Political Vs Political: සජිත් පුවත්පත් කතුවරුන්ට දුන් අවවාදය කුමක්ද ?

Spread the love

සටහන – ගජබා නාගහවත්ත

පසුගිය සතියේ මහනාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබාගත් විපක්ෂ නායක සජිත් ගිය ඉරිදා අගරදගුරුතුමා හමුවූවේය.ඉරාන් වික්‍රමරත්න ඇතුළු පිරිසක් ද ඊට එක්වූහ.

“පාස්කු ප්‍රහාරයෙන් පස්සේ පල්ලි ප්‍රතිසංස්කරණය හා සෙසු කටයුතු ගැන ඔබ කළ කැපවීම අගයනවා. රට ගැන මෙන්ම ආණ්ඩුවේ කටයුතු ගැනත් අවධානයෙන් ක්‍රියාකරන බව පේන නිසා මම ඔබට ආශිර්වාද කරනවා.” අගරදගුරු හිමියන් කීවේය.

සදුදා සවස ස.ජ.බ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේදී රැස්විය. එහිදි කිහිප දෙනෙකු ඇසුවේ 20 ගැන අපේ ස්ථාවරය කෙබදු විය යුතුද යන්නය. 19 හා 20 ගැන සංසන්දනාත්මක නිති විග්‍රහයක් සිදු කිරීමට නීතිඥ සුරේන් ප්‍රනාන්දු පැමිණ තිබින.

අනතුරුව 20 ට එරෙහිව පාර්ලිමේන්තුව තුළ හා ඉන් පිටතදී දැඩි විරෝධයක් පළ කිරීමට තීන්දු කෙරින. ඒ සදහා ස.ජ.බ දෙමළ හා මුස්ලිම් නියෝජිතයන්ගේ ද පූර්ණ සහාය පළ වීම විශේෂත්වයක් විය. රට තුළ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සදහා 2015 දී සෝභිත නාහිමි කළ කැපවීම සිහිපත් කිරීම සදහා උන්වහන්සේගේ අපේගම පරිශ්‍රය අභියස ඇති පිළිරුව අබියස 20 ට එරෙහි විරෝධතාව ආරම්භ කිරීමටත් එහිදි තීන්දු විය. ඒ අනුව පසුගිය අගහරුවාදා එම විරෝධතාව සාර්ථකව පැවැත්විනි.

අගහරුවාදා උදේ මාකස් මාවතේ විපක්ෂ කාර්යාලයේදි පුවත් පත් කර්තෘවරුන් හා විපක්ෂ නායක සජිත් අතර උදෑසන ආහාර ගැනීමේ හමුවක් පැවැත්විනි.

“ඒකාධිපති 20 ට අපි විරුද්ධ මේ රටේ ජනතාවගේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන හිතලයි. දැන් ඡන්ද අවසන් නිසා ජනමාධ්‍ය ආණ්ඩුව වෙනුවෙන් නෙවෙයි ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න.” සජිත්ගේ ඉල්ලීම එය විය.

එදින සවස මිනිමැරුමක වරදකරු වූ ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට නියමිතව තිබින. ඒ සදහා දැඩි විරෝධයක් සංවිධානය කිරීම සදහා වගකීම් බාර ගත්තේ හරීන් ප්‍රනාන්දුය. සාටක ලෙස සැකසු කළු පටි විරෝධතාවක් දැක්වීමටත් ඒවා රැගෙන ඒමේ වගකීම බාර ගත්තේ ද හරීන්ය.

ඒ අනුව කළු පටි සාටක පැළදු ස.ජ.බ පිරිස ප්‍රේමලාල්ගේ දිවුරුමට එරෙහිව දැවැන්ත විරෝධතාවක් පාර්ලිමේන්තුව තුළ පැවැත්විය. කිරිඇල්ල, ෆොන්සේකා හා හරීන් උද්වේගකර කතාද පැවැත්වීය.

“2010 දී මන්ත්‍රී ෆොන්සේකා පාර්ලිමේන්තු ගේනවට විරුද්ධව නීති විශාරද ජි.එල් පීරිස් තර්කයක් ගෙනාවා. ව්‍යවස්ථාවේ 89 (ඈ) තර්කය මත උසාවියකින් වරදකරුවෙකු වූ කෙනෙකුගේ මන්ත්‍රීධූරය අහෝසි වන බව ඔහු එදා කිව්වා. කතානායකට අභිමතයක් නෑ වහාම පාර්ලිමේන්තු ලේකම් ඒ මන්ත්‍රීධූරය අහෝසි බව මැතිවරණ කොමසාරිස්ට දැන්විය යුතුයි කියලාත් ඔහු එදා කිව්වා. එදා ඒ තර්කය හරි ගියා. ෆොන්සේකාට පාර්ලිමේන්තු එන්න දුන්නේ නැහැ. එහෙනම් ප්‍රේමලාල් අද පාර්ලිමේන්තු ආවේ කොහොමද කියලා ජි.එල් අපිට උත්තර දෙන්න ඕනේ.” ලක්ෂ්මන් කිරිඇල්ල මතු කළ දැවැන්ත තර්කය හමුවේ ජි.එල් පිරිස් නිහඩව සිටියා මිසක කිසිදු ප්‍රතිචාරයක් දැක්වූවේ නැත.

ප්‍රේමලාල් දිවුරුම් දෙන අවස්ථාවේදී මෙන්ම ඔහු සභාව අමතා කතා කරන අවස්ථාවේදී ද ස.ජ. බ මන්ත්‍රී කණ්ඩායම සබා ගැබෙන් ඉවත්වීම ද විශේෂත්වයකි.

විපක්ෂ නායක සජිත් ඇතැම් අවස්ථාවල පක්ෂ නායකයන්ට නොදන්නවා අතුරුදහන් වීම පිළිබදවද ස.ජ.බ තුළ තිබුණේ විචිකිච්ඡාවකි. එහෙත් එම රහස පසුගිය දා එළිදුටු විට සියළු දෙනාම මහත් විමතියට පත්විය. එදා සිටම කැලයේ ගහ කොල සතා සිව්පාවා ඇතුළු පරිසරයට වඩාත් ඇළුම් කළ සජිත් කාටත් නොකියා අතුරුදහන් වීමේ හේතුව වූවේ ඔහුට සුපුරුදු යාල හා වෙනත් කැලෑවල සංචාරය කිරීම ගහ කොල හා වන සතුන් නැරඹීම මෙන්ම පරිසරයට ඇළුම් කිරීමට ඔහු කාටත් රහසේ ක්‍රියාකර තිබීමය. එසේම ඔහු පසුගිය දා පාර්ලිමේන්තුවේදි විශේෂ ප්‍රකාශයක් ද සිදු කළේය.

“ජනතාව මේ ආණ්ඩුවට තුනෙන් දෙක දුන්නේ 19 විනාශ කරලා ඒකාධිපති 20 ගේන්න නෙවෙයි. ඒ වගේම සිංහරාජය, ආනවිලුන්දාව හා වනාතවිල්ලුවේ අක්කර සිය ගණනක පරිසරය ගහ කොල සතා සිවුපාවා විනාශ කරන්නට නෙවෙයි. මේ පිටුපස පොහොට්ටුවේ දේශපාලකයන් ඉන්නා බවට චෝදනා තියෙනවා. ඒත් ආණ්ඩුවේ බලවතුන් මේ ගැන පියවර ගන්නේ නැහැ. අන්තිමට වැරදිකාරයා වෙන්නේ ඩෝසර් එකද?” සජිත් ප්‍රශ්න කළේ ඉතා හැගීම්බරවය.

පාස්කු ප්‍රහාරය කොමිසමට ගියපු හකීම් කියලා තියෙන්නේ අයි.එස්.අයි.එස් නොව මේ රටේ අදිසි බලවේගයක් සහරාන් පාවිච්චි කරලා පාස්කු ප්‍රහාරය කළ බවය. ඔවුන් සහරාන් ඉත්තෙක් කරගත් බවත් ඔවුන්ගේ දේශපාලන අරමුණු ඉටුවූ නිසා යළිත් එවැනි ප්‍රහාර ලංකාවේ සිදුවීමේ කිසිදු ඉඩක් නැති බවත් ඔහුගේ ස්ථාවරය වී තිබේ. එම අදිසි බලවේගය කව්දැයි ජනමාධ්‍ය නොමැති අවස්ථාවක එළි කළ හැකි බවද හකීම් කියා තිබින. එම කොමිසම හමුවට ගිය මන්ත්‍රී මුජුබර් රහුමන් කීවේ ඉන්දියාවට පැන ගිය සාරා නම් කාන්තාව ගෙනඒමට රජය උනන්දු නැත්තේ ඇයිද කියාය. ඇය සැගව සිටීමට කාගේ අනුග්‍රහය ලැබෙනවා දැයි අප ප්‍රශ්න කරන බවද මුජුබර් ජනමාධ්‍ය හමුවේද ප්‍රශ්න කළේය.

“20 වෙනි සංශෝධනය කැබිනට් එකට ආපු වෙලාවේ ඒකේ විශේෂ සටහනක් තිබිලා තියෙනවා. මෙය අනුමත කිරිමට මිස සාකච්ඡා කිරීමට නොවේ කියලා එහි සදහන් වෙලා තිබෙනවා. පවුලේ ඒකාධිපතිත්වය අද සමස්ත ජනතාවට විතරක් නොවෙයි කැබිනට් එකටත් විශාල අභියෝගයක් වෙලා.” මරික්කාර් කීවේ එවැන්නකි.

පසුගිය දා ස.ජ.බ තීන්දු කළේ ඔවුන්ට වඩාත්ම අවාසි සහගතවූ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලින් ආරම්භ කොට රටපුරා බිම්මට්ටමේ දැවැන්ත දේශපාලන වැඩපිළීවෙලක් දියත් කිරීමය ඒ සදහා විපක්ෂ නායක සජිත් ඇතුළු සියළු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම 19 හා 20 දා සිදුකිරීමට තීන්දු විය. තවද ගාල්ල මාතර දිස්ත්‍රික් දෙකේ මන්ත්‍රීවරු හා ස.ජ.බ සංවිධායකවරු ගේ විශේෂ රැස්වීමක් විපක්ෂ නායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් මාකස් මාවතේ විපක්ෂ නායක කාර්යාලයේදි පැවැති අතර ඊට මද්දුමබණ්ඩාර, තිස්ස හා හරීන් ප්‍රනාන්දු ද එක් වූහ. තවද ස.ජ.බ වෘත්තීය සමිත් ජාලයත් ස්ථාපිත කිරීමේ තවත් තීරණාත්මක සාකච්ඡාවක් ස.ජ.බ කෝට්ටේ කාර්යාලයේදි දියත් වූවේ වෘත්තිය සමිති ප්‍රබලයන් රැසකගේ සහභාගීත්වයෙනි. මද්දුමබණ්ඩාර හා තිස්ස ඒ සදහා එක්වූහ.

සටහන – ගජබා නාගහවත්ත

RSL

Related Posts