කොවිඩ්-19 එන්නත්කරණයේ ජාත්‍යන්තර අවුල ලිහා ගන්න පුළුවන් වේවිද ?

Spread the love

“එන්නත් මගින් වසංගතයට එරෙහිව විශාල අපේක්ෂාවක් ලබා දෙනවා” ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්රෝස් ඇඩ්හානම් ගෙබ්‍රියේසස් පවසයි.

එම ප්‍රකාශයට ඔහු තවත් දෙයක් එක් කරයි.

“නමුත් ලෝකයම ආරක්ෂා කර ගැනීමට නම් – එන්නත් මිලදී ගැනීමට වත්කම සහිත රටවල ජනතාව පමණක් නොව – සෑම තැනකම අවදානමට ලක්වී සිටින සියලු දෙනා එන්නත් කිරීමට අප වගබලා ගත යුතුයි.”

මෙම වසංගත තත්ත්වයෙන් මිදී සාමාන්‍ය තත්ත්වයට නැවත පියවර තැබීමට එන්නත් මගින් විශාල කාර්යභාරයක් ඉටුවන බව අප දනිමු. එය එසේ වී නමුදු, කෙනෙකුට කෙටි කාලයකින් ළඟා විය හැකි එම ඉලක්කය තවෙකෙකුට දීර්ඝ ගමනක් විය හැකිය.

උදාහරණයක් ලෙස දක්වතොත්, එන්නත් නිකුත් වූ වහාම එහි සැපයුම් අත්පත් කර ගැනීමට ඇතැම් රාජ්‍යයන් සහ දේශපාලන කණ්ඩායම් තරග වදින්නට පටන් ගත්හ. මෙම “එන්නත් ජාතිකවාදය” නිසා දිළිඳු රාජ්‍යයන් පෝලිමේ පසුපසට තල්ලු කෙරිණ.

එමෙන්ම, එන්නත් පිළිබඳව පවතින දෙගිඩියාව, නිෂ්පාදන අවහිරතා සහ සැපයුම් දුෂ්කරතා වැනි බාධක කොවිඩ් 19 එරෙහි අවසාන අභිමතාර්ථය ඉටු කර ගැනීම ඉදිරියේ හරස් වී සිටිති.

මෙම මාර්ග බාධක සැලකිල්ලට ගතහොත්, කොවිඩ් වසංගතයට එරෙහි සටනේ දී මුළු ලෝකයම එන්නත් කිරීමේ වැඩසටහන ඵල දැරීමට තව කොපමණ කාලයක් ගතවිය හැකිද?

එන්නත් බෙදාහැරීම් සිදුවන්නේ කෙසේද?

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්රෝස් ඇඩ්හානම් ගෙබ්‍රියේසස්
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්රෝස් ඇඩ්හානම් ගෙබ්‍රියේසස්

කොරෝනා වසංගතයට එරෙහිව මිනිසුන් එන්නත් කිරීමේ වැඩසටහන බොහෝ රටවල් ආරම්භ කර තිබේ. නමුත්, ඉල්ලුම සහ සැපයුම අතර අසමතුලිතතාවක් පවතී.

මේ වන විට රටවල් 138ක් පුරා එන්නත් මාත්‍රා මිලියන 565ක් ශරීරගත කර හමාරය. Our World in Data (OWID) සපයා ඇති සංඛ්‍යාලේඛන අනුව, මාර්තු 30 වැනිදා දිනය තුළ දී පමණක් දල වශයෙන් මාත්‍රා මිලියන 13.9ක් එන්නත් කර තිබේ.

සමස්ත සංඛ්‍යාව ගත් කළ එය විශාල ප්‍රමාණයක් සේ දැනෙන්නට පුළුවන. නමුත් බිලියන 7.8කට ආසන්න වූ ලෝක මිනිස් ගහනය සලකා බලන විට මෙම ප්‍රමාණය සෑහෙන්නේ පෘථිවිය මත සිටින මානව සංහතියෙන් 7.2%කට පමණි. එයද පළමු මාත්‍රාව සඳහා පමණි.

දැනට පවතින වේගයෙන් එන්නත් කිරීමේ වැඩසටහන් දිගටම දියත් වුවහොත් මුළු ලෝකයම එන්නත් කර හමාර වීමට තවත් වසර තුනකට අධික කාලයක් ගතවනු ඇත. දැනට පවතින එන්නත් සියල්ලම පූර්ණ ක්‍රියාකාරිත්වයට පත් වීමට නම් සෑම පුද්ගලයෙකුටම මාත්‍රා දෙකක් බැගින් ලබා දිය යුතු බව විශේෂයෙන් ම සිහි තබා ගත යුතුය.

The Economist Intelligence Unit (EIU) විශ්වාස කරන්නේ, දියුණු ආර්ථිකයක් සහිත රටවල සිටින වැඩිහිටි පරම්පරාව සම්පුර්ණයෙන් එන්නත් කිරීම 2022 වසරේ මැද භාගය වනවිට හමාර කළ හැකිවනු ඇති බවය.

මැදි ආදායම් සහිත රටවලට මෙම ඉලක්කය සපුරා ගත හැකිවන්නේ 2022 අග භාගයේ හෝ 2023 මුල් භාගයේදී ය. ලොව දිළිඳු රටවල් 2024 තෙක් බලා සිටිය යුතු වේ. එය ද සපුරා ගත හැකි වන්නේ එම රටවල මහා පරිමාණයෙන් එන්නත් වැඩසටහන් දියත් කිරීමක් සිදු වුවහොත් පමණි.

භාවිත කරමින් පවතින්නේ කුමන එන්නත් ද?

Queues at a vaccine centre in Kuwait
කෙනෙකුට කෙටි කාලයකින් ළඟා විය හැකි එම ඉලක්කය තවෙකෙකුට දීර්ඝ ගමනක් විය හැකිය

මුලින් ම අනුමැතිය ලැබුණේ Pfizer-BioNTech එන්නතට ය. ඊට මුල්ම අනුමැතිය හිමි වූයේ එක්සත් රාජධානියෙනි. ඒ පසුගිය දෙසැම්බර් 2වැනිදා ය. අනතුරුව එක්සත් ජනපදය, යුරෝපා හවුල සහ ලෝක සෞඛ්‍ය සංවිධානය ඊට අනුමැතිය ලබා දුන්හ.

ඉන් පසුව තවත් එන්නත් වර්ග කීපයක් අනුමත විය. එක්සත් ජනපදයේ නිෂ්පාදිත Moderna, එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් සරසවිය සංවර්ධනය කළ AstraZeneca, චීනය නිපදවූ එන්නත් දෙකක් වන Sinopharm සහ Sinovac මෙන්ම රුසියාවේ නිෂ්පාදිත Sputnik V මෙසේ අනුමැතිය ලද එන්නත් අතර විය.

තවත් එන්නත් දෙකක සායනික අත්හදා බැලීම් පිළිබඳ වාර්තා මෑතකදී ඉදිරිපත් වුණි. ඒ Janssen සහ Novavax ය. එම සායනික වාර්තා ඖෂධ නියාමන අධිකාරීන් විසින් මේ වන විට සමාලෝචනය කරනු ලබමින් පවතී.

රෝග ව්‍යාප්තිය, රෝහල්ගත කෙරෙන රෝගීන්ගේ ප්‍රමාණය සහ කොවිඩ් මරණ සංඛ්‍යාව එන්නත් ලබා දීම මගින් අඩු වන බවට එක්සත් රාජධානිය සහ ඊශ්‍රායලය වැනි රටවලින් බලාපොරොත්තු තැබිය හැකි යහපත් ලකුණු පළවී තිබේ.

තවත් එන්නත් වර්ග 200කට අධික ප්‍රමාණයක් ලොව පුරා තවමත් සායනික අත්හදා බැලීම් සිදු කරමින් සිටී. එම එන්නත් ප්‍රමාණය අනුමැතිය ලබා නිෂ්පාදන ක්‍රියාවලියට පිවිසුනහොත් ලෝකය එන්නත් කිරීමේ වැඩසටහන් අතිශයින් වේගවත් වනු ඇත.

නමුත්, එන්නත් නිර්මාණය කිරීම සඳහා දැරූ උත්සාහය පෙර නොවූ විරූ මට්ටමකින් සිදු වුවද, වාර්තාගත කාල පරාසයක දී අනුමත වී නිෂ්පාදනය වුවද ඒවා ලොව පුරා දියත් කිරීම විවිධ බාධක නිසා අතිශය අසමතුලිත මට්ටමකින් සිදුවෙමින් පවතී.

“එන්නත් ජාතිකවාදය” යනු කුමක් ද?

Queue outside vaccine centre in Nice, France
”මෙය සදාචාරයටත් එහා ගිය කාරණයක්. එය විද්‍යාත්මක සහ ආර්ථිකමය අවශ්‍යතාවයක්”

“එන්නත් ජාතිකවාදය” යන යෙදුම භාවිත වන්නේ, එන්නත් සැපයුම අනුන්ගේ වියදමින් තම ජනතාව වෙනුවෙන් වෙන් කරවා ගැනීම සඳහා ජාතික ආණ්ඩු කෑදර සහ අසාධාරණ ලෙස ක්‍රියා කිරීම හැඳින්වීමට ය.

ඖෂධ නිෂ්පාදනය කරන රටවල් සමඟ ද්විපාර්ශවික ගිවිසුම් ඇති කර ගනිමින් තමන්ට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා අතිශයින් වැඩි එන්නත් තොග මිලදී ගැනීමට බොහෝ ධනවත් රාජ්‍යයන් පෙළඹී ඇත.

උදාහරණයක් ලෙස දක්වතොත්, මාත්‍රා දෙකම ලබා දීම සඳහා තම රටට අවශ්‍ය ප්‍රමාණය මෙන් පස් ගුණයක එන්නත් ප්‍රමාණයක් කැනඩාව ඇනවුම් කර තිබේ. ඊට අමතරව එක්සත් ජනපදයේ ඉතිරිවන AstraZeneca එන්නත් තොගයෙන් කොටසක් ද කැනඩාවට ලබා දීමට නියමිතය.

එක්සත් රාජධානිය ද එන්නත් ගොඩගසා ගන්නා බවට චෝදනා එල්ල වී ඇත. රටට අවශ්‍ය ප්‍රමාණයට වඩා දෙගුණයක එන්නත් ප්‍රමාණයක් සඳහා එක්සත් රාජධානියට ප්‍රවේශය පවතින බව Wellcome සංවිධානයේ අධ්‍යක්‍ෂ ජෙරමි ෆරාර් පවසයි.

“අපේ දේශ සීමාවෙන් එහා පිළිබඳවත් හිතන්නට අප පටන් ගත යුතුයි. මෙතරම් මාත්‍රා ගණනක් එක්සත් රාජධානිය තුළ භාවිතා කෙරෙන්නේ නැහැ. ගෝලීය වශයෙන් එන්නත් අත්‍යවශ්‍යව සිටින අය සමඟ අපි මේවා බෙදා ගැනීම අප ආරම්භ කළ යුතුයි.”

“මෙය සදාචාරයටත් එහා ගිය කාරණයක්. එය විද්‍යාත්මක සහ ආර්ථිකමය අවශ්‍යතාවක්.” ඔහු තවදුරටත් පැවසීය.

තම භූමි කලාපය තුළ නිෂ්පාදනය කෙරෙන එන්නත් සඳහා අපනයන සීමා පැනවීමට යුරෝපා හවුල ද තර්ජනය කරමින් සිටින්නේ තම රටවල ජනතාව එන්නත් කිරීම සඳහා දියත් කර ඇති වැඩසටහන්වලට ද අවශ්‍ය පමණට එන්නත් නොමැතිවීම හේතුවෙනි.

A man in a Canada jacket showing thumbs up at a vaccine centre
තම රටට අවශ්‍ය ප්‍රමාණය මෙන් පස් ගුණයක එන්නත් ප්‍රමාණයක් කැනඩාව ඇනවුම් කර තිබේ

මේ සියල්ලගෙන් ම පෙනී යන්නේ මෙම වටිනා එන්නත් සැපයුම ධනවත් රටවල් අතළොස්සක් තුළ අගුලු දමා ඇති බවය; සාධාරණ ලෙස දිළිඳු රටවල් සමඟ බෙදා ගැනීමට අපොහොසත් වී ඇති බවය.

Gavi නමින් හැඳින්වෙන එන්නත් සන්ධානයේ ප්‍රධාන විධායක නිලධාරී සෙත් බර්ක්ලි පසුගිය සතියේ කියා සිටියේ “2009දී (සූකර උන එන්නත) සිදු වූ ආකාරයටම එන්නත් ජාතිකවාදය දිගටම ක්‍රියාත්මක කරගෙන යාමට ආණ්ඩු ක්‍රියා කළහොත් සහ වැඩිම ලංසුවට පමණක් කොවිඩ් එන්නත ලබා දීමට නිෂ්පාදකයන් පියවර ගතහොත් එයින් සිද්ධ වෙන්නේ මෙම අර්බුදය තවත් දිගු වීම පමණයි,” යනුවෙනි.

“පෝලිමේ අග සිටින සියලුම රටවලට පවා එන්නත් ලබාදීමට පොරොන්දු වුනත්, ඒවා ලොව පුරා බෙදා හැරීම පමා කිරීම නිසා කොරෝනා වෛරසය දිගටම සංසරණය වෙමින්, වෙනත් ප්‍රභේද ඇතිවෙමින් තවත් ශක්තිමත් වෙනවා.”

එන්නත යැවෙන්නේ යා යුතු තැනට ද?

Men in hi-vis jackets dealing with a vaccine delivery
Covax එන්නත මුලින්ම ලැබුනේ ඝානා රාජ්‍යයට ය

ඇතැම් මැදි ආදායම් ලාභී රටවල් සහ බොහෝ අඩු ආදායම් ලාභී රටවල් තම ජනතාවට අවශ්‍ය එන්නත් ලබාදීම සඳහා යැපෙන්නේ එන්නත් සන්ධානය විසින් ලබා දෙනු ලබන Covax එන්නත මතය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත් වීමෙන් එන්නත් මාත්‍රා බිලියන 6ක් දිළිඳු රටවලට ලබාදීමට නියමිතය. ඉන් බිලියන 2ක් 2021 වසර තුළදී ම ලබා දීම ඔවුන්ගේ ඉලක්කයයි.

Gavi එන්නත් සන්ධානය පවසන පරිදි Covax මාත්‍රා මිලියන 79ක් රටවල් 70කට යවා ඇත. එහි අලුත්ම බෙදා හැරීම් ටොන්ගා රාජ්‍යයට සහ ට්‍රිනිඩෑඩ් – ටොබැගෝ වෙත ලැබෙමින් පවතී.

ජන සමූහ වශයෙන් එන්නත් කිරීම සඳහා අප්‍රිකානු රටවලට හැකියාවක් ලැබෙන්නේ අවසානයට ය. ඔවුන්ට යැපෙන්නට සිදුවන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත් වීමෙන් ලබා දෙන එන්නත් මතය.

Covax එන්නත මුලින්ම ලැබුනේ ඝානා රාජ්‍යයට ය. ඒ පසුගිය මාසයේදී ය. නමුත් මිලියන 31ක් වූ ජනගහනයක් සහිත ඝානාවට ලැබුණේ Covax මාත්‍රා ලක්ෂ 6ක් පමණි.

බීබීසී අප්‍රිකානු සේවයේ සෞඛ්‍ය සංස්කාරක ඈන් මවාතේ කියා සිටියේ නිෂ්පාදනයට පෙර ඇනවුම් නොකිරීම හේතුවෙන් එන්නත් සඳහා බටහිර රටවලට වඩා වැඩි මිලක් ගෙවීමට අප්‍රිකානු රටවලට සිදුවිය හැකි බවය.

ඇය තවදුරටත් පැවසුවේ, ලොව පුරා එන්නත් නිෂ්පාදනය වැඩි කිරීම සඳහා පේටන්ට් අයිතිය මුදා හරින ලෙස ඖෂධ සමාගම්වලින් ඇතැමුන් ඉල්ලීමක් කර ඇති බවය. නිෂ්පාදනය වැඩි කරගැනීම මෙන්ම අඩු මුදලකට එන්නත් ලබාගැනීමටද එමගින් අවස්ථාව සැලසෙනු ඇත.

“නමුත් සමාගම් ඊට එකඟ වෙලා නැහැ. ඔවුන් දන්නවා එහෙම වුනොත් ඔවුන්ගේ ලාභය අඩු වෙන බව.”

අලුත් ප්‍රභේදවලට එන්නත ඵලදායී වේද?

A woman dealing with a Covax delivery
බොහෝ අඩු ආදායම් ලාභී රටවල් තම ජනතාවට අවශ්‍ය එන්නත් ලබාදීම සඳහා යැපෙන්නේ එන්නත් සන්ධානය විසින් ලබා දෙනු ලබන Covax එන්නත මතය

වෛරසයේ නව ප්‍රභේද මතුවනු ඇති බවට අපේක්ෂිතය. සෑම වෛරසයක් ම තම පැවැත්ම සහ ව්‍යාප්තිය සඳහා සිය අනුපිටපත් බිහි කිරීමේදී වෙනස්වීම් වලට භාජනය වෙයි. ඉන් නව ප්‍රභේද ඇතිවෙයි.

බොහෝ ප්‍රභේද එතරම් හානිකර නොවේ. නමුත් යම් අවස්ථාවක ඉතා ශක්තිමත් ප්‍රභේදයක් ඇතිවිය හැකිය. එක්සත් රාජධානියෙන්, බ්‍රසීලයෙන් සහ දකුණු අප්‍රිකාවෙන් හමුවූ ප්‍රභේද ඊට උදාහරණ වෙති.

මෙම ප්‍රභේද මගින් රෝගය වඩාත් මාරාන්තික කරන බවට තවමත් සාධක නොමැත. දැනට පවතින එන්නත් කෙටි කාලීනව හෝ ඊට ඵලදායී වනු ඇති බව බොහෝ විශේෂඥයන්ගේ මතය වී තිබේ.

නමුත්, කොවිඩ් 19 පරීක්ෂාවකින් තොරව ලොව පුරා ව්‍යප්තවන්නට ඉඩ සැලසුවහොත් දැනට පවතින එන්නත් වලට අවනත නොවන ප්‍රභේද ඇතිවීමේ අවදානමක් පිළිබඳව අවධානය මතුවී තිබේ. එසේ වුවහොත් දැනට එන්නත් වී සිටින ජනයා වුවද නැවතත් රෝගාතුර විය හැකිය.

එවැනි අවස්ථාවකදී දැනට පවතින එන්නත් නව ප්‍රභේදයට සරිලන පරිදි සති කීපයකින් හෝ මාස කීපයකින් යළි සංවර්ධනය කළ හැකි බව විශේෂඥයෝ පවසති.

එසේ වුවහොත් නව ප්‍රභේද සඳහා තැනෙන නව එන්නත් වසරක් පාසා ලබා ගැනීමට ජනතාවට සිදුවනු ඇත. සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව සඳහා මේ ආකාරයට එන්නත් ලබා දෙනු ඇත.

එන්නත් පිළිබඳ දෙගිඩියාව කුමක්ද?

A person sits in the waiting area of a vaccination centre in Nuremberg, southern Germany
එන්නත් පිළිබඳ වැඩි දෙගිඩියාවක් පවතින ජර්මනියේ එන්නත් මධ්‍යස්ථානයක්

මුළු ලෝකයම එන්නත් කිරීමේ දී “එන්නත් දෙගිඩියාව” ද විශාල බලපෑමක් සිදු කරනු ඇත.

ඇතැම් ධනවත් රටවලට එන්නත් නොඅඩුව ලැබුණත් ඒ පිළිබඳව පවතින ජන අනවබෝධය හේතුවෙන් ඊට බාධා ඇතිවී තිබේ.

උදාහරණයක් ලෙස, ජපානයේ සහ ප්‍රංශයේ මෑතක දී සිදු කරන ලද මත විමසීමකින් හෙළිවී ඇත්තේ එම රටවල ජනගහනයෙන් අඩක් පමණ එන්නත ලබාගැනීමට අකමැති බවය.

තුන්වන රැල්ලක් අත්විඳිමින් සිටින ජර්මනිය සහ ඉතාලිය සති කීපයකට පසුව AstraZeneca එන්නත ලබා දීම අත්හිටුවීමට පියවර ගත් අතර එහි සුරක්ෂිතභාවය පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීමක් කළෝය.

දියුණු රටවල පවතින මෙම දෙගිඩියාව දිළිඳු රටවලින්ද මතුවිය හැකිය. විශේෂයෙන් ම එන්නත් බෙදා හැරීම පමා වීමේ දී එවැනි දෙගිඩියාවන් මතුවීමේ ඉඩකඩ වැඩි වනු ඇත.

ඇතැම් රටවල – විශේෂයෙන්ම තරුණ ජන විකාශය වැඩි රටවල – රෝගය වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇත්නම් (ජනගහනයෙන් වැඩි පිරිසකට රෝගය වැළඳී ප්‍රතිශක්තිය ඇතිවී තිබෙන බැවින්) හෝ ඊට වැය වන මුදල ඉතා ඉහළ නම් එන්නත ලබා ගැනීම සඳහා වැඩි ඉල්ලුමක් ඇති නොවනු ඇත.

Economist Intelligence ඒකකයේ පුරෝකථන අධ්‍යක්ෂිකා අගතේ ඩෙමාරයිස් කියා සිටියේ “මුළු ලෝකයම එන්නත් කිරීම 2022 අගභාගය සහ 2023 දක්වා ඇදී යනු ඇති අතර සංවර්ධනය වෙමින් පවතින ඇතැම් රටවල් එන්නත් ලබාගැනීම ප්‍රතික්ෂේප කිරීමට හැකියාවක් පවතින හෙයින් අවදානම ඉහළ යනු ඇති” බවය.

“එවැනි තත්ත්වයක් ඇති වුණොත් ලෝක ආර්ථිකය යථා තත්වයට පත්වීම තවත් පමා වන අතර වෛරසයේ නව ප්‍රභේද ඇතිවී එන්නත්වලට ඔරොත්තු නොදෙන තත්ත්වයකට පත්වී අපව නැවතත් කලින් පැවති නරක තත්ත්වයටම පත්වෙනවා.”

බොහෝ දෙනෙකු එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කළහොත්, විශේෂඥයන් පවසන පරිදි, මෙම වසංගතය නිමා කිරීම සඳහා පවතින හොඳම අවස්ථාවට එයින් දැඩි බලපෑමක් ඇතිවනු ඇත.

‘සමූහ ප්‍රතිශක්තිය’ (Herd Immunity)

A person in PPE draws the vaccine from a vial into a syringe
කෙසේ නමුත්, මෙම වසංගතය දෙවන වසරටත් පියවර මැන ඇති හෙයින්…

‘සමූහ ප්‍රතිශක්තියට’ ළඟා විය හැක්කේ ජනගහනයෙන් සැලකිය යුතු වැඩි පිරිසකගේ ශරීරයේ අදාළ රෝගයට එරෙහිව සටන් කළ හැකි ප්‍රතිදේහ ඇතිවීමෙන් පසුවය. සාමාන්‍යයෙන් මෙය සිදු වන්නේ එන්නත් කිරීම මගිනි. එවිට එම පිරිස හරහා රෝගය ව්‍යාප්ත නොවීම හේතුවෙන් අනෙක් ජන පිරිස ආරක්ෂා වනු ඇත.

මෙය රෝගයෙන් රෝගයට වෙනස් වෙයි. උදාහරණයක් ලෙස, සරම්ප රෝගය සඳහා ජනගහනයෙන් 95%ක් එන්නත් කළ යුතුය. නමුත් පෝලියෝ සඳහා අවශ්‍ය වන්නේ ජනගහනයෙන් 80%ක් එන්නත් කිරීම ය.

කොවිඩ් 19 අලුත්ම තර්ජනයක් බැවින් ඒ සඳහා සමූහ ප්‍රතිශක්තිය සැපිරීමට අවශ්‍ය වන ප්‍රතිශතය කෙතරම්දැයි තවම නොදනී. නමුත් එය 70%ක් පමණ විය හැකි බවට වසංගත රෝග පිළිබඳ විශේෂඥයෝ විශ්වාස කරති.

කෙසේ නමුත්, මෙම වසංගතය දෙවන වසරටත් පියවර මැන ඇති හෙයින් මෙම ප්‍රතිශත අගය ඉහළට තල්ලු කිරීම සඳහා විශේෂඥයෝ සීරුවෙන් කටයුතු කරමින් සිටිති.

එම අගය පිළිබඳව තිබූ තක්සේරුව කාලයත් සමඟ ක්‍රමයෙන් ඉහළ දමමින් සිටින බව එක්සත් ජනපද ජනාධිපති බයිඩන්ගේ ප්‍රධාන වෛද්‍ය උපදේශක ඇන්තනි ෆවුචි පිළිගත් අතර එය 70% සහ 90% අතර විය හැකි බව ඔහුගේ විශ්වාසයයි.

එන්නතකින් කොවිඩ් 19 මුලින් උපුටා දැමිය හැකිද?

එක්සත් රාජධානියේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ක්‍රිස් විටි වරක් මාධ්‍යයට පවසා තිබුණේ, කොවිඩ් 19 ලොවින් සදහටම තුරන් කිරීමට ඇති සම්භාවිතාව “බින්දුවට ආසන්න බැවින් කිසිදු වෙනසක් නොවන තරම්” බවය.

“අපිට සදහටම තුරන් කරන්න පුළුවන් වුණේ එකම රෝගයයි. ඒ වසූරිය රෝගය. එය කළ හැකි වුනේ ආශ්චර්යමත් ලෙස ඵලදායී වූ එන්නතක් සමඟ ඉතා දීර්ඝ කාලයක් කටයුතු කිරීමෙන්.” මහාචාර්ය ක්‍රිස් විටි තවදුරටත් පැවසීය.

නමුත් ඉන් අදහස් කෙරෙන්නේ එන්නත් කිරීමෙන් පලක් නොවන බව නොවේ. අර්ධ වශයෙන් ජනගහනය එන්නත් කිරීම මගින් වෛරසයේ ව්‍යාප්තිය ඉහළ ගොස් නව වෛරස් ප්‍රභේද ඇතිවන තත්ත්වයක් උදා විය හැකිය.

Young women cheering in the crowd at a music event
ආසාදිතයන් වාර්තාවීම නතර වූ බැවින් 2020 ජුනි මාසයේ දී නවසීලන්තය කොවිඩ් සීමා සම්පුර්ණයෙන් ම පාහේ ඉවත් කළේය

වොෂින්ටන් සරසවියේ ක්‍රිස්ටෝෆර් මරේ සහ සනීපාරක්ෂාව සහ නිවර්තන කලාපීය ඖෂධ පිළිබඳ ලන්ඩන් විද්‍යායතනයේ පීටර් පියෝට් විසින් ලියනු ලැබූ විශ්ලේෂණයකින් අනතුරු අඟවා ඇත්තේ ලොව පුරාම කොවිඩ් එන්නත ලබා දීම අතිශය වේගවත්ව කළ යුතුව පවතින බව පවසමිනි.

“නොනැසී පවත්නා සහ සෘතුමය කොවිඩ් 19 රෝගයක් ඉදිරියේදී ඇතිවීම යථාර්ථයක්.” ඇමරිකානු වෛද්‍ය සම්මේලනයේ සඟරාවට ඔවුන් සැපයූ ලිපියේ සඳහන් වේ. ඔවුන් නිර්දේශ කරන්නේ, කොවිඩ් 19 පාලනය කිරීම සඳහා පළමු පියවර ලෙස මෙම එන්නත් ලබාදීමේ වැඩසටහන් ගෝලීය වශයෙන් අධි වේගයකින් දියත් කළ යුතු බවය.

කොවිඩ් එන්නත් ලබා දීමේ මූලික ඉලක්කය වී ඇත්තේ ජීවිත බේරා ගැනීම වන අතර එමගින් ප්‍රතිශක්තියක් ලබාදීමත් වෛරසය පැතිරීම වලක්වා ගැනීමත් සිදුවන බව ලන්ඩනයේ ඉම්පීරියල් විද්‍යාලයේ වසංගත රෝග අංශයේ ප්‍රධානි, මහාචාර්ය අස්රා ඝානි පැවසුවාය.

ඇය තවදුරටත් කියා සිටියේ, “වෛරසය හඳුනාගෙන වසරක් අවෑමෙන් එන්නතක් සංවර්ධනය කර එය බෙදාහැරීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පෙර නොවූ විරූ තරම්” වන බවය.

මෙම නව වෛරසය පිළිබඳ විද්‍යාත්මක ඥානය ක්‍රමයෙන් පුළුල් වෙමින් පවතින අතර ලොව වටා විද්‍යාඥයෝ ක්‍රියාශීලීව මෙම වෛරසයට එරෙහි එන්නත් පරීක්ෂා කරමින් සහ වැඩි දියුණු කරමින් සිටිති.

“ඒ නිසා අපිට ශුභවාදීව හිතන්න පුළුවන්. වෛරසය සදහටම තුරන් කිරීමට නොහැකි වුනත් මෙම උත්සාහයන් මගින් නැවත සාමාන්‍ය ජනජීවිතයට පැමිණීම සඳහා සෘජු සහ වක්‍ර ආරක්ෂාවක් ලබා ගත හැකි බව මම විශ්වාස කරනවා.” මහාචාර්යවරිය පැවසුවාය.

Text by bbc

Related Posts