තවත් බ්‍රේස්ලට් ශෝකාන්තයක්: තරුණ දරුවන් සිටින දෙමාපියන් කියවිය යුතුම කථාවක්

ඇය ඉගෙනුම ලබන්නේ නුගේගොඩ ප්‍රසිද්ධ බාලිකා පාසලකය. එම විදුහලේ ශිෂ්‍ය නායිකාවක්‌ මෙන්ම කාන්තා ක්‍රිකට්‌ කණ්‌ඩායමේද ඇය සාමාජිකාවකි. සාමාන්‍ය පෙළ විභාගය උසස්‌ ලෙස සමත්වූ ඇය ජීව විද්‍යා අංශයෙන් උසස්‌ පෙළ හදාරමින් සිටී. මෙතැන් සිට අයෝමි යන අන්වර්ථ නාමයෙන් ඇයව අපි හඳුන්වන්නෙමු.

ඉගෙනුමට සහ ක්‍රීඩාවට දක්‍ෂ වුවත් අයෝමි වසර ගණනක සිට ජීවත් වූයේ තම මනසට දැරිය නොහැකි දුක්‌ කන්දරාවක්‌ සමඟය. එයට ප්‍රධානම හේතුව වූයේ ඇයගේ දෙමාපියන්ය. කලක සිට ඇයගේ මව සහ පියා අතර අඬදබර ඇතිවුණි. නිවසේ ගැටුම් “බත ඉදෙන තුරු” කියා කීවත් මෙය එලෙස නොවුණි. එන්න එන්නම දෙදෙනා අතර ගැටුම් වැඩිවිය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ දෙදෙනා වෙන්වීමයි.

දෙමාපියන්ගේ මෙම ආරවුල් නිසා අන්ත අසරණ වූයේ අයෝමිය. අනේක වාරයක්‌ තනිවම ඇය ඒ ගැන කල්පනා කරමින් දුක්‌ වින්දාය. කඳුළු සැලුවාය. එහෙත් එම දෙමාපියන්ට ඇයගේ වේදනාව නොදැනුණි. දැනුණත් සිටින්නට ඇත්තේ නොදැනුණු ගාණටය. තම යෙහෙළියන් දෙමාපියන් ගැන වර්ණනා කරමින් කතා කරන විට ඇය පසෙකට වී මුනිවත රකිමින් සිටියාය. තත්ත්වය එලෙස තිබියදී අයෝමිගේ මව වෙනත් කසාදයක්‌ කරගන්නේ තම දියණියව තවත් අන්ත අසරණ කරමින්ය.

නොනැවතී එක දිගට දුක්‌ කම්කටොලු පැමිණියත් ඇය එම සියල්ල විඳ දරා ගනිමින් තම අධ්‍යයන කටයුතු මෙන්ම විෂය බාහිර කටයුතුද නිසි ලෙස කරගෙන ගියාය. එම නිසා ඇය පාසලේ ප්‍රසිද්ධ සිසුවියකද වූවාය.

මවගේ දෙවැනි විවාහයෙන් පසු ඇයට නිවසේ සිටීමට අපහසු විය. එම නිසා ඇය ඥති නිවසක ජීවත් වූවාය. එහිදී ඇය ගැන සොයා බලන්නට කිසි කෙනකු සිටියේ නැත. එම නිසා උපරිම නිදහසක්‌ ඇයට තිබුණි. ඇයගේ හොඳම යෙහෙළිය වූයේ අනුත්තරා ය. අයෝමිගේ පෞද්ගලික ජීවිතයේ සියලුම තොරතුරු ඇය දැන සිටියාය. අනුත්තරා තම දෙමාපියන්ටද ඒ ගැන පවසා තිබිණි.

අනුත්තරාගේ පියා ව්‍යාපාරිකයෙකි. ඔහුට ඕනෑ තරම් මිල මුදල් තිබේ. එලෙසම ඔහු අත දිගහැර මුදල් වියදම් කරයි. එම බාලිකා විදුහලේ පාසල් සංවර්ධන සමිතියේ ඉහළ නිලයක්‌ද මොහු හොබවයි. එම විදුහලේ සමහර ගුරුවරු “බ්‍රේස්‌ලට්‌ මාරයා” යන අන්වර්ථ නාමයෙන්ද මොහුව හඳුන්වති. එලෙස හඳුන්වන්නේ ඔහුගේ අතේ ඇති අඟල් ගණනක්‌ පළල රත්තරන් අත් පළඳනාවක්‌ නිසාය.

සමාජයේ සුදු චරිතයක්‌ ලෙස හැසිරුණත් ඇතුළාන්තයෙන් මොහු කළු චරිතයකි. ස්‌ත්‍රී පාර්ශ්වයට විශේෂ ළැදියාවක්‌ දක්‌වන මොහු ඒ වෙනුවෙන් ඕනෑම දෙයක්‌ සිදු කරයි. මේ සියල්ල ඔහු කරනුයේ ඉතා සූක්‍ෂ්ම ලෙසයි.
තම දියණියගේ හොඳම හෙහෙළිය වන අයෝමිගේ පෞද්ගලික ජීවිතයේ සියලු තොරතුරු මොහු දැන සිටියේය. ඒ තම දුව හරහා ය. අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගැනීමට උපන් හැකියාවක්‌ ඇති මොහු තව තවත් අයෝමි ගැන තොරතුරු දුවගෙන් දැන ගත්තේය. ඒ සමඟම අයෝමිට තම දුව හරහා නොයෙක්‌ ආකාරයේ උදව් කිරීමටද ඉදිරිපත් විය. එලෙස මොහු කළේ තිරිසන් ආශාවක්‌ තම සිත තුළ තැන්පත් කරගෙනය.

එම කාලය අතරතුර අයෝමි අනුත්තරාගේ නිවසේ නැවතී පාඩම් කිරීමටද පැමිණියේය. එය අනුත්තරාගේ පියා දුටුවේ කියලවත් කරගත නොහැකි වැඩක්‌ ලෙසින්ය. අවස්‌ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් මෙම පාපතරයා අයෝමිට නොයෙක්‌ ආකාරයේ උදව් උපකාර කරමින් ළෙන්ගතු කමක්‌ ඇති කර ගත්තේය. එලෙස මාස කිහිපයක්‌ ගතවෙද්දී දියණියට හොරෙන් අයෝමිව මෝටර් රථයේ දමාගෙන උපකාරක පංතිවලට ආදී විවිධ ස්‌ථානවලටද මොහු රැගෙන ගියේය. ඊට අමතරව මුදල්වලින් පවා උපකාර කළේය. ඒ සියල්ල කළේ යටි සිතේ ඇතිවුණ තිරිසන් ආශාව සපුරා ගැනීම සඳහා ය.

කලක්‌ යද්දී මොහු ඉතා සූක්‍ෂ්ම ලෙස එම දියණියව තමන් වෙත නතුකර ගත්තේය. දිනක්‌ කිසිදු බියක්‌ සැකක්‌ නොමැතිව මෙම පාපතරයා එම දියණියව තම මෝටර් රථය තුළදී සිප වැළඳ ගත්තේය. ඇයටද එයට විරුද්ධ වීමට නොහැකි විය. ඒ තරම්ම මොහු එම දියණිය තමන් වෙත නතු කරගෙන තිබුණි. ඒ විවිධාකාරයේ උදව් උපකාර කරමින්ය.

එම සිදුවීමෙන් පසු තම සිතේ තිබුණ තිරිසන් ආශාව ඉටු කරගත හැකි බව ඔහුට දැණුනි. පසුදිනම ඔහු තම දියණියගේ වයසේ සිටින අයෝමිව රැගෙන ලැගුම්හලකට ගියේය. එදින එම පාපතරයාගේ සිතේ තිබුණ සියලු ආශාවන් ඉටුකර ගත්තේ තම දියණිය ගැනවත් නොසිතාය. දෙමාපියන්ගේ රැකවරණය අහිමිව ජීවිතය ගැන කළකිරී සිටි අයෝමිද කිසිවක්‌ නොහිතා තම සියලු දේවල් එම පාපතරයාට දන් දුන්නේය. ඉන්පසු ලද සෑම මොහොතකම මොහු අයෝමිව රැගෙන ලැගුම්හල් වෙත ගොස්‌ තම පහත් ආශාවන් සපුරා ගත්තේය. කලක්‌ යද්දී අයෝමිටද මෙය සාමාන්‍ය දෙයක්‌ විය.

මෙම සම්බන්ධතාව කලක්‌ තිස්‌සේ කිසිවෙකුටත් නොදැනෙන අයුරින් හොර රහසේ පවත්වාගෙන යැමට මොවුන් සමත් විය. තත්ත්වය එලෙස තිබියදී පසුගිය මාසයේ නියමිත දින ගණන්වලට ඇයට මාසික ශුද්ධිය සිදු නොවුණි. සති ගණනක්‌ බලන් සිටියද එය සිදු නොවුණි. ඇයට එය මහත් ප්‍රහේළිකාවක්‌ විය. ඇය සිතුවේ තමන් ගැබ්ගෙන ඇති බවයි.

ඉමහත් බියට පත්වූ ඇය ඒ පිළිබඳව තමන් සමඟ අනියම් ඇසුරක්‌ පවත්වාගෙන යන එම පුද්ගලයාට පැවසුවේය. ඔහු ඒ ගැන වැඩි තැකීමක්‌ නොකළේය. “ඔයා බය නැතිව ඉන්න. එහෙම වෙන එකක්‌ නැහැ. ඒ වුණත් ඕවට කරන්න ඕන දේවල් තියනවා. ඔයා බය නැතිව වෙනද වගේ පාසල් යන්න. මොනව හරි වුණොත් මම බලාගන්නම්” මේ එම පාපතරයාගේ සරල පිළිතුර විය.

අයෝමි එයින් සෑහීමකට පත් නොවීය. ඇය දස අතේ කල්පනා කළේ දැන් කුමක්‌ කරන්නද කියා ය. එලෙස ගැබ්ගෙන තිබුණොත් රටට ලෝකයට මුහුණ දෙන්නේ කෙසේද? ඊට වඩා සැපයි මැරෙන එක. නිදි වරාගෙන ඇය එලෙස කල්පනා කළාය. අවසානයේ ඇය තීරණය කළේ තවත් දින කිහිපයක්‌ බලා මාසික ශුද්ධිය සිදු නොවුණහොත් ජීවිතය නැති කරගන්නා බවයි.

සිතූ ලෙසම මාසික ශුද්ධිය සිදු නොවුණි. ඇය දැඩි තීරණයක්‌ ගත්තාය. ඒ සියදිවි හානිකර ගැනීමයි. එකතු කරගත් වේදනා නාශක පෙති කිහිපයක්‌ ඇය ළඟ තිබිණි. කිසි දෙයක්‌ ගැන නොසිතූ ඇය පංති කාමරය තුළදීම එම පෙති පානය කළේ සියදිවි හානි කරගැනීමටයි. එහෙත් එම පෙති ඇයගේ සියදිවි හානිකර ගැනීමට තරම් ප්‍රමාණවත් නොවීය.

කලන්තයක්‌ පමණක්‌ සෑදී ඇය පංති කාමරය තුළ ඇද වැටුණාය. ගුරුවරු සහ සිසුවියන් පැමිණ වතුර ඉසීමෙන් පසු යළි ඇය ප්‍රකෘති තත්ත්වයට පැමිණියාය. ඒ සමඟම ගුරුවරු ඇයව රෝහල්ගත කිරීමට සැරසුණාය. එහෙත් එකහෙළා ඇය එයට විරුද්ධ විය. ගුරුවරු විමතියට පත්වූහ. පසුව ඔවුහු රෝහල්ගත වීමට අකමැති හේතුව විමසූහ.

ඇය නොයෙක්‌ හේතු පැවසූවාය. එහෙත් ගුරුවරු එය පිළිනොගත්හ. අවසානයේ ඇය සත්‍ය ප්‍රකාශ කළාය. පාසල් සංවර්ධන සමිතියේ නිලයකුත් හොබවන එම පාපතරයා කර ඇති තිරිසන් ක්‍රියාව ගැන නුගේගොඩ බාලිකා විදුහලේ ගුරුවරු දැන ගත්තේ එලෙසින්ය.

මෙතරම් සාපරාධී ක්‍රියාවක්‌ කළ මෙම පාපතරයා තවමත් නිදැල්ලේය. මොහුට විරුද්ධව නීතිය හරියාකාරව ක්‍රියාත්මක නොකළහොත් තවත් මෙවැනි මල් කැකුළු රැසක්‌ අනිවාර්යයෙන්ම මෙම පාපතරයා විනාශ කර දමනු ඇත.
උපුටා ගැනීම- දිවයින

Recommended For You

About the Author: RSL

Leave a Reply

Your email address will not be published. Required fields are marked *