ඉන්දු-ලංකා තරගාවලිය 18 වැනිදා ඇරඹෙයි

Spread the love

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ සිදුකරන ලද සාකච්ඡා සාර්ථකවීම මත ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ වන තරග කාලසටහන සංශෝධනයක් කරමින් තරගාවලිය මේ මස 18 වැනිදා ආරම්භ වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු සහ දත්ත සම්පාදකවරයා කොවිඩ් 19 වෛරස් ආසාධිතයින් ලෙස හඳුනාගැනීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ට රැඳී සිටිය යුතු නීරෝධායන කාල සීමාව නිසියාකාරව සම්පූර්ණ කිරීමට වැඩි කාලයක් ලබාදීම අරමුණු කොට මෙම තීරණයට එළැඹ සිටියි.

ඒ අනුව මේ මස 13 වැඅනිදා ආරම්භවීමට නියමිතව තිබූ තරග මාලාව මෙම මස 18 වැනිදා ආරම්භ වනු ඇත. තරග කාලසටහනේ සිදුවූ සංශෝධනය පිළිබඳව අදහස් දක්වා සිටින ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා මහතා අදහස් දක්වමින්, “එහි පවතින තත්ත්වයන් වල අසාමාන්‍ය තත්ත්වයක් කියලා අපිට තේරෙනවා. මේ අසීරු කාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පූර්ණ සහාය ලබා දීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කළා. අපේ වෛද්‍ය කණ්ඩායම ශ්‍රී ලංකාවේ වෛද්‍ය කණ්ඩායම සමඟ නිරන්තයෙන්ම සම්බන්ධ වී සිටින අතර තරගාවලිය ක්‍රියාත්මක කිරීමට උපකාරී වන සියලුම ආරක්ෂිත විධි විධාන අනුගමනය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉදිරි දිනවලදී දෙරට අතර උද්‍යෝගිමත් තරගාවලියක් දැක බලාගනු හැකි බව අපිට විශ්වාසයි” යැයි සඳහන් කර සිටියි.

තමන් කරන ලද යෝජනාව යහපත් ප්‍රතිචාර දැක්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කැමැත්ත පළ කිරීම සම්බන්ධව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා, “ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව කර ගනිමින් මේ මොහොතේ අප සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට කැමැත්ත පළ කිරීම පිළිබඳව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට අප බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. දෙපාර්ශ්වය අතර පවතින දීර්ඝ කාලීන සම්බන්ධතාව අතරතුර මෙවැනි අවස්ථා ගණනාවකදී ඔවුන් අප සමඟ කටයුතු කරලා තියෙනවා” යි යනුවෙනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ප්‍රධාන විධායක නිලධාරීවරයා තරගාවලි කාල සටහන සංශෝධනය කිරීම හරහා ක්‍රීඩකයින් සහ නිලධාරීන් ආරක්ෂාව වගේම සංචාරයේ අඛණ්ඩව පවත්වාගැනීමට ඉවහල් වන බව සඳහන් කර සිටියේය.

Related Posts