීමට හේතුව වශයෙන් රෝගීන් සඳහන් කිරීම මෙවන් මතයක් සමාජය තුළ ඇති වීමට හේතු වී තිබේ. තැලීමකට පසුව සිදුවන සුළු රුධිර වහනය හා පටක හානිය සාමාන්‍යයෙන් සති කිහිපයකින් සාමාන්‍ය තත්ත්වයට පත්වන අතර ඇතැම් විට සමේ ඇතිවන පැහැයේ වෙනස යථා තත්ත්වයට පත් වීමට මාස ගණනක් ගත වනු ඇත. සම ඉරීයාමකට ලක් වුවහොත් කැලලක් ලෙස ඉතිරිවනු ඇත. ඒ හැරුණු කළ එම ස්ථානයේ දිගින් දිගටම ක්‍රියාත්මක ජීව ක්‍රියාවලියක් නොමැති අතර පිළිකා හේතුකාරක ක්‍රියාවලියක් එනයින් ජනිත වීම කිසිවිටෙකත් සිදු නොවේ.

PET ස්කෑන් පරීක්ෂණයක් මගින් පිළිකා කල්තබා හඳුනා ගත හැක.

PET ස්කෑන් පරීක්ෂණයක් සිදුකරන්නේ ශරීරයට එන්නත් කරන විකිරණශීලී ද්‍රව්‍යයක් ශරීරයේ ඒ ඒ අවයව අවශෝෂණය කරගන්නා ප්‍රමාණ නිර්ණය කිරීමෙනි. අධි ක්‍රියාකාරී සෛල ඒවා වැඩි වැඩියෙන් අවශෝෂණය කරන අතර පිළිකා සෛලද එසේ වැඩි අවශෝෂණයක් දක්වයි. විකිරණශීලී මූලද්‍රව්‍යයක් යොදාගන්නා බැවින් මෙම පරීක්ෂණය සෑහෙන තරම් සෞඛ්‍යමය අවදානමක් ඇති පරීක්ෂණයක් ලෙස සැලකෙන අතරම එය නිකරුණේ කළ යුතු පරික්ෂණයක් නොවේ. PETස්කෑන් එකක් යොදාගනු ලබන්නේ පිළිකාවක් ඇතැයි ප්‍රත්‍යක්‍ෂම දන්නා අයෙක් ගේ පිළිකාවේ ව්‍යාප්තිය හඳුනාගැනීමට හා ප්‍රතිකාර වලින් පසුව පිළිකාව කොතරම් දුරට ඒ සඳහා ප්‍රතිචාර දක්වා ඇත්දැයි බැලීමට මිස නිරෝගී අයෙක්ට පිළිකාවක් ඇත්දැයි බැලීමට නොවේ. එසේ යොදා ගත හැක්කේ ද සීමිත පිළිකා වර්ග ප්‍රමාණයකට වන අතර ඇතැම් පිළිකා ව්‍යාප්තිය පවා PET  ස්කෑනයට හසු නොවේ. ඒ අනුව නිරෝගී අයෙක් PET ස්කෑන් එකක් තුළින් පිළිකා හඳුනාගැනීමට යාම නිශ්ඵල කාරියක් මෙන්ම පිළිකාවක් සෑදීමට ගන්නා අවදානමක් ද වනු ඇත.

පිළිකාවක් හඳුනා ගැනීමට එයින් කොටසක් ගෙන පරීක්‍ෂා කිරීමට යාමේදී පිළිකා ව්‍යාප්ත විය හැක.

කොටසක් ගෙන පරීක්‍ෂා කිරීම බොහෝ පිළිකා වර්ග හඳුනාගැනීමට අත්‍යාවශ්‍ය වේ. එසේ ගන්නා කොටස් තුළින් පිළිකාවේ නිවැරදි වර්ගය හා එය සංවේදී වන ඖෂධ හඳුනා ගත හැක. එය පිළිකාවක් පාලනයට, සුව කිරීමට බොහෝ විට අත්‍යාවශ්‍ය සාධකයකි. පිළිකාවකින් කොටසක් පරීක්‍ෂණ සඳහා ලබාගැනීම එය වෙනත් ශරීර  අවකාශ වලට නිරාවරණය වේය යන්න බොහෝ පිළිකා සම්බන්ධව ගත් කළ දුර්මතයකි. එය එසේ සිදු නොවන බව රසායනාගාර හා සායනිකව තහවුරු කළ මතයකි. නමුත් ඇතැම් දුර්ලභ පිළිකා තත්ත්ව වලදී (උදා: සාකෝමා Sarcoma) කොටසක් ලබා ගැනීමට ගමන් කළ මාර්ගය ඔස්සේ පිළිකාව පැතිරීමට හැකි බවද වෛද්‍යවරු හොඳින් දන්නා කරුණකි.  එවන් අවස්ථාවලදී අනුගමනය කළ යුතු නිවැරදි වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේද ඇති අතර එසේ කිරීමෙන් එවන් ව්‍යාප්තියක් පිටු දැකීමට වෛද්‍යවරු කටයුතු කරනු ලැබේ. ඒ නිසා පිළිකාවකින් කොටසක් ලබා ගැනීම එය ව්‍යාප්තියට හේතු වන බව දුර්මතයක් ලෙස බැහැර කළ යුතු අතර එමගින් රෝග විනිශ්චයට හා ප්‍රතිකාර වලට සිදුවන ප්‍රමාදය අතිමහත්ය.

පිළිකා සඳහා විකිරණ ප්‍රතිකාර ගන්නා අයෙක් ඇසුරු කිරීම සෞඛ්‍ය අවදානමකි.

පිළිකා සඳහා සිදුකරණ ප්‍රධාන ප්‍රතිකාර ක්‍රම 3 කි. ශල්‍යකර්ම, පිළිකා නාශක ඖෂධ නික්ෂේපණය, විකිරණ ප්‍රතිකාර. ඉහත දුර්මතය ප්‍රධාන වශයෙන්ම සබැඳී තිබෙන්නේ විකිරණ ප්‍රතිකාර ලබන රෝගීන් සම්බන්ධවය. විකිරණ පිළිකාකාරකයක් බව මා ඉහත දී ද සඳහන් කරනු ලැබීමි. නමුත් එය පිළිකා සඳහා ප්‍රත්‍යක්‍ෂ ප්‍රතිකාරයක් බවද සඳහන් කළ යුතුය. පිළිකාවකට සිදුකරන විකිරණ ප්‍රතිකාරයකදී ජනිත වන විකිරණ ඒ අවස්ථාවේදීම නිශ්ක්‍රිය වන අතර කිසිදු විකිරණයක් රෝගියා තුළ හෝ එම පරිසරය තුළ ඉතිරි නොවේ. විකිරණ ප්‍රතිකාරයකට පෙර හා

පසුව වෛද්‍ය කාර්යමණ්ඩලය රෝගියා ස්පර්ශ කරන අතර ඔහුට ප්‍රතිකාර මේසයෙන් බැසීමට හා එළියට ඒමට උදව් කරන්නේ ඔවුන්ය. (ඔවුන්ගේ සමස්ත සේවා කාලයම ඇතැම්විට ගතවන්නේ එවන් රෝගීන් ඇසුරේය.) යම් අවදානමක් ඇති නම් ඔවුන් එසේ හැසිරෙයිද? මෙම දුර්මතය නිසා පවුලේ අය අවශ්‍යම, මනසින් වැටී සිටින මොහොතක ඔවුන් ඈත් වීම සිදුවන අතර, රෝගියාගේ මානසික පසුබෑමට හේතුවේ.

 මෙවන් මත මත එල්බෙන ඇතැම් රෝගීන් තම පවුලේ ආරක්ෂාව ගැන සිතමින් අත්‍යාවශ්‍ය ප්‍රතිකාර මගහැරීමට තරම් අඥාන වන අවස්ථාද නැතුවා නොවේ. කෙසේ නමුත් තයිරොයිඞ් ග්‍රන්ථියේ ඇතිවන පිළිකා සඳහා පමණක් කරනු ලබන විකිරණශීලී මූලද්‍රව්‍ය පෙති ගිලීමෙන් පසුව පමණක් මෙසේ අනිත් අයගෙන් ටික කලකට ඈත් වී සිටීම අවශ්‍ය වන අතර එසේ අවශ්‍ය සෑම අවස්ථාවකම ඒ සඳහා වන උපදෙස් ප්‍රතිකාර අංශ මගින් ලබාදෙනු ඇත.

වෛද්‍ය පී.එච්. සහන් පිය උදාර, ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී (රක්ත වේද පිළිකා), අපේක්‍ෂා රෝහල, මහරගම.

Loading...

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *