ගාල්ලේ එන්නත් හොරා කෑ ‘සියලු දෙනාටම එරෙහිව නිරෝධාන නීතිය‘ ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීමක්

Spread the love

අද (08) දින පෙරවරුවේ ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ පැවති ඇස්ට්‍රාසෙනිකා කොවිෂිල්ඩ් එන්නතේ 2වන මාත්‍රාව එන්නත් කිරීමේ වැඩසටහනේදී පිට පළාත්වලින් (ප්‍රදේශවාසීන් කියන ආකාරයට කොළඹින්) පැමිණි විශාල පිරිසක් එනන්ත් ලබා ගැනීම මහත් ආන්දෝලනයක් ඇතිකර තිබෙනවා.

පළාත් අතර දැඩි සංචරණ සීමා පනවා ඇති අවස්ථාවක සිදු වූ මේ අවභාවිතය ගැන සමාජමාධ්‍යවල මේ පිළිබද දැඩි විවේචන පළ වන අතර මේ සම්බන්ධයෙන් විෂයභාර රාජ්‍ය ඇමැති චන්න ජයසුමන මහතාට අද පාර්ලිමේන්තුවේ පැවැති රටේ වත්මන් තත්ත්වය පිළිබද සභාව කල් තැබීමේ විවාදයේදී උත්තර බැදීමට ද සිදු වුණා.

ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ තමන් බලා සිටියදීම පිටපළාත්වලින් පැමිණි පිරිස් එන්නත ලබා ගත් බවයි.

ප්‍රදේශවාසීන් කරන මෙම බරපතළ චෝදනාව සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රියන්ත ජීවරත්න මහතාගෙන් මාධ්‍යවේදීන් කළ විමසුමකදි ඔහු ප්‍රකාශ කර ඇත්තේ කොවිෂිල්ඩ් එන්නත ලැබුණේ ලංකාවේ ජනතාවට එන්නත කිරීමට බවත් එනිසා කොහෙන් ආවත් එන්නත ලබා දෙන බවයි.

‘‘ දැන් බොහෝ ප්‍රදේශවල දෙවන මාත්‍රාව ඉවරයි. නමුත් අප කළමනාකරණය කරගෙන එන්නත් කළ නිසා ඉතිරිව තිබෙනවා. එම නිසා කොහොන් ආවත් එන්නත් ලබා දෙනවා‘‘ යැයි ඔහු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා.

ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රියන්ත ජීවරත්න මහතාගේ මෙම ප්‍රකාශය බොහෝ පිරිසක් පිළිකුලෙන් හෙළා දුටු අතර එය නින්දිත ප්‍රකාශයක්, වගකීම් විරහිත ප්‍රකාශයක් ආදි වශයෙන් විවේචනයට ලක් වුණා.

මේ අතර අද (8) පාර්ලිමේන්තුවේදී විපක්ෂය මේ ගැන රාජ්‍ය ඇමැති චන්න ජයසුමන මහතාගෙන් දැඩිව ප්‍රශ්න කළා. එහිදී රාජ්‍ය ඇමතිවරයා කියා සිටියේ පළාත් අතර දැඩිව ක්‍රියාත්මක වන සංචරණ නීති කඩකරමින් ගාලු ප්‍රදේශයට ගිය බස්නාහිර පළාතේ පිරිසකට අස්ට්‍රාසෙනිකා එන්නත් ලබා දෙන ලදැයි කියන සිද්ධියට වගකිවයුතු සියලු නිලධාරීන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

‘‘ අද පෙරවරුවේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංවිධානය කර තිබූ එන්නත්කරණ වැඩසටහනේදී සිදු වූ බව කියන මේ සිදුවීම දැන ගත් වහාම සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි වැටලීම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා ගාලු ප්‍රදේශයට පිටත්කර යැවීමට පියවර ගෙන තිබෙනවා. එම විමර්ශන කණ්ඩායම එම විමර්ශන දැනටමත් අරඹා තිබෙනවා. විමර්ශන වාර්තාව ලැබුණු පසු අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා‘‘

එහෙත් රාජ්‍ය ඇමැතිවරයාගේ ප්‍රකාශය ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝ දෙනෙක් දක්වන්නේ අප්‍රසාදයක්. ඔවුන් පෙන්වා දෙන්නේ මීට පෙර පිළියන්දල අගුළු දැමීමේ සිදුවීමේදී ඇමැති ගාමිණි ලොකුගේ මහතා ක්‍රියාකළ ආකාරය ගැන සෙවීමට ද මෙවැනි නිලධාරීන් පිටත්කර යැවූ නමුත් සිදු වූ දෙයක් නැති බවයි. මොරටුව, කුරුණෑගල ආදි සිදුවීම් ගැන ද ඔවුන් සිය අවධානය යොමු කර තිබෙනවා. ඔවුන් දැඩිව අවධාරණය කරන්නේ මෙවැනි අත්තනෝමතික ක්‍රියා ඉදිරියේදී නතර කිරීමට නම් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රියන්ත ජීවරත්න මහතාට එරෙහිව දැඩි විනය පියවර ගත යුතු බවයි.

‘‘වගකිව යුතු නිලධාරීන්ගේ මෙවැනි අත්තනෝමතික ක්‍රියා වහාම නතර කළ යුතුයි. රට පුරා එන්නත්කරණ වැඩසටහන් දියත් වන විට මෙවැනි ක්‍රියා තවත් ව්‍යාපත්වීමට ඉඩ තිබෙනවා. එය සමස්ත එන්නත්කරණයට හානියක්. එනිසා ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රියන්ත ජීවරත්න මහතාට එරෙහිව දැඩිව විනය පියවර ගත යුතයි‘‘ මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයෙක් කියා සිටියා.

මේ අතර මේ සිදුවීම ගැන අදහස් දක්වමින් සමාජ ක්‍රියාකාරීන් කිහිප දෙනකු පැවසුවේ කොළඹින් ගොස් අදාළ එන්නත් ලබා ගත් පුද්ගලයින්ට ද එරෙහිව සංචරණ නීති කඩ කිරීම සම්බන්ධයෙන් නඩු පැවරිය යුතු බවයි. ‘‘පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, යුද හමුදාපතිවරයා දිනපතාම මාධ්‍ය ඉදිරියට ඇවිත් සංචරණ නීති කඩ කළ පිරිස් ගැන බයිලා කියනවා. ඉතිං ඇස් පනාපිටම පළාත් අතර සංචරණ නීති කඩකළ පිරිසක් ඉන්නවා. ඔවුන් ගාල්ලට ගිහින් එන්නත් ලබා ගෙන තිබෙනවා. ඒ කියන්නේ පළාත් අතර සංචරණ නීති කඩ කරලා. ඔවුන්ව පහසුවෙන් හදුනා ගන්න පුළුවන්. එක නීතියක් තිබෙනවා නම්, සංචරණ නීති ගැන ඔච්චර උනන්දු නම් අනික් අයට පාඩමක් ඉගෙන ගන්නත් එන්නත ගාල්ලේ එන්නත් හොරා කන්න ගිය කොළඹ ඉහළ පන්තියේ අයට නීතිය ක්‍රියාත්මක කරන්න. මොකද මේ ගිහින් තියෙන්නේ සාමාන්‍ය මිනිස්සු නොමෙයි ඉහළ අය. ඔවුන් තමයි සංචරණ නීතිය බල්ලට දාලා බාල් නටන්නේ‘‘

(ඉහළ ඡායාරූපය සිදුවීමට අදාළ ඡායාරූපයක් නොවේ)

Related Posts