ලොව විශිෂ්ඨතම ස්මාර්ට් මුහුණු ආවරණය හදුන්වා දෙයි

Spread the love

රේසර් පවසන්නේ මෙම මුහුණු ආවරණයෙන් තොල්වල චලනයන් කියවීමට ඉඩ සලසන බවය

වීඩියෝ ගේම් නිෂ්පාදන සමාගමක් වන රේසර් විසින් ස්මාර්ට් මුහුණු ආවරණයක් සාදා ඇත. මයික්‍රෝෆෝනයකින් සමන්විත වන එය ලොව ඇති විශිෂ්ඨතම මුහුණු ආවරණය ලෙස ඔවුහු හඳුන්වති.

CES (Consumer Electronics Show) තාක්ෂණික සමුළුවේදී එළිදක්වන ලද මූලාකෘතිය නිමවා ඇත්තේ පරිශීලකයින්ගේ හඬ වැඩි කර පිටතට ඇසෙන ලෙසය. මෙයින් මුහුණු ආවරණ පැළඳ කතා කිරීමේ අපැහැදිලි බව මඟ හැර ගත හැකිය.

මෙය සැලසුම් කර ඇත්තේ වාතාශ්‍රය හොඳින් ලැබෙන පරිදිය. පිටතින් සිසිල් වාතය ඇද ගන්නා අතරම උණුසුම් හුස්ම පිට කරනු ඇත.

සමාගම පවසන්නේ මෙය N95 ශල්‍ය මුහුණු ආවරණයක් ලෙස වර්ගීකරණය කර ඇති බවය. කෙසේනමුත් බීබීසී සේවය මෙම නිෂ්පාදනය සමාලෝචනය කර නොමැත.

Smart mask
මෙම මුහුණු ආවරණය දැනට සංකල්පයක් වන අතර එය තවමත් විකිණීමට නොමැත

මුහුණු ආවරණය විනිවිද පෙනෙන ප්ලාස්ටික් වලින් නිමවා ඇති අතර, මෙමඟින් මිනිසුන්ගේ තොල්වල රටා කියවීම සහ මුහුණේ ඉඟි ලබා ගැනීම පහසු කරයි.

කෙසේනමුත් විනිවිද පෙනෙන මුහුණු ආවරණ යනු නවෝත්පාදනයක් නොවන අතර, මේ වන විට ද එවැනි නිෂ්පාදන වෙළෙඳපොලේ ඕනෑ තරම් තිබේ. කෙසේවෙතත් සමාගම පවසන්නේ මෙම මුහුණු ආවරණයේ “අඩු ආලෝකය යටතේ ක්‍රියාකරන ක්‍රමයක්” ඇති බවය.

Smart mask
අඳුරු ස්ථානයක දී මුහුණු ආවරණයේ අභ්‍යන්තරය ස්වයංක්‍රීයව ආලෝකමත් වේ

එයින් අදහස් කරන්නේ අඳුරු ස්ථානයක මුහුණු ආවරණයේ අභ්‍යන්තරය ස්වයංක්‍රීයව ආලෝකමත් වන බවය. එයින් ඔබේ මුව ද ආලෝකමත් වේ.

රේසර් සමාගම කියා සිටින්නේ මෙයින් ඔබට “ආලෝකකරණ තත්වයන් නොසලකා හැර පැහැදිලිව ප්‍රකාශ කිරීමට ඉඩ සලසන” බවය.

ඇතුළත ඇති සියලු තාක්‍ෂණය සමඟ මෙය පැළඳ සිටීම පහසු ද?

බීබීසී සේවයේ තාක්ෂණික කණ්ඩායම මෙය අත්හදා බලා නොමැත.

නමුත් රේසර් සමාගම පවසන්නේ සිලිකන් රවුමක් සවි කර ඇති නිසා එය පැළඳ සිටීම පහසු වන අතර, මුහුණ ආවරණය ඔබේ මුඛයේ වැදීමෙන් වළක්වන බවය.

කන් පෙති වටා යොදන පුඩුව පළල්ව නිමවා ඇති නිසා ඔබේ කනට දැනෙන පීඩනය ද අවම බව සමාගම පවසයි.

පේටන්ට් බලපත්‍රයක් සහිත මුහුණු ආවරණයේ “වොයිස්ඈම්ප්” අංගය මෙහි වඩාත්ම තාක්ෂණික වශයෙන් දියුණු අංගයකි.

සමාගම පවසන්නේ අභ්‍යන්තර මයික්‍රෆෝනය සහ විකාශන යන්ත්‍රය ඔබේ කටහඬ වඩාත් පැහැදිලි කරන බවය.

සම්ප්‍රදායික මුහුණු ආවරණයකින් නාසය සහ මුඛය වැසීමත් සමඟ අපැහැදිලි කටහඬ විශේෂ ගැටළුවක් විය හැකිය.

මෙය සංකල්පීය නිෂ්පාදනයක් වන අතර එය දැනට වෙළෙඳපොලේ නොමැත. බීබීසී සේවය රේසර් සමාගමෙන් මේ පිළිබඳ විමසීමක් කර ඇති නමුත් තවමත් ප්‍රතිචාරයක් ලැබී නොමැත.

කෙසේවෙතත්, The Verge (ද වර්ජ්) තාක්‍ෂණ වෙබ් අඩවියෙන් කරුණු විමසීමේ දී කියා සිටියේ මුහුණු ආවරණයේ පෙරහන් වෙනස් කළ යුතු කාලය සහ වාතාශ්‍රය සපයන කොටසේ කල්පැවැත්ම ගැන තවමත් පරීක්‍ෂා කරමින් සිටින්නේ යයි රේසර් සමාගම පැවසූ බවය.

මෙම වසරේ CES ප්‍රදර්ශනයේදී අනෙකුත් සමාගම්වලින් ද ඉතා ආකර්ෂණීය සංකල්ප නිෂ්පාදන එළිදැක්වීය.

  • ජෙනරල් මෝටර්ස් වෙතින් කැඩිලැක් සන්නාමය යටතේ සිරස් අතට ඉහළට නැංවිය හැකි සහ ගොඩබෑමේ විද්‍යුත් වාහනය
  • ආහාර නිර්දේශ ලබා ගැනීම සඳහා ටෝටෝ සමාගම වෙතින් ඔබේ මලපහ විශ්ලේෂණය කරන වැසිකිළියක්
  • ටීසීඑල් වෙතින් අනුචලනය වන ටැබ්ලට් තිරයක්

එම නව නිර්මාණ අතරින් කීපයකි.

CES 2021
ජෙනරල් මෝටර්ස්හි ප්‍රධාන විධායක නිලධාරියා පැවසුවේ අනාගතයේ දී ගුවන් කුලී රථ නිර්මාණය කිරීමට ද සමාගම පර්යේෂණ සිදු කරමින් සිටින බවය
CES 2021
ටෝටෝ සමාගමේ නව වැසිකිළිය ආහාර නිර්දේශ කිරීම සඳහා පරිශීලකයාගේ සමේ උෂ්ණත්වය සහ මළපහ විශ්ලේෂණය කරනු ඇත
CES 2021
විශාල තිරයක් රැගෙන යාම පහසු කිරීම සඳහා අඟල් 17 OLED තිරය අනුචලනය කළ හැකි ලෙස නිර්මාණය කර ඇත

Text by bbc sinhala

RSL

Related Posts