චීනය ගැන ලංකාවේ නාගරික මැද පංතිය නොදකින ‘තිත්ත ඇත්ත’

Spread the love

දැන් බරපතලම ප්‍රශ්නය වන්නේ වාර්ගික ගැටුම් හා මර්දනය, ග්‍රාමීය බහුතර දුප්පත්කම සහ නාගරික දුප්පත්කම හා අපරාධ පිරි එවැනි චීනයක් ලොව බලසම්පන්න පොහොසත් රාජ්‍යයක් ලෙස දුප්පත් රටවල ආයෝජන කරන්නේ කෙසේද යන්න පමණක් නොව, එමගින් චීනය ඇත්තටම බලසම්පන්න යැයි අර්ථ ගැන්වෙන්නේ කාගේ බලයක් ගැනද? යන්නය.

පොතක් ලිවිය යුත්තක් පිටුවකට දෙකකට කෙටි කරන විට එය ලිවිය හැක්කේ මෙලෙසිනි. චීනය ගැන අපේ සමාජයේ ඇත්තේ එය ඉතා දියුණු, සශ්‍රීක හා ස්වයංපෝෂිත රටක් යැයි පිළිගැනුමකි. එය ඉතාම වැරදි තේරුම් ගැනීමකි.

නාගරික මැදපංතියෙහි මේ වැරදි පිළිගැනුම නිරුවත්ව ප්‍රදර්ශනය වන්නට වූයේ “කොළඹ වරාය නගරය විශේෂ ආර්ථික කලාපය” ස්ථාපිත කිරීමේ පනත ගැසට්කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමගය. කොළඹ වරාය නගරය වෙනුවෙන් පෙනී සිටින කොළඹ මැදපංතික වියතුන් හා වෘත්තිකයින් ඉදිරිපත් කරන එක් ප්‍රධාන තර්කයක් වන්නේ චීනය එලෙස දියුණු වූයේ ඔවුන් සෘජු විදේශ ආයෝජන සඳහා ඔවුන්ගේ ආර්ථිකය විවෘත කිරීම නිසා යැයි කීම ය.

මේ කතාවල ඇත්ත නැත්ත කුමක්ද? මහා බලසම්පන්න චීනය, දුප්පත්කමෙන් මිදුණු ඇත්තටම “දියුණු” නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවට පත්ව තිබේද?

චීනය විශේෂ ආර්ථික කලාපයක් හාහා කියා ආරම්භ කෙරුවේ ඩෙං සියාඕපිං බලයට පැමිණි පසු 1980 දී දකුණු වෙරළබඩ ගුආන්ඩොන් ප්‍රාන්තයෙහි ෂෙන්සෙන් නගරයෙහිය. එතැන් සිට මේ වනවිට, වර්ග සතරක (04) විවෘත ව්‍යාපාරික කලාප චීනය ආරම්භකර ක්‍රියාත්මකව පවත්වා ගන්නේය. ඉන් දහනවයක් (19 ක්) රාජ්‍ය මට්ටමේ නව කලාපයන්ය. සතක් (07) විශේෂ ආර්ථික කලාපයන් ය. තවත් දහයක් (10) නියාමක නිදහස් වෙළඳ කලාපයන් ය. තවත් පහළොවක් (15) විවෘත වෙරළබඩ නගර ය. මේ සියල්ල ඇත්තේ නැගෙනහිර සහ ගිණිකොන වෙරළබඩ ප්‍රාන්තවල ය.

China's poverty line is not as stingy as commentators think | The Economist

ගෝලීය ආර්ථිකය සහ චීන වර්ධනය ගැන විශේෂඥ අධ්‍යනයන්හි නියුතු සෙසිල් බැටිසෙ අන්තර්ජාලයෙහි 2008 ජූලියේ පළකර තිබූ ඇයගේ අධ්‍යන වාර්තාවක ලියා තිබුණේ “වෙළඳපල නිදහස් කිරීමේ වාසිය විශේෂයෙන් ඇත්තේ විවිධාංගීකරණය කෙරුණු කාර්මික යටිතල පහසුකම් ඇති වෙරළබඩ ප්‍රාන්ත වලටය. එමගින් වෙරළබඩ සහ අභ්‍යන්තර ප්‍රදේශ අතර දැනටත් පවතින කැපී පෙනෙන විෂමතා තවදුරටත් පුළුල්වනු ඇත.” යැයි කියා ය. (චීන ඉදිරි දර්ශන : නිෂ්පාදන කර්මාන්ත ස්ථානගත කිරීම සහ අවකාශයන්හි අසමතුලිතතා) ඊට අමතරව සෘජු විදේශ ආයෝජන වලින් සියයට 90 ක් පමණ ගොනුව ඇත්තේ විශේෂයෙන් ගුආන්ඩොන්, ෆුජියාන්, ජියාංසූ සහ ෂැංහායි වැනි වෙරළබඩ ප්‍රාන්තවල යැයිද ඇය සටහන්කර තිබුණි. ඉන් තේරුම්ගත හැකි ප්‍රධානම කාරණාව නම්, චීනයේ ආර්ථික වර්ධනය වෙරළබඩ ප්‍රාන්ත කිහිපයකට පමණක් සීමාවන බවය.

ජාතික නිෂ්පාදනයෙහි ප්‍රාන්ත සතු දායකත්වය සැළකීමෙහිදී චීනයේ දුප්පත්කම ව්‍යාප්තව ඇති ආකාරය තව දුරටත් දකින්නට හැකිය. චීනයේ දළ ජාතික නිෂ්පාදනයෙහි ජාතික ඒක පුද්ගල අගය කොරෝනාවට පෙර 2019 දී වූයේ යුආන් 70,892 කි. ඒ වසරේ බෙයිජීන්හී එය ජාතික අගය මෙන් දෙගුණයකටත් වඩා වැඩි යුආන් 1,64,220 ක් විය. ෂැංහායිහි එය එළෙසින්ම යුආන් 1,57,279 ක් විය. කාර්මීකරණය වූ අනෙක් වෙරළබඩ ප්‍රාන්තවන ජියාංසූහි 1,23,607 ක්ද, සෙජියාංහි 1,07,624 ක්ද,  ෆුජියාන්හි 1,07,139 ක්ද, ගුආන්ඩොන්හි 94,172 ක්ද, ටියාන්ජින්හි 90,371 ක්ද විය. ඒ හැම ප්‍රාන්තයකම දළ ජාතික නිෂ්පාදනයෙහි ඒක පුද්ගල අගය ජාතික අගයට වඩා සැළකිය යුතු ඉහළ අගයක් පෙන්වන්නාහ.

එහෙත් චීනයේ මධ්‍යම හා බටහිර ඇතැම් දුප්පත් ප්‍රාන්තවල එම අගයන් ඔවුන්ගේ ජාතික අගයෙහි අඩක්වත් නොවන තරම් ය. බොහෝ අය අසාවත් නැති එවැනි ප්‍රාන්තවන ගන්සුහි එය 32,995 ක් වන අතර, හෙයිලොන්ජියාන්හි 36,183 ක්ද, ගුආන්සිහි 42,964 ක්ද, ජිලින්හි 43,475 ක්ද සහ ෂැන්සිහි යුආන් 45,724 ක්ද වන්නේය.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලට අනුව 2017 වන විටද ග්‍රාමීය දුප්පත් ජනතාවගෙන් සියයට 53.6 ක් සිටියේ චීනයේ බටහිර ප්‍රාන්ත කිහිපයේය. ඉන් මිලියන 03 ට ආසන්න සංඛ්‍යාවක් විසූයේ ගුයිසූ ප්‍රාන්තයෙහිය.

මේ සම්බන්ධ සෙසිල් බැටිසෙ ගේ අදහස වන්නේ, නිෂ්පාදන යටිතල පහසුකම් නවීකරණය කෙරෙන වෙරළබඩ චීනය හා අති පරණ ව්‍යුහ නඩත්තු කෙරෙන රට අභ්‍යන්තරය අතර ආදායම් තුලනය කිරීමට, බෙදාහැරීම් හා සමාජ බැර කිරීම් සම්බන්ධ ප්‍රතිපත්තිමය මැදිහත්වීම් ප්‍රමාණවත් නොවන බවය.

ඒ කෙසේ වෙතත් චීන දුප්පත්කම බහුලව ඇති ප්‍රාන්ත බොහෝමයක් චීන සුළුතර ජන කොටස් බහුතරව ඉන්නා ප්‍රාන්ත ය. එවැනි සුළුතර ජන කොටස් ප්‍රධාන වශයෙන් 56 කි. ඉන් බෞද්ධ තිබෙත් ජාතියද මුස්ලිම් උයිගුර් ජාතියද විශාල මර්දනයන්ට හසුව ඉන්නා ජන වාර්ගයන්ය.

තිබෙත් ප්‍රාන්තය 1950 වන තෙක් හිමාලයානු කඳුකරයේ වූ ඔවුන්ගේම සංස්කෘතික අනන්‍යතාවක් සහිත මහායාන හා වජ්‍රයාන බෞද්ධාගමික ස්වාධීන රාජ්‍යයක් විය. 1950 සිට දසකයකට ආසන්න කාලයක් චීන ආක්‍රමණ වලට එරෙහිව කැරළි ගැසීමෙන් පසු චීන ආණ්ඩුව විසින් 1959 දී තිබෙතය පූර්ණ වශයෙන් ඔවුන්ගේ පාලනයට ඈඳා ගනු ලැබුවේය. මිලියන 06 ක් පමණ වන තිබෙත් ජනගහනයෙන් මිලියන 1.2 ක් මේ වන විට ඝාතනය කර ඇතැයි චෝදනා ඇත. තිබෙත් මානව හිමිකම් ක්‍රියාධරයින්ට අනුව චීන ආණ්ඩුව තිබෙත් කැලෑ ප්‍රමාණයෙන් සියයට 40 ට වැඩි ප්‍රමාණයක් දැව සඳහා හෙළිකර ඇත. මේ වනවිට ඩොලර බිලියන 54 ක පමණ දැව කපා ගෙන ඇත. එවගේම තිබෙත් බෞද්ධ ආශ්‍රම 6,000 ක් පමණ චීන හමුදා විසින් විනාශකර ඇතැයි වාර්තා වන්නේය. හමුදා පාලනයක් යටතේ චීන හන් ජාතික බහුතරයගෙන් තිබෙතය ජනාවාස කිරීම නිසා තිබෙත් ජාතිකයින් ඔවුන්ගේම භූමියෙහි සුළුතර ජන වර්ගයක් බවට පත්ව, දරුණු මර්දනයකට මුහුණ දෙන්නාහ.

ආසියාවේ “හරි මැද” යැයි සැළකෙන චීනයේ සින්ජියැං ප්‍රාන්තය රටවල් 07 ට මායිම් වන්නකි. එහි බහුතර ජාතිකයින්වන මුස්ලිම් උයිගුර් ජාතිකයින් මිලියන 12.8 ක් වෙසෙති. ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතාව දියකර හැරෙන අයුරු චීන “හන්” ජාතිකයින් සඳහා වැඩි වැඩියෙන් අවස්ථා ලබා දෙන්නේ යැයි ආරම්භ වූ විරෝධතා මුස්ලිම් අන්තවාදී නැගිටීම් යැයි බෙයිජිං ආණ්ඩුව 2009 දී තීන්දු කළේය. එතැන් සිට උග්‍රවූ ගැටුම් සමග මේ වනවිට මුස්ලිම් උයිගුර් ජාතිකයින් මිලියනයකට වඩා චීන ආණ්ඩුව “ප්‍රති අධ්‍යාපන කඳවුරු” යැයි හඳුන්වන වධ කඳවුරුවල රඳවා ඇතැයි එක්සත් ජාතීන්ගේ 2018 මානව හිමිකම් කොමිසම් වාර්තාවක ඇත. තවත් මානව හිමිකම් සංවිධානයක වාර්තා අනුව එවැනි කඳවුරු 380 ක් 2019 ආරම්භයේ තිබිණ. ඒවායේ උයිගුර් ජාතික කාන්තාවන් ලිංගික හිංසන හා සමූහ වශයෙන් දූෂණය කිරීමටත් බලහත්කාරයෙන් වඳ සැත්කම් වලටත් බඳුන් වන්නේ යැයි සාක්ෂි ඉදිරිපත්කර ඇත. සින්ජියැං ප්‍රාන්තය විශාල වශයෙන් කපු වගා කෙරෙන ප්‍රාන්තයක් හෙයින් එම කඳවුරු අතරින් 200 ට ආසන්න සංඛ්‍යාවක කපු කර්මාන්ත හල් පිහිටුවා උයිගුර් ජාතික රැඳවියන් වහල් සේවාවේ යොදවා ඇතැයිද වාර්තා වේ.

චීනයේ ආගම්වාදී වාර්ගික මර්දනය සමග සීඝ්‍රයෙන් වර්ධනය වන දියුණු වෙරළබඩ නාගරික ප්‍රදේශ වලද දුප්පත්කම වර්ධනය වන්නකි. එයට හේතු ලෙස දැක්වෙන්නේ, දුප්පත් ග්‍රාමීය ප්‍රාන්තවල තරුණ පිරිස් විශාල වශයෙන් රැකියා සොයා වෙරළබඩ ප්‍රාන්ත වෙත සංක්‍රමණය වීමය. එවගේම එවැනි සංක්‍රමණයකට හේතු වූ සාධකද ඇත. තනි දරුවකුට තිබූ දැඩි සීමාව 1980 වන විට ලිහිල්වීම නිසා 2000 වන විට ග්‍රාමීය තරුණ ශ්‍රමික සංඛ්‍යා වැඩි වීමත් ඒ සමග දුප්පත් ප්‍රාන්තවල ඉඩම් හිඟයක් වර්ධනය වීමත් විය. දෙවැන්න 1950 ගණන්වල තම උපන් ප්‍රදේශයෙන් පිටව යෑමට එරෙහිව පනවා තිබූ “හුකෝඋ” නීති, 1980 දසකයේ ආර්ථික ප්‍රතිසංස්කරණ සමග අත හැරීම විය. අනෙක් අතට නැගෙනහිර වෙරළබඩ ප්‍රාන්ත වෙත සෘජු විදේශ ආයෝජන පැමිණීමත් සමග නිෂ්පාදන කර්මාන්ත සඳහා විශාල ලාභ ශ්‍රමයක් අවශ්‍ය වීමය.

ඒ සඳහා සංක්‍රමණය වූ තරුණ පරම්පරා දෙකකි. ඩෙං සියාඕපිංගේ ප්‍රතිසංස්කරණ සමග 1980 න් පසු උපත ලද පරම්පරාව එකකි. දෙවැන්න, ඒ ප්‍රතිසංස්කරණ සමාජ ආකල්ප හා ව්‍යුහයන්ට බලපාන්නට පටන් ගත් පසු 1990 න් පසු උපත ලද පරම්පරාව ය. මේ පරම්පරා හඳුන්වනු ලබන්නේ තාරුණ්‍යයේ “නව පරම්රා“ ලෙසින්ය. ‘80 න් පසු පරම්පරාවේ සංක්‍රමණික වයස අවුරුදු 21.1 ක් වූ අතර, ‘90 න් පසු පරම්පරාවේ සංක්‍රමණික වයස අවුරුදු 17.4 ක් වන බව “ජාතික සංඛ්‍යාලේඛන බියුරෝවේ” වාර්තාවක ඇත. මේ හේතු නිසා චීන වෙරළබඩ ප්‍රාන්තවල නාගරීකරණය වේගවත් වූයේ ශ්‍රම වෙළඳපලෙහි ප්‍රසාරණයත් දෛනික වැටුප පහත වැටීමත් සමගය. එවගේම වැටුප් ලබන සංඛ්‍යාවන්හි වැඩිවීමක් සහිත විධිමත් ආර්ථිකයක් මේ නැගෙනහිර වෙරළබඩ ප්‍රාන්තවල වර්ධනය වූවාට වඩා වේගයෙන් ස්ථිර ආදායම් නොමැති අවිධිමත් ආර්ථිකයක්ද හැදින. ඒ හේතුවෙන් නාගරික පාරිභෝගිකයින් එක පිම්මේ වැඩි වූ නමුත්, ඔවුන්ගෙන් බහුතරය දුප්පතුන් හා “ආසන්න” දුප්පතුන් වූහ.

ඒ පරිවර්තන ගැන ට්සිංහුආ විශ්ව විද්‍යාලයයේ දේශපාලන විද්‍යා අංශයේ විශ්‍රාමික දේශකයෙකුවන වූ කියෑං කියන්නේ “චීනයේ දුප්පත් පොහොසත් බෙදිල්ල ඉතිහාසයේ නොවූ විරූ මට්ටමකට වෙළඳපල ආර්ථිකයෙහි වර්ධනය වෙලා තියෙන්නේ” යැයි කියා ය. මේ වර්ධනයවන නාගරික දුප්පත්කම සමග අපරාධද වැඩි වන්නේ යැයි සඳහන් වන්නේය. “සංක්‍රමණික ප්‍රතිපත්ති ආයතනයෙහි” 2012 සිදු කෙරුණු “චීනයේ ග්‍රාමීය-නාගරික සංක්‍රමණික නව පරම්පරා : පෙළඹවීම් හා සංක්‍රමණික රටා” නම් වූ පර්යේෂණයට හවුල් වූ සියාඕහූ චූ ඔහුගේ ලිපියක සටහන්කර තිබූයේ “තරුණ සංක්‍රමණිකයින් අපරාධ වලට හවුල් වීමේ වැඩි ඉඩක්, අවදානමක් ඇත. නිදසුනක් ලෙස, 2010 දී නාගරික අපරාධ වලින් තුනෙන් පංගුවකට පමණ කොයි ආකාරයෙන් හෝ තරුණ සංක්‍රමණික සම්බන්ධයක් ඇතැයි ගණන් බලා තිබුණි” යනුවෙනි.

දැන් බරපතලම ප්‍රශ්නය වන්නේ වාර්ගික ගැටුම් හා මර්දනය, ග්‍රාමීය බහුතර දුප්පත්කම සහ නාගරික දුප්පත්කම හා අපරාධ පිරි එවැනි චීනයක් ලොව බලසම්පන්න පොහොසත් රාජ්‍යයක් ලෙස දුප්පත් රටවල ආයෝජන කරන්නේ කෙසේද යන්න පමණක් නොව, එමගින් චීනය ඇත්තටම බලසම්පන්න යැයි අර්ථ ගැන්වෙන්නේ කාගේ බලයක් ගැනද? යන්නය.

එයට වසර 40 ක පමණ ඉතිහාසයක් ඇත. මාඕ සෙඩොංගේ රතු චීනයේ ගමන් මග වෙනස් වන්නේ ඩෙං සියාඕපිං බලය ගත් පසු 1979 න් පසුවය. ඔහු චීනයේ සිදු කළ වෙනස, ගොර්බචෙෆ් සෝවියට් දේශයේ සිදු කරන්නට අත ගැසූ ආර්ථික “පෙරෙස්ත්‍රොයිකා” (ප්‍රතිව්‍යුහගත කිරීම්) වේගවත් හා ප්‍රමාණවත් නොවන විට කොමියුනිස්ට් පක්ෂය හා ආණ්ඩු පාලනය ප්‍රජාතන්ත්‍රීය කිරීමේ “ග්ලස්නොස්ට්” වලට වඩා හාත්පසින් වෙනස් විය. ඩෙං සියාඕපිං අවුරුදු 30 ට ආසන්න වූ මාඕවාදී කොමියුනිස්ට් උරුමයන් දෙකෙන් “ආර්ථික උරුමය” ප්‍රතිපත්තිමය වශයෙන් බැහැර කෙරුවේ, ගෝලීය වෙළඳපල ආයෝජන හා නිෂ්පාදන වෙනුවෙන් ආර්ථිකය විවෘත කරන්නට ය. එහෙත් මාඕගේ අනෙක් දේශපාලන උරුමය වූ කොමියුනිස්ට් පක්ෂය ඔහු දැඩිව සියතට ගත්තේය. ඒ අනුව චීන කොමියුනිස්ට් පක්ෂය ඔවුන්ගේ වෙළඳපල ආර්ථිකයෙහි පැළපදියම් කෙරුණේ බටහිර යුරෝපයේ බහුජාතික සමාගම් ඉටු කළ කාර්ය, වඩා සංවිධානාත්මකව සහ සෘජු ආණ්ඩු බලය අත ඇතිව ය.

තනි පක්ෂ පාලනයක් යටතේ චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන බියුරෝව රටේ ආණ්ඩුව විය. රට පුරා පක්ෂ ශාඛා සහ පක්ෂයේ වෘත්තීය සමිති වලට, අප සාමාන්‍යයෙන් කතා කරන “සිවිල් සමාජ” වගකීම් හා ජනමතය හැසිරවීම පූර්ණ ලෙස බාර දී ඇත. චීනයේ පූර්ණ බලය සතු පක්ෂයේ දේශපාලන බියුරෝව විසින් තෝරා පත් කෙරෙන මධ්‍යම කාරක සභාවත් රටට ලෝකෙට පෙනුමට පත් කර ගන්නා නියෝජිතයින් 3,000 ක් පමණ ඉන්නා මහජන නියෝජිත මණ්ඩලයත් මගින් කෙරෙන්නේ දේශපාලන බියුරෝව ගන්නා සියලු තීන්දු යළි අනුමත කිරීම පමණි. මේ ආණ්ඩු පාලනයෙහි එබැවින් චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් වෙළඳපල ආර්ථිකයේ සියලු ප්‍රතිලාභ තීන්දු කරනවා පමණක් නොව, ඒ වෙනුවෙන් පිහිටුවා ඇති පෞද්ගලික සමාගම් සියල්ලෙහි හිමිකාරිත්වයද තබා ගෙන ඇත.

කෙටියෙන් කිවහොත් චීන ආර්ථිකයෙහි දේශීය හා විදේශීය සියලු කොන්ත්‍රාත් සහ ව්‍යාපාර කටයුතු කෙරෙන්නේ ඒ වෙනුවෙන් පිහිටුවා ඇති පෞද්ගලික සමාගම් හරහා කොමියුනිස්ට් පක්ෂයේ නායක මඬුළු මගින්ය. කෝවිඩ් වසංගතය නොතකා ඒවාට සම්බන්ධ ඩොලර කෝටිපති පුද්ගලයින් 2,398 ක් දක්වා 2020 අගෝස්තු වනවිට ඉහළ ගොස් ඇතැයි චීන යෝධ ව්‍යාපාර නිරීක්ෂණයේ යෙදෙන “හූරු” නිරීක්ෂකයින් ඉකුත් ඔක්තෝම්බරයේදී ප්‍රකාශ කළහ. ඔවුන්ට අනුව, මේ ඩොලර කෝටිපතියන්ගේ ඒකාබද්ධ වත්කම ඩොලර ටිරලියන 04 කි. එය ජර්මනියේ දළ දේශීය වත්කමට සමාන ය.

මෙය අවසන් කරන්නට එනිසා කිව යුත්තේ චීනයේ ආණ්ඩු පත් කිරීමට තබා ප්‍රාන්ත පාලනයක් තෝරා ගැනීමටවත් අයිතියක් නැති චීන පුරවැසියන්ට රටේ වත්කම් වලට හෝ ඒවා පාලනය කරන රාජ්‍යයට කිසිදු අයිතියක් සම්බන්ධයක් නැත කියා ය. කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ නිලධර පැලැන්තිය විසින් නඩත්තු කෙරෙන චීන රාජ්‍ය මේ ඩොලර කෝටිපතියන්ගේ රාජ්‍යයක් මිස චීන ජනතාවගේ රාජ්‍යයක් නොවන බවය. අප චීනයේ පොහොසත්කම හා බලසම්පන්නකම ගැන කතා කරන්නේ මේ ව්‍යාපාරික කොමියුනිස්ට් පක්ෂ නායක පැලැන්තියේ පොහොසත්කම හා බලය ගැන මිස චීන ජනතාවට හිමි කිසිවක් ගැන නොවේ.                 

කුසල් පෙරේරා

Related Posts