ඖෂධයකට හෝ එන්නතකට ‘විද්‍යාත්මකව’ අනුමැතිය ලැබෙන ආකාරය දැන ගනිමු

Spread the love

කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණය ඇති කිරීම සදහා කෑගල්ලේ කපු මහතෙකු විසින් හදුන්වා දුන් බව කියන ‘හෙළ ඖෂධය‘ ඇතුළු දේශීය ඖෂධ සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ බලවත් අවධානයක් සහ ආන්දෝලනයක් තිබෙනවා. ඒ සමග බොහෝ දෙනෙක් අසන ප්‍රශ්නයක් තමයි ‘යම් කිසි ඔසුවක් / ඖෂධයක් හෝ එන්නතක් විද්‍යාත්මකව තහවුරු කර ගන්නේ කෙසේද ? යන්න.

මේ ප්‍රශ්නය අතිෂයින්ම වැදගත්. මොකද එවැනි විද්‍යාත්මක හා ලෝකය පිළිගත් සම්මත ක්‍රමය ගැන නිවැරදි අවබෝධයක් ඇති විට ‘මිත්‍යා‘ හෝ ව්‍යාජ ඖෂධවලට රැවටීමක් සිදුවන්නේ නැහැ. ඒ නිසා අපි තීරණය කළා. ඕනෑම එන්නතක් හෝ ඖෂධයක් විද්‍යාත්මකව තහවුරු කර ගන්නා ආකාරය ගැන සරල හා නිරවුල් පැහැදිලි කිරීමක් කරන්න.

ඕනෑම එන්නතක් හෝ ඖෂධයක් විද්‍යාත්මකව තහවුරු කිරීමෙන් අනතුරුව එය ජනතාව අතට පත් කිරීම ලොව පිළිගත් ක්‍රමවේදයයි.

පහත දැක්වෙන්නේ ආරක්‍ෂිත සහ ඵලදායි එන්නතක් සඳහා අනුමැතිය ලබා ගැනීමට පෙර ලොව රටවල සාමාන්‍යයෙන් අනුගමනය කෙරෙන පියවරයි.

පූර්ව සායනික පරීක්ෂණ

මිනිසුන් යොදා ගැනීමට පෙර විද්‍යාගාර තුළ කෙරෙන මූලික පර්යේෂණ සඳහා සතුන් යොදා ගැනෙයි. කෝවිඩ්-19 පර්යේෂණ සඳහා විශාල වශයෙන් යොදා ගනු ලබන්නේ මුගටි විශේෂ (Ferret), මීයන් සහ වඳුරන්ය. ඔවුන්ගේ කායික සහ ජෛව විද්‍යාත්මක ක්‍රියාකාරිත්වය බොහෝ සෙයින් මිනිසාට සමාන වීම ඊට හේතුවයි.

සායනික පරීක්ෂණ අදියර 1

සතුන් යොදා ගනිමින් කළ පර්යේෂණවල සාර්ථකත්වයක් පෙන්නුම් කිරීමෙන් පසු, මිනිසුන් යොදා ගනිමින් සායනික පරීක්ෂණවල පළමු අදියර ආරම්භ වේ. ඒ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන සෞඛ්‍ය සම්පන්න කුඩා කණ්ඩායමක් යොදා ගැනෙයි. (සාමාන්‍යයෙන් 20-50 ත් අතර පිරිසක්). එහිදී ශරීරය ප්‍රතිශක්තිය සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය නිරීක්ෂණය කරනු ලබයි. අවශ්‍ය කෙරෙන මාත්‍රාව ද එහිදී නිර්ණය කෙරෙයි.

සායනික පරීක්ෂණ අදියර 2

දෙවෙනි අදියරයේ පර්යේෂණ සඳහා සිය ගණනක පිරිසක් යොදා ගනු ලබයි. එන්නත කෙතරම් ඵලදායි දැයි එහිදී පරීක්ෂාවට ලක් කෙරෙයි. එහිදී සියලුම වයස් කාණ්ඩයන්ට අයත් ස්ත්‍රීන් සහ පුරුෂයන් යොදා ගනු ලබන අතර ඒ සඳහා සියලූම ජනවර්ග යොදා ගැනීමට හැකිනම් එය වඩාත් උචිතය.

සායනික පරීක්ෂණ අදියර 3

තෙවෙනි අදියරය, දෙවෙනි අදියරයේ පරීක්ෂණයට බෙහෙවින් සමාන අතර එහිදී පරීක්ෂණය සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන මිනිසුන් දෙතුන් දහසක් යොදා ගනු ලබයි. එන්නත කෙතරම් ඵලදායි දැයි යන්න වඩාත් පුළුල්ව පරීක්ෂාවට ලක් කෙරෙයි. පරීක්ෂණ මීළඟ අදියරයට ගෙන යන්නේ දැයි යන්න ද නිර්ණය කෙරෙයි. කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පවතින බරපතල තත්ත්වය හමුවේ මෙම අදියරයන්හි සුළු වෙනස්කම් සිදුවිය හැක. නමුත් සාමාන්‍යයෙන් සිදු කරනු ලබන පරීක්ෂාවන් සියල්ල සපුරාලිය යුතුය.

නියාමන වාර්තා ලබා ගැනීම

පරීක්ෂණවලට අදාළ ප්‍රමාණවත් දත්ත එක්රැස් කර ගැනීමෙන් පසු ඒවා ඒ ඒ රටවල්හි ඖෂධ නියාමන ආයතන වෙත ලබා දිය යුතුය. විද්‍යාත්මක සහ සායනික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් එම දත්ත විමර්ශනයට ලක් කරනු ලැබේ. අදාළ එන්නත කෙතරම් ඵලදායිදැයි යන්න, කෙතරම් ආරක්‍ෂිත සහ ස්ථායි මට්ටමක පවතී දැයි යන්න, ගුණාත්මකභාවය මෙන්ම ආරක්‍ෂිත ප්‍රමිතීන්ට සහ මහජන සෞඛ්‍ය නීතිවලට අනුකූලව එන්නත නිෂ්පාදනය කර තිබේදැයි සහ ඒවා ගබඩා කර ඇත්දැයි යන්න එහිදී පරීක්ෂාවට ලක් කෙරෙයි.

නිෂ්පාදනය

අදාළ ආයතනවලින් අනුමැතිය ලැබීමෙන් පසු එන්නත මහජනයා වෙත ලබා දෙයි. එසේ වුවත් තවදුරටත් අදාළ ආයතන විසින් සෞඛ්‍ය වාර්තා සහ දත්ත නිරීක්ෂණය කරනු ලැබේ. ඕනෑම එන්නතක් හෝ ඖෂධයක් ජනතාව වෙත ලබා දීමට පෙර ඉහත කී ආකාරයට ඒවායේ නිර්මලභාවය සහ ගුණාත්මකභාවය දැඩි ලෙස පරීක්ෂාවට ලක් කරනු ලබයි.

vaccine approval

වැරදි තොරතුරු නිසා ජීවිත අහිමි විය හැක

වසංගත තත්ත්වයක දී විශාල වශයෙන් තොරතුරු හුවමාරු වේ. ඉන් සමහරක් තොරතුරු නිවරද්‍ය වන නමුත් ඇතැම් ඒවා එසේ නොවේ. එමගින් ජනතාව ව්‍යාකූල වන අතර අවසානයේ ආණ්ඩු සහ සෞඛ්‍ය බලධාරීන් ගන්නා වූ ක්‍රියාමාර්ග අවිශ්වාස කිරීම දක්වා එම තත්ත්වය දුරදිග යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

කොරෝනා වෛරස් වසංගතය හමුවේ විද්‍යාත්මකව තහවුරු නොකරන ලද ඖෂධ අලෙවිය හෝ බෙදා හැරීම මෙන්ම ‘අත්බෙහෙත්’ භාවිතය ශ්‍රී ලංකාවට පමණක් පොදු තත්ත්වයක් නොවේ.

කොරෝනා වෛරසයට ප්‍රතිකාරයක් වශයෙන්, කීට විශේෂයක් මර්දනය කිරීම සඳහා භාවිත කෙරෙන ‘ඉවර්මෙක්ටින්’ (Ivermectin) නැමති ඖෂධයක් දකුණු ඇමරිකානු කලාපයේ ප්‍රචලිත විය. ඒ කෙරෙහි ජනතාව යොමුව තිබුණේ ඖෂධය සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි පවා නොතිබුණ පසුබිමකදීය.

misinformation

වසංගත තත්ත්වයක් තුළ දී රටක පුරවැසියන්ට අවබෝධ කර ගත හැකි ආකාරයේ, සාක්ෂි මත පදනම් වූ තොරතරු ලබා දීමට මැදිහත් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

“නිසි මාධ්‍ය ඔස්සේ, නිසි පණිවුඩකරු හරහා නිසි වේලාවට, නිසි පණිවුඩය ලබා දීමෙන් ජීවිත බේරා ගත හැක. නොමග යවන සුළු තොරතුරු හෝ නිශ්චිත නොවන තොරතුරු නිසා ජීවිත නැති විය හැක.”

විශේෂයෙන් අද වැනි ඩිජිටල් යුගයක නොමග යවන සුළු තොරතුරු නිසා පුද්ගලයෙකු හෝ ප්‍රජාවක් සම්පූර්ණයෙන් විනාශයට පත් විය හැක.

ඉහත කී තත්ත්වය හුදු සන්නිවේදනයේ ගැටළුවක් පමණක් නොව වසංගත තත්ත්වයක් තුළ තොරතුරු ලබා දීමේදී සාක්ෂි මත පදනම් වූ ප්‍රවේශයක් පිළිබඳ යළි සිතා බැලීමේ අවශ්‍යතාව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

කොවිඩ්-19 සම්බන්ධයෙන් හුදු ජනප්‍රිය හෝ අන්තර්ගතමය වටිනාකමක් නැති ආකර්ෂණීය පුවත් හා විශේෂාංග වෙනුවට ජනතාවට නිවැරදි අවබෝධයක් සහ දැනුමක් ලබාදිය හැකි නිවැරදි, නිරවුල් සහ විද්‍යාත්මක දැනුම සහ තොරතුරු පමණක් සන්නිවේදනය කිරීම අපගේ සංස්කරණ ප්‍රතිපත්තියයි. එම තත්ත්වය තුළ අප පාඨකයින් වෙනුවෙන් අදාළ නිවැරදි, නිරවුල්, සරල සහ විද්‍යාත්මක ලිපි පළ වන ඕනෑම වෙබ් අඩවියකින් හෝ පුවත්පතකින් එය ඍජුව උපුටා ගැනීමට අපි පියවර ගනිමු. මෙම කාලීන ලිපිය බී.බී.සී. සන්දේශය වෙබ් අඩවියේ පසුගිය 17 වැනි දින පළ වූ වාර්තාවකින් උපුටා ගන්නා ලදි. – අදාළ ලිපියේ අත්‍යශ්‍ය කොටස පමණක් උපුටා ගත් බව සලකන්න. – ප්‍රධාන සංස්කාරක

RSL

Related Posts