පසුගිය ආණ්ඩුවේ බැඳුම්කර ගනුදෙනු ගැනත් සොයනවා – අගමැති මැතිසබේදී කියයි

වත්මන් බැඳුම්කර කොමිසමේ කටයුතු නිම වූ පසු
2008-2014 බැඳුම්කර ගනුදෙනු ගැනත් සොයනවා

දැනට ක්‍රියාත්මක බැඳුම්කර ජනාධිපති කොමිසමේ වැඩ කටයුතු අවසන් වූ පසු 2008 -2014 කාලය තුළ සිදු කර ඇති බැඳුම්කර ගනුදෙනු පිළිබඳ සොයා බලන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (30 වැනිදා) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක්‌ කරමින් සඳහන් කර සිටියේය.

එම විශේෂ ප්‍රකාශය මෙසේය.

අපේ රටේ ව්‍යවස්‌ථානුකූලව මුල්‍ය පාලනය බාර පාර්ලිමේන්තුවටයි.
2008-2014 බැඳුම්කර ගනුදෙනු ගැනත් සොයනවා

ව්‍යවස්‌ථාවේ 148 වන ව්‍යවස්‌ථාවේ මෙසේ සඳහන් වෙනවා.

-රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු වන්නේය.

ඒ නිසා බැඳුම්කර කොමිසමේ ඉල්ලීම පරිදි එහි ගොස්‌, කොමිසම හමුවේ මා සිදු කළ කරුණු පැහැදිලි කිරීම පිළිබඳව මේ ගරු සභාව වෙත දැනුම් දිය යුතු බව මගේ අදහසයි.

බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කර ඇති ජනාධිපති කොමිසමට සහය දක්‌වමින් අවශ්‍ය ඕනෑම කරුණු පැහැදිලි කිරීමක්‌ කිරීමට මා සූදානම් බව මම මීට කලින් අවස්‌ථාවක දන්වා සිටියා. මා එසේ දන්වා සිටියේ කොමිසමෙහි සාක්‌ෂි සටහන් කරද්දී මගේ නම ද සඳහන් වූ නිසා මෙන්ම මහ බැංකුව මගේ අමාත්‍යාංශය යටතට ගැනෙන ආයතනයක්‌ වන නිසයි.

ඒ අනුව කොමිසම කරුණු 20 ක්‌ සම්බන්ධයෙන් මගෙන් පැහැදිලි කිරීම් ඉල්ලා සිටියා. ඉන් පසුව තවත් කරුණු 28 ක්‌ සම්බන්ධව තොරතුරු විමසා සිටියා. මම ඒ සියල්ල සම්බන්ධව ලිතව පිළිතුරු ලබා දුන්නා. මේ අතර මා දුන් පිළිතුරු කීපයක්‌ ගැන වැඩිදුර කරුණු පැහැදිළි කර ගැනීමට අවශ්‍ය බව කොමිසම දන්වා සිටියා. ඒ අනුව නොවැම්බර් මස 20 වන දා මම කොමිසම හමුවට ගොස්‌ කරුණු පැහැදිළි කළා.

කොමිසමේ සාක්‌ෂි විභාගයේදී මෙතෙක්‌ අනාවරණය නොවූ කරුණු කීපයක්‌ පිළිබඳව කොමිසම හමුවේ කරුණු දැක්‌වීමට මට සිදු වුණා. ඒ, 2015 වසරේ අප ආණ්‌ඩුව බාර ගන්නා විට රටේ තිබූ මූල්‍ය තත්ත්වයයි.

2014 වසර වන විට පැවැති මුළු විදේශ ණය ප්‍රමාණය රු. බිලියන 3,113 ක්‌. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 30% ක්‌. 2014 වසරේ පැවැති සමස්‌ත ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 71.3% ක්‌. දළ දේශීය නිෂ්පාදිතයෙන් 10.4% ක්‌ ණය ගෙවීමට වැය වුණා. රටේ තිබූ ආර්ථික තත්ත්වය අනුව රජයේ ආදායම ණය ගෙවීමටත් මදි වුණා. රජයේ වියදම් සඳහා තවත් ණය ගැනීමට සිදු වුණා.

2008 වසරේ සිට 2014 වසර දක්‌වා භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතු විස්‌තර මා ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලබාගෙන තිබෙනවා. මෙම සෑම වසරකම බහුතරයක්‌ නිකුත් කිරීම් සිදු කොට තිබෙන්නේ පුද්ගලික  සෘජු නිකුත් කිරීම්. මෙහි කිසිම විනිවිදභාවයක්‌ තිබිලා නැහැ.

මා මේ අවස්‌ථාවේ මවිසින් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලබාගත් 2008 වසරේ සිට 2014 වසර දක්‌වා භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ වාර්තාව සභාගත කරනවා. මෙම කාලය තුළ රුපියල් බිලියන පන්දහස්‌ එකසිය හතළිස්‌ හතක (රු. 5,147,751,210,000/-) ක බැඳුම්කර නිකුත් කර තිබෙන අතර ඉන් රුපියල් බිලියන හාරදහස්‌ හත්සිය දෙකක (රු. 4,702,232,210,000/-) බැඳුම්කර නිකුත් කර තිබෙන්නේ පුද්ගලික  සෘජු නිකුත් කිරීමේ ක්‍රමය යටතේයි. එනම් මෙම කාලය තුළ මුළු බැඳුම්කර නිකුතුවලින් සියයට 90 කට වඩා වැඩි ප්‍රතිශතයක්‌ නිකුත් කර තිබෙන්නේ පෞද්ගලික  සෘජු බැඳුම්කර නිකුතු ක්‍රමය යටතේයි. මෙම කාලය තුළ අවස්‌ථා 84 කදී පෞද්ගලික සෘජු  නිකුත් කිරීම් ක්‍රමය යටතේ බැඳුම්කර නිකුත් කර තිබෙනවා. බැඳුම්කර වෙන්දේසි ක්‍රමය මඟින් නිකුත් කර ඇති බැඳුම්කර වටිනාකම රුපියල් බිලියන 435.5 ක්‌ පමණයි. 2015 වසර තුළදී පුද්ගලික සෘජු නිකුත් කිරීමේ ක්‍රමය යටතේ බැඳුම්කර නිකුත් කර තිබෙන්නේ අවස්‌ථා හතරකදී පමණයි. එහි වටිනාකම රුපියල් බිලියන 157.5 යි. දැනට නිකුත් කර ඇති භාණ්‌ඩාගාර බැඳුම්කර සඳහා 2017 සිට 2045 දක්‌වා ගෙවිය යුතු මුළු මුදල හා පොලිය පිළිබඳව පුරෝකථන වාර්තාවක්‌ මා මහ බැංකුවෙන් ලබා ගත්තා. ඒ අනුව 2045 වන තෙක්‌ බැඳුම්කර සඳහා රුපියල් බිලියන 4154 කුත්, පොලිය වශයෙන් රුපියල් බිලියන 3086 කුත් ගෙවීමට තිබෙනවා. නමුත් මෙම කාලය තුළ රජයට බැඳුම්කර හරහා තවත් ණය ගන්න සිදු වෙනවා. ඒ සඳහා අනාගතයේ දැරීමට සිදුවන වියදම් මෙම පුරෝකථනයට ඇතුළත් වී නැහැ. එම මුදලත් එකතු වූ විට අති විශාල ණය මුදලක්‌ ඉදිරියේදී ගෙවීමට සිදු වෙනවා. මේවා ගෙවන්න වෙන්නේ මේ රටේ ජනතාවටයි.

2015 ජනවාරි මාසයේදී අප බලයට පත්වීමෙන් අනතුරුව මාර්තු මාසයේදී අප මේ බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව විමසීමක්‌ කළා. එහිදී අපට පෙනී ගියේ මුදල් මණ්‌ඩලය විසින් පුද්ගලික  සෘජු නිකුත් කිරීම් ක්‍රමය යටතේ බැඳුම්කර නිකුත් කිරීම සඳහා කිසිදු තීරණයක්‌ ගෙන නොමැති බවයි. මුදල් මණ්‌ඩලය තීරණය කොට තිබුණේ රජයේ මුදල් අවශ්‍යතාවය සඳහා කෙටි කාලීන විසඳුමක්‌ ලෙස වෙනත් මූලාශ්‍ර හරහා මුදල් සෙවීමයි. පුද්ගලික  සෘජු නිකුත් කිරීම යටතේ විශාල වශයෙන් බැඳුම්කර නිකුත් කිරීමට එමඟින් කිසිදු අනුමැතියක්‌ ලබාදී තිබුණේ නැහැ. උදාහරණයක්‌ වශයෙන් සේවා නියුක්‌තිකයන්ගේ භාරකාර අරමුදල, සේවක අර්ථ සාධක අරමුදල හා ජාතික ඉතිරිකිරීමේ බැංකුව ආදී ආයතන මගින් බැඳුම්කර නිකුත් කිරීමටයි එම තීරණ ගෙන තිබුණේ. මා එම මුදල් මණ්‌ඩලයේ තීරණ සභාගත කරනවා.

එසේ නම් සිදු වී ඇත්තේ කුමක්‌ද? මුදල් මණ්‌ඩල තීරණයක්‌ නොමැතිව, විනිවිදභාවයකින් තොරව තමන්ට රිසි පරිදි පොලී අනුපාතයන් තීරණය කොට තමන්ට අභිමත ප්‍රාථමික ගැනුම්කරුවන් වෙත ලබා දීමේ ක්‍රමවේදයක්‌ දිගින් දිගටම ක්‍රියාත්මක වුණා. මෙය අවභාවිතයන් ගණනාවකට හේතු වුණා.

2015 වසරේ අප මෙම රජය බාර ගන්නා තෙක්‌ ක්‍රියාත්මක වූ ක්‍රමය පිරමීඩ වංචාවකට සමානයි. ඇත්ත වශයෙන්ම විශාලම පිරමීඩ වංචාව මෙයයි. මේ ලබාගෙන තිබෙන ණය ප්‍රමාණය හා පොලිය ආපසු ගෙවීමට අපේ ආර්ථිකයට ශක්‌තියක්‌ කරන්නට අපි 2025 දැක්‌ම ඉදිරියට ගෙන යනවා. මෙම ණය බර පැටවෙන්නේ මේ රටේ ජනතාවටයි.

දැනට ක්‍රියාත්මක වෙන බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධ ජනාධිපති කොමිසමේ වැඩ කටයුතු අවසන් වීමෙන් අනතුරුව 2008 – 2014 කාලය තුළ සිදු කර ඇති මේ මහා වංචාව පිළිබඳව සෙවීමට අප බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මෙම කාලය තුළ පාර්ලිමේන්තුවට නොදන්වා ලබාගත් ණය හා නිකුත් කළ බැදුම්කර පිළිබඳව පරීක්‌ෂා කිරීමට පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කමිටුවේ අවධානය යොමු කරවීමට අප බලාපොරොත්තු වෙනවා. එසේම, මෙම කාලය තුළ කොටස්‌ වෙළෙදපොළ තුළ සිදු වූ මහා වංචාවන් පිළිබඳව ද සෙවීමට බලාපොරොත්තු වෙනවා.

මෙවැනි වංචනික ක්‍රමවේදයක්‌ වෙනුවට විනිවිද පෙනෙන, විධිමත් ක්‍රමවේදයක්‌ අවශ්‍ය බව අප කාගේත් පිළිගැනීමයි. ඒ නිසයි අපි විවෘත වෙන්දේසි ක්‍රමය ක්‍රියාත්මක කළ යුතු බවට තීරණය කළේ. මීට කලිනුත් විවෘත වෙන්දේසි සීමිත අවස්‌ථා කීපයකදී ක්‍රියාත්මක කර තියෙනවා. නමුත් ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට වඩා විධිමත් හා විනිවිද පෙනෙන ක්‍රමවේදයක්‌ සැකසීම අපේ අපේක්‍ෂාව වුණා. ඒ නිසා වෙන්දේසි ක්‍රමය ක්‍රියාත්මක කරන අතරතුරම එය වඩාත් විධිමත් කරලීම උදෙසා ජාත්‍යන්තර විශේෂඥ උපදෙස්‌ ලබා ගැනීමට අප ක්‍රියා කළා. එක්‌සත් ජනපද භාණ්‌ඩාගාර විශේෂඥයෙක්‌ අපට ඒ සඳහා සහය වෙනවා.

අප රජය දැනට ශක්‌තිමත් ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළක්‌ සකස්‌ කොට තිබෙනවා. ඉදිරියේදී සෑම දෙනාටම එහි ප්‍රතිලාභ හිමි වෙනවා. අපි 2015 වසරේ රජය බාර ගන්නා විට ආර්ථිකය ස්‌ථාවර මට්‌ටමක තිබුණේ නැහැ. නමුත් දැන් අපි යම් ස්‌ථාවරත්වයක්‌ ගොඩනංවා තිබෙනවා. සංවර්ධන ව්‍යාපෘති සඳහා පුද්ගලික ආයෝජන ලබාගැනීමේ ශක්‌තිය අද අපට ලැබී තිබෙනවා. සංවර්ධන ව්‍යාපෘති සඳහා දිරිගැන්වීම් රාශියක්‌ ලබාදී තිබෙනවා. අයවැය මගින් ව්‍යාපාර වැඩි දියුණු කිරීමේ වැඩපිළිවෙළවල් අප යෝජනා කර තිබෙනවා. මහනුවර සිට කොළඹ හරහා හම්බන්තොට දක්‌වා විහිදුණු කර්මාන්ත හා සංචාරක සංවර්ධන කලාප තුළින් ආර්ථිකය ශක්‌තිමත් කිරීමටත්, නව රැකියා බිහි කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා. GSP+ සහනය ලැබීම හරහා දේශීය ව්‍යවසායකයන්ට වැඩි වශයෙන් විදේශ විනිමය ඉපැයීමට අවස්‌ථාව උදා වී තිබෙනවා. මෙසේ අපනයන වැඩි වීම හේතුවෙන් ආදායම වැඩි වෙනවා. මේ අනුව 2025 වන විට ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය සීඝ්‍රයෙන් වැඩි වීම නිසා ණය හා දළ දේශීය නිෂ්පාදිතය අතර අනුපාතය අඩු වෙනවා. ඒ නිසා අපට මෙම ණය බර ගෙවීමට හැකි වෙනවා.

අප හැම විටම කටයුතු කළේ පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලනය ශක්‌තිමත් කරලීම උදෙසායි. රටේ මූල්‍ය තත්ත්වය වාරානුකූලව මම පාර්ලිමේන්තුවට වාර්තා කර තියෙනවා. මූල්‍ය පාලනය පිළිබඳ ගරු මන්ත්‍රීවරු විමසූ අවස්‌ථාවන්හිදී ඒ සියල්ලට මේ පාර්ලිමේන්තුවේ පිළිතුරු ලබාදී තියෙනවා.

අද මම මේ ප්‍රකාශය කරන්නේත් ඒ ප්‍රතිපත්තියම අනුගමනය කරමින්.

අප රජය බලයට පත්වූ පසු බැඳුම්කර නිකුත් කිරීමට විනිවිඳභාවයෙන් යුතු ක්‍රමවේදයක්‌ ඇති කළා. ඒ නිසා සෑම දෙයක්‌ම අපට පරීක්‌ෂා කරන්න පුලුවන්. ඒ නිසා බැඳුම්කර වංචාවක්‌ පිළිබඳව චෝදනාවක්‌ එල්ල වූ විගසම එය පරීක්‌ෂා කිරීමට ක්‍රමවේදයක්‌ තිබුණා. අප විසින් පිටිපන කමිටුව පත් කළා. එම කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සාකච්ඡා කළා. එම වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට ද යොමු කළා. විපක්‍ෂයේ මන්ත්‍රීවරයෙකු සභාපතිත්වය දරන කෝප් කමිටුව හරහා ඒ පිළිබඳව පරීක්‌ෂා කළා. කෝප් කමිටු වාර්තාව ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඉන් පසුව ඒවා නීතිපතිවරයා වෙත යොමු කළා. ඉන් නොනැවතී තවදුරටත් කරුණු සොයා බැලීමට ජනාධිපති කොමිසමක්‌ ද පත් කළා. එම කොමිසමේ වැඩ කටයුතුවලට අප රජයේ පූර්ණ සහාය ලබා දුන්නා. මා ඇතුළු රජයේ අමාත්‍යවරුන් කමිටුව හමුවේ සාක්‌ෂි ලබා දුන්නා. ඉතිහාසයේ මේ ආකාරයට යම් සිද්ධියක්‌ පිළිබඳව විමර්ශනය කිරීමක්‌ සිදු වූයේ ප්‍රථම වතාවටයි. එවැනි තත්ත්වයක්‌ කලින් තිබුණේ නැහැ. රාජපක්‌ෂ පාලන සමයේ මෙහෙම පරීක්‌ෂණ කළා නම් පරීක්‌ෂණ කරපු අයට යන්න වෙන්නේ ලසන්ත වික්‍රමතුංග යවපු පාරේ. අපියි මෙවැනි විනිවිදභාවයක්‌ ඇති ක්‍රමවේදයක්‌ ඇති කළේ.

මම හැමදාමත් කියන පරිදි ජනාධිපතිතුමාත්, මමත් නව දේශපාලන සංස්‌කෘතියක්‌ නිර්මාණය කරලීම සඳහා කැපවී කටයුතු කරනවා. මෙය අපේ රටට අලුත් අත්දැකීමක්‌. සමහරුන්ට තේරුම් ගන්නට බැරි තරම් සංකීර්ණ ක්‍රියාවලියක්‌. අත්දැකීම ආගන්තුක නිසා අඩුපාඩු, වැරදීම් සිදු වෙන්නට පුළුවන්. ඒවා අපි සකස්‌ කර ගනිමු.

නමුත් රාජපක්‌ෂ රෙජිමයේදී මෙන් වැරදි අඩුපාඩු සියල්ල පාපිස්‌සට යට කර, නීතියේ ආධිපත්‍යය පාගා දමන්නට අප සූදානම් නැහැ. සමාජ සාධාරණත්වය වළලා දමන්නට අප සූදානම් නැහැ.

ජනවාරි 08 වනදා අප බාර ගත්තේ ණය උගුලකට හසු වුණු රටක්‌. නීතිය ක්‍රියාත්මක නොවුණු රටක්‌. දූෂණයෙන් හා වංචාවෙන් පිරුණු රටක්‌. රාජ්‍ය ත්‍රස්‌තවාදයෙන් බිය වැද්දුණු රටක්‌.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, මමත්, අපේ සම්මුතිවාදී රජයත් මේ තත්වය වෙනස්‌ කරලීමේ මාර්ගයට අපේ රට අවතීර්ණ කර තියෙනවා. ඒ ගමන් මග කටුකයි. දුෂ්කරයි. බොරුවළවල්වල නොවැටී, මං මුලා නොවී, ඒ ගමන් මග ඉදිරියටම ගොස්‌, ශීලාචාර ආණ්‌ඩුවක්‌, සාධාරණ සමාජයක්‌, ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක්‌ බිහිකරලීම සඳහා අප ඇපකැප වන බව අවසන් වශයෙන් සඳහන් කරන්න කැමතියි.

Recommended For You

About the Author: RSL

Leave a Reply

Your email address will not be published. Required fields are marked *