
‘සුපිරි මවක’ වූ ඉන්දීය ව්යාඝ්ර ධේනුව සාමාන්‍ය අන්දමේ විශාල බිළාලයෙකු නොවූවා ය.
ඉන්දියාවේ ප්‍රසිද්ධම ව්යඝ්රයින්ගෙන් එකෙකු වූ ‘කොලර්වාලී’, පසුගිය සති අන්තයේ දී මියගියේ සොළොස් හැවිරිදි වියෙහි සිටිය දී ය. මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි ඇගේ නිවෙස වූ පෙන්ච් ව්යාඝ්ර රක්ෂිතයේ දෛවය වෙනස් කිරීමෙහිලා ඇගෙන් ඉටුවූයේ විශාල කාර්යභාරයකි.
පළඳවා තිබූ රේඩියෝ කොලරය නිසා නම් ලැබූ ඇය, සිය ජීවිත කාලය පුරාවට අට වරක දී පැටවුන් 29 දෙනෙකු බිහි කළා ය. එක් විශේෂඥයෙකුට අනුව ඇය “සශ්‍රික” දායාදයක් විය.
වසර දෙකක් තිස්සේ ව්යාඝ්ර පැටවුන් සිව්දෙනෙකුගේ ජීවිතය ගතවූ අයුරු පෙන්නුම් කරමින් BBCය විසින් නිපදවුණු “ස්පයි ඉන් ද ජංගල්” නම් වනජීවී වාර්තාමය වැඩසටහනෙහි ‘තාරකාවක්බවට’ පත්වීමෙන් පසු, කොලර්වාලී ඉන්දියාවේ සුප්‍රසිද්ධ ව්යඝ්රයින් අතරට එක්වූවා ය.
නරඹන්නන්ගේ රැල්ලක් උද්‍යානය වෙත ගෙන ඒමට මෙම වාර්තා චිත්‍රපටය හේතුවූ අතර, ඔවුන්ගෙන් බොහෝදෙනෙකු කොලර්වාලී සහ ඇගේ ජනකාන්ත මව පිළිබඳව විමසුවේයැ යි, 2004 දී පෙන්ච් හා සම්බන්ධවූ ස්වභාව විද්‍යාඥ ප්‍රබීර් පටිල් පැවසීය.
ජනවාරි 15 වන සෙනසුරාදා කොලර්වාලී මියගියේ මහලු විය නිසා ඇතිවූ සංකූලතාවන් හේතුවෙනි.

ස්වභාව විද්‍යාඥයන්, වන නිලධාරීන්, සහ වනජීවී ඡායාරූප ශිල්පීන්, තමා අභයභූමිය තුළ හැදී වැඩෙනු දුටු මෙම සත්ත්වයා ගැන කතාබහ කරන්නේ ආදරයෙනි. රඩ්යඩ් කිප්ලිං විසින් රචිත සම්භාව්‍ය කෘතියක් වන “ද ජංගල් බුක්” සඳහා ආභාසය වන්නට ඇතැ යි විශ්වාස කෙරෙන්නේ ද මෙම වනාන්තරයන්ම ය.
2005 වසරේ දී, “බඩී මාතා” හෙවත් “ලොකු අම්මා” යනුවෙන් හැඳින්වුණු ප්‍රසිද්ධ ව්යාඝ්ර දෙන ලද T-15 නම් පැටවා වශයෙන් ඈ උපත ලැබුවා ය. ඇගේ පියාගේ නාමය වූයේ T-1 යි.
පසුකලෙක, මෙම උද්‍යානයේ රේඩියෝ කරපටියක් ලද ප්‍රථම ව්‍යාඝ්‍රදෙන බවට පත්වීමෙන් පසු ඇය “කොලර්වාලී” – එනම්, කොලරයක් පැළඳි තැනැත්තිය – යනුවෙන් හඳුන්වනු ලැබුණි. මෙම කොලරය හරහා වසර කීපයක් තිස්සේ ඇගේ චර්යාවන් නිරීක්ෂණය කෙරිණි.
වනජීවීලෝලීන් විසින් ඈ “මාතරම්”, එනම් “ගෞරවනීය මාතාව” යන ආදරනීය නාමයෙන් ද හඳුන්වනු ලැබුණි. මෙය ඈ ජීවිත කාලය තුළ උපයාගත් නමක් විය.

“කොලර්වාලී ඉපදෙන්න කලින් පෙන්ච්වල දී ව්‍යාඝ්‍රයෙක් දකින්න ලැබුණේ කලාතුරකින්. ඒත් ඇය ඉක්මනටම මෙහෙදී වැඩියෙන්ම දකින්න ලැබුණු ව්‍යාඝ්‍රදෙන බවට පත්වුණා,” පටිල් පැවසුවේ ය.
සංරක්ෂණවේදී විවේක් මෙනන් ඈ හඳුන්වන්නේ “පෙන්ච්හි මුහුණත” ලෙස යි. ඇගේ අසාමාන්‍ය “චරිත ස්වභාවය නිසා බොහෝ සංචාරකයින්ට සහ ඡායාරූප ශිල්පීන්ට ඈත්, ඇගේ පැටවුනුත් වාර්තාකරණය කළ හැකි වූබව” ඔහු පවසයි.
කොලර්වාලී පෙන්ච් වෙත පැමිණි සංචාරකයින්ගේ බලාපොරොත්තු කිසිදා කඩ නොකළබව, පෙන්ච් රක්ෂිතය අද්දර හැදී වැඩුණු ස්වභාව විශේෂඥයෙකු වන මොහොමඩ් රෆීක් ෂෙයික් කියා සිටියේ ය.
අභයභූමිය හරහා සිය ගණනක් සංචාරකයින්ට මඟපෙන්වූ ෂෙයික් ප්‍රකාශ කරන්නේ, “එයා හරි මිත්‍රශීලි සතෙක්, කිසි බයක් නැතුව ටුවරිස්ට්ලාට යි, වාහනවලට යි ළඟටම එනවා,” යනුවෙනි.
ඉන්දියාව, ලොව ව්යාඝ්ර ගහණයෙන් 70%කටත් වඩා අධික ප්‍රතිශතයකට නිවහන වෙයි. එරට රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව පෙර දී ව්යාඝ්ර ගහණය අඩුවෙමින් පැවතුණත්, මේ වන විට 2976 දක්වා ඉහළ නැග තිබේ. සෑම වසරකම දහස් ගණනක් සංචාරකයින් ඉන්දියාව පුරා විසිර ඇති ව්යාඝ්ර රක්ෂිතයන් 51 කරා ඇදෙන්නේ මේ මහේශාක්‍ය සතෙකු ක්ෂණයකට හෝ දර්ශනය වනු ඇතැ යි බලාපොරොත්තුවෙනි.
කොලර්වාලී බොහෝ ආකාරයන්ගෙන් සුවිශේෂී වූවා ය. ඇය “ඇගේ මවුගේ බල ප්‍රදේශයෙන් හොඳම කොටසෙහි” සිය වසම පිහිටුවාගත් අතර, ඉන් පිටතට ගමන් කළේ කලාතුරකිනි. ඇය මරණය තෙක්ම එම ප්‍රදේශයෙහි ආධිපත්‍යය ඉසිලුවා ය.
“ඇය කොච්චර ලොකු ද කියනවා නම් අනිත් ව්‍යාඝ්‍රයො බය වුණා ඇය එක්ක සටන් කරන්න. සමහර වෙලාවට, වෙන වෙන ව්යාඝ්ර රක්ෂිතවලින් පෙන්ච්වලට ආපු නිලධාරියො මෙයා පිරිමි සතෙක් කියලා වරදවා වටහාගත්තා, ඒ මෙයාගේ ප්‍රමාණය නිසා,” පටිල් සඳහන් කළේ ය.
ඉන්පසු අප ඇගේ පැටවුන් 29 දෙනා දෙස හැරිය යුතු ය – මින් 25 දෙනෙකුගේ දිවි රැකුණි. මෙය ඉන්දියාව තුළ වාර්තාවක් වනවා සේම, ලෝක වාර්තාවක් ද වන්නට හැකි ය.
2008 වසරේ දී ඇගේ පළමු පැටවුන් තිදෙනා නියුමෝනියාවෙන් මියගියමුත්, ඇය ඉක්මණින්ම විශේෂඥයන් සතුටට පත්කරමින් ඉතා කෙටි කාල පරාසයකින් යුතුව පැටවුන් බිහිකිරීම ඇරඹුවා ය. 2010 වසරේ දී ඇය එක වැදුමකින් පැටවුන් පස්දෙනෙකු බිහිකළ අතර, ස්වභාව විද්‍යාඥයින් පවසන පරිදි මෙය ඉතා දුර්ලභ සිදුවීමකි.

බොහෝ ව්යාඝ්ර දෙනුන් වසර දෙකකටත් වැඩි කාලයක් සිය පැටවුන් තමා සමගම රඳවාගන්නා නමුත්, කොලර්වාලී සිය පැටවුන්ට ඉන්පෙර ස්වාධීනවීමට දිරිමත් කරමින් ඔවුන් ගොදුරු බහුල ප්‍රදේශයන්හි තනිකර දැමුවා ය.
“ඇය ශක්තිමත් අම්මෙක්, සමහර වෙලාවට පැටවුන්ට කන්න දෙන්න දවසට දෙපාරක් දඩයම් කළා,” වෛද්‍ය අඛිලේෂ් මිශ්රා පැවසුවේ ය. වනෝද්‍යානයේ පශුවෛද්‍යවරයා වන ඔහු කොලර්වාලීගේ ජීවිතය පුරාවට කීපවරක දීම ඇයට ප්රතිකාරකර ඇත.
ව්‍යාඝ්‍රදෙන සමග වැඩ කරන්නට අවස්ථාව ලැබුණු තමා “මිහිපිට වෙසෙන වාසනාවන්තම පුද්ගලයින්ගෙන් අයෙකුබව” වෛද්‍යවරයා පවසයි.
“ස්වාස්ථාවේ උච්චතම අවස්ථාවෙහි පවතින” කොටි රක්ෂිතයක ප්‍රතිරූපය පෙන්ච් උද්‍යානය වෙත ලබාදීම සම්බන්ධයෙන් මෙනන් වැනි සංරක්ෂකයින් කොලර්වාලීට ගෞරවය පුදකරයි – ඔහු පවසන්නේ, මෙය ඇය බිහි කළ පැටවුන් සංඛ්‍යාව සේම ඇගේ උරුමයේ කොටසක් බව යි. ඔවුන්ගේ පැටවුන් ද මෙම ප්‍රදේශයේ කොටි ගහණයට සාමාජිකයින් එක්කරයි.
BBCය සමග කතාබහ කළ සියලුදෙනාට කොලර්වාලී ගැන පවසන්නට ප්‍රියතම කතාන්දරයක් විය – කොලර්වාලීත්, ඇගේ සහෝදර සහෝදරියන් තිදෙනාත්, දඩයමේ යද්දී තම පෙරමඟට පැමිණි කුසගින්නෙන් පෙළුණු දිවියෙකු හඹාගෙනගොස් ඌ ගසකට නංවනු දුටු අයුරු පටිල්ට මතක ය.
වනජීවී ඡායාරූප ශිල්පී වරුන් තක්කර්ගේ ප්‍රියතම කතාව නම්, 2011 දී ඈ ඇගේ “පන් පසිඳුවන්” පැටවුන් රංචුව සමග සිටිනු දැකීම යි – පෙන්ච් ගංගා ඉවුරේ පිහිටි පර්වතයක් මතත්, ඒ වටාත් ව්යාඝ්රයින් සයදෙනා විවේකීව ලැග සිටිනු ඔහු දුටුවේ ය. වසර එකොළහකට පසුව ද, එදා ඒ දුටු දර්ශනය ඔහුගේ මනසේ පැහැදිලිව ඇඳෙයි.
වෛද්‍ය මිශ්රා පවසන පරිදි, බුද්ධිමත් කොලර්වාලී කරදරයට පත්වූ විටත්, තුවාල ලැබූ විටත් ප්‍රසිද්ධියේ එළිමහනේ වැතිර සිටින්නට හිඳ තිබේ. ඈ තමා රැකබලාගත් මිනිසුන්ගේ උපකාරය බලාපොරොත්තුවෙන් සිටියාක් මෙන් පෙනෙන්නට තිබූ වග ඔහු ප්‍රකාශ කරයි.

ඈ ඇගේ මරණයට පෙර දිනයේ දී ද, “ඇවිදීමටවත් නොහැකි තරමට දුර්වලව සිටිය දී පවා” එසේ සිදුකළබව ඇසින් දුටුවෙකු කියා සිටියි.
ජනවාරි 16 වැනි ඉරිදා රක්ෂිතයේ කාර්යමණ්ඩලය, ස්වභාව විද්‍යාඥයන්, සහ ගම්වැසියන් පුෂ්පෝපහාර දක්වා අවසන් වතාවත් සිදුකිරීමෙන් අනතුරුව, රක්ෂිතයට අයත් විවෘත භූමිභාගයක දී කොලර්වාලී ආදාහනය කෙරුණි.
රක්ෂිතයේ කාර්යමණ්ඩලය විසින් නිමැවුණු අවමංගල වීඩියෝවක් ආරම්භ වන්නේ, ඈ ඇගේ නිවහනේ තෘණබිමක් මත වැතිර සුවදායීව සිටිනා දර්ශනයකිනි. එවිට, “බිලවඩ් කොලර්වාලී” (ආදරනීය කොලර්වාලී) යන අකුරු තිරය මත පහළ වේ.
ඈට ආදරය කළ මිනිසුන් ඈ මතක තබාගනු ඇත්තේ එම ස්වරූපයෙනි.
කොලර්වාලී වෙනත් කිසිදු ව්‍යාඝ්‍රයෙකුට වඩා සුවිශේෂී වුව ද, තමා ඇගේ මරණය ගැන නොවැලපෙනබව වෛද්‍ය මිශ්රා පවසයි – ඒ වෙනුවට, ඇගේ උරුමය සැමරීමට ඔවුනට අවශ්‍යව තිබේ. “එයා සම්පූර්ණ, සතුටුදායක ජීවිතයක් ගෙව්වා,” ෂෙයික් පැවසුවේ ය. “අපට එයා මැරුණු එක ගැන දුක යි, ඒත් එයා අපේ හදවත්වල ඉතිරිවෙලා ඉන්නවා.”
bbc sandesaya