ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වලට මොකද වුණේ ?

Spread the love

මේ වැටීම කලෙක ඉඳන් එනවා. මේ රතු එලිය තියෙනවා. දැන් වෙලා තියෙන්නේ අපේ ක්ලබ් සිස්ටම් එකේ ඉඳලා මේක හදන්ඩ ඕන. මම හිතන්නේ මහේලලා සංගලා මේවා ගැන සෑහෙන්න කියල තියෙනවා”

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අවසානයට ක්‍රීඩා කළ ටෙස්ට් තරගාවලි දොළහෙන් 8 ක්ම පරාජය වී ඇති අතර, එක්දින තරග 24න් ජයගෙන ඇත්තේ 10ක් පමණක් වීමත් සමඟ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ බිඳ වැටීමට වගකිව යුත්තේ ක්‍රීඩකයන්ද නැතිනම් බලධාරීන්ද යන්න පිළිබඳ සංවාදයක් මතුවී තිබේ.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේණිගත කිරීමට අනුව ජනවාරි 19 වනදා වන විට ටෙස්ට් කණ්ඩායම් අතර 6 වන ස්ථානයත් එක්දින කණ්ඩායම් අතර 8 වන ස්ථානයත් විස්සයි විස්ස පිටියේ 7 වන ස්ථානයත් හිමිකරගෙන ඇත.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉතාමත් දූෂිත බව‍ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර තිබේ. බොහෝ හිටපු ක්‍රීඩකයන්ගේ චෝදනාව වී තිබෙන්නේ 1996 ක්‍රිකට් ලෝක කුසලානය ජයගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ දිශානතිය වෙනස් වී ඇති බවය. එතෙක් ක්‍රීඩකයන් ක්‍රීඩාවට ආදරය නිසා ක්‍රීඩාවේ නියැලුණත් අද වන විට ක්‍රිකට් ක්‍රීඩාව හුදු ව්‍යාපාරයක් බවට පත්වී ඇති බව ද එම චෝදනාවලින් කියැවේ.

විශ්ලේෂකයන් හා හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් පවසන්නේ වත්මන් ක්‍රීඩකයන් රැකියාවක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙනවා විනා ක්‍රීඩාවට ඇල්මක් නැති බවය. අතීතයේදී සිටි ක්‍රීඩකයින් වෙනත් රැකියාවල නියැලෙන අතරතුර ක්‍රීඩාවේ යෙදුණ ද ඔවුන් ඉතාම මහන්සියෙන් රට වෙනුවෙන් ක්‍රීඩා කළ බව ද ඔවුහු පෙන්වා දෙති.

මේ අතර ක්‍රීඩකයින්ගේ විනය පිළිබඳ එල්ලවන චෝදනා ද බරපතල ය.

මෑතකදී දකුණු අප්‍රිකානු සංචාරයේදී විනය කඩකිරීම පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමට චෝදනා එල්ල විය. ඇතැම් ක්‍රීඩකයින් තරග අතරතුරදී දුම්පානය සහ මත්පැන් පානය කිරීම සඳහා යොමු වී සිටි බවට ද චෝදනා එල්ල විණි.

ජනවාරි 4 වනදා ජොහැන්නස්බර්ග්හි වැන්ඩරර්ස් ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනයේදී ශ්‍රී ලංකාවේ දසුන් ශානක
ජනවාරි 4 වනදා ජොහැන්නස්බර්ග්හි වොන්ඩර්ස් ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනයේදී ශ්‍රී ලංකාවේ දසුන් ශානක

ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව දුර්වල ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කර ඇති අතර මෑත ඉතිහාසයේ ඔවුන්ගේ තරඟ බොහොමයක්ම පරාජය වී ඇත්තේ සෑම අංශයකින්ම දැවැන්ත විවේචන එල්ල වන අවස්ථාවකය. පළමු තරගයේදී එංගලන්තයට එරෙහිව කඩුලු 7 කින් පරාජයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ඔවුන්ගේ දුර්වල ක්‍රීඩා විලාශය බව ක්‍රිකට් විචාරකයෝ පවසති.

සංචිතයේ සාමාජිකයින් සිව්දෙනෙකු ක්‍රීඩක විවේකාගාරය ආසන්නයේ කාඩ් ක්‍රීඩාවේ යෙදීමද කතාබහකට ලක්විණි.

මේ තත්ත්වයන් සම්බන්ධයෙන් ක්‍රිකට් පරිපාලනයේ දුර්වලතා දෙසට ද ඇඟිල්ල දිගුවන්නේ, අදාළ සිදුවීම් සිදුවන මායිමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මෙන්ම කළමනාකරු හා ජාතික තේරීම් කමිටු ප්‍රධානී අසන්තා ද මෙල් යන දෙදෙනාම සිටි බැවිනි.

මාධ්‍ය හමුවේ චෝදනාවලට ප්‍රතිචාර දක්වූ අසන්තා ද මෙල්, යම් සිද්ධීන් කිහිපයක් පිළිබඳව වාර්තාවන නමුත් ක්‍රීඩකයන්ගේ විනය පිරිහී නොමැති බව කියා සිටියේය.

“ඒගොල්ලෝ හිටීයේ වෙනමම තට්ටුවක අපිත් එක්ක නෙමෙයි හිටියේ. මැච් එක ඉවර වෙලා තමයි අපිත් දැක්කේ මේ ටීවී එකෙන් මේගොල්ලෝ කාඩ් ගහනවා කියලා. ඉතින් ඒ වෙලාවේ මම ඒගොල්ලන්ට අඬගහල කිව්වා මේක කරන්න එපා මේ මැච් එක ගහන වෙලාවේ කාඩ් ගහන්න එපා කියල. මම ඒ ගොල්ලන්ට තදින් අවවාද කළා. හැබැයි මාධ්‍යයේ ගිය විදිහට මිනිස්සු හිතනවා ඇති මේ dressing room එකේ කාඩ් ගැහුවා කියල. dressing room එකේ කාඩ් ගැහුවේ නෑ.”

ක්‍රීඩකයින්ගේ විනය පිරිහී නැති බව පවසන ඔහු තවදුරටත් කියා සිටියේ, “ලෝකේ හැම ප්ලේයර් කෙනෙක්ම සිගරට් බොනවා මේගොල්ලෝ ඇවිල්ල පොඩි ළමයි නෙමෙයිනේ. ඉතින් අපිට කියන්න බෑ නේ සිගරට් බොන්න එපා බියර් එකක් බොන්න එපා කියල. අපිට කියන්න පුළුවන් ඕගොල්ලෝ පිට්ටනියට බැස්සහම ට්‍රේනිං කරනකොට ෆිට්නස් කරනකොට ඕගොල්ලෝ අපිට අවශ්‍ය විදියට ඉන්න ඕන.”

ක්‍රීඩකයින්ගේ ක්‍රියාකාරීත්වයේ පසුබෑම පිළිබඳ අදහස් පළ කළ ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේ බිඳ වැටීම දීර්ඝ කාලයක සිට සිදුවන්නක් බවත් දෙවන පෙළ ක්‍රීඩකයන් නොමැති වීම ඊට හේතුවක් බවත් කීය.

“මේ වැටීම කලෙක ඉඳන් එනවා. මේ රතු එලිය තියෙනවා. දැන් වෙලා තියෙන්නේ අපේ ක්ලබ් සිස්ටම් එකේ ඉඳලා මේක හදන්ඩ ඕන. මම හිතන්නේ මහේලලා සංගලා මේවා ගැන සෑහෙන්න කියල තියෙනවා.”

“දැන් ඇත්තටම බලද්දී අපේ දෙවෙනි කණ්ඩායමක් නෑ නේ දැනටමත්. දැන් බලන්න A ටීම් එකක් අවුරුදු දෙකකටවත් සෙල්ලම් කරලා නෑ. අපේ ඇත්තටම ලංකාවේ කණ්ඩායමට සෙල්ලං කරන්න පුළුවන් ක්‍රීඩකයන් 15 කට නේ. ඒ 15 දෙනා ඇරෙන්න අනිත් කට්ටියට තියෙන්නේ මොකද්ද? මොනවාද ගහන්නේ?”

ක්‍රීඩකයන්ගේ මට්ටම ඉහළ දැමීමට නම් ඔවුන් හට ජාතික මෙන්ම ජාත්‍යන්තර තරගාවලි ලබාදිය යුතු බව ද ඔහු කියා සිටියේය.

කුසල් මෙන්ඩිස්
කුසල් මෙන්ඩිස්

කුසල් මෙන්ඩිස් ගේ දුර්වල පිතිහරඹය යටතේ ඔහු තවදුරටත් කණ්ඩායමේ තබාගැනීම පිළිබඳ අදහස් දැක්වූ තේරීම් කමිටු සභාපතිවරයා, “බින්දු හතරක් ගැහුවාට මගේ මතය අනුව එයා ලංකාවේ ඉන්න ඉතාමත් ම දක්ෂ ක්‍රීඩකයෙක්. ඒ වගේ ක්‍රීඩකයෙක් එක පාරට එලියට දාන එක සාධාරණ නෑ. එයාගේ ෆෝම් එක වැටිලා තියෙන්නේ එයා මානසිකව වැටිලා ඉන්න නිසා,” යැයි පැවසීය.

ක්‍රිකට් විචාරක රංජන් පරණවිතාරණ බීබීසී සිංහල සේවය සමග පැවසුවේ ඉහළ ආදායම් හා වරප්‍රසාද හේතුවෙන් කැපවීම ගිලිහී යාම, දුර්වල ශාරීරික පුහුණුව හා දරාගත නොහැකි මට්ටමේ අන්තර් සමාජ තරග හේතුවෙන් ක්‍රීඩකයන්ගේ ගුණාත්මක භාවය පිරිහී ඇති බවය.

තවත් විචාරකයෙකු පැවසුවේ ක්‍රිකට් පරිපාලනයේ දූෂණ, දේශපාලන මැදිහත්වීම්, තරග පාවාදීමේ චෝදනා, ක්‍රීඩක කළමනාකරණ මාෆියාව, ක්‍රීඩකයින් අල්ලස් ලබා ගැනීම, ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ, ක්‍රීඩකයන් තුළ එක්සත්කම හා කණ්ඩායම් හැඟීම නොමැති වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මෑත කාලයේ බිඳ වැටීමට හේතුවී ඇති බවය.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ බීබීසී සිංහල සේවය සමඟ පැවසුවේ 2014 වසරේ සිට ක්‍රීඩාව වසර ගණනාවක් තිස්සේ නොසලකා හැර තිබිමත් පවතින ගෝලීය කොරෝනා වසංගතය හමුවේ අවුරුද්දකට ආසන්න කාලයක් ක්‍රීඩා නොකිරීමත් නිසා ක්‍රීඩාව කඩාවැටී ඇති බවයි. ඔහු තවදුරටත් පැවසුවේ ලංකාවේ පවතින සියලුම ක්‍රීඩාවන් ප්‍රතිව්‍යුහගත කළ යුතු බවය.

“ක්‍රීඩකයින්, වසරකට ආසන්න කාලයක් ටෙස්ට් ක්‍රිකට් හෝ එක් දින හෝ විස්සයි 20 ක්‍රීඩා කර නැත. එල්පීඑල් විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භය විය. එතැන් සිට ඔවුන් කෙලින්ම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට ගියා. ඒ නිසා ඔවුන් එයට හැඩගැසිය යුතුයි. නමුත් එය වෘත්තීය ක්‍රීඩකයින්ට නිදහසට කරුණක් නොවේ,” ඇමතිවරයා පැවසීය.

“කෙසේ වෙතත්, අපි එංගලන්ත සංචාරයෙන් පසුව තීරණ කිහිපයක් ගන්න බලාපොරොත්තු වෙනවා. තරඟ සිදුවෙමින් පවතින හින්දා මේ මොහොතේ කිසිවක් ගැන අදහස් දැක්වීමට මට අවශ්‍ය නැහැ,” යනුවෙන් අමාත්‍ය නාමල් රාජපක්ෂ පැවසීය.

ඔහු තවදුරටත් පැවසුවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හොඳ තත්වයේ ක්‍රීඩා කිරීමට යහපත් මානසික තත්වයක් තිබිය යුතු බවයි.

“එබැවින් ක්‍රීඩකයන්ගේ දෘෂ්ටි කෝණයෙන් අපට විනය අවශ්‍ය වන අතර පුහුණුව සඳහා වැඩි විනයක් හා කැපවීමක් තිබිය යුතුය.”

“වසංගතයෙන් පසුව කිසිවක් සිදු නොවූ හෙයින් මෙම ක්‍රීඩකයින්ට නැවත ක්‍රීඩාවට පිවිසීමට අපට සාධාරණ කාලයක් ලබා දිය යුතුය. මම හිතන්නේ එක් පැත්තකින් පොදුවේ ගත් කල ක්‍රීඩාව පිළිබඳ අවධානය 2015 සිට 2020 දක්වා අඩු කර ඇති නිසා වගකීම සියලුම පාර්ශවයන් බෙදා ගත යුතු බවයි,” යනුවෙන් ද අමාත්‍ය නාමල් රාජපක්ෂ කියා සිටියේය.

හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ගෙන් බීබීසී සිංහල සේවය කළ විමසීම් වලට ඔහුගෙන් ප්‍රතිචාර නොලැබුණු අතර ඔහු මෑතකදී ස්කයි රූපවාහිනිය සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවකට එක් වෙමින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වැටී ඇති තත්වය පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ “අර්බුදය ගැඹුරටම ගිලා බැහැලා. සහතික වශයෙන්ම මේක අහම්බයක් නෙමේ. මම කියන්නේ මේකට හේතුව වඩාත් උසස් තත්ත්වයේ ක්‍රිකට් ක්‍රීඩාවක් ශ්‍රී ලංකාවේ නොමැති වීමයි. අපි කාලයක් තිස්සේ ඉතාමත් දක්‍ෂ ක්‍රීඩකයන් රැසක්ම බිහි කළා. ඒත් හිටි හැටියේම ඒ වගේ අය නිර්මාණය වෙන්නේ නැත්නම්, මේ තියෙන ක්‍රමවේදයේ ගැටලුවක් දක්නට ලැබෙනවා. සෑහෙන කාලයක් අපි දක්‍ෂතා නිර්මාණය වන දිහා බලාගෙන හිටියා. ඒත් ඒවා වඩාත් දියුණු තත්ත්වයට පත් කළේ නෑ.” යනුවෙනි.

මහේල ජයවර්ධනගෙන් බීබීසී සිංහල සේවය විමසීමක් කළ නමුත් අදහස් ප්‍රකාශ කිරීමට නොහැකි බව ඔහු කියා සිටියේය.

ක්‍රීඩා විචාරක රෙක්ස් ක්ලේමන්ටයින් ශ්‍රී ලංකාව එංගලන්ත පිලට පරාජයවීමෙන් අනතුරුව ඔහුගේ ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබුණේ “පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවේ අවුල අප විසින් නිවැරදි නොකළහොත් ශ්‍රී ලංකාව මෙම ඉරණම නැවත නැවතත් අත් විඳිනු ඇත. පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාකරන කණ්ඩායම් ඕනෑ තරම් තිබේ. සංගම් (club) තරහ කරගැනීමට ක්‍රිකට් ආයතනයට අවශ්‍ය නැත. නිසි ක්‍රියා මාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටීමට පසුගිය ක්‍රීඩා අමාත්‍යවරුන් සිව්දෙනා ම අපොහොසත් වී ඇත,” යනුවෙනි.

මාධ්‍යවේදී රෙක්ස් ක්ලේමන්ටයින් තවදුරටත් පවසන්නේ “වේගයෙන් අවප්‍රමාණය වන්නේ කුමක්ද? ක්‍රිකට් ද නැතිනම් රුපියල ද? රුපියල පහත වැටීම ස්ථාවරයි. එය දැන් ඩොලරයට රුපියල් 200 කි. ක්‍රිකට් ක්‍රීඩාව ද එසේමය. පසුගිය ටෙස්ට් තරග හතරේදී අපේ පිතිකරණය හතර වතාවක් බිඳ වැටී ඇත. අපේ පිතිකරුවන් කඩුල්ලට වඩා වැඩි කාලයක් ගත කරන්නේ සමාජ මාධ්‍යවල. මෙම කරුණට ප්‍රවේශවීම සමඟ සම්පූර්ණ අවුල් සහගත තත්වයක පවතී. යෝග්‍යතාවය, විනය සහ සැලසුම් කිරීම ඉතාමත් ප්‍රශ්න සහගතයි.”

පළමු පන්තියේ ක්‍රිකට් ක්‍රීඩාවේ කණ්ඩායම් අඩු කිරීමට විශේෂඥයන් විසින් කිහිප විටක්ම යෝජනා කළ නමුත් පසුගිය ක්‍රීඩා ඇමතිවරු සිව්දෙනා ම එම ආයාචනය දෙස ඇස් පියාගෙන සිටි බවත් ක්‍රීඩා සමාජ වලට විරුද්ධ වීමට ක්‍රිකට් ආයතනයට උනන්දුවක් නොමැති බවත් ඔහු තවදුරටත් බීබීසී සිංහල සේවය සමඟ පැවසීය.

“පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවේ කණ්ඩායම් අඩු නොකරන තාක් කල් කිසිවක් වෙනස් වෙන්නේ නැහැ. මේ වන විට ශ්‍රී ලංකාවට ‘ඒ’ කණ්ඩායමක් නැහැ.”

රෙක්ස් ක්ලේමන්ටයින් තවදුරටත් පවසන්නේ යෝග්‍යතාවය, විනය නැතිකම හෝ ක්‍රීඩකයින්ගේ වෘත්තීයමය නොවන ආකල්පය නොව ජනමාධ්‍ය ඔවුන්ගේ ප්‍රබලතම සතුරා ලෙසින් ක්‍රිකට් ආයතනය සලකන බවය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔවුන්ගේ ප්‍රධාන පාර්ශවකරුවන්ගෙන් එක් අයෙකු පසෙකට දැමුවා පමණක් නොව, සිය රසික රසිකාවියන් තහනම් කළේය යනුවෙන් ඔහු පැවසීය.

“ගාලු කොටුවේ සිට වත් තරඟ නැරඹීමට ප්‍රේක්ෂකයන්ට ඉඩ නොදුනි. එය කුරිරුය.”

“රසිකයින්ට පිටුපාන ඕනෑම සංවිධානයක් විනාශ වීමට ඉඩ ඇත. අපේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වීම පුදුමයක් නොවේ.”

උපුටා ගැනීම – බී.බී.සී. සන්දේශය

RSL

Related Posts