ඇමරිකාවේ ජනාධිපතිවරණ ප්‍රතිඑලය ද, ලංකාවේ ජනාධිපතිවරණයන් හි ප්‍රතිඑල කැඩපතකි

මැතිවරණ කළමනාකරණයේ‘ දී ජයගන්නේ අපේක්ෂකයින් හෝ පක්ෂ නොව දත්ත පාදක ‘මැතිවරණ විද්‍යාව‘ යි. ඇමරිකාවේ අප අත්දකිමින් සිටින්නේ ලංකාවේ 2015 ජනාධිපතිවරණයේ මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් ගොනුකළ ‘මැතිවරණ විද්‍යාවේ‘ ජයග්‍රහණයේ කථාවයි. නැතිනම්, 2019 දී බැසිල් රාජපක්ෂ විසින් ගොනු කළ ‘මැතිවරණ විද්‍යාවේ‘ සාර්ථකත්වය යි

1994 – 2019 ලංකා ජනාධිපතිවරණයන් හි ජයග්‍රාහකයා පිළිබඳ තීරණාත්මක සාධකය කුමක්ද?දෙමළ ජනතාවගේ ඡන්දය මිලදී ගැනීම, හා මුස්ලිම් ජාතිකයින් ගේ ඡන්දය අවහිර කිරීම ය.

ද්වි පක්ෂ දේශපාලනයේ ජයග්‍රහකයා තීරණය වන්නේ තරාදියේ එක් තට්ටුවක ඡන්ද අඩු කිරීමෙන් පමණක් නොවේ. අනෙක් තට්ටුවේ ඡන්ද වැඩි කිරීමෙන් ද එය සිදුවේ. ඇමරිකාවේ දැන් තත්වය ද එයමය. ජෝර්ජියාව, ජෝ බයිඩ්න් ගේ පැත්තට හැරී ඇත. අන්තිම මොහොතේ ජෝ බයිඩ්න් පය ගැසූ මිචිගන් ද ඔහු දිනා ඇත. ‘මැතිවරණ විද්‍යාව‘ ම ජයගත් සම තත්වයකට ඇමරිකානු ඡන්දය දැන් පත්ව ඇත.

බයිඩ්න්ට ජය කැන්දන තැපැල් ඡන්දය

ඇමරිකාව පුරා කෝවිඩ් රැල්ල පැතිර යද්දී, ඡන්දය තියෙන දවසේ ඡන්දපොළට යාමට ඉඩම් නොලැබෙනු ඇතැයි බියක් ඇති විය. ඒ බිය පැතිර වූවේ නිදහස් ජනමධ්‍ය යි. ඇමරිකාවේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 55% – 57% සීමාවේ පවතී. නමුත්, 2020 ඡන්දයේ ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රමාණය (66.4%) ප්‍රකාශයට පත්ව ඇත. අතිරේක ඡන්ද වැඩිවූයේ තැපැල් ඡන්ද ලෙසිනි.

ඩිමෝක්‍රටික් පාක්ෂිකයින් හා ඔවුන්ට අනුබද්ධ සංවිධාන කෝවිඩ් නිසා ඡන්ද පොළට යා නොහැකි බැවින් තැපැල් ඡන්දයට ලියාපදිංචි වන ලෙස ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන ගියේය. එයට ඉහළම දායකත්වය දැක්වූවේ නිදහස් හා සමාජ මාධ්‍ය යි.

මේ ප්‍රවණතාව හදුනාගත් ට්‍රම්ප් කණ්ඩායම තැපැල් ඡන්දය ලියාපදිංචි වළක්වන්නට සෑම දේම කළේය. උසාවි ගියේය. ටෙක්සාස් ඇතුළු ප්‍රාන්ත ගණනාවක තහනම් නියෝග ගත්තේය. ඒ සඳහා ට්‍රම්ප් අලුතෙන් පත් කළ විනිසුරුවරු දැක්වූ දායකත්වය ද ගැන කාටුනයක් මේ සමඟ අමුණා ඇත. (මතක තබා ගන්න. ලංකාවටත් මෙය අනාගතයේ දී අදාළ විය හැකිය)

ඇමරිකානු ඉතිහාසයේ වැඩිම ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය (66.4%) මෙවර වාර්තා වී ඇත. මිචිගන් හි 73% කි. (මෙයට පෙර වැඩිම 2008 – 69%කි) ජොර්ජියා මෙවර 67% කි. (ජොර්ජියාවේ පෙර වාර්තාව 2008 හි 62% කි)

තැපැල් ඡන්ද ජෝ බයිඩන් ගේ ජයග්‍රහණයේ තීරණාත්මක සාධකය වී ඇති ගැන කියන්නට මිචිගන් හා ජොර්ජියානු උදාහරණය ප්‍රමාණවත් අතර එය වැළැක්වීමට ට්‍රම්ප් දැරූ උත්සාහය පසුගිය මාස 4 තුළ ද, පසුගිය දින දිකේ ද කැපී පෙනුණි.

දැවැන්ත ජනතා ව්‍යාපාරයක් මගින් උපද්දවා ගත් ඡන්ද ගොඩ තම මල්ලට දමාගන්නට ජෝ බයිඩ්න් ගේ ඩිමෝක්‍රටික් පක්ෂය සමත්ව ඇත. ඔහු ජනාධිපතිවනවා නම්, තීරණාත්මක ජය සාධකය මේ අලුත් ඡන්දය යි. පරාජය වූවත්, මෙහෙම සටනක් දෙන්නට අවස්ථාව උදාවූවේ තැපැල් ඡන්ද නිසාය.

ලංකාවේ ද මේ තත්වය වෙනස් නැත.

2005 දී මහින්ද රාජපක්ෂට දිනන්නට අවශ්‍ය අලුත් ඡන්ද ටික ගෙනාවේ ජවිපෙ යි. එය ජවිපෙ හි ලක්ෂ 2 කාඩර් එකට වැඩි ප්‍රමාණයකි. උතුරේ දෙමළ ඡන්දය පාගාවක් දී නැවැත්වූ දුප්පත් රනිල් උදේ 10 වන තුරුම එය දැන සිටියේ නැත. නැගෙනහිර මුස්ලිම් ඡන්ද වැලැක්වන්නට අවශ්‍ය වූවේ බෝම්බ කිහිපයකි.

2015 දී සිදු වූයේ එහි අනික් පැත්තය.

හැදුණුම්පත් නැති අති බහුතරයක් වූ දෙමළ – මුස්ලිම් ජනතාවට හැදුණුම්පත් සාදා දෙන ලදී. ජවිපෙ, චම්පික ලා අවසන එක් විය. ප්‍රජාතන්ත්‍රවාදය ගැන උනන්දු වූ තරුණ කණ්ඩායම් (උදා – අලුත් පරපුර) ගෙනාවේ ඔවුන්ගේ ඡන්ද 100 – 150 නොවේ. එයට වැඩි ප්‍රමාණයකි. ජවිපෙ කළේ කාඩර් එක සමඟ පෝස්ටර් ගැසීම පමණක් නොවේ.

සුදර්ශන ගුණවර්ධන, උපුල් කුමරප්පෙරුම, උදුල් ප්‍රේමරත්න, ලක්ෂාන් ඩයස්, නිමල්කා ප්‍රනාන්දු ලා කියන්නේ නීතිඥවරුන් දුසිමක් දෙකකට වඩා වැඩි දෙයකි. උතුරේ දෙමළ ජන්ද සල්ලිවලට ගන්නට බැරි තැනකට සිවිල් ක්‍රියාකාරීත්වය ශක්තිමත් වූවේය.

2015 ජනවාරි 8 මෛත්‍රීපාල සිරිසේන දිනුවේ මුස්ලිම් ඡන්ද වළක්වන්නට නොහැකි වූ නිසාය. උදේ පාන්දර මුස්ලිම් ජනතාව ඡන්ද පොළට ගිය නිසාය. එය ඔහුට අලුත් ඡන්දයක් වූවේය.

1994, 1999, 2005, 2010, 2019 සෑම අවස්ථාවක දී ම දෙමළ ඡන්ද මිලදී ගැනීමත්, මුස්ලිම් ඡන්ද වැලැක්වීමේ දේශපාලන ජයගත ගත්තේය.

2015 දී එය මෛත්‍රීපාල සිරිසේන ගේ දේශපාලන ශූරත්වය හෙවත් උදේ 4 රැස්වීම හරහා, චම්පික රණවක, ශිරාල් ලක්තිලක, මෛත්‍රී ගුණරත්න විසින් කළමනාකරණ කරනු ලැබීය. 2015 මෛත්‍රිපාල ට වඩා 2019 සජිත් ගේ රැස්වීම්වලට සෙනඟ සිටියේය. මෛත්‍රී දිනු අතර, සජිත් පැරදීම ‘මැතිවරණ විද්‍යාව‘ යි.  

ඇමරිකානු දත්ත සහ ලංකාවේ ‘නොදත්ත‘

හැමෝම කියන කතාව 2016 දී මෙන්ම මෙවරද ඇමරිකාවේ ජනමත සමීක්ෂණ වැරදුණු බවකි. (Project 358 බලන්න) සමීක්ෂණවලට හසු නොවන ‘සැඟවුණු දත්ත‘ ජයග්‍රාහී ටූල්ස් බවට පත්වී ඇත.

2019 දී බැසිල් රාජපක්ෂ විසින් ගෝඨාභය රාජපක්ෂ ගේ ජයග්‍රහණය වෙනුවෙන් දියත් කර තිබූ ‘බිග් ඩේටා‘ මාදිලිය ලංකාවේ බොහෝ දෙනා තවම දන්නේ වත් නැත. ‘බිග් ඩේටා‘ පද්ධතිය මුදල් හා දැනුම සම්පත ඇති නම් වෘත්තිකයින්ට කළ හැකිය. නමුත්, කුලියට ගන්නා මිනිසුන්ගෙන් ‘දත්ත පාදක සාධක‘ මහ පොළොවේ ජය ගත නොහැකිය.

1973 -1976 පරිගණකයක් හෝ නොමැති යුගයක, ජේ.ආර්.ජයවර්ධන ලංකාවේ ‘බිග් ඩේටා‘ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇත්තේය.

‘මහා සම්ප්‍රදායේ කථාව – එක්සත් ජාතික පක්ෂය‘ කෘතිය ලියන්නට මම එහි මැද කොළඹ, ඇතුළු දත්ත සාම්පල දැක ඇත්තෙමි. එයට සමාන්තරව, ජේ.ආර්. රට පුරා සහ සමාජ කණ්ඩායම් හරහා යන සංවිධාන හා සාමාජික ජාලයක් එදා එජාපය බිහි කර ගත්තේය.

2017- 2019 බැසිල් රාජපක්ෂ කළේ එදා ජේ.ආර්. අතින් කළ දෙයම තාක්ෂණය යොදා ගනිමින් සිදු කිරීමය.

මිත්‍රවරුනි,

‘මැතිවරණ කළමනාකරණයේ‘ දී ජයගන්නේ අපේක්ෂකයින් හෝ පක්ෂ නොව දත්ත පාදක ‘මැතිවරණ විද්‍යාව‘ යි. ඇමරිකාවේ අප අත්දකිමින් සිටින්නේ ලංකාවේ 2015 ජනාධිපතිවරණයේ මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් ගොනුකළ ‘මැතිවරණ විද්‍යාවේ‘ ජයග්‍රහණයේ කථාවයි. නැතිනම්, 2019 දී බැසිල් රාජපක්ෂ විසින් ගොනු කළ ‘මැතිවරණ විද්‍යාවේ‘ සාර්ථකත්වය යි.

2015 දී මෛත්‍රීපාල සිරිසේන නොවන අපේක්ෂකයෙකුටත් දිනන්නට තිබුණි. 2019 ගෝඨාභය නොවී චමල් රාජපක්ෂ අපේක්ෂකයා වූවත් පොහොට්ටුවේ ජයග්‍රහණය වෙනස් වන්නේ නැත.

2020 ඇමරිකානු ජනාධිපතිවරණයේ දී මේ වයෝවෘද්ධ ජෝ බියිඩ්න් හැර තරුණයෙකු ඩිමෝක්‍රටික් පක්ෂයට නොසිටියා දැයි බොහෝ දෙනා මැතිවරණ ව්‍යාපාරය පුරාම අසන්නේය. නූතන මැතිවරණවල දිනන්නේ අපේක්ෂකයාම නොව දත්ත හා උපක්‍රමය ය.

දෙවන වතාවේ පරදින ඇමරිකානු ජනාධිපතිවරුන් ලැයිස්තුවේ හය වැනියා වන්නට ට්‍රම්ප් ට සිදු වන්නේ ඇයි? උත්තරය සරළ ය. ඉතා පැහදිලි ය. දෙදෙනෙකු අතර ද්වන්ධ සටනක ජනාධිපතිවරණය වඩා වැදගත් වන්නේ ‘මැතිවරණ විද්‍යාව‘ මිස අපේක්ෂකයා නොවේ. ‘මැතිවරණ විද්‍යාව‘ යනු විශේඥතාව (Specialization) හා වෘත්තීය භාවය (Professionalism) යි. ඇමරිකානු ජනාධිපතිවරණය, 2024 ට ලංකාවේ දේශපාලන පක්ෂවලට උගන්වන පාඩම එයයි.

රජිත් කිර්ති තෙන්නකෝන්

Loading...

RSL

Related Posts