කන්දක් විළිලා -මීයෙක් වැදූ නීතිපති

ඒ මහබැංකු බැඳුම්කර අර්බුදය ඇවිලී ගිය සමයයි. එතෙක්  වියදම් හා සබැඳි මාසික ඇස්තමේන්තුවක් (Cash Flow) හා ව්‍යාපෘති අයවැයක් සෑදීමේ ප්‍රාගුන්‍යයෙන් පමණක් සන්නද්ධව සිටි අප විස්මෘතියට පත්කළ අපූරු තාලයේ සොරකමක් සිදූවුණේ මෙකලය. එතෙක් ඇසුණේ සුලබව හෝ විරලව වේවා ඒ කවර අවස්ථාවකදී හෝ සවනේ නොරැඳුණු   භාණ්ඩාගාර බිල්පත් මෙන්ම  බැඳුම්කර මතුනොව නුදුරු අනාගතයේ  පොලී අනුපාතය කෙසේ වේ දැයි තක්සේරු කිරීම නම් වූ  Deal Curve වැනි වදන් දුසිම් ගණනින් ඊයම්බරු සේ එකෙල -මෙකෙල වූයේද එකලය. එහෙත් ලියුම්කරුගේ අවධානය යොමුවන්නේ අඩුවැඩි වශයෙන් වසර 2005 සිට සිදුවූ මේ අභිරහස් සුදුකරපටි සොරකම පිළිබඳව නම් නොවේ.ඒ හා සබැඳි අධිකරණ ක්‍රියාවලියේ දිස් වූ කදිම ජවනිකා පෙළක් වෙතය.

නිතිපතා රැස්වන බොන්ඩ් කොමිසම වෙත පැමිණෙන කලුකෝට්කකරුවන් අතර තම සුඛෝපභෝගී රියෙන් බැස්ස විගස ලෝක ඇවිදීමේ තරඟයක් සිහිගන්වන කඩිනම් දිවීමක නිරත වන තලත්තෑනි නීතිඥයෙකි. කෝට් බෑය අතේය. පසුපසින් කන්දක් උස ලිපිගොණු තොගයක් සුරතට ගත් අයස්කාන්ත කතකි. කෑන්ස් සිනමා උළෙලේ සම්මාන පොරයට පෙළගැසෙන ජනකාන්ත තරු හෙළන එකදු මන්දස්මිතියක් හෝ අතනොහැර තම කාචයට හසුකරගන්නට මාන බලන කැමරාකරුවන් රංචුව සේ කසුන් පලිසේනගේ හා අර්ජුන් මහේන්ද්‍රන්ගේ විපිළසර මුහුණු ප්‍රේක්‍ෂකයා වෙත පෙන්වීමට සමගාමීව හිරු, දෙරණ හා සිරස කැමරා අනතුරුව ඉමහත් උජාරුවෙන් පෙන්වූ මුහුණ ඔහුගේය. හේ ජනාධිපති  නීතිඥ දප්පුල ඩි ලිවේරාය. එවකට අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයෙක්ව විසු ඔහු වසර 36 ක සේවා කාලයක් ඇවෑමෙන් එළඹෙන මැයි මස 23 වැනි දින නීතිපති ධූරයට සමුදෙන්නේය.  

එලෙස සමුදෙන ඔහු, ආණ්ඩුකාර ෆ්‍රෙඩ්රික් නොර්ත් පත්වීම් බළධරයාව පත්කල පළමු නීති බළධරයා වූ ජේම්ස් ඩන්කින්ගෙන් ඇරඹුණු නීති අදියුරු පෙරහැරෙහි ආසන්නතම  පුර්වජයා වූ වත්මන් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මෙන් මනාව පීරු කෙසින් යුත් ශාන්ත දාන්ත මහත්මයෙක් යැයි බැලූ බැල්මට නොපෙනුණේය. රටේ නීතිපති ගම්පෙරළියේ පියල් මෙන් සීරුමාරුවට කෙස්ස පීරිය යුතුයැයි නියමයක් නැති බව සැබෑය. එහෙත් අප කතානායක ලිවේරා අප පිනැවුයේ උභාතෝකෝටිකමය නඩුකර නිරවුල් කොට ලත් අග්‍රෙශ්වර භාවිතයෙන් නම් නොවේ. නීතිපතිවරයෙකුගෙන් දුලබව දිස්වන අපිළිවෙලට පීරු කොණ්ඩයේ පිළිවෙල නිසාය. වැඩිමනත් ලෙස ඔහු නීතිපති දෙපාර්තමේන්තුව වෙත ආකර්ෂණිය පැහැයක්ද ආලේප කරමින් තම සම්බන්ධීකරණ ලේකම්වරිය සොඳුරු මාධ්‍ය ප්‍රකාශිකාව සේ ආසනාරූඪ කිරීමට ගත් නිබය තීරණය ද ඇය තරමට ම ආකර්ෂණිය එකක් විය.

නීතිපති ධූරයේ ඔහු  රැඳුණු දින ගණන සපුරා දින 755 කි. ඉනික්බිති දැන් ඉතිං නික්ම, ශීතල කැනඩාවේ යෙහෙන් වසන්න යැයි විධායක ජනාධිපතිවරයා සිහිකොට ඇතිබව සම්බන්ධීකරණ ලේකම්වර නිශාරා මෙනෙවිය පැවසුවේ අප නොසිතූ නීමේෂයකදීය. සැබැවින්ම අප කතානායක ලිවේරා මැතිඳුන් සිතන්නට ඇත්තේ එසේ කියුකල ජනීජනයා පෙරහැරේ පැමිණ සිපවැළඳ, අනේ පණ,  යන්නට නම් එපා යැයි ඔහුට කියනු ඇතැයි යනුවෙන් දැයි අපි නොදන්නෙමු. එහෙත් එකක් නම් ඉන්තේරුවෙන්ම අපි දන්නෙමු. එනම් මෙරටේ ඔහු ප්‍රවර්ධනය කරන ලද නීති ක්‍ෂේත්‍රයේ කවර ප්‍රගතිශීලි ඉසව්වක් හෝ අප නොදුටු බවත්, අපට මතක ඇත්තේ ප්‍රකට හොලිවුඩ් චිත්‍රපටයක් වූ Get Him to the Greek හි රඟපෑ රසල් බ්‍රෑන්ඩ් නම් ජනහද ජයගත් නළුවා සතු පැටළුණු හිසකේ සහිත නිතිපතිවරයෙක් අපටත් සිටියාය යන මතක මාත්‍රයක් පමණක් බවත්ය.

කරුණු එසේ වුවද, අවසන  ඉසිඹුලෑමට බලවත් සේ නොකැමැති හා ඒ කෙරෙහි කිසිදු ප්‍රේක්ෂාවක් පළ නොකරන මෙකී නීතිපතිවරයා දෙස බලා යමක් පැවසීම පුරවැසි අපගේ වගකීමයි. වරක් චාල්ස් ඩිකන්ස් පැවසුවේ If there were no bad people, there would be no good lawyers යනුවෙනි. දීපාල් සිල්වා තම සෝපාහාස හඬින් පවසන පරිදිම ‘තනිකර පිස්සුම කෙළින මේ රටේ මිනිස්සුන්ට හොඳ විනිසුරන් මෙන්ම නිතිපතිවරුන් ද ලැබේ නම් එය හත්දවසක් මඟුල් බෙර ගසා සැමරිය යුතු පට්ට වාසනාවකි.  

තවදුරටත් රටට සෙත සළසන්නට මෙරටෙහිම රැඳීමට ඔහු කැමති වීම මෙරටේ දේශප්‍රේමින් මෙන්ම ස්වෝත්තමවාදීන්ද පිනවන භාෂිතයක් විය හැකි වුවද, යන එන අන්තිමේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අල්ලා පොළොවේ ගසන්නට සිතුවා වුවද, දප්පුල ද ලිවේරා දෙස අප බැලිය යුත්තේ ඔහුගෙන් රටට වූ මෙහෙයේ දිග පළල කෙතරම් දැයි විචාරාත්මක විමසීමෙනි.  එහිදී අප වෙත ඔහු කැඩපත් කිහිපයක් තිලිණ කොට ඇත. ඉන් කරුණු ද්විත්වයක් පමණක් මෙලෙස දිග හරිමි.

01. ඔහු අවුල් වූ හිසකෙසින් එහෙත් අපමණ උද්යෝගයෙන් බොන්ඩ් කොමිසම දෙවනත් කෙරුවේ වුවද, අදද බැඳුම්කර හොරුන් ඇල්ලීම දේශපාලන ජිමික් එකක් වන අතර එහි තෝන් ලණුව ඇත්තේ විජේරාම මංසන්ධියේ වෙසෙමින් තම දිවියේ ඉතා වෙහෙසකර කාල සමයක් ගෙවන වියපත් දේශපාලකයෙකුගේ හා නුගේගොඩ ඇඹුල්දෙණිය, පැඟිරිවත්ත පාරේ ඉතා චාම්ව දිවිගෙවන මෙරටේ බලවත්ම පුරවැසියා අතය.එහෙනම් නීතිපති කුමක් කරන්නදැයි ඔබ මගෙන් අසන්නේද? මගේ පිළිතුර තව දුරටත් ලංකාවේ සිටියද ඔහුට බැඳුම්කර හොරුන් ඇල්ලීම අරභයා තරණය කල යුතු මඟ   සාතිශය දුර්ග එකක් බවයි. රජයට උපදෙස් දෙන්නා රජයේ නිල නොවන දේශපාලන ගේම් අභියස කුජිත වනු දැකීම අපගේ ප්‍රාර්ථනාව නොවේ. එපමණක් නොව ඔහු බොන්ඩ් මෙහෙයුම කාල සමයේ පළකළ ඉඟිබිඟි අඩුවක් නැතිව මෙරටේ කුප්‍රකට මාධ්‍යකරුවන් ආණ්ඩු පෙරළිමටද යොදා ගත් බව නොදන්නෝ කවුරුන්ද? එවුන් ඉමහත් සේ ඔහු පෑ  පෙළහර කෙරෙහි පැහැදුනද, එය නීති වෘත්තිකයෙකුගේ සීමාවෙන් ඔබ්බට ගිය නිසාදෝ බැඳුම්කර කොමිසම හෙබවූ විනිසුරු කේ.ටී.චිත්‍රසිරි මෙන්ම සාමාජික විනිසුරු ප්‍රසන්න ජයවර්ධන යන විනිසුරුතුමන්ලා වරෙක ඔහුගේ චර්යාව හැඳින්වීමට භාවිත වදන වූයේ ” deplorable” යන්නයි.

මේ  ජයවර්ධන  විනිසුරුතුමන්ගේ වදන්”

ඔබගේ චර්යාව ජේෂ්ඨයෙකුගේ චර්යාව හා නොගැලපේ. මා ඔබගේ චර්යාව පිලිබඳ මෙම චේම්බරය තුළ මා මගේ වසර 30 ක වෘත්තීය දිවිය තුළ එවැනි හැසිරීමක් දැක නැහැ. එය ඛේදජනකයි. (Deplorable යන වදනට අර්ථ සමුදායක් ඇති බව කරුණාවෙන් සලකන්න).  චිත්‍රසිරි විනිසුරුතුමන් ද දැක්වූයේ එතුමන්ගේ වසර 37 ක විනිසුරු දිවිය තුළම එවන් හැසිරීමක් නොදුටු බවයි.

02. පාස්කු ඉරුදින ප්‍රහාරය හා සබැඳි අතීතයද කටුකය. එකී චුදිතයන් දඬුකඳේ ගසන්නට ඔහු අංශු මාත්‍රයක හෝ උත්සහයක් ගෙන ඇත්නම් ඊට අපගේ ගෞරව සමාචාරය හිමිය. එනමුත් නික්මීමට ප්‍රථම තම සම්බන්ධීකරණ ලේකම්වරියගේ මුවින් සී. අයි. ඩී යට නෙලන්නට පළමු ඔහුට සිතන්නට තිබූ එක් කරුණක් පැවතිණි. එනම් එකී සාහසික මූලයන් හෙලිකරගතහකිව තිබූ ලිපිගොනුවක් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ඔහුවෙත කලකට පෙර භාරදුන් විට එය නිසි විමර්ශනයකට ලක් කිරීමට අවැසි උපදෙස් දීමට ඔහු හෝ ඔහුද ඇතුළත් ශ්‍රී ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුව කෙතරම් කලක් ගත්තේද යන්නයි. එහිලා බොහෝ දේ නොලියා ප්‍රකට ඉංග්‍රීසි කියමනකින් සංග්‍රහ කිරීමට මා කැමැත්තෙමි.  එනම්  කවුරුන් කවරක් කීවද අවසන ජයගන්නේ වඩාත් හොඳ කතන්දරය බවයි (Whoever tells the best story wins by John Quincy AdamsFavorite).

අප කවදත් මෙරටේ යුක්තිය හා සාධාරණය පතන පුරවැසියෝ වන්නෙමු. එබැවින් නික්මෙන නීතිපති හෝ පැමිණෙන නීතිපති ගැන අපගේ අරෝවක් නම් නැත්තේමය. ඇත්තේ එකම එක ඉල්ලීමකි. ඔබ නීතිගරුක හා සැබෑ පුරවැසියෙක් වන්නේ නම් නිතිපතිට තමන් අභිමත රිස්සක් කරන්නට ඉඩ නොදෙනු! ඊට අපටද බලයක් ඇති බව ඔබ දැනගත යුතුමය.

වික්ටර් අයිවන් එ.සරත් එන්.සිල්වා (නීතිපතිවරයා) අතර පැවති නඩු විභාගයේදී විනිසුරු මාර්ක් ප්‍රනාන්දු දැරූ මතය පිරික්සීම මෙහිලා වැඩදායකය. එතුමන් මෙසේ කියයි.

”යම් අභිචෝදනාවක් ගොනු කිරීම හෝ නොකිරීම තීරණය කිරීමේ නීතිපතිවරයා සතු බලය අභිමතානුසාරී බලයක් වන වුවද එය නිරපේක්‍ෂ හෝ නිර්බාධිත බලයක් නොවේ. යම් හෙයකින් නීතිපතිවරයා  තමන් සතු එම අභිමතානුසාරී බලය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන ආකාරයට යොදා ගතහොත් ඔහුගේ එම තීරණය ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 126 වැනි වගන්තිය යටතේ පුනරික්ෂණයට ලක් කල හැකිය”.

ඉදින් අප සුමිතුරු පුරවැසි ප්‍රජාව නීතිපතිවරයා ද දේවත්වයෙන් සලකන මුග්ධ සමාජයක් බිහිවෙමින් පැවතීම මෑතකාලීනව සමාජගතවෙමින් පවතින  සානුකම්පිත වූ  විකුර්තියක් බව නොපවසා සිටිය නොහැක.

කෙසේ වුවද අප දප්පුල සුධිමතුන් කෙරෙහි ණයගැති වන්නෙමු. ඒ කෙටි කලකට අපට කදිම කොණ්ඩා විලාසිතාවක
අසිරිය තිලිණ කල නිසාවෙනි. එසේ නොමැති වූයේ නම් අප සදාකල් නීති ප්‍රජාවේ දකින එකම කොන්ඩ කුරුල්ලා  ටිරන්ත වලලියැද්දයන් පමණක්ම විය හැකිව තිබුණි.

-මංජුල ගජනායක-

Loading...

RSL

Related Posts