‘ෂෙහාන් ජයසූරිය’ ශ්‍රී ලංකා ක්‍රිකට්වලට සමුදෙමින් ඇමෙරිකාවේ පදිංචියට යයි

Spread the love

ශ්‍රී ලංකාව තරග වදිනු ලබන ජාත්‍යන්තර තරග සඳහා මින් ඉදිරියට සහභාගි නොවනු ලබන බවත් එබැවින් ඉදිරි තේරීම් වලදී තමාව නොසලකා හරින ලෙසත් තුන් ඉරියව් ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දන්වා තිබේ.

ලිපියක් මාර්ගයෙන් මේ පිළිබඳව දැනුම් දී සිටින ජයසූරිය, සිය පවුල සමඟ ඇමරිකාවේ පදිංචියට යෑමට තීරණය කිරීම එම තත්ත්වයට හේතුව බව වැඩිදුරටත් දැනුම් දී සිටියි.

මොරටුව වේල්ස් කුමර විදුහලින් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි ෂෙහාන්ගේ විවාහ උත්සවය ඉකුත් 2020 වසරේදී ඇමරිකාවේදී පැවැති අතර අනතුරුව ඔහු පළමු වතාවට ශ්‍රී ලංකාවට පැමිණියේ ඉකුත්දා අති සාර්ථකව අවසන් වුණු ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගිවීමටය.

අනුශූරයින් බවට පත් ගෝල් ග්ලැඩියේටර් පිල වෙනුවෙන් ක්‍රීඩා කළ ෂෙහාන් ඇමරිකාවට ගිය පසු එරට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා තමන්ට මේ වන විටත් ආරාධනාවක් ලැබී තිබෙන බවත් මීට එම තරගාවලිය අතරතුරදී ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩෙවිය සමඟ එක්වෙමින් සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රථමයෙන් ව2015 වසරේදී විස්සයි-20 තරග වරම් දිනා ගත් ෂෙහාන් අවස්ථා 18 කදී ශ්‍රී ලංකාව නියෝජනය කොට ප්‍රහාරාත්මක වේගය 108.55 ක් රඳවා ගනිමින් ලකුණු 241 ක් රැස් කර ගැනීමට සමත්ව සිටියි. අනතුරුව එක්දින තරග වරම් දිනූ වමත් පිතිකරුවා එක්දින තරග 12 කදී ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ. ඔහුගේ වැඩිම ලකුණු ලෙස පාකිස්තානයට එරෙහිව කරච්චිහිදී රැස් කරන ලද ලකුණු 96 සටහන් වේ. දකුණතින් පිට දඟ පන්දු යවන ෂෙහාන් අංශ 2 යටතේ කඩුලු 6 ක් බිඳ හෙළීමට සමත්ව සිටියි. මේ පිළිබඳව කළ දැනුම් දීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු සියළුම පාර්ශ්වයන්ට තමා ස්තූතිය පළ කිරීමටද ෂෙහාන් අමතක කර නොමැත.

RSL

Related Posts