කාබනික ගොවිතැන ප්‍රවර්ධනයට ‘e-කෘෂිකර්මාන්තය’ අත්වැලක් කර ගනිමු

කාබනික ගොවිතැන උදෙසා ගොවි ජනතාව නැඹුරු කිරීමට රජය ගන්නා උත්සාහය යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා කෘෂිකාර්ම ව්‍යාප්ති හා සංනිවේදන සේවය උදෙසා අදාල නිළධාරීන්හට e-Agriculture සේවයට අදාළව තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය ව්‍යාප්ති උපදේශන පුහුණුවක් ලබාදීම මෙන්ම ඊට අවැසි අවම මෙවලම් සපයා ගැනීමට රජයට ප්‍රතිපූරණය කරගත හැකි ආකාරයෙන් අරමුදල් සැපයීමද ඉතා වැදගත්වේ.

වර්තමානයේදී අන් කවරදාකටවත් වඩා කාබනික ගොවිතැන ගැන සෑම මාධ්‍යයක් ඔස්සේම කථාබහ කරනු අසන්නට ලැබේ. එයට හිමිකරුවෝද බොහෝය. ඔවූහු අද කාබනික ගොවිතැනේ කෙල පැමිණි බව අගවන්නේ ජනාධිපතිතුමාගේ අවධානය දිනා ගැනීමට බව රහසක් නොවේ.

එහෙත් අතීතයේ සිටම ගෙවතු වගාව, සමෝධානික ගොවිතැන හා ඕවිටිවල වගාව මෙන්ම හේන් ගොවිතැනේ පවා නිරතවූයේ පාරම්පරික දැනුම මත කාබනික හා ජෛව පොහොර සහ ජෛව පළිබෝධනාශක යොදාගනිමින් බව දන්නෝ දනිති.

කෙසේ වුවද රාජ්‍ය යාන්ත්‍රණය ඔස්සේ කාබනික ගොවිතැන සක්‍රීය කිරීමට පෙරාතුවම රට තුළ විවිධ පෙදෙස්වල සමහර ගොවින් මෙන්ම පෞද්ගලික ව්‍යවසායකයින් සහ අර්ධ රාජ්‍ය ආයතන මේ සඳහා නොයෙක් ආකාරයෙන් කටයුතු කරමින් සිටි බව දැන් දැන් රූප මාධ්‍ය ඔස්සේ වාර්තා වෙයි. කුමන ආකාරයෙන් හෝ ගොවිතැන හා සම්බන්ධ ක්‍රියාදාම අර්ථ ගැන්වුවද, විය යුත්තේ වස විස නැති ආහාර බෝග නිෂ්පාදනයක් කරා යොමුවීම බව නොරහසකි.

එසේ වුවද කාලීනව ගොවිතැන් කරන ක්‍රමවේදයන් කෙරෙහි සිදුවන වෙනස්කම් පිළිබඳව ගොවිජනතාව සමග යහපත් වූ කරුණු කාරණා සහ තාක්ෂණික තොරතුරු හුවමාරු කරගැනීමට මෑත අතීතයේ තිබූ පහසුකම් ගිලිහීයාම කනගාටුදායක වේ.

එසේම වර්තමානයේ එවැන්නක සක්‍රීය දායකත්වයක් නොමැතිවීම  පිළිබඳව කිසිවකු අවධානය යොමු නොකිරීම ද කනගාටුදායකවේ. ‘ගොවිකම් දෙපාර්තමේන්තුව‘ ස්ථාපිත කළ දින සිට ගොවියා හා රාජ්‍ය මෙහෙයුම් සමීප කරවීම උදෙසා ඉවහල්වූ ‘කෘෂිකර්ම ව්‍යාප්ති හා සන්නිවේදන සේවාව‘ අකර්මන්‍යකර ඇත්තේ බොහෝ වසර ගණනාවක සිටයි. එබැවින් දේශපාලනීකරණය නොවූ යාවත්කාලීන වන කෘෂි ව්‍යාප්ති හා සන්නිවේදන සේවාවක අවශ්‍යතාවය, තැන තැන කරන ගොවි විරෝධතා වලින්ම ඉස්මතුවේ. එමෙන්ම ගොවිතැනේ සැබෑ ප්‍රගතියක් සහ එහි නිරතවන්නන්ගේ භෞතික වර්ධනයක් අත්පත්කර දිය හැකි සාධනීය එක් මාවතක් ලෙස කෘෂිකර්ම ව්‍යාප්ති හා සංනිවේදන සේවාව පෙන්වා දිය හැකිය.

මේ උදෙසා ලෝකයේ රටවල් ගණනාවක්ම සිය කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ විවිධ  අංශයන්හි කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව ඉහළ නංවා ගැනීමේ ආධාරකයක් ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය උපයෝගීකරගෙන ඇත. ඒ සඳහා ඔවුන් සහාය කරගෙන ඇත්තේ එම රටවල කෘෂිකර්ම ව්‍යාප්ති සේවාවන් Agricultural Extension Service බව සනාථවී තිබේ. ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනයට අනුව ‘කෘෂිකාර්මික උපදේශන සේවා‘ Agricultural counseling  ලෙසින් ද එය හැඳින්වේ.

ඒ අනුව ගෝලීය කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සෑම අංශයක්ම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ විශාල බලපෑමක් අත්විඳින කර්මාන්තයක් බවට දැන් පත්ව ඇතිබව පැවසිය හැකිය.

මෑත වසරවලදී කෘෂිකර්මාන්තය උදෙසා අත්‍යවශ්‍ය සාධක වන ඉඩම්, ශ්‍රමය, යන්ත්‍රෝපකරණ යෙදවුම් සහ පස කළමනාකරණය කිරීම සඳහා ජපානය, චීනය, දකුණු කොරියාව, තායිලන්තය, ජර්මනිය මෙන්ම ඇමෙරිකාව තුළ ද ගොවීන් මෙහෙයවන ප්‍රධාන ගාමක මෙවලමක් බවට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය උපයෝගී කරගෙන ඇති බව විද්‍යාමානවේ.

තොරතුරුවල අසමමිතික බව

දීර්ඝ නියඟ, අයහපත් කාලගුණික විපර්යාස, පළිබෝධ හා රෝග පැතිරීම සහ දේශපාලනික ප්‍රතිපත්ති හේතුවෙන් සපයාගතහැකි තොරතුරු වල අසමමිතිකබව මෙරට කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ උද්ගතවී ඇති වර්තමාන ගැටළු සඳහා විසඳුම් සොයාගැනීමට ඉතා පහසුවෙන් තොරතුරු සන්නිවේදන තාක්ෂණ යෙදවුම් උපයෝගී කරගත හැකිවේ.

එමගින් කෘෂිකාර්මික දාමය තුළ, නිවැරදිවූ දත්ත හා තොරතුරු එක්රැස්කර ගැනීමට, විශ්ලේෂණයකර බෙදාහදා ගැනීමට සහ පුරෝකථනය සඳහා  ඉඩප්‍රස්ථා සකසා ගත හැකිය.

එමෙන්ම ඉඩම් තක්සේරු කිරීම, ලියාපදිංචි කිරීම සහ බදු අය කිරීම සම්බන්ධයෙන් ගොවීන් සහ අනෙකුත් ඉඩම් භාවිතා කරන්නන් මුහුණ දෙන අභියෝග විසඳීමට ඒ ඔස්සේ ඉහළ කාර්ය සාධනයක් ළගාකර ගැනීමට හැකියාවක් උදාකරගත හැකිවේ. ඒ අනුව රට පුරා කෘෂිකාර්මික කටයුතු සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ යෙදවුම් භාවිතය ජනප්‍රිය කර ගැනීමට පමණක් නොව එම අංශයේ ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමට ද එය උපයෝගීකරගත හැකිවේ.

නව තාක්ෂණික ක්‍රමෝපායන්

කෙසේ වුවද මෙරට ගොවීහු පසුගිය වසර දහයක පමණ කාලයක සිට නව තාක්ෂණික ක්‍රමෝපායයන් කෙරෙහි යොමුවී ඇති බව විද්‍යමානවේ. එහෙත් ගොවීන්ගේ වර්තමාන හා අනාගත අවශ්‍යතාවයන්ට නිවැරදිව හා කඩිනමින් ප්‍රතිචාර දැක්වීමේ පැහැදිලි ක්‍රමවේදයක් ගොඩනැගී ඇතැයි සිතිය නොහැකිය. එබැවින් එවැන්නක් අප යුහුසුළුව ගොඩනඟාගත යුතුවේ. ඒ උදෙසා ඩිජිටල් වේදිකා ලෙස ‘e-කෘෂි උපදේශන‘ හා ‘e-වෙළඳාම‘ සමඟින් සංනිවේදන මෙවලම් භාවිතාකර ගොවීන් අතර අර්ථවත් අන්තර් සබඳතා ක්‍රියාදාමයක් ගොඩනැගීමට අප ක්‍රියාකළ යුතුවේ.

මේ අනුව දේශීය වශයෙන් කෘෂිකර්ම ව්‍යාප්ති සේවාව ඔස්සේ ගොවීන්ට සහ ගොවි නිෂ්පාදන අළෙවිකරුවන්හට මෙන්ම අනෙකුත් පාර්ශ්වයන්ට අවශ්‍ය කෘෂිකාර්මික තොරතුරු සහ නව තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීමට ඉතා පහසුවේ. එසේම කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඵලදායිතාව ප්‍රවර්ධනය කිරීමට, ආහාර සුරක්‍ෂිතතාව ඉහළ නැංවීමට, ග්‍රාමීය ජීවනෝපායන් වැඩිදියුණු කිරීමට සහ කෘෂිකර්මාන්තය ජනහිතකාමී ආර්ථික ප්‍රපංචයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා eAgricultural Extension and communication සේවාවක් ඔස්සේ තීරණාත්මක කාර්යභාරයක් ඉටුකර දිය හැකිවේ.

වාසි මොනවාද ?

මෙම ප්‍රවේශයන් කෙරෙහි යොමුවීම ඔස්සේ කුඩා ඉඩම් හිමි ගොවියන්ගේ අඩු ඵලදායිතාව සහ දරිද්‍රතාවයේ චක්‍රය බිඳ දැමීමට උපකාරී වන ප්‍රබල සේවාවක් ඉටුකළ හැකිවේ. එමගින් නවීන කෘෂිකාර්මික භාවිතයන්, නිෂ්පාදන අලෙවිය සදහා වැඩි ප්‍රවේශයක් සහ වෙළඳපල පිළිබඳව ගොවීන් වෙත කාලීනව තොරතුරු සපයා දිය හැකිවේ. එමෙන්ම අඩු ආදායම්ලාභී ගෘහ කුටුම්භයන්හි ආහාර සැපයුම් දාමයේ කේන්ද්‍රීය කුළුණ වන ග්‍රාමීය ගොවීන්ට කෘෂිකර්ම ව්‍යාප්ති හා සන්නිවේදන සේවාව අත්‍යවශ්‍ය දෙයක් බව පැවසිය හැකිය.

ගොවිතැනට අදාළවූ නව තාක්‍ෂණයන් ප්‍රවර්ධනය කිරීමට, තොරතුරු සන්නිවේදනය කිරීමට, ගොවීන් හා වෘත්තීය නිපුණතාවක් සහිත ව්‍යාප්තිකාරකයින් ලෙස කටයුතු කරන නිළධාරීන් අතර කණ්ඩායම් ගොඩනැගීමේ බහුකාර්ය ක්‍රමවේදයන් ඒකාබද්ධ කරන සේවාවක් ලෙස මූලිකව කටයුතු කළ හැක්කේ e-කෘෂිකාර්මික ව්‍යාප්ති සේවාවක් ඔස්සේ බව පැවසිය හැකිය.

එමෙන්ම වේගවත් ප්‍රතිචාරයක් සඳහා කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරීන්, පර්යේෂණ ආයතන සහ අනෙකුත් පාර්ශවකරුවන් අතර කඩිනමින් තොරතුරු සහ දැනුම හුවමාරු කරගැනීමට පහසුකම් සපයන නවීන මෘදුකාංග වැඩසටහන් Software සහ යෙදුම් apps බහුලව දැකිය හැකිය. ඒවායෙහි සැබෑ හිමිකරුවන් සමග ගිවිස ගැනීමෙන් රටට උචිත පරිදි උචිත වෙනස්කම් කර පහසුවෙන් ආදේශකර ගැනීමට අපට කටයුතු කළ හැකිවේ. ඒ ඔස්සේ විශ්වසනීය තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා ගොවීන්ට උපකාර කරන ව්‍යාප්ති නිලධාරීන්, පර්යේෂණ ආයතන සහ වෙනත් පාර්ශ්වයන් සමඟ ගොවීන් සම්බන්ධ කිරීම සඳහා තොරතුරු සන්නිවේදන තාක්ෂණ යෙදුම් වේදිකාවක් ද නිර්මාණය කරගත හැකිය.

ඒ අනුව ගොවිපොළ මට්ටමේ සිට ප්‍රාදේශීය කාලගුණය හා වෙළඳපොළ හැසිරීම් පිළිබද ආදාන ලබා ගැනීමේ හැකියාව මෙන්ම ව්‍යාප්ති සේවාවේ ක්‍රියාකාරීන්ගේ තොරතුරු ඒකාබද්ධ කරන කෘෂිකාර්මික උපදේශන සේවා වේදිකාවක් ද නිර්මාණය කර ගැනීමට හැකියාව පවතී.

ගොවීන්ට නව දැනුම දෙන නිලධාරීන්

බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල කෘෂිකාර්මික ව්‍යාප්ති නිලධාරීහු කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නව තාක්ෂණයන් පිළිබඳ තොරතුරු ගොවීන්හට ලබාදීමට සහාය වන ප්‍රධාන තාක්ෂණික නිලධාරීන් බවට පත්වී සිටිති. එහෙත් අප කොතැනකද යන්න විමසීමට ද මෙය මහඟු අවස්ථාවකි.

කෘෂිකාර්මික ව්‍යාප්ති නිලධාරීන්  ගොවි ප්‍රජාව අතර ජීවත්වන සක්‍රීය පිරිසක් බවට පත්කිරීම සඳහා ආහාර හා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් විශාල පියවරක් ගතයුතුවන්නේ මෙවැනි පසුබිමක් යටතේයි. එසේ වුවහොත් ප්‍රජාවන් අතර කෘෂිකාර්මික කටයුතු පිළිබඳ පළමු සම්බන්ධතාවය ගොඩනැගීම කෘෂිකාර්මික ව්‍යාප්ති නිලධාරීන්ගේ හෙට දිනයේ වගකීම වනු ඇත. එය ගොවිජනතාව අතර කාබනික ගොවිතැනේ ඵලදායිතාව වැඩි දියුණුකිරීම සඳහා අවශ්‍ය දැනුම හා ආකල්ප සංවර්ධනය උදෙසා බෙහෙවින් ඉවහල් වනු ඇත.

යහපත් කෘෂිකාර්මික පිළිවෙත්

ගොවීන් අතර යහපත් කෘෂිකාර්මික පිළිවෙත් ස්ථාපිත කිරීම සඳහා ඔවුන්ගේ දැනුම හා විෂය කරුණු පිළිබඳ නිපුණතා ඉතා වැදගත් වේ. මෙම සේවාවේ කටයුතු කරන නිලධාරීන් විසින් තම සේවාදායකයින්ට ලබා දෙන විශේෂිත තාක්‍ෂණයක් භාවිතා කිරීමේදී සාවද්‍ය තොරතුරු හෝ නුසුදුසු ක්‍රියා පටිපාටි ගොවීන්ගේ නිෂ්පාදන ඉලක්ක කෙරෙහි බලපවත්වනු ඇත. එපමණක් නොව කෘෂිකාර්මික ව්‍යාප්ති නිලධාරීන්ගේ කීර්තිනාමයට හා ගොවීන් කෙරෙහි ඔවුන් තුළ ඇති විශ්වාසය කෙරෙහි ද එය බලපානු ඇත.

එබැවින් කෘෂිකාර්මික ව්‍යාප්ති නිලධාරීන් ගොවීන් සහ කෘෂිකාර්මික අංශයේ අනෙකුත් පාර්ශ්චයන් අතර ප්‍රධාන සම්බන්ධකය ලෙස ඔවුන්ගේ සේවය වැදගත් මෙහෙවරක් කරනු ඇතැයි විශ්වාස කළ හැකිය. ඒ උදෙසා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ සහ එම යෙදවුම් භාවිතය පිළිබඳව මනා දැනුමකින් ඔවුන් සන්නද්ධ කළහොත් එම විශේෂඥ දැනුම ගොවීන්ගේ ඵලදායිතාව ඉහළ නැංවීමට උපකාරීවනු නොඅනුමානය.

අභියෝග රැසක්

කෙසේ වුවද වර්තමානයේ ව්‍යාප්ති සේවාවල නිරතවන කාර්ය මණ්ඩල කෙරෙහි අභියෝග පවතින බව සත්‍යයකි. කෘෂිකාර්මික ව්‍යාප්ති නිලධාරියෙකු විසින් ආවරණය කළ යුතු ප්‍රදේශ අනුව ගොවීන් වෙත සේවා සැපයීමට දුර බැහැර ප්‍රදේශවලට යාමට අවශ්‍ය සම්පත් ව්‍යාප්ති නිලධාරීන්හට නොමැතිවිය හැකිය. මීට අමතරව ගොවීන්හට සන්නිවේදන තාක්ෂණ මෙවලම් භාවිතයේ  ප්‍රවේශය සීමාවීම ද ගැටළු උද්ගත කරනු ඇත.

මෙම අභියෝග සහ තවත් බොහෝ දේ ජය ගැනීම සඳහා e-Agriculture වැඩසටහන හඳුන්වා දිය හැකි අතර ඒ උදෙසා  යෙදවුම් ලෙස ව්‍යාප්ති සංරචක උපයෝගී කරගත හැකිය. ව්‍යාප්ති නිලධාරීන් විසින් විවිධ ක්ෂේත්‍ර දත්ත එක්රැස් කිරීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ මෙවලම් හා යෙදවුම් භාවිතා කිරීමට යොමු වුවහොත් කඩිනම් පියවර ගැනීම සඳහා ගොවීන්ගේ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පැන නගින ඕනෑම අභියෝගයක් වාර්තා කළහැකිවේ.

මෙම  ක්‍රියාදාම කාර්යක්ෂමව ක්‍රියාත්මකවීමට යම් මට්ටමක තොරතුරු සන්නිවේදන තාක්ෂණ දැනුමක් දෙපාර්ශ්වයටම අවශ්‍ය බැවින් ඒ සඳහා සාර්ථක පුහුණු ක්‍රමවේදයක් ඉක්මනින්ම ආරඹ්භ කළ යුතුවේ. එමෙන්ම දැනටමත් කෘෂිකාර්මික ව්‍යාප්ති නිලධාරීන් ලෙස කටයුතු කරන පාර්ශ්වයන් අතර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ භාවිතයේ මට්ටම සොයා ගැනීමට කිසිදු ආනුභවික පර්යේෂණයක් මෙතෙක් කර ඇතිබවක් වාර්තා නොවේ. එබැවින් එම නිලධාරීන් නිශ්චිත අරමුණු ලඟාකර ගැනීම උදෙසා භාවිතා කරන මෙවලම් වර්ගය සහ තම කාර්යයන් ඉටු කිරීමේදී ඒවා උපයෝගීකරගනු ලබන ආකාරය පරීක්ෂා කිරීම, ඒ උදෙසා පුහුණු වැඩසටහන් හඳුනා ගැනීම හා යෙදවුම් භාවිතයට බලපාන ගැටළු හඳුනා ගැනීම ද වැදගත්වනු ඇත.

වඩාත් වැදගත් නව මාධ්‍ය ප්‍රවේශයයි

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ මෙවලම් ලෙස රූපවාහිනිය, ගුවන්විදුලිය, මුද්‍රිත මාධ්‍ය, වැනි සාම්ප්‍රදායික මාධ්‍ය ආවරණය නොකරයි. ඒ අනුව ස්මාර්ට්ෆෝන්, ඩෙස්ක්ටොප් පරිගණකය, ලැප්ටොප් පරිගණකය, අයිපෑඩ් / ටැබ්ලට්, ඩ්‍රෝන, ප්‍රොජෙක්ටර්, මෘදුකාංග යෙදුම, අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය (වට්ස්ඇප්, ෆේස්බුක් හා ට්වීටර් ආදිය ) සහ මෘදුකාංග භාවිතයට ගැනේ. සාමාන්‍යයෙන් මෙරට තුල වට්ස්ඇප් සහ ෆේස්බුක් අනෙක් සමාජ මාධ්‍යවලට සාපේක්ෂව ඉතා ජනප්‍රියතාවයකින් යුක්ත නිසා මේ කටයුතු උදෙසා එමගින් විපුල සේවාවක් අත්පත් කරගත හැකිවනු ඇත.

එසේම ගොවීන් ද තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යෙදවුම් භාවිතය කෙරෙහි අනුගමනය කිරීම මගින් ඔවුන් හරහා  රැස්කරගන්නා දත්ත ඔවුන්ගේ ප්‍රායෝගික අත්දැකීම් සමග ඒකාබද්ධ කිරීම උදෙසා ව්‍යාප්ති නිලධාරීන්ට අවස්ථාව මේ මගින් උදා කෙරේ. දැනුම බෙදාහැරීමේ නව ප්‍රවේශයන් පිළිබඳව ව්‍යාප්ති නිලධාරීන් සඳහා අවශ්‍ය වේදිකාවක් ද මේ ඔස්සේ නිර්මාණය කරගත හැකිවේ.

එසේම එය ඔවුන්ගේ කාර්ය භාරය ලිහිල් කිරීමටත් ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමටත් දායක වනු ඇත. මේ උදෙසා ව්‍යාප්ති සේවයට කැමති නිලධාරීන් සහ ගොවීන් සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පුහුණුව සපයාදීමට විවිධ ක්‍රම උපයෝගී කරගත හැකිවේ. ඒ අනුව වෘත්තීය අධ්‍යාපනික ආයතන ඔස්සේ හෝ පුහුණු වැඩමුළු හා ඔවුන් සතු ගොවිපල භූමියේදීම එවැනි පුහුණුවීම් ලබාදීමට කටයුතු කළ හැකිවේ.

ප්‍රධාන ගැටලු මොනවාද ?

එහිදී බලපාන ප්‍රධාන ගැටළුව ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ ඉහළ පිරිවැය, ව්‍යාප්ති නිලධාරීන්ගේ අධ්‍යාපන මට්ටම්, වයස හා ස්ත්‍රී පුරුෂ භාවය ද  ප්‍රධාන ධාරාවේ ගැටළු වනු ඇත. එහෙත් ඔවුන්ගේ අවශ්‍යතා මත මෙම අසමානතාවයන් සදාකාලිකව නොපවතිනු ඇත.

අනෙක් අතට මෙරට භූගෝලීය විෂමතාවයන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ භාවිතය සඳහා වූ ප්‍රවේශයට ගොවි ජනතාවට ඇති අපහසුතා  තීරණාත්මක සාධකයක් ලෙස පවතින බව නොරහසකි. ප්‍රධාන වශයෙන් ගුවන් විදුලි, රූපවාහිනී, අන්තර්ජාල සහ විදුලි සංදේශනය සඳහා ප්‍රවේශය ඔවුනට තවමත් අහිමිව තිබේ. එබැවින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ වැඩසටහන් සඳහා එම ජනතාව බැහැර කිරීම එම ප්‍රදේශවල ගොවීන්හට නව තාක්‍ෂණය ඵලදායී ලෙස හඳුන්වා දීමේ බාධාවක් විය හැකිය.

දැනටමත් ස්ථාවර විදුලි සංදේශ ජාල රටේ බොහෝ පහසුකම් ඇති ප්‍රදේශ ආවරණය කරයි. එහෙත් ජංගම විදුලි සංදේශ හා අන්තර්ජාල සේවා සපයන්නන්ගේ සේවා ජාල සම්බන්ධයෙන් අවරණ කලාප ගැටළු බොහෝ පවතී. කෘෂිකාර්මික හා ව්‍යාප්ති තොරතුරු සඳහා වන මෘදුකාංග යෙදුම් භාවිතය සදහා වඩාත් උපකාරීවන්නේ ජංගම විදුලි සංදේශන පහසුකම්ය.  විශේෂයෙන්ම මෙහිදී  මෙරට විදුලි සංදේශ සමාගම් විසින් සිව්වන පරම්පරාවේ 4G හෝ පස්වන පරම්පරාවේ 5G  ජංගම තාක්‍ෂණ සේවාවන් වැඩිවැඩියෙන් ව්‍යාප්ත කිරීමට සක්‍රීය ලෙස දායක වුවහොත් මෙම ගැටළු විසඳී යනු ඇත.

එමෙන්ම ව්‍යාප්ති නිලධාරීන්හට නවීන තොරතුරු සන්නිවේදක තාක්ෂණ මෙවලම්, විවිධ තොරතුරු සන්නිවේදන යෙදුම් සහ සමාජ මාධ්‍ය වේදිකා වල සහාය පුළුල් ලෙස උපයෝගී කරගත හැකිවේ. මක්නිසාදයත් ස්මාර්ට් ජංගම දුරකථනය දැන් බහුතරයකගේ පුද්ගලික සන්නිවේදනය මෙවලම බවට පත්ව ඇති හෙයිනි. එයින් ගම්‍ය වන්නේ මෙරට වැඩිපුරම භාවිතා වන තොරතුරු සන්නිවේදන තාක්ෂණ උපාංගය එය බවයි.

එහෙත් විදුලි සංදේශ යටිතල පහසුකම් සදහා ප්‍රවේශය අවම පළාත්හි ගොවීන්හට මෙවැන්නක් හරහා උක්ක ක්‍රමවේද උදෙසා ප්‍රවේශය විය නොහැකිවීම කණගාටුදායක කරුණකි. එබැවින් රාජ්‍ය ආරක්ෂාවට තර්ජනය නොවන ආකාරයේ සන්නිවේදන උපකරණ සදහා සීමා බාධක හා ආනයන බදු පැනවීම කෙරෙහි රජය දෙවරක් සිතා බැලිය යුතුවේ. එසේම තෘෂිකර්ම ව්‍යාප්ති සන්නිවේදනයේදී ඕනෑම තොරතුරක් සන්නිවේදනය කිරීමට තාක්ෂණ වැඩසටහන් සඳහා රජය ඉහළ අනුග්‍රහයක් ද ලබාදී ක්‍රියාකළ යුතුවේ.

මේ අනුව කාබනික ගොවිතැන උදෙසා ගොවි ජනතාව නැඹුරු කිරීමට රජය ගන්නා උත්සාහය යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා කෘෂිකාර්ම ව්‍යාප්ති හා සංනිවේදන සේවය උදෙසා අදාල නිළධාරීන්හට e-Agriculture සේවයට අදාළව තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය ව්‍යාප්ති උපදේශන පුහුණුවක් ලබාදීම මෙන්ම ඊට අවැසි අවම මෙවලම් සපයා ගැනීමට රජයට ප්‍රතිපූරණය කරගත හැකි ආකාරයෙන් අරමුදල් සැපයීමද ඉතා වැදගත්වේ. එමෙන්ම ගොවීන් සමඟ පහසුවෙන් සන්නිවේදනය කිරීමට හැකිවන පරිදි ව්‍යාප්ති උපදේශන සේවා සඳහාම නිර්මාණය කරන ලද මෘදුකාංග මෙරට තුළම සකසා, සපයා සියළුම පාර්ශ්චවයන් දිරි ගැන්වීමට අදාළ බලධාරීන් උත්සුක විය යුතුවේ.

එම්.එම්. පාලිත මහින්ද මුණසිංහ

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ වූ අඹේපුස්ස, වල්පිට හා හෝමාගම දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය ත්‍රිත්වයෙහි වසර 30 ක් ගොවිපල් යාන්ත්‍රික උපදේශකවරයෙකු ලෙස සේවය කර ඇත. 2018 වසරේදී රජයේ සේවයෙන් ඉල්ලා විශ්‍රාම යන ලදී. අනතුරුව පෞද්ගලික අංශයේ ආහාර නිෂ්පාදන ආයතනයක් වන  ‘ පිකල් හවුස් ප්‍රඩක්ට්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්හි තත්ත්ව පාලන නිලධාරියෙකු ලෙස වසර එකහමාරක් මම සේවය කළෙමි. වසර 2000 සිට මේ දක්වාම ජාතික අධ්‍යාපන ආයතනයේ කාර්මික තාක්ෂණ දෙපාර්තමේන්තුවේ, ඇක්වයිනාස් විශ්ව විද්‍යාල ආයතනයේ වැවිලි කළමණාකරන පීඨයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ කෘෂිකර්ම හා පරිසර දෙපාර්තමේන්තුවේ සම්පත්දායකයෙකු ලෙස සේවය ඉටුකරමි.

Loading...

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *