උද්ධමනය 2021 අප්‍රේල් මාසයේ දී 3.9% දක්වා පහළට

Spread the love

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 මාර්තු මාසයේ පැවති සියයට 4.1හි සිට 2021 අප්‍රේල් මාසයේ දී සියයට 3.9 දක්වා පහළ ගියේය. ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන්හි සිදු වූ පහළ යෑම් මේ සඳහා හේතු විය.

මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 මාර්තු මාසයේ පැවති සියයට 9.6හි සිට 2021 අප්‍රේල් මාසයේ දී සියයට 9.0 දක්වා පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 අප්‍රේල් මාසයේ දී සියයට 1.8ක අගයක නොවෙනස්ව පැවතුණි.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කො.පා.මි. දර්ශකයෙහි වෙනස 2021 මාර්තු මාසයේ පැවති සියයට 4.0හි සිට 2021 අප්‍රේල් මාසයේ දී සියයට 3.9 දක්වා සුළු වශයෙන් පහළ ගියේය.

2021 අප්‍රේල් මාසයේ දී කො.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සුළු වශයෙන් පහත වැටීමක් වාර්තා කළේය. ආහාර කාණ්ඩයේ අයිතමවල මිල අඩුවීම මේ සඳහා හේතු විය. ආහාර කාණ්ඩය තුළ, 2021 අප්‍රේල් මාසයේ දී පොල්, එළවළු, රතු ළූණු සහ ලොකු ළූණු මිල අඩු විය. මේ අතර, ප්‍රවාහන (ලිහිසි තෙල්) උප කාණ්ඩයේ මිල ගණන් ඉහළ යෑම් හේතුවෙන්, ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි ඉහළ යෑමක් 2021 අප්‍රේල් මාසයේ දී වාර්තා විය.

Related Posts