‘චීන එන්නත්‘ කෙතරම් ඵලදායක ද ? – ජාත්‍යන්තර හෙළිදරව්වක් !

සිනොවැක් සහ සයිනොෆාම් එන්නත්, බොහෝ දිළිඳු සහ මැදි ආදායම් සහිත රටවල් භාවිත කරති

චීනය නිෂ්පාදනය කරන ප්‍රධාන එන්නත් දෙක ගැන මෑතදී බොහෝ නිශේධනීය මාධ්‍ය වාර්තා එළිදැක්විණ; සිනොවැක් සහ සයිනොෆාම් එන්නත් දෙකම ලබාගත් බොහෝ දෙනාට කොවිඩ් රෝගය වැළඳුණ බව හෝ ඇතැමුන් මරුමුවට පත්වූ බව එම වාර්තාවල දැක්විණ.

එම එන්නත මගින් බොහෝ ජීවිත බේරාගනු ලැබූ බව විශේෂඥයන් පවසන නමුත්, ඒ සමඟම එම එන්නත්වල ඵලදායීතාව ගැන යළිත් වරක් අවධානයට ලක්විණ.

දිළිඳු සහ මධ්‍යම ප්‍රමාණයේ ආදායම් සහිත රටවල මේ එන්නත් දෙක බහුලව භාවිත කරති.

එන්නත ගැන පළවන මේ බිය සාධාරණ ද? මෙම එන්නත් භාවිතා කරන රටවල් තම ජනතාව ආරක්ෂා කරගැනීමට ගතගැකි ක්‍රියාමාර්ග මොනවාද?

එන්නත් ක්‍රියාකරන්නේ කෙසේද?

කොරෝනාවෛරසයට එරෙහිව සටන් කරන ප්‍රතිදේහ නිපදවීම පිණිස, බීජිං නුවර පිහිටි Sinovac Biotech සහ රජයට අයත් Sinopharm සමාගම් දෙකම භාවිත කරන්නේ අක්‍රිය කරන ලද වෛරසයන්ය.

එන්නත ලබාදීමට ප්‍රථම වෛරසය මරා දමා ඇති බැවින් එමගින් කොවිඩ්-19 රෝගය බෝවිය නොහැකිය.

එන්නත් ක්‍රියාකරන ආකාරය

දින 14 ක් තුළ සිනොවැක් එන්නත් මාත්‍රා දෙකම ලබාදෙමින් බ්‍රසීලයේ විශාල පිරිසක් යොදාගෙන කරන ලද පරීක්ෂණයක දී හෙළි වූයේ, එම එන්නත් මගින් රෝග ලක්ෂණ පෙන්නුම්කරන කොවිඩ් රෝගය වැළඳීම 51%කින් වලක්වන බවය. සයිනොෆාම් එන්නත පිළිබඳව රටවල් කිහිපයක පැවැත්වූ පරීක්ෂණවලින් අනාවරණය වූයේ එහි ඵලදායීතාව 79% ක් බවය.

මෙම ප්‍රථිපල මඟින් විශේෂිත අත්හදා බැලීමේ කොන්දේසි පිළිබිඹු වේ. සිනොවැක් එනත අඩු ප්‍රථිපල පිළිබිඹු කලත් එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) හදිසි අනුමැතිය ලබා ගැනීමට ප්‍රමාණවත් විය.

මෙම එන්නත් සාමාන්‍ය ශීතකරණයක තැන්පත් කිරීමට හැකිවීම හේතුවෙන් විශේෂ අධි ශීතකරණ මිලදී ගැනීමට අවශ්‍ය නොවීම හමුවේ දිළිඳු රටවලට ඒවා යොදාගැනීම පහසුය.

ආසියාවේ, දකුණු ඇමෙරිකාවේ සහ අප්‍රිකාවේ රටවල් 100 ක පමණ මෙම එන්නත් භාවිත කරති. එම එන්නත නිපදවන පළමු අප්‍රිකානු රටවල් දෙක බවට පත්වන බව මොරොක්කෝ සහ ඊජිප්තුව මෑතදී නිවේදනය කළහ.

විද්‍යා දත්ත විශ්ලේෂණය කරන Airfinity ආයතනය පවසන පරිදි, දැනට සිනොවැක් එන්නත් මාත්‍රා මිලියන 943 කට වැඩි ප්‍රමණයක් බෙදා හැර ඇති අතර, මේ වසර තුළ මාත්‍රා බිලියන 2.9 ක් නිෂ්පාදනය කිරීමට ඉඩ තිබේ.

ජනතාව රෝගී වෙන්නේ කුමන රටවලද?

චිලී, මොන්ගෝලියාව සහ සීෂෙල්ස් දූපත්, චීන එන්නත් දෙකම ලබාදීමෙන් අනතුරුවත් කොවිඩ්-19 රෝගය බහුලව පැතිරයමින් තිබෙන රටවල් කිහිපයකි.

චිලී දේශයේ 70%කට වැඩි පිරිසක් එන්නත් දෙකම ලබාගෙන තිබෙන අතර, ඒ බොහෝ දෙනාට ලැබුණේ සිනොවැක් එන්නතය.

එහෙත් ඩෙල්ටා ප්‍රභේදය පැතිරයාමත් සමඟ එහි යළිත් වරක් ඇඳිරි නීතිය පණවා සංචරණ සීමා පැනවිණ.

An Indonesian health worker shows vials containing the Sinovac COVID-19 vaccine made by Biofarma during a COVID-19 vaccination drive at Pakansari Stadium in Bogor, West Java, Indonesia, 22 June 2021.
ඉන්දුනීසියාවේ බහුලව භාවිතා කෙරෙන්නේ සිනොවැක් එන්නතය

මේ අතර මොන්ගෝලියාවේ සහ සීෂෙල්ස්හි ද වෛරසයේ ශීඝ්‍ර පැතිරයාමක් වාර්තා වී තිබේ. මෙම රටවල් දෙකේ කුඩා ජනගහනයක් ජීවත් වූවත්, ජනගනත්වය අනුව රෝගීන්ගේ සීග්‍ර වැඩිවීමක් මෑතකදී වාර්තා වී තිබේ.

එන්නත්කරණයේ ඉදිරියේ සිටින එම රටවල් දෙකම වැඩිපුර භාවිත කළේ සයිනොෆාම් එන්නතය; වැඩිහිටියන් අතරින් සීෂෙල්ස් හි 68% ක් සහ මොන්ගෝලියාවේ 55% ක් එන්නත ලබාගෙන තිබේ.

මේ අතර සිනොවැක් එන්නත් දෙකම ලබාගත් සෞඛ්‍ය සේවක, සේවිකාවන් 30 දෙනෙකුවත් රෝගය වැළඳී මියගොස් ඇති බව එහි ප්‍රධාන සෞඛ්‍ය සේවක වෘත්තීය සමිතිය පවසයි.

එසේ නම් එන්නත් අසාර්ථක ද?

ඉහත කී රටවල මතු වී ඇති තත්වයට එකම හේතුව එන්නත පමණක්ම නොවේ.

ඉන්දුනීසියාවේ සෞඛ්‍ය සේවකයන්ගේ මරණවලට කොවිඩ් සමඟ වැළඳුණු තවත් රෝග ද කිසියම් ආකාරයකට බලපාන්නට ඇති බවට වෘත්තීය සමිතිය පවසා තිබුණි.

රතු කුරුස සංවිධානය පවසන්නේ, ජනගහනයෙන් 5% කට පමණක් එන්නත ලබාදී තිබීම සහ සෞඛ්‍ය සේවකයන් දීර්ඝ කාලයක් වැඩ කිරීම සහ දිගින් දිගටම වෛරසයට අනාවරණය වීම තුළ, රට “ව්‍යසනයක් අභිමුව” සිටින බවය.

People wait outside a mobile vaccination centre to receive a dose of Sinovac"s CoronaVac vaccine against the coronavirus disease (COVID-19) in Santiago, Chile June 16, 2021.
,චිලී දේශයේ ජනතාව එක් මාත්‍රාවක් පමණක් ලබාගැනීමෙන් අනතුරුව යළිත් වරක් සමාජයේ බහුලව ගැවසීම රෝගය පැතිරීම ඉහළ යාමට හේතුව විය හැකිය

චිලී දේශයේ ජනතාව එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබාගැනීමෙන් අනතුරුව යළිත් වරක් සමාජයේ බහුලව ගැවසීම අප්‍රේල් මාසයේ රෝගය පැතිරීම ඉහළ යාමට හේතුව විය හැකි බව ඇතැම් විශේෂඥයන්ගේ අදහසය.

ඒ අතර මොන්ගෝලියාවේ සහ සීෂෙල්ස් හි බලධාරීන් පවසන්නේ, රෝගයෙන් මියගිය බොහෝ දෙනා අසාධ්‍යව පසුවූ හෝ එන්නත නොලැබූවන් බවය.

එමෙන්ම කිසිදු එන්නතකින් 100% ක ආරක්ෂාවක් නොලැබෙන බව ද විශේෂඥයෝ පෙන්වාදෙති. එය සෑම පුද්ගලයෙකුටම වෛරසය ආසාදනය වීම නැවැත්වීම හෝ ඔවුන් රෝගාතුර වීම වැළැක්වීම සිදු නොකරන බවයි.

“මේ වෙලාවේ වැදගත්ම දේ, අසාධ්‍ය තත්වයට පත්වීම සහ මරණ වලක්වා ගැනීමයි. හැම එන්නතක්ම ඒ කරුණු දෙක ගැන හොඳින් වැඩ කරලා තියෙනව,” යනුවෙන් ඕස්ට්‍රේලියාවේ මර්ඩොක් ළමා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ෆියෝනා රසල් චයිනා ඩේලි පුවත්පතට පවසා තිබුණි.

Doses of the Chinese Sinopharm vaccine against the coronavirus disease (COVID-19) on display in Kragujevac, Serbia, May 4, 2021.
රෝගීන් අසාධ්‍ය බවට පත්වීම සම්බන්ධයෙන් එන්නත් දෙක මගින්ම ඉතා ඉහළ ආරක්ෂාවක් සැලසේ

බ්‍රසීලයේ කරන ලද පර්යේෂණයට අනුව, අසාධ්‍ය තත්වයට පත්වීම සහ රෝහල්ගතවීම සම්බන්ධයෙන් සීනොවැක් එන්නත 100%ක සාර්ථකත්වයක් පෙන්වූ අතර, රෝහල්ගතවීම සම්බන්ධයෙන් සයිනොෆාම් එන්නත 79%ක් ඵලදායී විය.

හොංකොං විශ්වවිද්‍යාලයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී මහාචාර්ය බෙන් කවුලින් පවසන පරිදි කොවිඩ් රෝගය වැළැක්වීම සම්බන්ධයෙන් එම එන්නත් දෙකේම ඵලදායීතාව “මධ්‍යස්ථ” තත්වයක පැවතියත්, අසාධ්‍ය බවට පත්වීම සම්බන්ධයෙන් එමගින් “ඉතා ඉහළ ආරක්ෂාවක්” සැලසෙන බවය.

“ඒ කියන්නේ මේ එන්නත් මගින් දැනටමත් ජීවිත විශාල ගණනක් බේරාගෙන ඇති,” බව ඔහු බීබීසී සමඟ පැවසීය.

නව ප්‍රභේද එන්නත්වලට බලපාන්නේ කොහොමද?

Rendering of the Sars-CoV-2 virus - stock photo

කෙසේ වුවත්, මෙම පර්යේෂණවලට යොදාගනු ලැබුවේ චීනයේ වූහාන් නගරයෙන් සොයාගනු ලැබූ මූලික වෛරසයට එරෙහිව එන්නත් කෙතරම් ඵලදායක ද යන්න පමණය. ඒවා නව ප්‍රභේදවලට එරෙහිව ක්‍රියාකරන්නේ කෙසේද යන්න අලුත් දත්ත තවමත් ප්‍රකාශයට පත්වී නැත.

වෙනත් පර්යේෂණ අනුසාරයෙන් අදහස් දක්වමින් මහාචාර්ය බෙන් කවුලින් පවසන්නේ, ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව චීන එන්නත් දෙකේ ඵලදායකත්වය, මූලික වෛරසයට සාපේක්ෂව 20%කින් පමණ අඩුවිය හැකි බවය.

දකුණු අප්‍රිකාවෙන් හමු වූ බීටා ප්‍රභේදයට එරෙහිව එන්නත්වල ඵලදායකත්වය ඊටත් වඩා අඩුවිය හැකි බව ඔහු තක්සේරු කරයි.

හොංකොං විශ්වවිද්‍යාලයේ වෛරසවේදය පිළිබඳ මහාචාර්යවරයෙකු වන ජින් ඩොන් යැන් බීබීසීයට කියා සිටියේ, ඩෙල්ටා ද ඇතුළු නව ප්‍රභේදයන්ට එරෙහිව චීන එන්නත්වල ඵලදායීතාව අඩුවනු ඇතැයි “අපේක්ෂිත” බවය.

එහෙත් “සිනොවැක් සහ සයිනොෆාම් හොඳ එන්නත්,” බව කී ඔහු, ඉහළ ඵලදායකත්වයක් සහිත එන්නත් ලබාගත නොහැකි ජනතාවත් එන්නතක් ලබාගත යුතු බව ඔහු පෙන්වා දුන්නේය.

කෙසේ වුවත්, ඉන් අනතුරුවත් ඔවුන් සමාජ දුරස්ථබව ඇතුළු අනෙක් ආරක්‍ෂිත පියවර ගතයුතු බවත් ඔහුගේ උපදේශය වෙයි.

තුන්වෙනි එන්නතක් දිය යුතුද?

Healthcare worker draws a dose of China's Sinopharm COVID-19 vaccine as people wait to receive their shots in Colombo, Sri Lanka May 8, 2021.
එන්නත් දෙකක් ලබාදීමෙන් අනතුරුව, තුන්වෙනි මාත්‍රාවක් ද ලබාදිය යුතු ද යන්න ගැන සංවාදයක් පවතී

මෙතෙක් පරීක්ෂණ සිදු කර නොමැති වූවද, එන්නත් දෙකක් ලබාදීමෙන් අනතුරුව, එම එන්නතේම හෝ වෙනත් එන්නත් දෙකක් මිශ්‍ර කිරීමෙන් තුන්වෙනි මාත්‍රාවක් ද ලබාදිය යුතු ද යන්න ගැන මේවනවිට විශේෂඥයෝ සහ ආණ්ඩු අවධානය යොමුකර ඇත.

මහාචාර්ය ජින් පවසන්නේ, ෆයිසර් හෝ මොඩර්නා එන්නත තුන්වෙනි මාත්‍රාවක් වශයෙන් ලබාදීම මගින් සයිනොෆාම් හෝ සිනොවැක් තුළින් ලැබුණු ආරක්ෂාව තවත් වැඩිවනු ඇති බවය.

ඉන්දුනීසියාවේ සිනොවැක් එන්නත් දෙකක් ලබාගත් ඉදිරි පෙළ සේවකයන්ට තුවෙනි මාත්‍රාව වශයෙන් මොඩර්නා එන්නත ලබාදීමට නියමිත අතර, සයිනොෆාම් මාත්‍රා දෙකක් ලබාගත් වයස අවුරුදු 50ට වැඩි පුද්ගලයන්ට තුන්වෙනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාගන්නා මෙන් බහරේනය ඉල්ලා සිටියි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ තුර්කිය සිය පුරවැසියන්ට පිළිවෙලින් සයිනොෆාම් සහ සිනොවැක් තුන් වෙනි මාත්‍රාවක් ලබාදෙමින් සිටියි. තායිලන්තය ද එය සලකා බලමින් සිටියි.

එහෙත් එන්නත්කරණයේ මූලික පියවර හෝ සපුරා නැති ඉන්දුනීසියාව තුන්වෙනි මාත්‍රාවක් දීමට ප්‍රවර්ධනය කිරීමේ පරමාර්ථය කවරක් දැයි මහාචාර්ය කවුලින් ප්‍රශ්න කරයි.

තුන්වෙනි මාත්‍රාවක ඵලදායකත්වය සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණවල ප්‍රතිඵල යහපත් බව පවසන Sinovac Biotech සමාගම, කෙසේ වුවත් කෝවිඩ්-19 රෝගයෙන් ආරක්ෂාවීම පිණිස මාත්‍රා දෙකක් ප්‍රමාණවත් බව අවධාරණය කරයි.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බී කියා සිටියේ සිය රටේ නිපදවන එන්නත් “ආරක්ෂාව සහ ඵලදායකත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර කීර්තියක් අත්පත් කරගෙන තිබෙන,” බවය.

Text by bbc sandesaya

Loading...

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *