මල්වතු-අස්ගිරි නිවේදන නිකුත් කරන සම්ප්‍රදාය දන්නවාද..?

99 total views, 1 views today

ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම විදේශගතව සිටියදී උභය මහ විහාරීය කාරක සංඝ සභික හිමිවරු කිහිප නමක් ශ්‍රී දළදා මාලිගාවේ රන් ආවුද මණ්ඩපයේදී රැස්ව කළ සාකච්ඡාවකින් පසු නව ව්‍යවස්ථාවක් මේ මොහොතේ ගෙන ඒමට අවශ්‍ය නොවන බව මල්වතු අස්ගිරි මහ විහාර පාර්ශ්ව තීරණය කළ බවට ප්‍රකාශ වීමත් සමඟ රටේ මහත් ආන්දෝලනයක් ඇති විය.

විශේෂයෙන්ම රටේ ඒකීයභාවය සුරැකෙන බෞද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය එලෙසින්ම ආරක්ෂා වන අතර කාටත් පිළිගත හැකි බලය බෙදා හැරීමේ වැඩපිළිවෙළක් සහිත නව ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය බව මල්වතු මහනාහිමියන් ප්‍රකාශ කර තිබියදී උභය මහ විහාරවල තීරණයක් ලෙස කරළියට පැමිණි මෙම නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නොමැති යැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් අගමැතිවරයාද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මෙය මල්වතු පාර්ශ්වයේ අදහස නොවන බව කීවේය.

මතය පිළිබඳ වාදය

මෙය මල්වතු අස්ගිරි මහ විහාර දෙකේ පොදු මතයද,නොඑසේ නම් අදාළ රැස්වීමට සහභාගීවූ මල්වතු අස්ගිරි විහාර පාර්ශ්ව නියෝජනය කළ කාරක සංඝසභික හිමිවරුන්ගේ මතයද,අදාළ තීරණ මාධ්‍ය වැරදි ලෙස වාර්තා කළේද යන ප්‍රශ්න පොදු ජනතාව තුළ පැන නැඟුණේ සංඝරත්නය හා දේශපාලනඥයින් මේ සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කිරීමත් සමඟය. අදාළ සාකච්ඡාව සඳහා අස්ගිරි පාර්ශ්ව නියෝජනය කරමින් එම පාර්ශ්වයේ අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම ප්‍රමුඛ විංසත් වර්ගික කාරක සංඝ සභාවේ හිමිවරු හත් නමක් වැඩම කර තිබිණි.

මල්වතු පාර්ශ්වයෙන් මෙම සාකච්ඡාවට සහභාගීවී සිටියේ එක් අනුනාහිමිනමක් හා කාරක සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ හිමිනමක් පමණි. නව ව්‍යවස්ථාවක් මේ මොහොතේ ගෙන ඒම අනවශ්‍ය බවට මුලින් මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මතය ලෙස සමාජගතවූ අදහස පසුව වෙනස් වූයේ ඊට සම්බන්ධ වූ සංඝයාවහන්සේ එම අදහස සාකච්ඡාවට සම්බන්ධ වූ භික්ෂූන් වහන්සේගේ අදහස මිස මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ මහ විහාර පාර්ශ්ව දෙකේ අදහස නොවන බව ප්‍රකාශ කිරීම නිසාය.

මෙරට භික්ෂූන් වහන්සේ ප්‍රධාන වශයෙන් නිකාය තුනකට අයත්ය. සියම්,රාමඤ්ඤ හා අමරපුර ලෙසින් පවතින මෙම නිකාය තුන පොදු එකඟතාවයකින් යුතුව නිවේදනයක් නිකුත් කරන්නේ ත්‍රෛනිකායික මහ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අත්සනින් යුතුවය. නිකාය තුනක් වුවත් මෙම නිකාය තුන නියෝජනය කරන්නා වූ මහනාහිමිවරු සිව්නමක් සිටිති. ඒ සියම් නිකායට අයත් මල්වතු අස්ගිරි උභය මහ විහාර පාර්ශ්ව සඳහා මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමක් වැඩහිඳින නිසාවෙනි.

ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩවන් ශ්‍රී දළදා සමිඳුන් උදෙසා සිදුකෙරෙන්නාවූ වත් පිළිවෙත් සියම් මහනිකායට අයත් මල්වතු අස්ගිරි මහ විහාර දෙක මඟින් පමණක් සිදුකෙරෙන අතර දළදා වහන්සේගේ පැවිදි භාරකාරත්වය පවතින්නේද උභය මහ විහාර මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම යටතේය.

අනුබුදු මිහිදු මහ රහතන්වහන්සේගේ ලංකාගමනයෙන් පසු දේවානම් පියතිස්ස රජුගේ අනුග්‍රහයෙන් ලක්දිව බුදු සසුන පිහිටුවීම මෙරට සුවිශේෂී අවස්ථාවකි. මෙරට බුදුදහම ස්ථාපනය කිරීමේ අරමුණින් අනුරපුර මහවිහාරය ගොඩනංවා මහා අරිට්ඨතිස්ස ඇතුළු රාජකීය පිරිසක් පැවිදි කිරීමත් සමඟ බුදු දහම කේන්ද්‍රීයව මෙරට සංස්කෘතිය ගොඩනැඟුණි. මිහිඳු මහ රහතන්වහන්සේ හා දේවානම් පියතිස්ස රජු ආගමික හා සමාජීය වශයෙන් මනා සබඳතාවයක් පැවත්වාගෙන යෑමේ ප්‍රතිඵලයක් ලෙස උන්වහන්සේ ලාංකික සංඝයාගේ උත්තරීතර නායකයා ලෙස ගිහිපැවිදි දෙපාර්ශ්වයේම පිළිගැනීමට ලක්වූහ. පසුකාලීනව බිහි වූ ඇතැම් රජවරුන්ගෙන් බුදුදහමට නිසි අනුග්‍රහයක් නොලැබීමේ හා උත්තරීතර භික්ෂු නායකත්වයක් නොමැතිවීමේ ප්‍රතිඵලයක් ලෙස එතෙක් පැවැති මහවිහාරීය සඝ පරපුර නිකාය තුනකට බෙදී වෙන්ව ගියේය. එය මහවිහාරීය, ජේතවන හා අභයගිරි නම් විය.

මහපරාක්‍රමබාහු රජ දවස දිඹුලාගල කාශ්‍යප නාහිමියන් මෙම තුන් නිකායට අයත් මහා සංඝරත්නය ධර්මාධිකරණයක පිහිටුවා ශෝධනයට ලක්කර ධර්ම,විනය කඩකළ භික්ෂූන් සසුනෙන් ඉවත්කර සෙසු සංඝයා එකම ථෙරීය සම්ප්‍රදායක පිහිටවූහ. මහසංඝරත්නය මුහුණදෙන ගැටළු සඳහා විසඳුම් ලබාදීම ශාසනයේ ඉදිරිගමනට පිටුබලයක් බව නිවැරදිව වටහාගත් කාශ්‍යප හිමියෝ ශාසනයේ අභිවෘද්ධිය පිණිස රාජ්‍ය අනුග්‍රහය ලබාගැනීමට පියවර ගත්හ.

උත්තරීතර සංඝනායකයකු පත්කර ගැනීමද මෙකලම සිදුවූ අතර එකල එම පදවිය මහා ස්ථවීර නම් විය. ඊට කාශ්‍යප හිමි පත්වූ අතර පසුකාලීනව මෙම නාමය මාහිමි,මහා සාමී,මහා ථෙර,සංඝරාජ,මහානායක ලෙසින් මේ දක්වා කලින් කලට වෙනස්වෙමින් පැමිණ තිබේ. රාජ්‍යත්වයේ සංඛේතය බවට පත්ව වැඩහුන් දළදා වහන්සේ උදෙසා අවශ්‍ය වත්පිළිවෙත් නිසි අයුරින් කිරීමට අවශ්‍ය පසුබිම රජු විසින් භික්ෂූන්වහන්සේට නිරතුරුව සලසා දෙනු ලැබීය. එසේ වුවත් කන්ද උඩරට රාජධානී සමය තුළ මෙරට බලයට පැමිණි නායක්කාර වංශික රජවරු දේව ඇදැහිලි ක්‍රම වෙත වැඩි නැඹුරුවක් දක්වමින් බුදු දහමට අවශ්‍ය රාජ්‍ය ගෞරවය ලබානොදීමේ ප්‍රතිඵලයක්ලෙස බෞද්ධ භික්ෂූන් ක්‍රමයෙන් ක්ෂය වී ගොස් ශාසනය දැඩි පිරිහීමකට ලක්විය. චීවරය දරමින් සිටි බොහෝදෙනකු නොයෙක් දුසිරිත්වල යෙදෙන තත්ත්වයක් රටතුළ නිර්මාණය විණි. බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වන්නටත් පෙර මෙලෙස සඟ සසුන මෙරටින් තුරන්ව යත්දී උපසම්පදාව නොලත් තවත් භික්ෂු පිරිසක් චීවරය දරමින් ශාසනය රැකගැනීමට අනුපමේය වෙහෙසක් දැරීය.

මෙලෙස යම් පමණකින් සඟ සසුන පවත්වාගෙන යත්දී කීර්ති ශ්‍රී රාජසිංහ රජු සම්බදු සසුන යළි මෙරට ස්ථාපිත කිරීම සඳහා අපමණ වෙහෙසක් ගෙන කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස රජුගේ පූර්ණ අනුග්‍රාහකත්වය යටතේ වැලිවිට ශ්‍රී අසරණ සරණ සරණංකර හිමියන් සියම් දේශයෙන් මෙරටට යළි උපසම්පදාව ගෙන ඒමට කටයුතු කළේ 1753 වසරේදී ය.

උපාලි හිමි සිට අද දක්වා

උපසම්පදාව රැගෙන මෙරටට වැඩම කළ සියම් දේශයේ භික්ෂු කණ්ඩායමේ නායකත්වය ප්‍රවර උපාලි නාහිමියන් විසින් දරනු ලැබූ අතර අස්ගිරි මල්වතු උභය මහවිහාර පාර්ශ්වයන්ගේ උපසම්පදා ලත් භික්ෂූන් සියලුදෙනා වහන්සේ ඒකමතිකව උපාලි හිමියන්ගේ නායතක්වය පිළිගන්නා ලදී. උන්වහන්සේගේ අපවත් වීමෙන් යළි නායකත්වයට පත්වූයේද සියම් දේශයෙන්ම වැඩම කළ හිමිනමක් වූ විශුද්ධාචාර්ය මහතෙරුන් වහන්සේ ය. සියම් දේශයෙන් උපසම්පදාව වැඩමකර දොළොස්වසක් ගතවූ තැන විශුද්ධාචාර්ය හිමියන් යළි සියරට වැඩමකළ හෙයින් උපසම්පදාව මෙරටට ගෙන ඒමට අනුපමේය සේවයක් ඉටුකළ වැලිවිට ශ්‍රී අසරණ සරණ සරණංකර හිමියෝ මල්වතු අස්ගිරි උභය මහවිහාරයන් දෙකටම පොදු වනසේ සංඝරාජ තනතුරට රජු විසින් පත්කැරනු ලැබීය. ඒත් සමඟ වර්ෂ 1765 දී මල්වතු අස්ගිරි මහවිහාර දෙක වෙනුවෙන් වෙන් වෙන්ව මහනායක පදවි දෙකක් ඇති කිරීමටද රජු පියවර ගත්තේය.

මල්වතු පාර්ශ්වයේ ප්‍රථම මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ලෙස තිබ්බටුවාවේ බුද්ධරක්ඛිත නාහිමියන්ද අස්ගිරි පාර්ශ්වයේ ප්‍රථම මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ලෙස උරුලෑවත්තේ ධම්මසිද්ධි නාහිමියන්ද පත්වූහ. සියම් දේශයෙන් උපසම්පදාව ගෙනවිත් යළි උපසම්පදාව පිහිටුවීම සනිටුහන් කරමින් මල්වතු අස්ගිරි උභය මහා විහාර සියම් නිකාය ලෙස නම් ලැබීය.

ශාසනාභිවෘද්ධිය හා සුරක්ෂිතභාවය උදෙසා කටයුතු කිරීම පිණිස මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේට සම්මතයන් ලබා දීමටත් උපසම්පදා විනය කර්ම සිදු කිරීමටත් උභය මහ විහාරයන් සඳහා කාරක සංඝ සභාවක් තිබේ. මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ සභාපතීත්වය හොබවන මෙම කාරක සංඝ සභාවේ සංයුතිය 20 කි. මල්වතු මහ විහාර පාර්ශ්වයේ කාරක සංඝ සභාව භික්ෂූන් වහන්සේ 20 නමක්ද අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාව භික්ෂූන් වහන්සේ 20 නමක්ද නියෝජනය කරති. මේ නිසා විංසත් වර්ගික කාරක සංඝ සභාව ලෙසින් එය හඳුන්වයි.

විහාර පාර්ශ්වයට අයත් භික්ෂූන් වහන්සේට පදවි පිරි නැමීම,විහාරස්ථාන පිළිබඳ තීන්දු තීරණ ගැනීම,රට වෙනුවෙන් සුවිශේෂි සේවාවන් කළ පුද්ගලයින් අගයා ගෞරව නාම පිරි නැමීම පමණක් නොව ජාතික ප්‍රශ්නවලදී මහනාහිමිවරු නිවේදන නිකුත් කරන්නේද කාරක සංඝ සභික හිමිවරුන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුවය.

පැරණි රජ දවස රාජ නියෝගයෙන් විංසත් වර්ගික කාරක සංඝ සභාවට භික්ෂූන් වහන්සේ පත් කිරීම සිදුකර ඇතත් වර්තමානයේ එය සිදු කෙරෙන්නේ අදාළ පාර්ශ්වයේ මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අභිමතය පරිදිය. මහනායක පදවිය පුරප්පාඩු වූ විට ඊට සුදුසු හිමිනමක කාරක සංඝ සභාව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ හිමිවරු අතරින් පත්කර ගනු ලබන්නේ කාරක සංඝ සභාවේ බහුතර කැමැත්ත මතය. කාරක සංඝ සභාවට පත්වීම යනු මහවිහාර පාර්ශ්ව නියෝජනය කරන්නාවූ භික්ෂුවකට හිමිවන සුවිශේෂී අවස්ථාවකි. කාරක සංඝ සභාව අදාළ පාර්ශ්වයේ උපසම්පදා විනය කර්ම සිදු කරන්නාවූ මංගල උපෝසතාගාරයේදී රැස්වන අතර එහිදී මහනාහිමියන්ට විශේෂ ආසනයක් පනවා තිබේ. මහනාහිමි ඉදිරියෙන් හා දකුණු පසින් අනුනාහිමි දෙනම අසුන් ගන්නා අතර සෙසු හිමිවරු ජ්‍යෙෂ්ඨත්වය අනුව පිළිවෙළින් ඊට පසු අසුන් ගැනීම සම්ප්‍රදායයි.

අත්සනින් තොර නිවේදනයක්

දළදා වහන්සේගේ පැවිදි භාරකාතරත්ව මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම විසින් උහුලන බැවින් අදාළ පාර්ශ්ව දෙකටම පොදු ස්ථානයක් ලෙස දළදා මාලිගාව සලකනු ලබයි. මේ නිසා දෙපාර්ශ්වයේ කාරක සංඝ සභා අත්‍යවශ්‍යම අවස්ථාවක රැස් වන්නේ දළදා මාලිගාවේදීය.

කාරක සංඝ සභා මඟින් ගනු ලබන තීරණ අවසානයේ පාර්ශ්වයේ මතයක් ලෙස රටට ඉදිරිපත් කෙරෙනුයේ මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අත්සනිනි. මල්වතු අස්ගිරි උභය මහ විහාරීය කාරක සංඝ සභා වෙන් වෙන්ම රැස්ව ගනු ලබන තීරණ දෙපාර්ශ්වයටම පොදු වන්නේ නම් මහනාහිමිවරු දෙනමගේ අත්සනින් නිවේදන නිකුත් කරන්නාවූ අවස්ථාද තිබේ. ඊට අමරපුර හා රාමඤ්ඤ මහ නිකායන්වල මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේද එකඟතාව ලැබුණහොත් ත්‍රෛනිකායික මහ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ නිවේදනයක් ලෙස උන්වහන්සේලා සිව් නමගේ අත්සනින් යුතුව නිවේදනය නිකතු කරනු ලැබේ.

සයිටම් ප්‍රශ්නය කඩිනමින් විසඳීමට රජය මැදිහත් විය යුතු බවට පසුගියදා ත්‍රෛනිකායික මහනාහිමිවරු නිවේදනයක් නිකුත් කළේ එවැනි එකඟතාවයක් ඇතිවය. ඉන් පසු මහනාහිමිවරු එවැනි නිවේදනයක් මෙතෙක් නිකුත් කොට නොමැත. මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ නොමැතිව කාරක සංඝ සභාව රැස්වූ අවස්ථාවක සිදු වන්නේ එහිදී ගත් තීන්දු තීරණ පිළිබඳව මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දැනුවත් කිරීමය. ඊට උන්වහන්සේද අදහස එක්වූ පසු අදාළ පාර්ශ්වයේ පොදු තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සිදුවෙයි.

ව්‍යවස්ථාව සම්බන්ධ මල්වතු අස්ගිරි මතය ලෙස එළි දුටු කාරණයේදී ප්‍රශ්න ගණනාවක් පැන නැඟුණේ එය මහනාහිමිවරු නොමැතිව කළ සාකච්ඡාවක් හෙයිනි. මහනාහිමිවරුන්ගේ අනුමැතිය ඇතිව කළ සාකච්ඡාවක් වුවද එහිදී ගත් තීන්දු තීරණ රටට කිව යුතුව තිබුණේ මහනාහිමිවරුන්ගේද අනුමැතිය ඊට ලැබුණු පසුය. මහ සංඝරත්නයට තමන් වහන්සේලා කලින් කී දේ නිවැරදි කරන්නටත් අගමැතිවරයාට ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වා මාධ්‍යට නිවැරදි කරුණු වාර්තා කරන ලෙස දැනුම් දීමටත් සිදුවූයේ මේ නිසාය.

-අසේල කුරුළුවංශ-

Recommended For You

About the Author: RSL

Leave a Reply

Your email address will not be published. Required fields are marked *