ශ්‍රීලංකන් ගුවන් සේවය APEX වෙතින් තරු හතරේ ප්‍රධාන නිල ගුවන් ශ්‍රේණිගත කිරීම දිනා ගනී

Spread the love

ශ්‍රීලංකන් ගුවන් සමාගම ගුවන් මගී අත්දැකීම් සංගමය (APEX) සංවිධානය කරන ලද ‍ Future Travel Experience (FTE) Virtual Expo ගෝලීය සම්මාන උළෙලේ දී  තරු හතරේ ප්‍රධාන නිල ගුවන් ශ්‍රේණිගත කිරීම(2021 Four Star Major Official Airline)  දිනා ගන්නා ලදී .

මගී ශ්‍රේණිගත කිරීම් මත පදනම් වූ මෙම ගෞරවනීය සම්මානය වසර 41 කට වැඩි කාලයක් සේවය කරන ශ්‍රීලංකන් ගුවන් සමාගමට හිමි වූ අතර මෙම සම්මාන උළෙල 2020 දෙසැම්බර් මස 9 වන දින පැවැත්විණි.

ගුවන් මගී අත්දැකීම් සංගමය (APEX ) යනු ලෝකයේ විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවා සංගමයකි.

ජාත්‍යන්තර ගුවන් සේවා සංගමය (IFSA) සහ අනාගත සංචාරක අත්දැකීම් (FTE) යන සමාගම් ජාලයක් ඒ හා සම්බන්ධ වී ඇති අතර එය ආරම්භයේ සිට අවසානය දක්වාම සමස්ත ගුවන් මගී අත්දැකීම් නිරීක්ෂණයට සහ වැඩිදියුණු කිරීමට කැපවී සිටී.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා මෙසේ සඳහන් කළේය.  “අපගේ සේවාවට සහ සාර්ථකත්වයට ඇති ලොකුම සාක්ෂිය වන්නේ අපගේ අමුත්තන්ගේ පක්ෂපාතීත්වය සහ යහපත් ප්‍රතිචාරයි. මගීන්ගේ ඇගයීම මත පමණක්  ලබාදෙන ලද මෙම තරු හතරේ ප්‍රධාන නිල ගුවන් ශ්‍රේණිගත කිරීම ශ්‍රීලංකන් ගුවන් සමාගමට ගෝලීය හා කලාපීය මට්ටමින් ලද ඉමහත් උපහාරයක් හා ගෞරවයක්. එය අපගේ ගුවන් සේවයේ සේවය කරන පුද්ගලයින් ලද සැබෑ ප්‍රශංසාවක්. ” යැයිද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

APEX විසින් ගුවන් ක්ෂේත්‍රයේ වඩාත්ම ගෞරවය ලබන්නන් නිවේදනය කරයි. ගුවන් සේවා කර්මාන්තයේ පළමු ශ්‍රේණිගත කිරීමේ වැඩසටහන මගීන්ගේ ස්ථිර කිරීම මත පදනම් වේ. සමස්ත ගුවන් ගමන් අත්දැකීම් තක්සේරු කිරීම තෙවන පාර්ශවීය මගී ශ්‍රේණිගත කිරීම් මත පදනම් වේ. මෙම APEX නිල ගුවන් ශ්‍රේණිගත කිරීම ලබා දීම සඳහා ගුවන් සේවයේ ආසන සුවපහසුව, ගුවන් යානා අභ්‍යන්තර සේවාවන්, ආහාරපාන, විනෝදාස්වාදය සහ වයි-ෆයි ඇතුළු සමස්ත ගුවන් ගමන් අත්දැකීම් තක්සේරු කරන ලදී.

ගුවන් සමාගමට හිමිවූ නවතම සම්මානය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා මෙසේ පැවසීය. “මෙම තරු හතරේ ශ්‍රේණිගත කිරීම හිමිවීම ශ්‍රීලංකන් ගුවන් සමාගම ගෝලීය නායකයෙකු ලෙස නැවත වරක් තහවුරු කිරීමක්. අඛණ්ඩව පස්වන වරටත් එම පිළිගැනීමට ලැබීම අපට ගෞරවයක්. මෙම සම්මානය මගින් අපගේ කාර්ය මණ්ඩලයේ කැපවීම පිළිබිඹු වෙනවා. ඒ වගේම ශ්‍රීලංකන් ගුවන් සේවයේ සේවා විශිෂ්ටත්වයේ ලෝක මට්ටමේ ප්‍රමිතීන් අනුව සකස් කර ඇති බවට සහතික කිරීමක් ද වෙනවා.” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවය ලෝක සංචාරක සම්මාන උළෙලෙහි දී (World Travel Awards)  අඛණ්ඩව පස්වන වරටත් ඉන්දියානු සාගර කලාපය වෙත පියාසර කරන  ලොව ප්‍රමුඛතම ගුවන්සේවය (‘World’s Leading Airline to the Indian Ocean’) ලෙස  සම්මානයෙන් පිදුම් ලැබීය.ශ්‍රීලංකන් ගුවන් සේවය සිය අලෙවිකරණ සන්නිවේදන ප්‍රයත්නයන්හි ගෝලීය ආකර්ශනීය බව අඛණ්ඩව සනාථ කරමින් PATA සම්මාන උළෙලේ දී රන් සම්මානය සහ ලොව පුරා බොහෝ ගුවන් සමාගම් අභිබවමින් 2019/20 APEX සම්මාන උළෙලේදී හොඳම අලෙවිකරණ නවෝත්පාදන සම්මානය  දිනා ගෙන තිබේ.

RSL

Related Posts