ISIS ත්‍රස්තවාදීන්ගේ ජාත්‍යන්තර ත්‍රස්ත ජාලය මෙරටත්..?

ISIS-teristඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් මෙරට තුළ පවත්වාගෙන යනු ඇතැයි සැක කෙරෙන ඔවුන්ගේ සබඳතා ගැන පළකර තිබූ අැතැම් මාධ්‍ය වාර්තා පිළිබඳව අවධානය යොමුවී ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

මෙම සංවිධානයේ ක්‍රියාවන් සබැඳිව පැය 24 පුරාම ආරක්ෂක හමුදා සහ බුද්ධි අංශ දැඩි විමසිල්ලෙන් පසුවන බැව් වගකීමකින් යුතුව සඳහන් කරන අතර, එලෙස ක්‍රියාත්මක වීම ආරක්ෂක හමුදාවන්හි සහ ජාතික බුද්ධි සේවාවන්හි පරම වගකීමක් ද වන බවත් පළ කෙරෙන ඇතැම් මාධ්‍ය වාර්තා සංවේදී සහ අත්‍යවශ්‍ය බුද්ධි තොරතුරු හෙළිදරව් කරමින් කටයුතු කිරීම හේතුවෙන් සැකකටයුතු පුද්ගලයන් හඳුනාගැනීමට ගන්නා උත්සාහයන් අඩපණවීමට ද හේතු කාරක වන අතර, එවැනි උත්සාහයන් නිශ්ඵල තත්ත්වයට ද පත්වීමට ඉඩ ඇති බැව්ද මෙහිලා සඳහන් කිරීම අත්‍යවශ්‍ය බව ද අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

කෙසේ වුවද දැනට පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳව කිසියම් අනියත සැකයක් ඇති කර නොගත යුතුවන අතර, ආරක්ෂක හමුදාවන්ට ලැබෙන බුද්ධි තොරතුරු නිසි ලෙස විශ්ලේෂණය හා තක්සේරු කරමින් නිවැරදිව එම කරුණු තහවුරු කර ගැනීම සඳහා කටයුතු කරමින් සිටිනා හෙයින් රහස්‍යභාවය සුරැකීම සඳහා මාධ්‍යයන්ට දැනට එම තොරතුරු අනාවරණය කිරීමට හැකියාවක් නොමැති බව ද ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ වැඩබලන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් කේ. ජේ. ජයවීර මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

Recommended For You

About the Author: RSL