ඇමරිකාව හදන Covid-19 එන්නතට ඉන්දියාවේ සහාය අවශ්‍ය වුණේ ඇයි?

Spread the love

නව කොරෝනාවෛරසයට එරෙහිව එන්නතක් සංවර්ධනය කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාව ඒකාබද්ධ වී කටයුතු කරමින් සිටින බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මීට දෙසතියකට පමණ පෙර ප්‍රකාශ කර තිබිණි.

ඔහුගේ ප්‍රකාශය කිසිවෙකුට මවිතය දනවන්නක් නොවිණි.

දශක තුනක් තිස්සේ මෙම රාජ්‍යයන් දෙක ඒකාබද්ධව ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් වූ එන්නත් සංවර්ධනය කිරීමේ වැඩසටහන් දියත් කර තිබේ.

ඩෙංගු රෝගය, උණ සන්නිපාතය, ඉන්ෆ්ලුවෙන්සා සහ ක්‍ෂය රෝගය මැඬලීම සඳහා දෙරට එක්වී එන්නත් සොයා ගැනීමට කටයුතු කිරීම ඊට උදාහරණ ලෙස දැක්විය හැකිය.

ඩෙංගු රෝගයට එරෙහි එන්නතක් අත්හදා බැලීම, ඉක්මනින් ආරම්භ කිරීම සඳහා සැලසුම් කර තිබේ.

එන්නත් සහ සාමාන්‍ය ඖෂධ වර්ග මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන රටවල් අතර ඉන්දියාව ද සිටී.

මහා පරිමාණයෙන් එන්නත් නිපදවන සමාගම් හයක් පමණ ඉන්දියාව තුළ ඇත. එමෙන් ම සුළු හා මධ්‍යම පරිමාණයෙන් එන්නත් නිපදවන සමාගම් රාශියක් ඉන්දියාවේ ක්‍රියාත්මක වන අතර ඔවුහු පෝලියෝ, මෙනින්ජයිටීස්, නියුමෝනියා, බීසීජී, සරම්ප, කම්මුල්ගාය, රුබෙල්ලා වැනි එන්නත් නිෂ්පාදනය කරති.

මේ වන විට ඉන්දීය සමාගම් හයක් පමණ නව කොරෝනවෛරසයට එරෙහිව එන්නත් සංවර්ධනය කරමින් සිටී.

Serum Institute of India ඉන් එක් සමාගමකි. මේ වන විට ඔවුන් විසින් නිපදවනු ලබන විවිධ එන්නත් මාත්‍රා ගණන සහ ලොව පුරා අලෙවි වන ඔවුන්ගේ එන්නත් ප්‍රමාණය ගත් කල එය ලොව විශාලතම නිෂ්පාදනාගාරයයි.

Serum Institute of India: ලොව විශාලතම එන්නත් නිෂ්පාදනාගාරය
Serum Institute of India: ලොව විශාලතම එන්නත් නිෂ්පාදනාගාරය

වසර 53ක් තිස්සේ පවත්වාගෙන යන මෙම සමාගම වසරකට එන්නත් මාත්‍රා බිලියන 1.5ක් නිෂ්පාදනය කරයි. ඉන් වැඩි ප්‍රමාණයක් නිපදවෙන්නේ ඉන්දියාවේ බටහිර ප්‍රදේශයේ, පූනේ නගරයේ පවතින නිෂ්පාදනාගාර දෙක තුළදීය.

මෙම සමාගමට අයත් තවත් කුඩා නිෂ්පාදනාගාර නෙදර්ලන්තයේ සහ චෙක් රිපබ්ලික්හි පිහිටුවා තිබේ. මෙම සමාගමට අයත් සමස්ත සේවක සංඛ්‍යාව 7,000ක් පමණ වේ.

මෙම සමාගම විසින් එන්නත් වර්ග 20ක් පමණ රටවල් 165කට සපයනු ලැබේ. සිය සමස්ත නිෂ්පාදනයෙන් 80%ක් පමණ අපනයනය කෙරේ. ලෝකයේ අඩු ම මිලකට අලෙවි වන එන්නත් අතරට ඔවුන්ගේ නිෂ්පාදන ද එක් වන අතර දළ වශයෙන් එක් එන්නතක් අලෙවි වන්නේ ශත 50කට පමණය.

නව කොරෝනවෛරසයට එරෙහිව එන්නතක් සංවර්ධනය කිරීම සඳහා ලොව පුරා විද්‍යාඥ කණ්ඩායම් 80ක් පමණ වෙහෙසෙමින් සිටින බව වාර්තා විය.

ඒ අතරින් එක් එන්නතක් සංවර්ධනය කිරීම සඳහා ඇමරිකානු ජීව තාක්ෂණික සමාගමක් වන Codagenix සමග Serum Institute of India ද අත්වැල් බැඳගෙන සිටී.

මෙම එන්නත සජීවී රෝගකාරක බීජවලින් සමන්විත වන නමුදු එහි හානිකර කොටස් ඉවත් කොට රසායනාගාරය තුළ අඩපණ කරන ලද්දකි. එබැවින් ඒ හරහා කොවිඩ්-19 රෝගය ඇති නොවේ. විටෙක ඉතා සුළු රෝග ලක්ෂණ පමණක් ඇති විය හැක.

“මේ එන්නත අපි අප්‍රේල් මාසයේදී සතුන් මත (මීයන් සහ වඳුරන් මත) අත්හදා බැලීමට සැලසුම් කරලා තියෙනවා. සැප්තැම්බරය වන විට එය මිනිස් සිරුර මත අත්හදා බැලීම ආරම්භ කරන්න පුළුවන් වේවි.” Serum Institute of India ආයතනයේ ප්‍රධාන විධායක අදාර් පූනවල්ලා දුරකතනය ඔස්සේ සම්බන්ධවෙමින් පැවසීය.

එක්සත් රාජධානියේ ආණ්ඩුවේ සහයෝගය ඇතිව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය විසින් සංවර්ධනය කෙරෙමින් පවතින කොරෝනාවෛරස් එන්නත මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම සඳහා ද ඔහුගේ සමග ම දායක වනු ඇත.

මෙම එන්නත සංවර්ධනය වන්නේ ජානමය වශයෙන් වෙනස් කරන ලද, චිම්පන්සින්ගෙන් ලබා වෛරසයක් යොදා ගනිමිනි. එය මිනිසා මත අත්හදා බැලීම ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේදී පසුගිය සතියේ ආරම්භ විය.

මෙම එන්නත සාර්ථක වුවහොත් සැප්තැම්බරය වන විට අඩු තරමින් ඉන් මාත්‍රා මිලියනයක් නිෂ්පාදනය කිරීමට විද්‍යාඥයෝ අපේක්ෂා කරති.

මේ වසංගතය නිමා කොට රටවල් නැවත යථාතත්ත්වයට පත් කර ගැනීමට නම් මේ වසර අවසානය වන විට එන්නත් මාත්‍රා මිලියන සිය ගණනක් ලෝකෙට අවශ්‍ය වන බව ඉතා පැහැදිලියි.” ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ Jenner ආයතනයේ මහාචාර්ය ඒඩ්රියන් හිල් බීබීසීයේ විද්‍යා හා සෞඛ්‍ය වාර්තාකරු ජේම්ස් ගැලහර්ට පැවසීය.

ඉන්දීය එන්නත් නිෂ්පාදනාගාර ඉදිරියෙන් සිටින්නේ මෙවැනි වාතාවරණයක් යටතේය. අදාර් පූනවල්ලාගේ Serum Institute of India ආයතනය සතු නිෂ්පාදනාගාර තුළ පමණක් එන්නත් මාත්‍රා මිලියන 400ක් හෝ 500ක් නිපදවීම සඳහා අමතර ධාරිතා ශක්තියක් පවතී.

එපමණක් නොව. හයිදර්බාද් නුවර පිහිටි Bharat Biotech තවත් ඉන්දීය ඖෂධ සමාගමකි. කොරෝනාවෛරසයට එරෙහි එන්නතක මාත්‍රා 300ක් පමණ නිපදවා ලොව පුරා බෙදා හැරීම සඳහා එක්සත් ජනපදයේ FluGen ඖෂධ සමාගම සහ Wisconsin Madison විශ්වවිද්‍යාලය සමඟ ඒකාබද්ධ වූ බව Bharat Biotech ද නිවේදනය කළේය.

ඊටත් අමතරව ඉන්දියාවේ Zydus Cadilla ඖෂධ සමාගම තවත් එන්නත් දෙකක වැඩකටයුතු සඳහා අතගසා ඇත. එමෙන් ම, Biological E, Indian Immunologicals, සහ Mynvax යන ඉන්දීය සමාගම් ද කොරෝනාවෛරසයට එරෙහි එන්නතක් බැගින් සංවර්ධනය කරමින් සිටිති.

මේ සියල්ලට අමතරව කොරෝනාවෛරසයට එරෙහි එන්නත් හතරක් හෝ පහක් මේ වන විට ඉන්දියාව තුළ සංවර්ධනය වෙමින් පවතින අතර ඒවා මුලික අදියරේ පවතී.

මෙම එන්නත් තොග වශයෙන් නිෂ්පාදනය කිරීම සඳහා ආයෝජනය කළ ව්‍යවසායකයන්ට සහ ඖෂධ සමාගම්වලට ඒ සම්මානය හිමි විය යුතුයි. ලෝකය වෙනුවෙන් යහපතක් කිරීමත් එම සමාගම්වල අයිතිකරුවන්ගේ එක් අරමුණක්. එමෙන් ම සාර්ථක ව්‍යාපාරයක් පවත්වාගෙන යාමත් එමගින් සිදුවන අතර මෙය දෙපාර්ශවයට ම ජයග්‍රහණයක් ගෙන දෙන ආකෘතියක්,” ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප්‍රධාන විද්‍යාඥ සෞම්‍ය ස්වාමිනාදන් පැවසීය.

කෙසේ වී නමුදු, කොරෝනාවෛරසයට එරහිව සාර්ථක එන්නතක් ඉතා ඉක්මනින් වෙළඳපොළට පැමිණෙනු ඇතැයි අපේක්ෂා නොකරන ලෙසට විශේෂඥයෝ අනතුරු අඟවති.

ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ්හි, ගෝලීය සෞඛ්‍යය පිළිබඳ මහාචාර්ය ඩේවිඩ් නබාරෝ පවසන්නේ එන්නතක් සාර්ථකව සංවර්ධනය වනු ඇති බවට කිසිදු සහතිකයක් නොමැති හෙයින් මිනිසාට කොරෝනාවෛරස් තර්ජනය සමඟ “සැලකිය යුතු කාලයක්” ජීවත් වීමට සිදුවනු ඇති බවය.

කොරෝනවෛරසයට එරෙහිව තැනෙන එන්නතකින් ප්‍රතිශක්තියට හානිකර දෙයක් සිදුවන්නට ඇති ඉඩකඩ පිළිබඳවත් සිතා බැලීම යහපත් බව Vermont Medical Centre විශ්වවිද්‍යලයේ එන්නත් පිළිබඳ පර්යේෂක ටිම් ලාහේ අනතුරු අඟවයි.

ලොව පුරා කොරෝනාවෛරසය ආසාදනය වුවන්ගේ සංඛ්‍යව මිලියන 2.5 ඉක්මවා තිබේ. මරණයට පත් ගණන 177,000කට අධිකය.

මෙම වෛරසයට එරෙහිව එන්නතක් බිහි කිරීමේ ක්‍රියාවලියට සැලකිය යුතු කාලයක් ගත වේ. සෑම එන්නතක් ම නිකුත් කිරීමට පෙර අත්හදා බැලීම් කළ යුතුය.

“නමුත් අපි බලාපොරොත්තු සහගතයි, ඉතාමත් ම බලාපොරොත්තු සහගතයි වසර දෙකකින් හෝ ඊට අඩු කාලයකින් ප්‍රත්‍යක්ෂ එන්නතක් බිහිකළ හැකි බවට,” Serum Institute of India ආයතනයේ ප්‍රධාන විධායක අදාර් පූනවල්ලා පැවසීය.

මෙම සම්පූර්ණ ලිපියම බි.බී.සී සන්දේශය වෙබ්අඩවියෙන් උපුටා ගන්නා ලදි – ප්‍රධාන සංස්කාරක

RSL

Related Posts