ආණ්ඩුව එහෙට මෙහෙට බෝලේ පාස් කරනවා විතරයි – සුනිල් හඳුන්නෙත්ති

මුදල් හොයන්න දන්නා බව කියා සිටියද ආණ්ඩුවේ අය දන්නේ තමන්ට මුදල් සොයා ගන්න ක්‍රමය විතර යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරයි.

සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසූවේ අද (15) පෙරවරුවේ පැලවත්ත බත්තරමුල්ල හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

එහිදී ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස්…

“මේ වනවිට අපේ රටේ විදේශ විනිමය සහ විදේශ වත්කම් පිළිබඳව බරපතළ අර්බුදයක් ඇතිවී තිබෙනවා. මේ නිසා අත්‍යාවශ්‍ය ආනයනයන් සහ ණය ගෙවීම්වලට දැඩි බලපෑම් සිදුවී තිබෙනවා. ආණ්ඩුව බලයට පත්වන විට විදේශ විනිමය හොයන ක්‍රමය අපි දන්නවා කියලා කිවුවා. ඔවුන් පැහැදිලිව කීවේ, “අපි මුදල් හොයා ගන්න විධිය දන්නවා” කියලා. මුදල් රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් මහත්තයාත් අවස්ථා ගණනාවකදීම මුදල් අර්බුදයක් නැති බව කිවුවා. තව ඇමතිවරුන් කිහිප දෙනෙක්ම ඒ අනුව යමින් මත පළ කළා. අපිට පේන දේ, අගමැතිවරයා, ජනාධිතිවරයා සහ අලුත් මුදල් ඇමතිවරයා මුදල් හොයන විධිය දන්නවා කියලා කීවාට ඔවුන් කියලා තියෙන්නේ ඔවුන්ට පුද්ගලිකව මුදල් හොයාගන්න විධිය ගැන. නමුත් රටට, රටේ ණය ගෙවන්න මුදල් හොයන විධිහ ගැන ඔවුන්ට අවබෝධයක් තියෙනවාද කියලා ප්‍රශ්නයක් අපට තිබෙනවා.

ඔවුන් දිගින් දිගටම කියන්නේ කොරෝනා වසංගත තත්වය නිසා මේ අර්බුදයට පත්වුණු බවයි. නමුත් ඉතිහාසයේ ඉඳලා සහන ණය ගනිමින් ඉඳලා 2007න් පස්සේ සංවර්ධන බැඳුම්කර සහ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වෙළඳපොළෙට ගිහින් ඉහළ පොලී අනුපාතවලට ආණ්ඩුව ණය ගත්තා. ඒ ණය ආයෝජන ප්‍රතිලාභ ශක්‍යතාවය හරියට ගණනය නොකළ නිසා ඉහළ පොලියක් එක්ක ණය අද ගෙවන්න වෙලා තියෙනවා. අපේ රටේ ජනතාවට තමයි, මේ සියල්ලේ බර දරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ජූලි මාසේ 09වැනිදා මහ බැංකුව නිකුත් කළ සතිපතා ආර්ථික දර්ශක වාර්තාව අනුව ජූනි මාසයේ අවසානයේදී විදේශ වත්කම් සංචිතය ඩොලර් බිලියන 04යි. මෙයින් ඩොලර් මිලියන 381ක් රත්‍රං හැටියට තියෙන්නේ. ජාත්‍යන්තර අරමුදලේ සංචිත හැටියට කොටසකුත් වත්කම් හැටියට ඩොලර් බිලියන 3.5ක් තියෙනවා. මේ ආණ්ඩුව පහුගිය කාලයේ අපේ රත්‍රං සංචිතයේ ටොන් 13න් ටොන් 09ක් විකිණුවා. දැන් ප්‍රශ්නය තියෙන්නේ ජූලි 27 වනවිට ඩොලර් බිලියනයක ස්වෛරීත්ව බැඳුම්කරයක් පියවන්න ඕනෑ. ඒ වගේම අගෝස්තු අවසන් වනවිට තවත් ඩොලර් බිලියන 2.2කුත් ගෙවන්න වෙනවා. මේ මුදල ගෙවලා අවසාන වෙනකොට ඉතිරි වෙන්නේ ඩොලර් බිලියන 1.7ක් විතර ප්‍රමාණයක්.

හැබැයි ආහාර ආනයන කටයුතුවලට, බැංකු කටයුතුවලට, තෙල් ආනයනයට ඩොලර් ඕනෑ. පසුගිය 05වැනිදා මෙරටට ආව බොරතෙල් නැව නිදහස් කර ගැනීමේ ගැටලුවක් මතුවුණා. මේ 22වැනිදා පෙට්‍රල් නැවක් එනවා. සැබැවින්ම මේවාට ගෙවීම් කරන්න රාජ්‍ය බැංකුවල විදේශ වත්කම් හිඟයක් තිබෙනවා. ණයවර ලිපි නිකුත් කිරීමේදී ගෙවීමේ හැකියාව පිළිබඳව ඩොලර් වෙන් කරලා බැංකුවලින් පෙන්වන්න ඕනෑ. නමුත් අද වෙලා තියෙන්නේ සාමාන්‍ය කොන්දේසි යටතේ එන නැව්වලට ණයවර ලිපි නිකුත්කර ගන්න බැරි වීමයි. ඉදිරියේදී මේ අවදානම තවත් බරපතළ වෙනවා. ඊට ප්‍රධාන හේතුව තෙල් සංස්ථාව ලංකා බැංකුවට සහ මහජන බැංකුවට 2021 මැයි මාසය වනවිට ඩොලර් බිලියන 3.3ක ඩොලර් ණයක් තියෙනවා. රුපියල්වලින් ගත්තොත් බිලියන 652ක්. ලංකා බැංකුව නැත්නම් මහජන බැංකුව තෙල් සඳහා ගෙවීම් කළ යුත්තේ ඩොලර්වලින්. තෙල් අලෙවි කරලා ඛනිජ තෙල් සංස්ථාව රුපියල්වලින් ආදායම් ලැබුවත් බැංකුවලින් ඩොලර් බවට පත්කරගෙනයි ජාත්‍යන්තර සැපයුම්කරුවන්ට ගෙවිය යුත්තේ. අපේ රටේ බැංකු පද්ධතිය රැඳෙන්නේ විදේශ වත්කම් ප්‍රමාණය මත. පෞද්ගලික ගිණුම්වල තියෙන විදේශ මුදල්, අපනයනකරුවන් තැන්පත් කරන මුදල් සහ බැංකුවට ලැබෙන අනිකුත් විදේශ විනිමයවලින් තෙල් සංස්ථාව වෙනුවෙන් ඇපවීම් කරන්න බැංකු පද්ධතියට හැකියාවක් නැහැ. රුපියල්වලින් මහ බැංකුවට දීලා ඩොලර් නිකුත් කිරීමේ හැකියාවක් මහ බැංකුවටත් නැහැ.

බැංකු දැන් කරන්නේ විදේශ ගිණුම් පවත්වාගෙන සාමාන්‍ය ජනතාවගේ සහ අපනයනකරුවන්ගේ ගෙවීම් නොකර තෙල් සඳහා ගෙවීම් කරන එක. එහෙම නැත්නම් තෙල් සඳහා ගෙවීම් නොකර බැංකුව පවත්වාගෙන යන එක. තෙල් වෙනුවෙන් ලංකා බැංකුවත් මහජන බැංකුවත් විතරක් ඩොලර් බිලියන 3.3ක් හිරකරලා තියෙනවා. මහජන බැංකුව ණයවර ලිපි සඳහා ඇපවීම් නතර කරලා තියෙන්නේ. මේ නිසා භාණ්ඩ ආනයනකරුවන්ට සහ සාමාන්‍ය ජනතාවට විශාල විදේශ විනිමය හිඟයක් ඇතිවෙලා තියෙනවා. කොතරම්ද කියනවා නම් ජාත්‍යන්තරව පවත්වන විභාගයකට මුදල් නිදහස් කරගන්න සතියකට කලින්වත් ඩොලර් ඉල්ලුම් කරන්න සිදුවී තිබෙනවා. ණයවර ලිපියක්වත් නිකුත් කරන්න බැරි මට්ටමේ විදේශ වත්කම් හිඟයක් දේශීය බැංකු පද්ධතියට තියෙනවා. ඉන්ධන ආනයනයේදී ඩොලර් බිලියන 3.3ක් පියවපු නැති එක ප්‍රධානම ප්‍රශ්නයක් වී තිබෙනවා. විදේශ විනිමය ඉල්ලුම් කළාට පුද්ගලයින්ට හෝ ව්‍යාපාරික ආයතනවලට විදේශ විනිමය නිකුත් කිරීමේ අර්බුදයක් බැංකුවලට ඇතිවී තිබෙනවා.

ඒ වගේම ණය ගෙවීම පිළිබඳව ඩොලර් අර්බුදයක් තවත් පැත්තකින් තීව්‍ර වී තිබෙනවා. ලෙබනනය මේ තත්වයට වැටී තිබෙනවා. ඒ අර්බුදයම ඉතාම නුදුරේදී අපට ඇතිවීමේ අවදානම තිබෙනවා. ලෙබනනයේ දිනපතා විශාල වශයෙන් විදුලිය කප්පාදු කරනවා. ඔවුන් විදුලිය මිලදී ගන්නේ සමාගම්වලින්. ඒ සමාගම්වලට ඩොලර් බිලියන 1.6ක් වගේ මුදලක් ගෙවන්න විදේශ වත්කම් නැතිව ණය වෙලා තියෙනවා. අද අපටත් ඒ තත්වය ඇතිවෙමින් තිබෙනවා. විදේශ විනිමය අර්බුදය නිසා ඉන්ධන ලබාගැනීම, විදුලි බලාගාර පද්ධතීන් ක්‍රියාත්මක කිරීම, ගෑස් පද්ධතීන් ක්‍රියාත්මක කිරීම අනතුරකට පත්වී තිබෙනවා. මේවා විදේශ සමාගම්වලට විකිණීමේ සූදානමක් ආණ්ඩුවට තියෙනවා. මේ අර්බුදය විසඳා ගැනීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග පැහැදිලිව රටට හෙළිකළ යුතුයි. ආනයනයේ සීමා කිරීමේ ක්‍රියාමාර්ගයක් ආණ්ඩුව ගත්තා. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සහ කහ වැනි ආහාර ද්‍රව්‍ය පවා ආනයනය නතර කළා. ඉදිකිරීම් උපාංග ආනයනය සීමා කළා. ඒ වගේම අපනයනවලින් 80%ක් විතර නිෂ්පාදනය කරන අන්තර් භාණ්ඩ ආනයනය සීමා කර තිබෙනවා. මේ සියල්ල තුළින් ඩොලර් අර්බුදය විසඳාගන්න බැහැ. ඉදිරි මාස කිහිපයේදී නව මුදල් ඇමතිවරයා කටයුතු කරන්නේ කොහොමද කියලා පැහැදිලි කළ යුතුයි. ඔහු ඇමරිකානු තානාපතිවරිය ඇතුළු තානාපතිවරුන් කිහිප දෙනෙක් හමුවී සාකච්ඡා කළා. මේ අනුව අනුගමනය කරන ක්‍රියාමාර්ග මොනවාද කියලා ජනතාවට පැහැදිලි කරන්න වගකීමක් ආණ්ඩුවට තියෙනවා.

හැබැයි දැන් වෙනකොට ආණ්ඩුව අරගෙන තියෙන සමහර ක්‍රියාමාර්ග බළලුන් ළවා කොස් ඇට බාවන වර්ගයේ ක්‍රියාමාර්ග. ජූලි මාසයේ 08වැනිදා ආණ්ඩුව වෙනුවෙන් මහ බැංකුව නිකුත් කළ නිවේදනයකින් ද්විතීයික වෙළඳපොළේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල ආයෝජනය කිරීමට දේශීය මූල්‍ය සමාගම්වලට අවසර දුන්නා. එහෙම නම් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වෙළඳපොළෙන් තමන්ට ණය ගන්න බැරි බව ආණ්ඩුව පිළිගෙන ඉවරයි. රටක් හැටියට වැටිලා තියෙන තැනයි ඒකෙන් පේන්නේ. නමුත් ද්විතියික වෙළඳපොළේදී මූල්‍ය සමාගම් මැදිහත්වීම තාවකාලික උත්තරයක් තමයි. හැබැයි ඒ ගන්න ණයවලින් 50%ක් ආණ්ඩුවට සපයන අතරේ ඉතිරි 50% ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල ආයෝජනය කරන්න ඕනෑ. හැබැයි අවසානයේදී මේ සියලු ණය රටක් හැටියට ඩොලර්වලින් ගෙවන්න වෙනවා. ආණ්ඩුව හැටියට විදේශයන්ගෙන් ණය ගැනීම අඩු වුණාට රටක් හැටියට ණය ගැනීම් වැඩි වෙනවා. රට හැටියට ආණ්ඩුව ගත්තත් මූල්‍ය සමාගම් ගත්තත් අවසානයේ රටක් හැටියට අපේ ඩොලර් ණය පංගුව වැඩි වෙනවා. ආණ්ඩුව බළලුන් ළවා කොස් ඇට බාවන මේ ක්‍රියාමාර්ගවලින් රටේ විදේශ ණය උගුල ලිහිල් වෙන්නේ නැහැ. ඒවා පොලිය සමග ආපසු ගෙවන්න වෙනවා. මේ මොහොතට අදාළ තාවකාලික උත්තරයක් වුණාට රටක් හැටියට දැවැන්ත අර්බුදයක් නිර්මාණය වෙනවා.

මේ තුළ ආණ්ඩුව බලශක්තිය වැනි ජාතික ආරක්‍ෂාවටත් බලපාන සම්පත් විකිණීමට යොමුවී තිබෙනවා. කෙරවලපිටිය යුගදනවි බලාගාරය ඇමරිකානු සමාගමකට දෙන්න කටයුතු කරන්නේ මේ නිසා. පවතින බලාගාරය වගේම ඉදිකිරීමට නියමිත බලාගාරයත් ඒ ආශ්‍රිත සියලු ව්‍යාපෘතිත් ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඇමරිකානු සමාගමකට දෙන්න යනවා. රටේ ආරක්‍ෂාව අවදානමකට තබා අනාගත පරම්පරාවට භුක්ති විඳින්න තියෙන වටිනා සම්පත් ඩොලර් වෙනුවෙන් විකුණන්න කටයුතු කර තිබෙනවා. ඩොලර් හැටියට මොන පදනමකින් මේ මුදල් ලැබෙනවාද කියලාවත් විශ්වාසයක් නැහැ. රාජපක්‍ෂ ව්‍යාපාර සමාගමේ පෞද්ගලික දේපළ හැටියට සලකලා අපේ රටේ සම්පත් විකුණන එක ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වෙලා. මේ තාවකාලික උත්තරවලින් අපට අවසානයේ රටක් ඉතිරි වෙන්නේ නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවට බල කරනවා, රටේ ජනතාවත්, රටේ සම්පතුත්, රටේ ආරක්‍ෂාවත් අනතුරේ නොහෙළා රටට වගකීම් සහගත ප්‍රකාශයක් කරන්න කියලා. විදේශ විනිමය අර්බුදය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය සහ ඉදිරි වැඩපිළිවෙළ පැහැදිලි කළ යුතුයි. මේ රටේ ව්‍යාපාරිකයින්, කර්මාන්තකරුවන්, ජනතාව යන හැම දෙනාටම ඒක දැනැගැනීමේ අයිතියක් තියෙනවා. හේතුව, මේ හැම ඩොලරයක් වෙනුවෙන්ම අවසානයේ බදු ගෙවන්නේ අපේ රටේ ජනතාව. ඒ නිසා ආණ්ඩුව වහාම ඩොලර් අර්බුදය පිළිබඳව රටට පැහැදිලි ප්‍රකාශයක් කළ යුතුයි.”

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්…

“ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කරන්න පටන් ගත්තේ 2007දී. 2015 ඉඳලා 2019 දක්වා ඩොලර් බිලියන 13කට වැඩිය නිකුත් කරලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ-මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුව කාලයේ. 2030දී ඩොලර් බිලියන 15ක් ගෙවන්න වෙනකොට එයින් ඩොලර් බිලියන 13ක් විතර ගෙවන්න තියෙන්නේ ඒ කාලයට අදාළව. ඒ ගොල්ලෝ දැන් කියනවා අයි.එම්.එෆ්. එකට යන්න ඕනෑ කියලා. එදත් එහෙනම් යන්න තිබුණනේ. එතැනත් අර්බුදයක් තිබෙනවා. සහනාධාර අඩු කරන්න ආදායම් වැඩි කරගන්න කියලා ඒ වගේම වෙළඳ ශේෂ හිඟය අඩුකර ගන්න උපදෙස් දෙනව. කොහොම ගත්තත් අවසානයේ මේ රටේ ජනතාවටම තමයි ගෙවන්න සිද්ධ වෙන්නේ. අද තෙල් මිල දරාගන්න බැරි ජනතාවට, අද බදු බර දරාගන්න බැරි ජනතාවට, අද බඩු මිල දරාගන්න බැරි ජනතාවට අනිවාර්යයෙන්ම මේ බරත් පැටවෙනවා. මේ වෙලාවේ ප්‍රශ්නය තියෙන්නේ ආණ්ඩුව ඉස්සරහ. බැසිල් රාජපක්‍ෂ මහත්තයා මුදල් ඇමති වුණා කියලා විශ්වකර්ම පාන්න බැහැ කියලා අපි පැහැදිලිවම අවධාරණය කළා. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා ජනාධිපති වුණාම මැජික් පෙන්වන්න පුළුවන් කියලා හිතපු අය අද කියන්නේ බැසිල් රාජපක්‍ෂ මහත්තයා මුදල් ඇමති වුණාම මේ ප්‍රශ්න විසඳනවා කියලා. එහෙම නම් බැසිල් රාජපක්‍ෂ මුදල් ඇමතිතුමා එයාගේ ඇමරිකන් ක්‍රමය පාවිච්චි කරලා හරි ගන්න ක්‍රියාමාර්ග රටට කියන්න ඕනෑ. ආණ්ඩුවට උත්තර නැහැ. එහෙට මෙහෙට බෝලේ පාස් කරනවා විතරයි.

අපේ රට මේ ණය උගුලේ හිර කරලා තියෙන්නේ ඔය පක්‍ෂ දෙකම. 1948 නිදහස ලබනකොට අපේ රටේ මේ ණය අර්බදයක් තිබුණේ නැහැ. අපි සහන පදනමට ණය ගත්ත රටක්. හැබැයි 2000 අවුරුද්දෙන් පස්සේ වෙනස් වුණා. 2000දී සහනදායි විදේශ ණය රුපියල් බිලියන 535ක් තිබුණා. සහනදායි නොවන විදේශ ණය තිබුණේ බිලියන 6.91ක් පමණයි. සහනදායි නොවන ණය මුලු විදේශ ණය පංගුවෙන් 1.28යි. හැබැයි 2020 වෙනකොට සහනදායි විදේශ ණය රු. බිලියන 2988යි. සහනදායී නොවන විදේශ ණය රු. බිලියන 3064යි. සමස්ත විදේශ ණයවලින් සහනදායී නොවන විදේශ ණය 50.63%ක්. රටක ආයෝජන සහ තාක්‍ෂණ අවශ්‍යතා වෙනුවෙන් ණය ගන්න එක අපරාධයක් නෙවෙයි. හැබැයි ණයත් ගෙවලා, පොලියත් ගෙවලා රටේ ජනතාවට යහපතක් කරන්න තියෙන සැලසුම මොකක්ද කියලා මූලිකවම බලන්න ඕනෑ. ඉහළ පොලියට ස්වෛරීත්ව බැඳුම්කරවලින් ණය අරගෙන මහ පොළොව යටට දාලා කොමිස් ගැහුවා. හොරකම් කරන්න පහසු මාර්ගවල ගිහින් අපි රටක් හැටියට දැන් අසරණ කරලා තියෙන්නේ. එක්සත් ජාතික පක්‍ෂ පාලනයත් වර්තමාන පාලනයත් අනිවාර්යයෙන්ම මේකට වගකියන්න ඕනෑ. මේවා මේ රටේ ජනතාව ගත්ත ණය නෙවෙයි. අපේ රටේ ජනතාව ණය ගන්න බයයි. ඒ වගේම ගත්ත ණය ගෙවන්න වෙන්නේ ඔවුන්ට. පාලකයෝ ණය වෙන්න බය නැහැ. එක යුගයක් තිබුණා ‘අපේ ආණ්ඩුවට කලින් ආණ්ඩුවට වඩා වැඩියෙන්ම ණය වෙනවා, වැඩියෙන්ම ණය ගැනීමේ හැකියාව තියෙනවා.’ කියලා ණය ගැන පම්පෝරි ගහපු ඉතිහාසයක් තියෙනවා. අද තමයි ණය අර්බුදයක් ගැන කියන්නේ. ණයවල බර සාමාන්‍ය ජනතාව පිට පටවමින් ණය අර්බුදයක් ගැන කියනවා. විදේශ ණය පංගුවත් පටවන්නේ සාමාන්‍ය ජනතාව මතම තමයි.

අපේ රටේ වටිනාම විදේශ සම්පත් විකුණන්න සූදානම් වෙනවා. ත්‍රිකුණාමලය තෙල් ටැංකි, විදුලිබල උත්පාදනය, ඉන්ධන සැපයීමත් විකිණීමට සූදානම් වෙනවා. කොළඹ නගරයේ වටිනාම ඉඩම් සෙලෙන්දිවා සමාගම හරහා විකිණීමට සූදානම් වෙනවා. අපට ණය ගෙවාගන්න බැරි නිසා එන ඕනෑම කෙනෙකුට සම්පත් දීලා නිදහස් වෙන්න වෙනවා කියලා තර්කය හදනවා. ණය අර්බුදයකට රටක් පත්වුණාට පස්සේ නොකරන දෙයක් නැහැ. විශේෂයෙන්ම විදේශ ණය අර්බුදයකට පත්වුණහම ඉටු දෙවිවරු වගේ එන අය ඉන්නවා. ඒ අය එන්නේ උදව් කරන මුවාවෙන්. හැබැයි එන්නේ අපේ රටවල තිබෙන වටිනාම සම්පත් ටික මංකොල්ලකන්න. ඒ මංකොල්ලයට දීලා කොමිස් ගන්න බලාගෙන කට්ටියක් ඉන්නවා. ආණ්ඩුව ඇතුළේ ඒ අය ඕනෑ තරම් ඉන්නවා. අද වෙනකොට හැම ව්‍යාපෘතියකින්ම තමන්ගේ පංගුව බේරගන්න ආණ්ඩුව තුළ තරගයක් ඇතිවී තිබෙනවා. රටේ ජනතාව ගැන කැක්කුමකින් නෙවෙයි ඔවුන් කත කරන්නේ. විදේශ විනිමය ඉතිරි කරමු කියලා අපිට කියලා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට වාහන ගේන්න සූදානම් වුණා. සියලුම දෙනා විශාල වශයෙන් අරගල කරලයි තාවකාලිකව හරි නතර කර ගත්තේ. ඒ ගොල්ලන්ට කැක්කුමක් තියෙනවා නම් මුලින්ම ආදර්ශයක් දෙන්න ඕනෑ. එහෙම ආදර්ශයක් ආණ්ඩුවේ කවුරුවත් දීලා නැහැ.”

Loading...

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *