‘අද අපේ රටේ ආර්ථිකය කුණාටුවකට හසුවෙලා’

Spread the love

අද අපේ රටේ ආර්ථික කුණාටුවකට හසුවෙලා. ජනතාව අපහසුතාවයට පත්වෙලා. විශේෂයෙන් කාන්තාවන් දැඩි අපහසුතාවයන්ට පත්වෙලා. රටේ ආර්ථික කුණාටුවක් තියෙන මොහොතක ආණ්ඩුව හැසිරෙන්නේ කොහොමද? ගොවි ජනතාව පොහොර ඉල්ලලා පාරට බහින කොට, කම්කරු ජනතාව ජීවත් වෙන්න සරිලන වැටුපක් ඉල්ලනකොට, කාන්තාවෝ ලිපට ගෑස් එක ඉල්ලනකොට, දරුවට කිරිපිටි ටික ඉල්ලනකොට, සිමෙන්ති ටික ඉල්ලනකොට ආණ්ඩුවේ නායකයෝ ඉන්නේ නිහඬ පිළිවෙතක. රට අරාජික කරමින් ආර්ථික කුණාටුවට ගහගෙන යන්න ඉඩ දීලා. රටේ ජනජීවිත සියල්ල අවුල් වෙලා.” යැයි අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ලේකම් නාගරික මන්ත්‍රිනී සමන්මලී ගුණසිංහ පවසයි. ඇය මේ බව පැවසූවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද (23) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

මෙම මාධ්‍ය හමුව සඳහා එම කාන්තා සංවිධානයේ සභාපති සරෝජා සාවිත්‍රී පෝල්රාජ් සහ එම සංවිධානයේ විධායක සභික ප්‍රභාෂීනී වික්‍රමසිංහද සහභාගී වූහ.

එහිදී ඔවුන් වැඩිදුරටත් දැක්වූ අදහස්,

“හාල් රුපියල් 100ට දෙනවා කියලා පිට රටින් හාල් ගේනවා කියල බන්දුල ඇමති කිව්වා. හාල් මාෆියාව පාලනය කරනවා කිව්වා. පම්පෝරි ගැහුව්වට නාඩු හාල් කිලෝව රුපියල් 170යි 180යි. කඩවල් 10ක හාල් මිල 10ක්. අනෙක් හැම හාල් වර්ගයක්ම මිල ඉහළ ගිහින්. කාබනික පොහොර වැඩපිළිවෙලක් ගෙනාවා. ගොවියට හරි වෙලාවට අවශ්‍ය පොහොර ටික දෙන්න බැරිවුන නිසා කුඹුරුවලට මොකද වෙලා තියෙන්නේ. ගොවි මහත්තුරු මොනවද ඉල්ලන්නේ. කුඹුරු එක එක පාට වෙලා. සමහර තැන් කොළපාටයි. තව තැනක ලා කොළපාටයි. තව තැනක් කහපාටයි. ගොවියට පොහොර නැති නිසා කුඹුරු යායවල් විනාශ වෙලා. අද සහල් ආනයනය කරනවා කිව්වට ගෙන්වන්නේ කාබනික පොහොර දාලා හදපු හාල්ද? නැහැ. පිට රටවල රසායනික පොහොර දාලා හදපු හාල් දැන් ජනතාවට කවනවා.

ඒ විතරක් නෙවෙයි විදුලි කප්පාදුව නිසා ජනතාව පීඩාවට පත්වෙලා. ගෑස් නැති නිසා කුස්සියේ වැඩ ටික විදුලියෙන් කරගත් අයට දැන් විදුලියත් නාහැ. මේ විදුලි කප්පාදුවෙන් කාන්තාවන් විශාල පීඩාවකට ලක්වෙලා. ආණ්ඩුවට කාල සටහනක් නැහැ. හිතෙන හිතෙන වෙලාවට ලයිට් කපනවා. දවසකට පැයක්ද දෙකක්ද තුනක්ද කියලා නැහැ. ගෘහනියන් තමන්ගේ දවසේ වැඩ ටික සැලසුම් කර ගන්නේ කොහොමද? ගම්මන්පිල කියනවා ඩොලර් දුන්නොත් තෙල් ගේන්නම් කියලා. ලොකුගේ කියනවා තෙල් දුන්නොත් ලයිට් දෙන්නම් කියලා. රටක වගකිව යුතු ආණ්ඩුවක් හැසිරෙන්නේ මෙහෙමද? හොරකම් කරපු දේවල් බෙදාගන්න පොරකන හොර මුලක් වගේ මේ ඇමති මණ්ඩලය කාකොටා ගන්නවා. රටේ ජනතාවට කිසිදු සහතිකයක් නැහැ. මෙ විගඩම් නවත්වන්න කියලා අපි ආණ්ඩුවට කියනවා. රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට උත්තර දෙන්න කියලා අපි ආණ්ඩුවට කියනවා.

ප්‍රමිතයෙන් යුක්ත ගෑස් ටික දෙන්න මේ ආණ්ඩුවට වැඩපිළිවෙළක් නැහැ. අපි පාරිභෝගික සේවා අධිකාරිය ඉස්සර උද්ඝෝෂණ කළා. පැමිණිලි කළා. ජනතාව කෑ ගහද්දී ජනාධිපතිවරයා කමිටුවක් දැම්මා. කමිටු වාර්තා ආවේ ඉබි ගමනේ. ඒ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක වුනේ නෑ. ගෑස් තවමත් පිපිරෙනවා. සමහර ගෙවල්වල කාන්තාවන් ගෑස් ලිප පත්තු කරන්නේ නැහැ පිපිරෙයි කියලා බයට. ගෙදර කාන්තාවට මේක මොනතරම් පීඩනයක්ද කියලා රටේ පාලකයින්ට තේරෙන්නේ නැහැ. කමිටු දැම්මට වාර්තා ආවට විසඳුමක් නැහැ. කුස්සියේ අනාරක්ෂිත බවට උත්තර කෝ? ජොන්ස්ටන් කියනවා කුරුණෑගලට ආවේ පිපිරෙන්නේ නැති ගෑස්ලු. රටේ අනෙක් ප්‍රදේශවලට යවපු ගෑස් පිපිරුණාට කමක් නැහැ කියලද මේ කියන්නේ. ඒක මොනතරම් සාහසික ප්‍රකාශයක්ද? වගකිව යුතු ආණ්ඩුවක් නෙවෙයි මේක. ඒ නිසා කාන්තාවන් ශක්තිමත් වෙන්න; මේ ආණ්ඩු රටේ ජනතාව ගැන හිතන්නේ නැත්නම් ජනතාව ගැන හිතන ජනතාවාදී ආණ්ඩුවක් පත්කරගන්න පෙරට එන්න අරගල කරන්න කියලා අපි මේ රටේ කාන්තාවන්ගෙන් ඉල්ලනවා.”

සුරංගනා ලෝකවල ඉන්න පාලකයින්ගේ විහිළු කතා අහන්න ජනතාවට සිදුවෙලා…
සරෝජා සාවිත්‍රී පෝල්රාජ් – සභාපති, අයිතීන් උදෙසා කාන්තාවෝ

“මේ දවස්වල තිබෙන විශාල අර්බුදයක් වෙන්නේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහල යෑම සහ ආහාර ද්‍රව්‍යවල හිගයයි. මේ ආහාර හිගය නිසා කාන්තාවෝ අම්මලා විශාල පීඩාවකට ලක්වෙලා. දරුවන්ට අවශ්‍ය කිරිපිටි ටික හොයාගන්න නැහැ. පාන් පිටි නැහැ. වැඩිහිටියන්ට අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය නැහැ. සමහර බෙහෙත් රෝහලේ නැහැ. ළදරු ඖෂධ හිගයක් ඇතිවෙලා. ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නැහැ. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත කන්ටේනර් වරායේ හිර වෙලා ඩොලර් නැති නිසා. ආහාර ද්‍රව්‍ය ගෙන්වන්න ඩොලර් නැහැ කියන ආණ්ඩුවේ නාස්තිකාර වියදම් කරනවා.

ඒ අතරේ ආණ්ඩුව විවිධ කොන්දේසිවලට යටත් වෙලා ණය ගනිමින් ඉන්නවා. ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක ණයක් ගන්න යනවා. නමුත් ඒ ණය අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයට යොදා ගන්න බැහැ. ඒ මගින් කළ හැක්කේ ඉන්දියාවෙන් තෙල් ගන්න එක විතරයි. චීනෙන් ණය ගත්තට කළ හැක්කේ චීනෙන් භාණ්ඩ ගෙන්වීම පමණයි. අත්‍යාවශ්‍ය ආහාර, ඖෂධ ගෙන්වන්න ඩොලර් හොයාගන්න ආණ්ඩුවට වැඩ පිළිවෙළක් නැහැ. ඉදිරි අවුරුදු කාලය එන කොට තත්වය තවත් බරපතල වෙනවා.

පෙදරේරුකරුවන්ට සිමෙන්ති ටික නැහැ. ජනතාවට තෙල් ටික ගහගන්න පෝලිමේ ඉන්න වෙලා. වෙළඳපොළේ කිසිදු භාණ්ඩයකට පාලන මිලක් නැහැ. සිමෙන්ති කොට්ටයක මිල 1300යි කියල ලකුණු කරල තිබුණට වෙළඳපොළේ විකිණෙන්නේ රුපියල් 1900ට 2000ට. කළු කඩ ව්‍යාපාර ඇතිවෙන්න ආණ්ඩුවම උදව් කරමින් තිබෙනවා. වාහන වල අමතර කොටස් විදුලි උපාංග, පරිගණක අමතර කොටස් ආදිය වෙළඳපොළේ හොයාගන්න නැහැ. මෑතකාලයේ දී ඔන්ලයින් අධ්‍යාපනය, නිවසේ සිට රැකියාව කිරීම, ඔන්ලයින් ව්‍යාපාර කටයුතු ඇතුලු අන්තර් ජාලය භාවිතය විශාල ලෙස වැඩි වුනා. ඩිජිඩල් සුරපුරයක් කරනවා කියලා ආපු ආණ්ඩුවට ළමුන්ගේ අධ්‍යාපනය සඳහාවත් අවශ්‍ය තාක්ෂණික මෙවලම් ටික ලබාදෙන්න වැඩපිළිවෙළක් නැහැ.

ඒ වගේම පහුගියදා උදය ගම්මන්පිල කියලා තිබුණා ඉන්ධන සැපයුම සීමා කරන්න වෙනවා කියලා. එහෙම වුනොත් විදුලියත් නැතිවෙනවා. මොකද වැඩි ප්‍රමාණයක් ඉන්ධන මගින් තමයි විදුලිය නිපදවන්නේ. මේ අතරේ තමයි අයිඕසී සමාගමෙන් තෙල් මිලදී ගන්න යන බව ගාමිණී ලොකුගේ ඇමතිවරයා කියන්නේ. අයිඕසී එකෙන් තෙල් ගන්න සල්ලි තියෙනවනම් ඇයි ලංකාවේ තෙල් සංස්ථාවට ගෙවන්න බැරි. ලංකාවේ ආයතන බංකොළොත් කරලා මුදල් ගෙවන්නේ නැතිව පොලු තියලා විදෙස් සමාගම් එක්ක ඩීල් හදාගන්නේ ඇමතිවරුන්ගේ ලාභය සඳහායි. ආණ්ඩුවට ඕන වෙන්නේ තෙල් ඒකාධිකාරය ඉන්දියාවේ අයිඕසී එකට ලබාදෙන්නද? විදුලි බල මණ්ඩලයට අයිඕසී එකෙන් තෙල් ගන්න ගියොත් අපේ රටේ විදුලිය ලැබෙන්නේ ඉන්දියාවට ඕන විදියටයි. මේ විදියට ගියොත් විදුලි බිලත් වැඩි වෙන්න පුළුවන්. ඉදිරියේදී උසස් පෙළ විභාගය එනවා. ඒ නිසා ආණ්ඩුව විදුලි කප්පාදුව ගැන මීට වඩා සැලකිළිමත් විය යුතුයි. අඛණ්ඩ විදුලි සැපයුමක් ගැන ආණ්ඩුවට කිසිදු සැලසුමක් නැහැ.

මේ අතර තමයි ජනාධිපතිවරයා කියන්නේ ඉන්ධන අර්බුදය නිසා විදුලියෙන් ක්‍රියාකරන වාහන ලංකාවට ආනයනය කරන්න යෝජනා කරනවා කියලා. මේවා මොන විහිළුද? දරුවන්ට පාඩම් වැඩ ටික කරගන්න, කර්මාන්ත ශාලා ටික දුවන්න විදුලිය දෙන්න බැහැ. ඒ අතරේ විදුලියෙන් දුවන වාහන ගෙන්වනවා කියන්නේ මොනතරම් තකතීරු ප්‍රකාශයක්ද? චාජින් පොයිට් ලංකාවේ නැහැ. සූර්ය බලයෙන් විදුලි නිපදවන්නේ නැහැ. සුරංගනා ලෝකවල ඉන්න දේශපාලකයින්ගේ දේශපාලන විහිළුවලට ජනතාවට සවන් දෙන්න වෙලා. හාල් ටික නැහැ, තෙල් ටික නැහැ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිග වෙලා. රටේ පාලකයින් විදුලියෙන් දුවන වාහන ගේන්න කතා කරනවා.

අපේ රටේ අපොහොසත්භාවය කොතරම්ද කියලා පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ අයගේ කතාවලින් පේනවා. කොවිඩ් නිසා ජනාධිපතිට අවුරුදු දෙකක් නැති වුනාලු. ඒ අවුරුදු දෙක දීර්ඝ කරල දෙන්න පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගෙන්න ඕන කියලා ආණ්ඩුවේ මන්ත්‍රීලා කියනවා. මේ වැඩ බැරි ආණ්ඩුවට අත් උදව් සපයන කතා විතරයි. ජනතා වරමට පයින් ගහලා ජනතා විශ්වාසය අහිමි කරගත්ත ආණ්ඩුව පාර්ලිමේන්තුවේ 2/3ක පාවිච්චි කරලා රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්න හදනවා. ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට අපි කියනවා මහපොළවට බැහැල බලන්න කියලා. තමන්ගේ ප්‍රදේශයේ ඇවිදලා බලන්න ජනතාව ඉන්නේ මොන වගේ මතයකද කියලා. ජනතාව ඉන්නේ ලැබෙන පළවෙනි මොහොතේ මේ ආණ්ඩුව ගෙදර යවන්න බලාගෙන. ඒක තමයි ජනමතය. ඒ නිසා ජනතාවගෙන් විමසන්නේ නැතුව පාර්ලිමේන්තුවේ 2/3ක පාවිච්චි කරන්න හදනවා. ඒ තරම් මේ ආණ්ඩුව පිරිහිලා තියෙන්නේ. මේ ආණ්ඩුව ජනතාවගේ බලාපොරොත්තු ඉටු කළා නම් බය වෙන්න දෙයක් නැහැ. අමුතුවෙන් අවුරුදු දෙකක් දීර්ඝ කරන්න දෙයක් නැහැ. කලට වෙලාවට චන්ද තියන්න තිබුණා. ජනතාව ඉදිරියේ පෙනී ඉන්න තිබුණා. දැන් ජනාධිපතිට, අගමැතිට, මැති ඇමතිවරුන්ට ජනතාව ඉදිරියේ පෙනී ඉන්න බැහැ. ඒ නිසා තමයි මැතිවරණ අකුළමින් ප්‍රජාතන්ත්‍රවාදය නැති කරමින් කටයුතු කරන්නේ.

ඒ විතරක් නෙවෙයි දැන් ආණ්ඩුව විශ්වවිද්‍යාලවලට උපකුලපතිවරු පත්කිරීමේ ක්‍රමවේදයට පයින් ගහලා පොලිසියේ ඕඅයිසී පත්කරන දේශපාලන පත්වීම වගේ උපකුලපති තනතුරුත් දේශපාල පත්වීමක් බවට පත්කරලා. වයඹ උපකුලපතිවරයා පත්කරන්න මැති ඇමතිවරුන් හතර පස් දෙනෙක් නිර්දේශිත ලියුම් යවලා. උසස් අධ්‍යාපනයට තිබුණ ගෞරවය, නිදහස් අධ්‍යාපනයට තිබුණ නිදහස, විශ්වවිද්‍යාලවල ස්වාධීනත්වයට පයින් ගහලා වැඩ කරන තත්වයක් ඇති කරලා. අපි ආණ්ඩුවට කියනවා විශ්වවිද්‍යාල පද්ධතිය දේශපාලනීකරණය කරන්න එපා. පත්කිරීම් දේඤශපාලනීකරණය කරන්න එපා. උපකුලපති පත්කිරීම ස්වාධීනව කරන්න.

මේ අතර ලංකාවේ කෘෂිකර්මාන්තය කඩාවට්ටලා ගොවියට නිෂ්පාදන අවස්ථා අහිමි කරලා දැන් ආණ්ඩුව චීනයෙන් සහල් මෙ.ටො. දශලක්ෂයක් ගෙන්වන්න හදනවා. ගොවියට නිසි වෙලාවට පොහොර ටික දුන්න නම් සහල් ආනයනය කරන්න වෙන්නේ නෑ. දැන් මේ රට චීනයේ, ඉන්දියාවේ කොලණියක් බවට පත් කරන්න උත්සහ කරමින් තිබෙනවා. පෝට් සිටිය ඇතුලේ පොටෝ එකක් ගන්න රුපියල් 30,000ක් ගෙවන්න සිදුවෙලා. මේක තමයි අද අපේ රටේ තත්වය. ලෝකය පුරා ණය වෙලා ණය ගෙවාගන්න බැරිව රටේ සම්පත් විකුණමින් තිබෙන මේ ආණ්ඩුවට රටේ කාන්තාවෙන්ගේ විරෝධය ප්‍රකාශ කරනවා. මේ හැම දේකින්ම කියන්නේ අපේ රටේ කාන්තාවන්ට දරුවන් ජනතාවට අනාගතයක් නැති බවයි.”

Related Posts