උණ නම් රුධිර පරීක්ෂාව වැදගත්. ඩෙංගු නැවතත් හිස ඔසවලා

උණ රෝගය කෙරෙහි සැලකිලිමත් නොවී ප්‍රමාද වී ප්‍රතිකාරවලට යොමු වීම ඩෙංගු මරණ සිදු වීමේ ප්‍රධාන හේතුවක් බව වෛද්‍යවරු පෙන්වා දෙති. කිසියම් පුද්ගලයකුට උණ රෝගය වැළඳී ඇත්නම් එය සුව අතට පත්වුවද දින දෙකකින් පසුව ඩෙංගු රෝගය සඳහා රුධිර පරීක්ෂාවක් සිදු කළ යුතු බවත් එමඟින් වැළඳී ඇත්තේ සාමාන්‍ය උණක් ද, නොඑසේ නම් ඩෙංගු උණ ද යන්න තහවුරු කර ගත හැකි බවත් වෛද්‍යවරු පවසති.

නව වසරේ ආරම්භයේ සිට ගත වූ දින 18ක් වැනි කෙටි කාලයක් තුළ දී රට පුරා ප්‍රදේශවලින් ඩෙංගු රෝගීන් 3000ක් පමණ වාර්තා වී ඇති අතර, මරණ 4 කට වඩා සිදුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොළඹ 532ක්, ගම්පහ 316ක්, කළුතර 165ක්, මහනුවර 253ක්, මඩකලපුව 227ක්, කුරුණෑගල 251ක්, පුත්තලම 239ක්, කල්මුණේ 193ක් ලෙස දිස්ත්‍රික්කවලින් ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

කිසියම් පුද්ගලයකුට වැළඳී ඇත්තේ ඩෙංගු උණ රෝගය නම් කලින් හඳුනාගෙන ප්‍රතිකාර ලබා ගැනීමෙන් සහ අවශ්‍ය විවේකය ලබා ගැනීමෙන් මරණ සංඛ්‍යාව වළක්වා ගත හැකි යැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

උණ රෝගයත් සමඟ නොනවත්වා පවතින පාචනය හෝ වමනය, තද තෙහෙට්ටු ගතිය, රුධිර වහනය, තද හිසරදය, උදරයේ දැඩි වේදනාව යනාදී ලක්ෂණ කිසියම් පුද්ගලයකුට පවතින්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.

මීට අමතරව වෙනත් අපහසුතා පවතින්නේ නම් රෝහලක් වෙත ගොස් නොපමාව ප්‍රතිකාර ලබා ගත යුතුය. වෙනත් රෝගයක් මෙන් නොව ඩෙංගු උණ රෝගයේ දී උණ බැස යාම යනු රෝගය සුව වීම විය නොහැක. සංකූලතාවන්ගේ ආරම්භය උණ බැස යාමත් සමඟ සිදු විය හැක. මේ පිළිබඳ සැලකිලිමත්ව අවශ්‍ය අවස්ථාවේදී සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමු වී ප්‍රතිකාර ගැනීමෙන් ජීවිතය සුරක්ෂිත කර ගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Recommended For You

About the Author: RSL